ග්‍රන්ථ සාර සංග්‍රහය: නො වක් චින්තකයෝ — ගස් ගල් වල ජීවත් වීමේ සිට විශ්වය තේරුම් ගැනීම දක්වා මිනිසා ගිය ගමන

Posted by

 

The Upright Thinkers: The Human Journey from Living in Trees to Understanding the Cosmos

by Leonard Mlodinow

නො වක් චින්තකයෝ: ගස් ගල් වල ජීවත් වීමේ සිට විශ්වය තේරුම් ගැනීම දක්වා මිනිසා ගිය ගමන 

කතෘ: ලෙනාඩ් ම්ලොඩිනොව්

 

භෞතික විද්‍යාඥයෙකු වශයෙන් වෘත්තීය පුහුණුව ලත් ලෙනාඩ් ම්ලොඩිනොව් රූපවාහිනී තිර රචකයෙක් වශයෙන් ස්ටාර් ට්‍රෙක් නමැති පසිඳු විද්‍යා කතාව ලිවීමට දැයක වුනා. The Drunkard’s Walk, Subliminal යන සම්මාන දිනූ පොත් දෙකකට අමතරව ඔහු විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් සමග එක්ව The Grand Design නමැති පොත ද ලිව්වා. 2015 දී ඔහු පළ කළ The Upright Thinkers නමැති අපූරු පොත සැකෙවින් කියවමු.

විද්‍යාව අපේ එදිනෙදා ජීවිතයේ ඉතා වැදගත් කොටසක් ඉටු කරනවා. එනිසා මනුෂ්‍යය සංහතියේ පැවැත්ම පුරා වට ම විද්‍යාව ද අප සමග පවතින්නට ඇතැ’යි අපට සිතෙන්නට පුළුවන්. එහෙත් ඇත්ත එය නොවෙයි. ස්වාභාව ධර්මය පිළිබඳ ඉතාමත් ප්‍රාථමික නිරීක්ෂණ වල සිට විස්මය දනවන නූතන තාක්ෂණික දියුණුව දක්වා විද්‍යාව වර්ධනය වුණේ ඇත්ත වශයෙන් ම කෙමෙන් කෙමෙන් තැබූ අප්‍රමාණ වූ කුඩා පියවර රැසකින්.

ඉතින් විද්‍යාවේ ආරම්භය කුමක් ද? විද්‍යාත්මක ව සිතන්නට මිනිසුන් පෙලඹුණේ කෙසේ ද? විද්‍යාව මේ සා දුර ගමනක් ආවේ කෙසේ ද? ලෙනාඩ් ම්ලොඩිනොව් ගේ ‘නො වක් චින්තකයෝ’ නමැති පොතේ මේ සැකෙවින් කියවීම මගින් ආමන්ත්‍රණය කිරීමට අප බලාපොරොත්තු වෙන මූලික ප්‍රශ්නයි ඒ. එ් සඳහා අප කාලය ඔස්සේ ආපසු ගමන් කළ යුතුයි. පසුගිය වසර 5000 ක පමණ සිට විද්‍යාව පරිණාමය වුණේ කෙසේ දැ’යි විමසිය යුතුයි?

Related image

 

නො වක් චින්තකයෝ: ගස් ගල්වල ජීවත් වීමේ සිට විශ්වය තේරුම්ගැනීම දක්වා මිනිසා ගිය ගමන

සැකෙවින් කියවමු

 

1.     විද්‍යාත්මක චින්තනයට පදනම වැටුණේ කුහුල් සිත් ඇති මිනිසුන් එකට එක් ව කටයුතු කරන විටයි.

රෝමය එක් දිනකින් ගොඩ නැගුනක් නොවේ යන වහරක් අප අතර පැවතෙනවා. එසේම විද්‍යාත්මක චින්තනය ද එක රැයකින් පහළ වූවක් නොවේ. විද්‍යාත්මක විධික්‍රමය සහ විශ්ලේෂණය ගොඩ නැගීමට මනුෂ්‍යයන්ට යුග ගණනාවක් ගත වුණා.

ඒ සම්බන්ධයෙන් ඇති වූ ප්‍රගමනය ගැන අප ස්තුතිවන්ත විය යුත්තේ අපේ සහජ කුතුහලයට සහ  නිර්මාණශීලී මනුෂ්‍ය ස්වාභාවයටයි. මනුෂ්‍යය පරිණාමය පුරාම කුතුහලය සහ නිර්මාණකත්වය අපේ ජීවි විශේෂයේ ප්‍රවර්තනයට(survival) නොහොත් පැවැත්මට අතිශයින් ම වැදගත් වුණා.

     එදිනෙදා ආහාරය සපයා ගැනීමට සහ දැවැන්ත කඩු දත් ව්‍යාඝ්‍රයා(sabre-tooth tiger) වැනි විලොපීයන්ගෙන්(predators) හෙවත් ගොදුරු භක්ෂකයින්ගෙන් ආරක්ෂා වීමට රළු මෙවලම් සහ පාලනය කරගත් ගින්දර භාවිතා කිරීම ආදි කාලීන මිනිසුන්ගේ තත්කාලීන නවෝත්පාදන වශයෙන් සැලකිය හැකියි.

තමන් මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට ඇති හුරුබුහුටි කමත් නිරන්තර කුතුහලයත් මනුෂ්‍ය ස්වභාවයේ සහජ හා අද්විතීය ගුණයක්.

                                         

චිම්පන්සි පැටවුන් මෙන් නොව කෙලි බඩුවක් ගෙන ක්‍රීඩා කරන මිනිස් දරුවෙක් එය ක්‍රියා කරන්නේ කෙසේ දැයි විමසිලිමත් ව සොයා බලන අන්දමත් සෙල්ලමට එක පිට එක තැබූ ලී කැබලි ගොඩක් අසමබර වී කඩා වැටෙන අන්දම කුතුහලයෙන් සොයා බලන අන්දමත් අප කොතෙකුත් දැක තියෙනවා. 

අනිකුත් සත්ව විශේෂ වලට වෙනස් ව මනුෂ්‍යයන් අතින් බොහෝ නවෝත්පාදන බිහි වීම ඇරඹුණේ සහජ කුතුහලය ප්‍රමුඛ කොට ගත්  මිනිසුන් එකිනෙකා හා සහයෝගයෙන් ජීවත් වීම ආරම්භ කළ විටයි. සමාන ඇදහිලි විශ්වාස කිරීම ද මෙසේ එක්ව ජීවත් වීමට හේතු වූ එක් කරුණක්. මීට වසර 11,500 පමණ පෙර වර්තමාන තුර්කියට අයත් ප්‍රදේශයක දෙවියන් වැඳීම සහ අදහස් හුවමාරු කර ගැනීම පිණිස සංවිධානය වූ පැරණිතම ප්‍රජා සමූහය ජීවත් වුණා.

