සියල්ලෙහි සුලමුල 25 : අප නගරවාසීන් වූයේ කවදා සිටද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

අප නගරවාසීන් වූයේ කවදා සිටද?

මානව වර්ගයා නාගරික සත්ව කොට්ඨාශයක් ලෙස 2014 වර්ෂයේදී නිල වශයෙන් නම් කෙරුණා . ඉතිහාසයේ ප්‍ර‍ථම වතාවට ගම්වාසීන්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව විශාල පිරිසක් මහා නගරවල සහ නාගරික ප්‍රදේශවල ජීවත්වීම ආරම්භ කරලා:1960වන විටත් නාගරික ප්‍රදේශවල ජීවත් වුණේ සමස්ත ජනගහණයෙන් තුනෙන් එකක් පමණයි කියන කරුණ එක්ක සංසන්දනය කළොත් මේ වෙනස ශීඝ්‍රයෙන් සිදුවූ වැඩි වීමක් ලෙස හඳුන්වන්න පුළුවන්.

වසර 5500කට පමණ ඉහතදී කවුරුවත් නගරවල වාසය කළේ නැහැ. සහස්‍ර ගණනකට පෙර සිටම ගම්මාන පැවතුණත්, භූමි ප්‍රමාණයෙන්වත් සංකීර්ණ භාවයෙන්වත් නගරයක් ලෙස හැඳින්විය හැකි මට්ටමේ ශිෂ්ටාචාර එවකට බිහිවී තිබුණත් නැහැ. ශිෂ්ටාචාරකරණය කියන මේ උසස් ක්‍රියාවලිය ආරම්භ වුණේ කොහොමද? ඊට බලපාපු හේතු මොනවාද?

Related image

නාගරීකරණයේ උදාව

ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න නම්, ලිඛිත ඉතිහාසයේ එළිපත්ත පැන ගිහින්, ලිවීම පටන් ගෙනවත් නොතිබුණු, ලෝහමය ආයුධවලට වඩා ශිලා ආයුධ භාවිතය තවදුරටත් ජනප්‍රිය වී තිබුණු, වසර 6000කට එපිට යුගයට ගමන් කරන්න සිදුවෙනවා. සම්‍යක් ව්‍යවහාරය නැතිනම් චිරස්ථාපිත මතයට අනුව නම් ලෝකයේ ප්‍රථම නාගරික ශිෂ්ටාචාර බිහිවුණේ යුප්‍රටීස් හා ටයිග්‍රීස් ගංගා අතර පිහිටි සරුසාර බිම් තීරයක් වන මෙසපොටේමියාවේදි. ඒ සියළු නගර  අතරේ  මුල් නගරය ලෙස සැලකෙන්නේ උරුක් නම් සුමේරියානු (මෙසපොටේමියාව හඳුන්වන තවත් නමක්) පුරවරයයි, ඒ.  යුප්‍රටීස් නදියේ ඉවුරු මත පිහිටා තියන එම නගරය ක්‍රි.පූ. 8000දී පමණ සරු බිම් තීරුවෙන් බිහිවුණු ස්ථිර ජනාවාස අතරින් එකක් ලෙස ගොඩනැගෙන්නට ඇතැයි සැලකෙනවා. ක්‍රි.පූ. 3500වන විට එය වර්ග කිලෝමීටර 2.5ක පමණ භූමි ප්‍රදේශයක් ආවරණය කරන, බහුතරයක් දෙනා එකිනෙකා නොහඳුනන 50,000ක පමණ පිරිසකට වාසස්ථාන සපයන, සැබෑම නගරයකට පෙරළී තිබුණා.

ඔබ කාල තරණයෙන් උරුක් වෙත  යාමට සමත් වුණොත්, එය නගරයක් ලෙස හඳුන්වාවි. නාගරීකරණයේ අනිවාර්ය අංගයක් ලෙස සුවිසල් ගොඩනැගිලි හඳුන්වන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවා ඕනෑම පැරණි ගොඩනැගිලි නොවෙයි ආගමික සිද්ධස්ථාන නොවන, එකල පැවති රාජ්‍ය පාලන ක්‍රමය, ගිණුම්කරණය නිරූපණයවන පොදු ගොඩනැගිලි.

