සියල්ලෙහි සුලමුල 24 : පෙකණි ලෝම එන්නේ කොයිබින්ද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

පෙකණි ලෝම එන්නේ කොයිබින්ද?

File:Navel lint ball.jpg

විද්‍යාත්මක නාභි ගවේෂණ ව්‍යායාමයක් හැටියට ගත්තහම ජෝර්ජ් ස්වේන්හවුසර්ගේ සම්පරීක්ෂණය පරාජයට පත්කිරීම ලෙහෙසි නැහැ. 2005 වර්ෂයේ දී පටන්ගෙන — එවකට ස්ටේන්හවුසර් වියානාවේ තාක්ෂණ විශ්වවිද්‍යාලයෙහි රසායන විද්‍යාඥයෙකි — ඔහු සිය පෙකණියේ ලෝම  කැබලි ආදී බූව එකතුකරමින් ඒවායේ වර්ණය හා බර ගැන වාර්තාවක්  පවත්වාගෙන යනවා. එතැන් පටන් ගතවූ  වර්ෂ තුන ඇතුළත එම  කැබලි 503ක් එකතු කරගන්නවා. ඒවාගේ සම්පූර්ණ බර ග්‍රෑමයකට බොහොම ආසන්නයි. ඔය ව්‍යායාමය එසේ කරගෙන යද්දී එක් අවස්ථාවක ස්ටේන්හවුසර් සිය නාභියේ ලෝම බෑවේය. එපමණකින් නොනැවති ඔහු සිය පිරිමි මිත්‍රයන්ගෙන්, වෘත්තීය සහයන්ගෙන් සහ පවුලේ අයගෙන් ඔවුන්ගේ පෙකණි අපද්‍රව්‍ය නිෂ්පාදනයන් ගැන පමණක් නොවෙයි  ඔවුන්ගේ නාභිවල සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය ගැනත් තොරතුරු විමසුවා. හෙතෙම සිය  පෙකණි බූවෙන් කොටසක් රසායනික විශ්ලේෂණයක් සඳහා යැවූ අතර අනතුරුව ඔහුගේ සොයා ගැනීම් විද්‍යා සඟරාවක පළ කළා. ඔහු  මේ සියලු වෑයම් දැරුවේ එකම එක ප්‍රශ්නයකට පිළිතුරු දීමේ අදහසිනුයි. ඇයි මේ සමහර අයගේ පෙකණියෙහි (කට වචනයෙන් කීවොත්) බුරියේඔය තරම් ලෝම ආදී අපද්‍රව්‍ය හටගන්නේ?

අනියත අදහස්

ස්වේන් හවුසර් මේ අංශයෙන් සිය සරුසාර වගාව(පෙකණි බූව) ගැන මුලින්ම සැලකිල්ල යොමු කළේ වයස අවුරුදු විසි ගණන්වලදීයි. ඔහු විද්‍යා ලේඛනවල මේ ගැන සොයා බැලුවා. නමුත් එකම එක් සඳහනක් හෝ දැක්කේ Nature සඟරාවෙහියි. එයත් තේරුම් ගැනීමට අසීරු, ගුප්ත සඳනක්.  තවත් කාරණාවක්:නාභි ලෝම‘  යන ශීර්ෂය යටතේ  එහි දැක්වුණේ නැවියෙක් (මුහුදේ දී)‘, ‘ගොවියෙක්සහ වාස්තුවිද්‍යාඥයෙක්‘  යනුවෙන් ලේබල යොදා තිබූ කපු පුළුන් වැනි යමක කළු සුදු ඡායාරූප තුනක්. එහි මීට වඩා පැහැදිලි කිරීමක් තිබුණේ නැහැ. ඔන්න සති දෙකක් ගිය තැන ඔය සඟරාවේම නිවැරදි කිරීමක් පළ කර තිබුණා. එම ඡායාරූපමයි, එම ලේබල්මයි, ඒත් නැවියාගේ සහ වාස්තුවිද්‍යාඥයාගේ  නාභි ලෝම මාරුකර තිබුණා.

ඔයින් අනතුරුව ස්ටේන්හවුසර් දැඩි උද්‍යෝගයකින් යුතුව ලෝම වැඩේ සියතට ගත්තේ Why Do Men Have Nipples? (පිරිමින්ටත් තන පුඩු ඇත්තේ ඇයි?) යන පොත කියැවීමෙන් පසුවයි. හැබැයි ඒ ග්‍රන්ථයේ සඳහන්ව තිබුණේ ලෝම ප්‍රශ්නය, ඒ කියන්නේ සමහර පෙකණිවල ලෝම හට ගනිද්දී තවත් සමහරක් එසේ නොවන ප්‍රශ්නය සඳහා පිළිතුරක් ලබා දිය නොහැකිය යන්නයි.