මිනිසුන් එකට ජීවත් වීම නිසා  නොයෙකුත්  විශේෂ වාසි සැලසුණා. ඒ අතරින් වැදගත් වාසියක් වුණේ  නිතර අතීත අත් දැකීම් එකිනෙකා හා බෙදා ගැනීමට හැකි වීමයි. ඒ නිසා වැඩ කිරීමට අවශ්‍ය දැනුම් සංචිතයක් ප්‍රජාව තුළ ගොඩ නගා ගැනීමට හැකි වීමත් එම දැනුම උපයෝගී කොට වාරිමාර්ග ක්‍රම වැනි මුල් කාලීන නවෝත්පාදන නිර්මාණය කිරීමට හැකියාව ලැබීමත් ඉතා වැදගත්.

එයත් හරියටම අද කාලයේ ගූගල් සහ ඇපල් වැනි නිර්මාණශීලී සමාගම් වල සේවයේ නියුතු අය සාමූහික ව ගැටලු විසඳන ආකාරයට බෙහෙවින් සමාන කටයුත්තක්.

ප්‍රජා සමූහ වශයෙන් එකට ජීවත් වීමේ අනෙක් වාසිය එනිසා එකිනෙකා අතර වැඩ බෙදා හදා ගැනීමට හැකියාව ලැබීමයි. ක්‍රි.පූ. 7000 පමණ පෙර මෙසපොතේමියාවේ මිනිසුන් සිය ප්‍රජා සමූහයේ සාමාජිකයන් අතර වැඩ බෙදා ගත්තා. මෙසේ එක් එක් පුද්ගලයා තම තමන්ට පැවරුණු කටයුත්ත ඉටු කිරීමට කැප වුණු නිසා සිය පැවැත්ම සඳහා අවශ්‍ය සියලු ම වැඩ ඉටු කිරීමට තනි පුද්ගලයෙකුට සිදු වුණේ නැහැ.

මේ ක්‍රමය අනුක්‍රමයෙන් විකාසනය වී බේකරි කරුවන්, කම්මල් කරුවන්, ඇඳුම් වියන්නන් ආදී වශයෙන්  මිනිසුන් විවිධාකාර ජීවනෝපාය වල නිරත වීමට පටන් ගත්තා.

මේ අන්දමින් ශ්‍රම විභජනය වීම මීට වසර 5000 කට පමණ පෙර ගුරුකුල ඇතිවීමට තුඩු දුන්නා. එමගින් අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු ගෙන් දැනුම ලබා ගෙන තම ජීවනෝපාය වෘත්තියක් ලෙස ඉටු කිරීමට ඇතැම් මිනිසුන්ට අවස්ථාව ලැබුණා.

2.     ලිවීම, කියවීම සහ ගණිතය සමාජයේ සහ විද්‍යාවේ ඉදිරි ගමනට අතිශයින් වැදගත් වුණා.

හවුල් දැනුම(shared knowledge) මනුෂ්‍ය ප්‍රගතිය පිළිබඳ අති දැවැන්ත පිම්මක් වුණා. කෙසේ වුනත් මෙසේ දැනුම හවුලේ බෙදා ගැනීම සිදු වුනේ කට වචනයෙන් පමණක් නිසා කල් යාමේ දී ඒවා ලේඛන ගත කොට තබා ගැනීමේ සම්මත ක්‍රමයක අවශ්‍යතාව පැන  නැංගා. එසේ කළ විට දැනුම අඩංගු කළ ලේඛන  තැන තැන රැගෙන ගොස් අන් අය සමග දැනුම බෙදා හදා ගත හැකි බවත් විවිධ  තොරතුරු අනාගත පරම්පරා සඳහා සංරක්ෂණය කර තබා ගත හැකි බවත් මිනිසුන්ට වැටහුණා.

සෑහෙන කලක් උත්සාහ කොට මෙම අවශ්‍යතාව ඉටු කර ගැනීම පිණිස මිනිසුන් ලිවීමේ සහ කියවීමේ ක්‍රම සොයා ගෙන ඒවා වැඩි දියුණු කළා. මේ අතරින් ලේඛන ගත කිරීම පිළිබඳ මුල් ම සාක්ෂි අපට ලැබෙන්නේ ක්‍රි.පු. 3000 දී පමණ මෙසපොතේමියාවෙන්.

මේ ප්‍රාථමික ලේඛන කලාව සමන්විත වුණේ රලුවට සටහන් කල සත්ව පින්තූර වැනි දේවල් සංකේත වශයෙන් යොදා ගැනීමෙන්. එය ඉතා සරල පින්තූරමය ලේඛන ක්‍රමයක්. එසේ වූවද තමන් අතර සිදු වෙන  ගනුදෙනු පිළිබඳ නිසි වාර්තා තබා ගැනීමට මිනිසුන්ට එමගින් හැකිවුණා. ඒ නිසා ඉක්මනින් ම ප්‍රජා සමූහයන්ට හා ව්‍යාපාර වලට ආර්ථික වශයෙන් වර්ධනය වීමට ද හැකි වුණා.

ක්‍රි.පූ. 2900ට පමණ පසු හුදු පින්තූරමය සංකේත මගින් ලේඛන ගත කිරීමට අසීරු සංකීර්ණ  සංකල්ප විස්තර කිරීම පිණිස මිනිසුන් විවිධාකාර සංකේත බද්ධ කොට ලේඛනයට යොදා ගත්තා.

භූ විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේත්‍රවලට අයත් විද්‍යාත්මක සංකල්ප පරම්පරා ගණනක ශිෂ්‍යයන්ට භාවිතා කළ හැකි ලෙස ලේඛන ගත කිරීමට මේ නිසා හැකි වූ බැවින් එය අධ්‍යාපනික කටයුතු වලට විශාල පිටිවහලක් වුණා.

සරල ගණනය කිරීම් සහ පුරෝකථන සඳහා ගණිතය යොදා ගත් ආකාරය පිළිබඳ අපට ලැබෙන මුල් ම සාක්ෂි ක්‍රි.පූ. 2000 පමණ දක්වා ඈතට දිවෙනවා.

බෙහෙවින් සීමිත ආකාරයක හැකියාවන් සහිත ගණිතයක් වුනත් බොහෝ වෘත්තීන් සඳහා එය ඉතා ප‍්‍රයෝජනවත් වුණා. කිසියම් තැනකින් කොතරම් පස් ප්‍රමාණයක් ඉවත් කළ යුතුදැ’යි මැන බලා එක් සේවකයකුට ඉවත් කළ හැකි පස් ප්‍රමාණයෙන් බෙදා බැලීමෙන් එම කාර්ය සඳහා කොතරම් කාලයක් හා සේවකයන් ප්‍රමාණයක් අවශ්‍ය දැයි ගණනය කිරීමට එමගින් හැකි වීම ඒ සඳහා උදාහරණයකට ගත හැකියි.