එම ගොඩනැගිලි වල කාර්යභාරය අනුව කලාප ලෙස වෙන්කෙරුණු පිහිටීමේ පැහැදිලි ‍වෙනස්කම් හඳුනාගන්න පුළුවන් – පරිපාලන ආයතන, ජනාවාස, සල්පිල් හා කසල බැහැරකරන ස්ථාන ආදිය ඒ පැහැදිලි ‍වෙනස්කම් අතරින් කිහිපයක්. නගරය වටා පවුරු ඉදිකර තිබීමෙන් හැඟවුණේ රැකගත යුතු ධනයක්   රැස්කර ඇති බවය. මීට පෙර බිහිවූ, වත්මන් තුර්කියේ පිහිටා ඇති ක්‍රි.පූ 7000ට අයත් කැටලෝයූක් ජනපදය. ඔය කිව් නිර්ණායක අනුව නගරයක් ලෙස නොසැලකෙන්නේ ඒ නිසයි.

උරුක් නගරයෙහි පැවති, පැහැදිලිව පෙනෙන එක් අඩුපාඩුවක් ලෙස විධිමත් ප්‍රවාහන පද්ධතියක් නොතිබීම දක්වන්න පුළුවන්. ඒ වනවිට බූරුවන් හීලෑ කරගෙන තිබුණත්, (මානව ඉතිහාසයේ විප්ලවීය වෙනසකට තුඩු දුන්) රෝදය සොයාගන්න හිතලවත් නැහැනෙ ඉතින්.

උරුක් නගරය, කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවූ මානවයා තම බව භෝග සහ සතුන් රැක ගැනීම සඳහා මුලින්ම ග්‍රාමීය ජනාවාස පිහිටුවාගැනීමෙන් ඇරඹුණු ක්‍රියාවලියේ අවසන් ප්‍රතිඵලයක්. මෙම ජනාවාස, කැටලෝයුක් හී දී සිදුවුණාක් මෙන්, බොහෝ විශාලව ගොඩනැගෙන්න තිබුණා. කාලයාගේ ඇවෑමෙන්, කෘෂි අතිරික්තයක් පැවතීම නිසා, පිරිසකට කෘෂිකර්මාන්තයෙන් බැහැරව ලෝහ කර්මාන්තය ආදී අනෙකුත් කර්මාන්තවල නියැලීමේ අවස්ථාව හිමිවුණා. මෙලෙස, ශ්‍රම විභජනය හෙවත් ශ්‍රමය බෙදී යාම නිසා, සෙමෙන් වුණත් නියත වශයෙන්ම නාගරික කලාප බිහිවුණේ හස්ත කර්මාන්තවලට නිපුණ පුද්ගලයන් එම හැකියාවලින් තොර පුද්ගලයන් අසල රැස්වූ නිසයි.

උරුක් නගරය සුවිශේෂී වන්නේ එය, ප්‍රථම නාගරික ජනාවාසය වීම නිසාම පමණක් නොවෙයි.  දකුණු ප්‍රදේශයට අයත් ජනතාව ප්‍රදේශය පුරාම ජනාවාස පිහිටුවීමත්, උරුක් නගරයට සමාන නගර ගොඩනැගීමත් නිසා, ක්‍රි.පූ 3400ත් ක්‍රි.පූ.3100ත් අතර මෙසපොටේමියාව සිසාරා හමා ගිය නාගරීකරණ රැල්ලේ මූලාරම්භය සැපැයුණේ උරුක් නගරය පිහිටුවීම නිසාවෙන් යයි ද පෙණී යන හෙයිනි.

නාගරිකරණය ගැන අපි හෙටත්(ඉරිදා) මුන ගැහිලා කතා කරමු

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

 

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START LIVING IN CITIES? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.