දැන් ඔන්න වෙලාව හරි. ඉක්මන් කරලා ඔබත් වහාම බලන්න ඔබේ නාභිය දිහා. ලොම් එහෙම තියෙනවාද? තියනවා නම් ඒවායේ වර්ණය හෙවත් පාට මොකක්ද? අනික ඔබඔබේම බුරියගැන විස්තර කරන්නේ කෙසේද? ලොමින් පිරී ඇත්ද? නැතිනම් ලොම් රහිතව, සුමටයිද?

අපි නැවතත් ස්වේන්හවුසර් වෙත යොමුවෙමු. නියමයක්, නීතියක්  හැටියට ඔහුගේ මුල් නිරීක්ෂණයක් වුණේ, යම් කිසි දිනක ඔහුගේ පෙකණි බූවෙහි වර්ණය, ඔහු එදා (සිරුරේ) උඩින් අඳින ඇදුමේ පාටම යන්නා බවයි. මෙයින් ඔහු සැක කළේ බූව හටගන්නට ඇත්තේ ඔහුගේ ඇදුම්වලින් යනුවෙනි. රසායනික විශ්ලේෂණවල ප්‍රතිඵල යොමුවුණෙත් ඒ දිසාවට තමයි. එක් දිනක් ඔහු ඇන්දේ තනි සුදු, කපු ටීෂර්ට් එකක්. එදින නාභි එකතුව වැඩිකොටම සෙලියුලෝස්ය (cellulose) සහ අතිරේක නයිට්‍රජන් සහ සල්ෆර් සංයෝග බිඳක්. කපු සෑදී තිබෙන ප්‍රෝටීනය තමයි සෙලියුලෝස්. මෙකී අපවිත්‍රකාරක සංයෝග හෙවත් ලටපට සමහරවිට අපගත හම්, දූවිලි, මේද, ප්‍රෝටීන සහ දහඩිය විය යුතු යයි ඔහු නිගමනය කළා.

ඊළඟට ඔහු කළේ පෙකණි ලෝමවල කාර්යභාරය ගැන සොයා බැලීමයි. ස්වේන්හවුසර්ට නම් පෙකණි ලෝම ඇති පදනම් තිබුණා. අනෙකුත් පිරිමින්ගේ පෙකණියෙහි අඩංගු දෑ පිළිබඳව සිය සමීක්ෂණයෙන් අනතුරුව ස්වේන්හවුසර් නිගමනය කළේ උදරමය රෝම තිබීම, පෙකණි බූව ඒකරාශී වීම සඳහා ප්‍රධාන පූර්ව අවශ්‍යතාවක් බවයි. ඔහුගේ උදරමය රෝම බා දැමීම, (නැවත ඒවා වැඩෙනතුරු) පෙකණි බූව ඒකරාශී වීම වැළැක්වීමට හේතු විය. බූවේ ඉතා කුඩා කොටස් ප්‍රථමයෙන් රෝමවල හටගෙන පසුව දිනය අවසාන වන විට පෙකනියේ රැඳී නවතින බව ද ඔහු නිරීක්ෂණය කළා. නාභි බූව පිළිබඳ සිය මහාඒකාබද්ධ සිද්ධාන්තය ඔන්න දැන් ස්වේන්හවුසර් ගොඩ නගා අවසන්. රෝම, කොරපොතු සහිතයි. එහෙයින් ඇද සිටින ඇදුමෙහි කෙදි සූරනවා. රෝමවල කොරපොතු රළු කොකු මෙන් ක්‍රියා කරමින් (අඳුම්වල) කෙදි පෙකණිය වෙත ඇද ගෙන එයි. උදරමය රෝම ඒකකේන්ද්‍රීය වෘත්ත ආකාරයට, පෙකණිය වටා වැවෙන හෙයින් පෙකණිය දිශාවට යොමුවීම ප්‍රවර්ධනය කෙරෙනවා. හරියට කළු කුහරයක් වෙත පදාර්ථ සර්පිලාකාරව ඇදී යන්නා සේය. ආපසු නොඑන සීමාව (event  horizon) පසුකරත්ම කෙඳි, ෆෙල්ට් ආකාර ද්‍රව්‍ය ලෙස සංගතවේ. සිය වාරයක් අදින ටී ෂර්ට් එකක දළ වශයෙන් සියයට 0.1ක ස්කන්ධය පෙකණි බූව ලෙස අහිමිව යන බව ස්වේන්හවුසර් ගණන්  බලා තිබුණා.

සමාජයේ වැඩිය කතාබහට ලක් නොවන පෙකණි බූව ගැන තතු කතා බහ හෙට(ඉරිදා) තවදුරටත් කර ගෙන යමු.

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHERE DOES BELLY-BUTTON FLUFF COME FROM?පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.