ජ්‍යාමිතිය පිළිබඳ මුල්කාලීන සාක්ෂි ලැබෙන්නේ ද මේ කාලයේ දී මයි. උදාහරණයක් වශයෙන් දේපොළ මායිම් සටහන් කිරීම පිණිස විශාල භූමි ප්‍රමාණ මැනීමේ  ක්‍රමයක් මේ කාලයේ විසූ ඊජිප්තු ජාතිකයන් භාවිතා කර තියෙනවා.

මෙකී සිදුවීම් නියත වශයෙන් ම කැපී පෙනෙන ප්‍රගති සලකුණු වුවත් නූතන විද්‍යාව බිහි කිරීමට තරම් ප්‍රමාණවත් වන සේ ඉන්දියානු ගණිතඥයන් විසින් එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, සහ වැඩි කිරීම අඩංගු පරිපූර්ණ මූලික ගණිත ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබීමට තවත් වසර 2000ක් පමණ බලා සිටීමට සිදු වුණා.

3.     සහේතුක (rational) ලෙස කල්පනා කොට විද්‍යාත්මක න්‍යාය වර්ධනය කළ ප්‍රථම ජාතීන් අතර පැරණි ග්‍රීකයන් කැපී පෙනෙයි.

නූතන විද්‍යාව බිහි කිරීමේ ලා එකම වැදගත් සාධන ඒකකය වුණේ ගණිතය පමණක් නොවේ. විද්‍යාත්මක දියුණුව සඳහා තාර්කනික මනසකින් යුක්ත ව නිවැරදි ප්‍රශ්න ඇසීමට හැකි අය ද අවශ්‍ය වුණා. මේ සම්බන්ධයෙන් පැරණි ග්‍රීකයන් විශාල දායකත්වයක් ලබා දුන්නා.

එවකට පොදුවේ පැවති විශ්වාසය වූ ලෝකයේ ස්වාභාවික සිදුවීම් සියල්ල දෙවිවරු විසින් මෙහෙය වන ඒවා බවයි. මේ විශ්වාසය නිර්දය ලෙස ප්‍රශ්නයට ලක් කරන නව ආරයක විමර්ශනයක ග්‍රීක චින්තකයන් ක්‍රි.පූ 600 පමණ නියැලෙන්නට පටන් ගත්තා.

භූමි කම්පා වැනි ස්වාභාවික සිදුවීම් දෙවියන් විසින් සිදු කරන දේවල් ලෙස සැලකිය නොහැකියැ ’යි මිලෙටස් හි තේල්ස් නමැති දාර්ශනිකයා වැනි අය අඩමාන කිරීම විද්‍යාවට මං පෑදූ මුල් පෙ‍ෙල් අවහිර බිඳුමක් (breakthrough)ලෙස සැලකිය හැකියි.

පෘථිවිය දිය මත පාවෙන වස්තුවක් බවටත් භූමිකම්පා යනු එම දියෙහි ඇතිවෙන කැළඹීම් වල ප්‍රතිඵලයක් ලෙස ජනිත වන දෙයක් බවට තේල්ස් වැරදියට කල්පනා කළත් භූමි කම්පා දෙවියන්ගේ කාර්යයක් නොවන බවට ඔහු පළ කළ සැකය පවා ඉතා වැදගත් අවහිර බිඳුමක්.

මේ ලෙස එතෙක් පැවති ක්‍රමයට මුලුමනින් ම වෙනස් අන්දමකට සිතීමට පුරෝගාමී වූ නිසා විද්‍යාත්මක නිරීක්ෂණ  කිරීමට හා නොයෙක් භෞතික විද්‍යා සංකල්ප පරිකල්පනය කිරීමට ග්‍රීකයන්ට හැකි වුණා. ස්වභාව ධර්මයේ සිදුවන දේවල්  විද්‍යාව සහ ගණිතය  ආශ්‍රයෙන් තේරුම් ගැනීමට කටයුතු කළ ගණිතඥයෙකු වූ පයිතගොරස් මෙවැනි ග්‍රීකයන් සම්බන්ධයෙන් දිය හැකි කදිම නිදසුනක්. තමන් සිදු කළ බොහෝ පරීක්ෂණ අතරින් එකක් වූ තත් සංගීත භාණ්ඩයක වඩා කෙටි තත් වලින් උච්ච ස්වරයක් නැගීමට හේතු මොනවා දැයි පරීක්ෂා කොට එය ගණිතමය සූත්‍රයකින් ප්‍රකාශ කළ ප්‍රථම තැනැත්තා ද පයිතගොරස්.

විද්‍යාත්මක දැනුමට තුඩු දෙන අන්දමින් අවහිර බිඳ දැමීමට දායක වූ තවත් චින්තකයෙකු වශයෙන් ඇරිස්ටෝටල් හැඳින්විය හැකියි. තාර්කනික සහ විද්‍යාත්මක ප්‍රශ්න විමසමින් තමන්  සහ තේල්ස් වැනි අය හඳුන්වා දීමට ‘භෞතික විද්‍යාඥයා’ යන යෙදුම ප්‍රථම වරට භාවිතා කළ පුද්ගලයා ලෙස ද ඔහු සැලකෙනවා.

ස්වාභාවික වෙනස් වීමක් සහ ප්‍රචණ්ඩ වෙනස් වීමක් අතර ඇති වෙනස විමසමින් ක්‍රි.පූ. 330 දී පමණ ඇරිස්ටෝටල් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම න්‍යායන්ගෙන් එකක් හඳුන්වා දුන්නා.

ඔහු විශ්වාස කළ අන්දමට සියලු වස්තු වලට ආවේණික වූ විභවතාවක් (potential) පවතී. එම විභවතා ඇති වන්නේ කුරුල්ලෙක් අහසේ පියසර කිරීම සහ පුද්ගලයෙකු අනුක්‍රමයෙන් මහලු බවට පත් වීම වැනි ස්වාභාවික ව සිදුවන වෙනස් වීම් මගිනි.

එහෙත් එවැනි ස්වාභාවික වෙනස් වීම් හැරෙන්නට පියසර කරන කුරුල්ලෙකුට ගලකින් ගසා මරා දැමීම වැනි ප්‍රචණ්ඩ වෙනස් වීම් ද සිදු වේ. ඇරිස්ටෝටල් කල්පනා කළ අන්දමට එවැනි ප්‍රචණ්ඩ වෙනස් වීම් ස්වාභාවික ව නොව කිසියම් බාහිර දෙයක් මගින් සිදු වන්නකි. ඔහු ඒ දෙය සරල ව හැඳින් වූයේ ‘බලය’ යන නමින්

4.     භෞතික විද්‍යාව යනු පෙර ඊට පෙර පැවති පුළුල් න්‍යායන් වැර වෑයමින් වියුක්ත කිරීම තුලින් බිහි වූවකි.

කිසිදු බියකින් සැකයකින් තොරව පැරණි නිරීක්ෂණ ඉතා උත්තේජ්‍ය ජනක ලෙස විවරණය කළ නව ආරක විද්‍යාත්මක චින්තකයන් පිරිසක් 1450 පමණ සිට කළ එළි බසින්නට පටන් ගැනීම නූතන විද්‍යාව කරා යන ගමන් මග නිසි පරිදි එළිදරව් කර ගැනීමට හේතු වුණා.

මේ කාලය වන විට විවෘත මනසකින් යුක්ත ව ගැලීලියෝ ගැලිලි ඔහුගේ ම වූ වඩා සුනිශ්චිත පර්යේෂණ ක්‍රම මගින් පැරණි ප්‍රාථමික පර්යේෂණ නැවත විමසීම අරඹා තිබුණා.

හුදෙක් සාමන්‍යකරණය කරන ලද නිරීක්ෂණ වෙනුවට තමන්ගේ ම වූ පර්යේෂණ ක්‍රම උපයෝගී කර ගනිමින් නිවැරදි ලෙස වේගය සහ චලිතය මැන බැලු මුල් ම තැනැත්තන් අතරින් ගැලීලියෝ ගැලිලි ද එක් අයෙක්.

ජලයෙන් පිරුණු හිල් කරන ලද බාල්දියකින් ජලය බැහැර වීමට ගත වන කාලය මැනීම වැනි තමාගේ ම වූ නිරීක්ෂක මත පර්යේෂණ කිරීමේ ක්‍රමවේදය කෙරෙහි ඔහු විශ්වාසය තැබුවා.  එහෙත් ඇතැම් නිරීක්ෂණ සෘජුව ම කිරීමට ඔහුට ප්‍රායෝගික ව හැකි වුනේ නැහැ.

කෙසේ වෙතත් එනිසා ඔහු අධෛර්යයට පත් වුණේ නැහැ. ඒ වෙනුවට එක් දෙයක් සම්බන්ධයෙන් තමන්ට කළ හැකි පර්යේෂණ වල විස්තාරිත ප්‍රතිඵල ඔහු වෙනත් දෙයක් පිළිබඳ පුරෝකථන කිරීම පිණිස ආදේශ කළා. එසේ කිරීම මගින් ඔහු නූතන විද්‍යාත්මක ක්‍රමවේදය වඩාත් වැඩ දායක ලෙස හැඩ ගැස්වීමට දායක වුණා.

උදාහරණයක් වශයෙන් පොළොව මත විවිධ කෝණ වලට අනුව තබන සුමට තලයක් මත යකඩ බෝලයක් පෙර ලී යන වේගය උපයෝගී කර ගැනීම මගින් එම යකඩ බෝලය ම නිදහසේ  අහසින් වැටෙන වේගය ද නිවැරදිව ගණනය කළ හැකි ක්‍රමයක් ඔහු සොයා ගත්තා.

අහසින් වැටෙන දේවල් ගැණ උනන්දු වූ තවත් අයෙක් තමයි අයිසැක් නිව්ටන්. ජනප්‍රිය මිථ්‍යාව කෙසේ වෙතත් විද්‍යාවේ දියුණුව පිණිස ඔහු විසින් කරන ලද අවහිර බිඳ දැමීම ඇපල් ගෙඩියක් බිම වැටෙන තෙක් බලා සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිදු වූ දෙයක් නම් නොවේයි.

නිව්ටන් ඉතාමත් කැපවීමෙන් වැඩ කළ විද්‍යාඥයෙක්. ඔහුගේ සාර්ථකත්වයට හේතු වූයේ ඉතා මහන්සි වී කරණ පල ද පර්යේෂණවල සහ වසර ගණනාවක් තිස්සේ එකක් පැය සීයකින් පමණ යුත් වැඩ සති ගණනාවක නිබඳ ව නියැලීමේ ප්‍රතිඵලයි. කථාවට කියන අන්දමට සිය පර්යේෂණ කටයුතු වල කොතෙක් තදින් නිරත ව සිටියා දැයි කිව හොත් කෑම ටික අනුභව කිරීමටවත් ඔහුට වෙලාවක් තිබුණේ නැහැ. ඒ නිසා බොහෝ විට ඔහුට එවූ කෑම අනුභව කළේ ඔහුගේ සුරතල් බළලායි. එනිසා නිව්ටන්ගේ බළලා අසාමාන්‍ය ලෙස පුෂ්ටිමත් වූ බළලෙක් බව කතාවට කියනවා.

ඇතැම් අවස්ථාවල දී නිව්ටන් ඔහුගේ ම සිරුර පර්යේෂණ කටයුතු සඳහා භාවිතා කළා. අද අප දන්නා පරිදි ඇසට ඉතාමත් අහිතකර දෙයක් වුණත් වරක් නිව්ටන් තමන්ට දරා ගත නො හැකි මට්ටමට එන තෙක් සිය අයා ගත් දෑස්වලින් හිරු දෙස බලා සිට එහි ප්‍රතිඵල වාර්තා කළා. එහි දී ඔහු නිරීක්ෂණය කළ එක් දෙයක් වූයේ නිශ්චිත වේලාවක් එසේ සිටීමෙන් පසු ඔහු දුටු වර්ණ විකෘත වෙන බවයි. එනිසා ආලෝකය යනු හුදෙක් අපේ පරිකල්පනයක් බවට ඔහුගේ සිතට නැගුණු අදහස වර්ණාලෝකය ගැන තවදුරටත් සොයා බැලීමට ඔහු යොමු කළා.

5.     ලෝකය වෙනස් කළ විද්‍යාවක් බවට පත් වීමට පෙර රසායන විද්‍යාව ඇරඹුණේ හුදු පිරික්සුම් ශිල්පයක් ලෙසයි.

භෞතික විද්‍යාව මෙන් නොව දාහත්වන සිය වස දක්වා ම රසායන විද්‍යාව විද්‍යාවක් ලෙස ජනප්‍රිය වුණේ නැහැ. අද කාලයේ  විද්‍යාව ගැන කථා කරන විට රසායන විද්‍යාව එහි අතිශයින් වැදගත් කොටසක් ලෙස සැලකුණත් පරීක්ෂා නාල වලින් සෙල්ලම් කරමින් කුමක් හෝ සිත් ඇද ගන්නා විජ්ජාවක් කිරීමට තැත් කරන  කෙළි ලොල් පිරිසක් ලෙසයි රසායනඥයින් මුල් කාලයේ දී  සැලකුණේ. 

ඇත්ත වශයෙන් ම විද්‍යාඥයින්ගේ වැඩකට වඩා රසායන විද්‍යාව එකල සැලකුණේ හස්ත කර්මාන්ත කරුවන්, කම්මල් කරුවන් හා සමාන වූ ශිල්පීන් වර්ගයක ගේ කටයුත්තක් ලෙසයි.

මේ ආකල්පය පුරාණ ඊජිප්තුවේ මල සිරුරු මමිකරණය කිරීම දක්වා අතීතයට ගිය දෙයක්. මමිකරණයේ නිපුණ අය යම් යම් දුව්‍ය සංයෝග කොට භාවිතා කිරීමෙන් මල සිරුරු කල් තබා ගැනීමේ ශිල්පය දැන ඉගෙන ගත් අයයි.

මේ ශිල්පීය ඥානය වැඩි දුරටත් දියුණු වී ගොස් එක ද්‍රව්‍යයක් තවත් ද්‍රව්‍යයක් බවට හැරවීම රසායන විද්‍යාත්මක ව විස්තර කළ හැකි බව ඇතැම් අයට තේරුම් ගියා. ජලය යම් තත්වයන් යටතේ වාෂ්ප වලට හැර විය හැකි වීම නිසා රත්තරන් නොවන ද්‍රව්‍යයක් රත්තරන් බවට පරිවර්තනය කළ නොහැකිදැ’යි ඇතැම් අයට සිතුණා. බොහෝ ආදිරසායඥයන්(alchemists) එය ඉටු කිරීමට තැත් කළත් ඒ කිසිවකුටත් රත්තරන් නිර්මාණය කර ගැනීමට හැකි වුණේ නැහැ.

ප්‍රථම නියම රසායනඥයා වශයෙන් සැලකෙන දහසය වෙනි සියවසේ විසූ ස්විස් ජාතික පැරාසෙල්සස් නමැති විප්ලවකාරී ආදිරසායනඥයා ලෙඩ රෝග සුව කිරීමට රසායනික මූලද්‍රව්‍ය යොදා ගැනීම පිළිබඳ වද ඇතුළුව රසායන විද්‍යාව සඳහා උපයෝගී කර ගත යුතු ක්‍රමානුකූල කාර්ය පටිපාටියක් හඳුන්වා දුන්නා.

පැරසෙල්සස්ගේ මේ ක්‍රියාවෙන් පසු මූලද්‍රව්‍ය එකිනෙක හා ප්‍රතික්‍රියා කරන ආකාරය සහ ඒවා සංයුක්ත වී ඇත්තේ කෙසේ ද යන්න ගැනත් අවබෝධ කර ගැනීම පිළබඳ මිනිසුන් අතර සැලකිය යුතු උනන්දුවක් ඇති වීම නිසා විද්‍යාවේ තවත් සුජාත ක්ෂේත්‍රයක් ලෙස රසායන විද්‍යාවට ද තැනක් ලැබුණා.

දහහත් වෙනි සිය වසේ දී දර්ශනවාදී භෞතික විද්‍යාඥයෙකු, රසායනඥයෙකු සහ පොහොසත් අර්ල් වරයෙකු වූ රොබට් බොයිල් රසායන විද්‍යාවට විද්‍යාත්මක චින්තනය ආදේශ කල මුල් ම තැනැත්තා වීමත් සමග තව දුරටත් එය දියුණු වුණා.

පර්යේෂණ ගණනාවක් කිරීමෙන් පසු බොයිල් එවකට බෙහෙවින් පිළිගත් මතය වූ නටන ජලය සැදී ඇත්තේ ගින්දර, වාතය සහ ජලය  යන තෙවර්ගය ඒකරාශි වීමෙන් යන්න අභියෝගයට ලක් කළා. ඇත්ත වශයෙන් ම ජලය සංයුක්ත වී ඇත්තේ වෙනත් මූලද්‍රව්‍ය වලින් ය යන්න ප්‍රථම වරට පෙන්වා දුන්නේ ඔහු යි.

මේ ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යාමට 18 වෙනි සියවසේ සිටි ප්‍රංශ ජාතික රසායනඥයෙකු වූ අන්තොනි ලැවොසියර් ට හැකි වුනා.

වායු සහ ඝන ස්වරූප වලින් පවතින විවිධ ද්‍රව්‍යය වලට නිශ්චිත තත්වයන් යටතේ එකිනෙක හා සංයෝග වීමට හෝ එකිනෙකින් විකර්ෂණය විමට හැකි බව ලැවොසියර් සොයා ගත්තා. ඒ අනුව මකියුරික් ඔක්සයිඩ් රත් කිරීමේ ක්‍රියාවලියේ ඵලයක් ලෙස ඔක්සිජන් පිට වන බවට වු වැදගත් සොයා ගැනීම ද ලැවොසියර් කළ තවත් කැපී පෙනෙන කටයුත්තක්.

6.     අල්පවිකසිත ජීව විද්‍යාව අවසානයේ  විකසිත වුණේ චාල්ස් ඩාවින්ගේ නොපසුබට කටයුතු නිසායි.

දාහත්වැනි සහ දහඅටවැනි සියවස් වල විද්‍යාව තවදුරටත් දියුණු වීමත් සමගම සත්ත්වයන් පිළිබඳ අපේ අවබෝධය පුළුල් කරන  අන්දමේ විවිධ තොරතුරු ජීව විද්‍යාව යටතේ හෙළිදරව් වීම ඇරඹුණා. අද කාලයේ ඩාවින්ගේ පරිණාමවාදය පිළිබඳ නියාමය සාමාන්‍ය බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් වශයෙන් සැලකෙන අතර නූතන ජාන විද්‍යාව බොහෝ අබිරහස් විසඳීමට දායක වී තිබෙනවා. එහෙත් සිය වස් ගණනකට පෙර සත්ව ලෝකය ගැන තිබූ අපේ අවබෝධය බෙහෙවින් ප්‍රාථමිකයි.

බොහෝ කාලයක් යන තෙක් ම ජීවීන් පිළිබඳව පැවති පොදු නියාමය වුණේ සරල ජීවීන් සියල්ලෝ ම වෙනත් කිසියම් ද්‍රව්‍යයකින් ඉපදීමට හැකි බවයි.

දාහත්වැනි සියවසේ විසූ ෆ්ලෙමිෂ් ජාතික රසායනඥයෙකු වූ යාන් බැප්ටිස්ට් වැන් හෙල්මොන්ට් විශ්වාස කළ අන්දමට තිරිඟු ධාන්‍ය මිශ්‍රණයක් යට ඇදුම් සමග තබා දින 21 කට පසු මීයන් බිහි වීමට පටන් ගන්නවා.

එහෙත් මෙවැනි අද්භූත න්‍යායන් දාහත් වෙනි සියවසේ මුල් භාගයේ දී අන්වීක්ෂය නිපදවීමත් සමග වෙනස් වන්නට පටන් ගත්තා. ඉහඳ පණුවන් වැනි කුඩා සත්වයින්ට පවා ප්‍රජනන පද්ධති පවතින බවත් කලින් හිතුවාට වඩා උන් බෙහෙවින් සංකීර්ණ සත්ව විශේෂයක් බවත් විද්‍යාඥයන් තේරුම් ගත්තා.

ජීව විද්‍යාව සම්බන්ධයෙන්  දැන ගැනීමට තවත් බොහෝ දේවල් ඇති බව පැහැදිලි වුණා. මේ සම්බන්ධයෙන් වඩාත් සාධනීය අවහිර බිඳුම ඇති වුණේ 1859 චාල්ස් ඩාවින් විසින් ‘ජීවීන්ගේ සම්භවය’ (The Origin of Species)නමැති පොත පල කළ අවස්ථාවේදීයි.

පරිනාමණය පිළිබඳ ඩාවින්ගේ වැටහීම ට හේතු වණේ  විද්‍යාඥයන් විසින් නව මහද්වීපයෙන් හි සිට කළ විවිධ ගවේෂණ කටයුතු හා ඉතා මහන්සියෙන් කළ නිරීක්ෂණ නිසායි.

එක ගණයකට අයත් ජීවීන් නෂ්ටප්‍රාප්ත වූ විට ඒ වෙනුවට ඒ වර්ගයේ වෙනත් සත්ව විශේෂ ඇතිවෙන බව සිය දකුණු ඇමෙරිකානු සංචාර වල දී ඩාවින් නිරීක්ෂණය කළා. තරඟකාරී ජීවත් වීමක දී ජීවීන්ට තම පරිසරයට උචිත ලෙස සාර්ථකව හැඩ ගැසීමට ඇති හැකියාව හේතු කොට ප්‍රමුඛ ජීව විශේෂ වලට සඵලදායක ලෙස ප්‍රවර්තනය වීමට හැකි වන බව ද ඩාවින් නිරීක්ෂණය කළා.

වසර ගණනාවක් තිස්සේ  සිය නිරීක්ෂණ කළ ඩාවින්ට සත්වයින්ගේ ඇතැම් සුවිශේෂ ලක්ෂණ  මුලුමනින් ම අහම්බයෙන් ඇතිවන ඒවා බවද තේරුම් ගියා.

උදාහරණයක් වශයෙන් සීබ්‍රා ෆින්ච් පවුලේ පක්ෂීන් ඔවුන්ගේ සාමාන්‍ය වර්ණය වූ නිල් වර්ණයෙන් වෙනස්  ව කලාතුරකින් රතු පැහැයෙන් යුක්ත ව උපදින බව ඩාවින් නිරීක්ෂණය කළා. මෙය ඩාවින් හැඳින් වූයේ අහඹු ප්‍රභේදනය (random variation) පිළිබඳ ප්‍රපංචය යනු වෙනු යි.

නව ‘පෙනී පෝස්ට්’ තැපැල් ක්‍රමය යොදා දුර බැහැර ජීව විද්‍යාඥයන්ගෙන් යුත් පෘථුල මිතුරු ජාලයක් සමග ලිපි ගනු දෙනු කිරීම මගින් විවිධාකාර දත්ත රාශියක් එකතු කර  විශ්ලේෂණය කිරීමට ඩාවින්ට හැකි වුණා. ඒ අනුව ස්වාභාවික වරණය (natural selection)සහ අහඹු ප්‍රභේදනය එක් ව පරිණාමය සිදු කරන්නේ කෙසේ දැ’යි විස්තර කරන න්‍යාය හඳුන්වා දීමට ඔහුට හැකි වුණා.

7.     භෞතික විද්‍යාවේ දැවැන්ත ඉදිරි පිම්ම පරමාණු ලෝකය ගැඹුරින් විමසීමට ගත් වෑයමේ ප්‍රතිඵලයක්.

සුවිශේෂී සොයා ගැනීම් කළ විට එමගින් මෙතෙක් සැඟවී තිබුණු ඇතැම් දේවල් අනාවරණය කර ගත හැකිවේයැ’යි මිනිසුන් විසින් සිතනු ලැබීම අහම්බයක් නොවෙයි.

‍            අයිසැක් නිව්ටන්ගේ විශිෂ්ට සොයා ගැනීම් හේතු කොට විශේෂයෙන් ම භෞතික විද්‍යා ක්ෂේත්‍රය පිළිබඳ ඇති ව තිබූ ආකල්පය නම් එයයි. සමකාලීන ව හාවරඩ් විශ්ව විද්‍යාලයට ඇතුළ් වීමට අයැදුම් කළ අයට බොහෝ විට කියා තිබුණේ දැන් නම් ඉතිං මේ ක්ෂේත්‍රයේ තව දුරටත් අධ්‍යනය කොට සොයා ගැනීමට කිසිවක් ඉතිරි වී නැහැ යනුවෙනු’යි.

එහෙත් කලින් එතරම් දැන නො සිටි පරමාණුක ව්‍යුහය පිළිබඳ වඩා ගැඹුරින් විමසීමට විසිවැනි ශත වර්ෂය මුලදී දීප්තිමත් විද්‍යාඥයන් අතලොස්සක් කටයුතු කළ විට ඒ ආකල්පය මුලුමනින් ම වෙනස් වන්නට පටන් ගත්තා.

මුලින් පරමාණු ගැන සැක සහිත සිතින් බැලූ ජර්මන් ජාතික විද්‍යාඥයෙකු වූ මැක්ස් ප්ලෑන්ක් දුව්‍ය සැදී ඇත්තේ පරමාණුක අංශු වලින් බව පිළි ගැනීමකින් තොරව තමා විසින් සොයා ගත් ඇතැම් දේවල් විස්තර කිරීමට නොහැකි බව වැටහුණ විට තම අදහස වෙනස් කළා.

ආලෝකය සහ තාපය වැනි දේවල් වලින් නිකුත් වන විකිරණය පිළිබඳ අධ්‍යනය කරමින් සිටි ප්ලෑන්ක් ට ද්‍රව්‍යක මූලික මට්ටමෙන් ඔබ්බට නො ගොස් එවැනි ශක්තීන් විස්තර කළ නොහැකි බව තේරුණා.

එහෙත් ප්ලෑන්ක් සිය සොයා ගැනීම් ප්‍රසිද්ධ කල විට එ්වා පිළිගැනීමට සියල්ලෝ  ම කැමති උනේ නැහැ. ඔහුගේ පර්යේෂණ වලින් පැමිණි නිගමන බොහොමයක් එතෙක් පිළිගෙන තිබූ විද්‍යාත්මක නිගමන හා ගැලපුනේ නැහැ.  එනිසා නොබෙල් ත්‍යාගයෙන් සම්මානයට පත් වීමට ඔහුට තවත් වසර 20ක් ගත වුණා.

1905 වන විට ප්ලෑන්ක් ගේ අදහස් ඊට ඉහළ තලයකට ගෙන යාමට ඇල්බර්ට් අයින්ස්ටයින් ඉටා ගත්තා. පරමාණු යනු ඇත්ත වශයෙන් ම පවතින දෙයක් බව ඔප්පු කළ විද්‍යාඥයන්ගෙන් අයින්ස්ටයින් ප්‍රමුඛයෙක්. ඒ බව අයින්ස්ටයින් සොයා ගත්තේ පරාග සුණු (pollen dust) වැනි කුඩා අංශුවල චලනය නිරීක්ෂණය කිරීමෙන්.

ඔහු නිරීක්ෂණ කළ ආකාරයට ජලයට වැටෙන පරාග සුණු දිය මත නළියනවාක් මෙන් ‍අපට පෙනෙන්නේ පරාගය වටා නොකඩවා අහඹු ලෙස ප්‍රහාර එල්ල කරණ ජල අණු නිසයි. ජල අණු සැදී තිබෙන පරමාණු වල ක්‍රියාකාරිත්වයයි ඒ අහඹු ප්‍රහාර වලට හේතු වන්නේ.

විකිරණය සම්බන්ධයෙන් ප්ලෑන්ක් විසින් කරන ලද නිරීක්ෂණ ආලෝක ශක්තිය විවරණය කිරීමෙ දී අයින්ස්ටයින් තවත් ඉහළ තලයකට ගෙන ආවා. ආලෝකය ද සමන්විත වන්නේ ද පෝටෝන්(poton) නමැති පාටිකල් අංශු වලින් බව අයින්ස්ටයින් පෙන්වා දුන්නා.

8.     නොපසුබට පර්යේෂකයන් දෙපොළක ගේ අප්‍රතිහත කැපවීම නිසා පරමාණුවක ව්‍යුහය එළිදරව් කර ගැනීමට හැකි වීමෙන් භෞතික විද්‍යාව තවත් ඉහළ තලයකට පිවිසුණා.

තමන්ට පියවි ඇසින් දැකිය නොහැකි යම් කිසි දෙයක බලපෑමට සිය එදිනෙදා ජීවිතය ලක් ව  ඇති බව ප්ලෑන්ක් සහ අයින්ස්ටයින් ගේ කටයුතු වලින් මිනිසුන්ට හැඟුණා. මෙයට හුරු වීමට ඇතමුන්ට කාලයක් ගියත් පරමාණුක ලෝකයේ රහස් එළිදරව් කර ගැනීමට විද්‍යාඥයන් නොකඩවා ම කටයුතු කළා.

පරමාණුවක ව්‍යුහය සැදී ඇත්තේ කෙසේදැ’යි විමසා බැලූ ජෝසප් ජෝන් තොම්සන් නමැති භෞතික විද්‍යාඥයා විසින් ඉලෙක්ට්‍රෝනය සොයා ගනු ලැබුවා. එකල ඔහු විස්තර කළ ආකාරයට පරමාණුවක් සැදී තිබෙන්නේ ධන ලෙස ආරෝපිත ද්‍රාවණයක රවුමට කරකැවෙන ඉලෙක්ට්‍රෝන ගණනාවකින්.

ඒ අතරතුර ඇහිරුණු අඳුරු බිම් මහලක අර්නස්ට් රදර්ෆෝඩ් නමැති භෞතික විද්‍යාඥයා එක් රන් ලෝ පතක් හරහා විකිරණශීලී පාටිකල් අංශු විදිමින්  එම අංශු ඉන් මඳක් ඔබ්බේ තැබූ දෙවැනි රන් ලෝ පතක් මත පතිත වන අන්දම සලකුණු කළා.

මෙහි දී කිසියම් අමුතු දෙයක් සිදුවන බව රදර්ෆෝඩ් නිරීක්ෂණය කළා. එනම් රන් පත හරහා පාටිකල් අංශු යැවීමේ දී බොහෝ අංශු කෙළින්ම රන්පත විනිවිද ගමන් ගත් නමුත් අතලොස්සක් අංශු ඉන් විසරණය වී වෙනත් අතකට යෑමයි.

මෙය තේරුම් කිරීමේ දී රදර්ෆෝඩ් යෝජනා කළේ රන් පතේ ඇති පරමාණු සැදී ඇත්තේ  බර න්‍යෂ්ටියක් වටා කක්ෂ ගත ව නිදහසේ භ්‍රමණය වන ඉලෙක්ට්‍රෝන වලින් බවයි. එයට හේතුව වශයෙන් ඔහු පෙන්වා දුන්නේ බොහෝ විට ඔහු යැවූ විකිරණශීලී පාටිකල් රන්පතේ පරමාණු වල ඇති ඉලෙක්ට්‍රෝන අතරින් රිංගා ගියත් ඉඳහිට ඇතැම් පාටිකල් අංශු රන් පරමාණුවේ න්‍යෂ්ටියේ වැදීමෙන් ඉවතට වීසි වූ බවයි.

රදර්ෆෝඩ් එසේ යෝජනා කළ පරමාණුවේ ව්‍යුහයයි අද පවා පාසල් වල සාමාන්‍යයෙන් උගන්වන්නේ.

එහෙත් 1920 ගණන් වල දී  ඩෙන්මාර්ක් ජාතික ‍භෞතික විද්‍යාඥයෙකු වූ නීල් බොර් පරමාණුවේ ආකෘතිය සම්බන්ධ වැදගත් අණාවරණයක් කළා.

බොර් ඉතාමත් ම කැපවීමකින් වැඩ කල විද්‍යාඥයෙක්. ඔහුගේ කැපවීම කොතරම් දැයි කිව හොත් ඔහු සිය මධුසමය ගත කිරීමට යොදා තිබූ වැඩ පිළිවෙළ පවා අවලංගු කොට තම පර්යේෂණ පත්‍රිකාවක් කියවන විට ලිවීම පිණිස සිය මනමාලිය යොදා ගත්තා.

පරමාණුව පිළිබඳ රදර්ෆෝඩ් ගේ ආකෘතියේ මූලික වරදක් ඇති බව බෝර් පෙන්වා දුන්නා. බෝර් විස්තර කළ අන්දමට පරමාණුවේ න්‍යෂ්ටිය වටා කක්ෂ ගත ව ඇති ඉලෙක්ට්‍රෝන අතර ඇතිවන අන්තර්ක්‍රියා රදර්ෆෝඩ් ගේ ආකෘතියෙන් පිළිබිඹු වුණේ නැහැ. ඔහු යෝජනා කළේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන එකිනෙකා මත අන්‍යෝන්‍ය වශයෙන් කරන බලපෑම නිසා එ්වායේ කක්ෂ භේදනය (disrupt) වන බවයි.

මේ අනුව ඉලෙක්ට්‍රෝන තමන් සිටි කක්ෂයේ සිට පිටත කක්ෂයකට පනින විට පරමාණුව වැඩි ශක්තියක් ආරෝපණය කර ගන්නා බවට පෙන්වා දීමෙන් තීරණාත්මක ලෙස පරමාණුවක ව්‍යුහය පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමට බෝර් ට හැකි වුණා.

9.     අදෘශ්‍ය දේවල් මැනීමේ අභියෝගය ක්වොන්ටම් න්‍යායේ වැදගත් වර්ධනයකට හේතු වුණා.

1900 මුල් ගණන් වලදී එළිදරව් වූ කරුණු වලට අනුව ද්‍රව්‍යයක පරමාණුක මට්ටම පිළිබඳ යම් කිසි  අවබෝධයක් ඇති කර ගැනීමට මිනිසුන්ට හැකියාව ලැබුණා.  එහෙත් එක වැදගත් ප්‍රශ්නයක් ඉතිරි ව තිබුණා. එනම් පරමාණුවක ව්‍යුහය වැනි අදෘශ්‍ය දේවල් මනින්නේ කෙසේ ද යන්නයි.

මේ අභියෝගයක ජය ගැනීම පිණිස පරමාණුක මට්ටමේ සිදුවන දේවල් නිවැරදිව විස්තර කිරීම සඳහා විද්‍යාඥයන් භෞතික විද්‍යාවට අදාළ ව නව න්‍යායාත්මක එළඹුමක් නිර්මාණය කළා.

අදෘශ්‍ය පරමාණුක මට්ටමේ දී අංශු වල පිහිටීම සහ වේගය වැනි දේවල් නිරීක්ෂණය කිරීමට නොහැකි නිසා ඒවා මැන ගැනීමට මිනුම් භාවිතා කිරීමද අපහසු බව ජර්මන් භෞතික විද්‍යාඥයෙකු වූ වර්නර් හයිසෙන්බර්ග් පෙන්වා දුන්නා. ඒ නිසා ඔහු හඳුන්වා දුන් ක්වොන්ටම් න්‍යාය සකස් කර තිබුණේ විකිරණය සහ සංඛ්‍යාතය වැනි මැනිය හැකි දේවල් පමණක් මත පදනම්වයි.

මෙකී මැනිය හැකි තොරතුරු විස්තර කිරීම පිණිස හයිසෙන්බර්ග්  වර්ණාවලි දත්ත (spectral data) යනුවෙන් නව විද්‍යාත්මක බසක් ද නිර්මාණය කලා.

අපට දෘශ්‍ය නොවන දේවල් පිළිබඳ විශාල පරාසයක භව්‍ය අගය (possible value) ඒ මගින් ලබා ගත හැකි වීම අතිශය වැදගත් කාරණයක්. දෘශ්‍යමාන ආලෝකයක් විස්තර කිරීමට යොදා ගන්නා තනි අගයක් වෙනුවට වර්ණාවලි දත්ත යොදා ගැනීම මගින් පරමාණුවකින් විමෝචනය කළ හැකි හැම න්‍යායික ආලෝකයක්  ම විස්තර කිරීමට හැකි අගයන් රැසක් ලබා ගැනීමට හයිසෙන්බර්ග් ට හැකි වුණා.

විශේෂයෙන් පරමාණුක මට්ටම සහ දෘශ්‍යමාන මට්ටම යන දෙකේ දීම ප්‍රතිඵල පුරෝකථනය කිරීමට හැකි වීම නිසා  නොයෙකුත් ආකාර නවෝත්පාදන බිහි කිරීමට මේ අනුව ක්වොන්ටම් න්‍යාය අතිශයින් ප‍්‍රයෝජනවත් වුනා.

එහෙත් හයිසෙන්බර්ග් ක්‍රමය ආවස්තවික(abstract) සහ ප්‍රායෝගික ලෝකයේ දී ආදේශ කිරීමට අසීරු වූවක් නිසා හැම කෙනෙකුගේ ම අමන්දානන්දය ට එය ලක් වුණේ නැහැ.

ඒ නිසා ඔස්ට්‍රියානු භෞතික විද්‍යාඥයෙකු වූ අර්වින් ෂ්ක්රෝඩින්ගර් ක්වොන්ටම් භෞතික විද්‍යාව වඩා පහසුවෙන් උපයෝගී කර ගත හැකි ක්‍රමයක් යෝජනා කළා. එය බොහෝ අයට හුරුපුරුදු නිව්ටෝනියානු අංකනය මත පදනම් වූවක්.

ඒ නිසා ක්වොන්ටම් න්‍යාය වඩා පහසුවෙන් අවබෝධ කර ගැනීමට පමණක් නොව  විද්‍යාඥයන්ට සහ නවොත්පාදකයන්ට ඔවුන්ගේ නිර්මාණ කටයුතු සඳහා  එය ඵලදායී ලෙස උපයෝගී කර ගැනීමට ද හැකි වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ඔබට බත් පිඟාන නැවත උණුසුම් කරගැනීමට හැකි මයික්‍රෝවේව් උදුනක් ලබා ගැනීමටත් ඔබේ මොළයේ ත්‍රිමාන ස්කෑන් ඡායා සටහනක් ලබා ගැනීමටත් හැකි ව තිබෙනවා. 

සියවස් සියයකට පමණ පෙර මෙසපොතේමියානු වැසියෝ අදෘශ්‍යමාන බලවේග වල ගුප්ත බල පරාක්‍රමය විශ්වාස කරමින් එකට එක් වුනා. දැන් ක්වොන්ටම් විද්‍යාවේ පිහිටෙන් වෙනත් ආකාරයක පුදුමාකාර බලවේග, උදාහරණයක් ලෙස ෆයිබර්-ඔප්ටික් මගින් අන්‍යෝන්‍ය සබඳකම් ගොඩ නැගීම වැනි දේවල් කිරීමට අප සමත්  ව තිබෙනවා.

විද්‍යාව සම්බන්ධයෙන් ඇතිවුන ඓතිහාසික වර්ධනය ඇතැම් විට නිව්ටන් සහ ඔහුගේ චිර ප්‍රසිද්ධ ඇපල් ගෙඩිය වැනි ආවේශය දනවන ඓශ්චර්ය ජනක අවස්ථාවක ප්‍රතිඵල වශයෙන් හුවා දැක්වෙනවා. එහෙත් යථාර්ථය නම් ඉතාමත් ප්‍රාථමික ලේඛන කලාවේ සිට නුතන යුගයේ විද්‍යාත්මක සොයා ගැනීම්  සියල්ල දක්වා ම විද්‍යාව සම්බන්ධයෙන් මේසා විස්මය ජනක දියුණුවක් ඇති කර ගැනීමට හැකි වූයේ කුතුහලය, කැපවීම, නොපසුබට උත්සාහය, සහයෝගිතාව සහ සබුද්ධික චින්තනය නිසයි.

 සැකසුම: විජයානන්ද ජයවීර

thathu.com

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.