ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අප නගරවාසීන් වූයේ කවදා සිටද? II කොටස
උතුරේ බල කඳවුරු
ක්‍රි.පූ 3400ත් ක්‍රි.පූ.3100ත් අතර මෙසපොටේමියාව සිසාරා හමා ගිය නාගරීකරණ රැල්ලේ මූලාරම්භය ලෙස සැලකෙන්නේත් උරුක් නගරය පිහිටුවීම යයි ඊයේ ලිපියේ අග සඳහන් වුණා මතක ඇති.
එහෙත්, උරුක් නගරයට හිමිවී තිබුණු පිළිගැනීම, මෙතෙක් පසුගාමීයයි සැලකුණු උතුරු ප්‍රදේශවල පසුගිය දශක දෙකේ දී සිදු කළ සොයාගැනීම්වලින් අභියෝගයට ලක් වුණා. උරුක් ප්‍රදේශයට පෙර නාගරීකරණය වූ බවට පැහැදිලිවම පෙන්නුම් කරන පුරාවිද්‍යා භූමි දෙකක් දැනටමත් හමුවී තිබෙනවා. මේ ගැන බරපතල ලෙස නැවත සිතිය යුතුයයි යෝජනා කරන්න තරමට මෙම සොයාගැනිම් ඇතැම් පුරාවිද්‍යාඥයන් පොළඹවලා තියනවා.
නැගෙනහිර සිරියාවේ ටෙල් හැමොකා(Tell Hamoukar) නගරය එවැන්නක්. බටහිර රටවල පුරාවිද්‍යාඥයන් 1920 වසරේ සිටම මෙහි පිහිටීම ගැන දැනුවත්ව සිටියත් එය ලකුණු කළේ උරුක්වලින් ඇරඹී උතුරට ගමන් කළ නාගරීකරණ රැල්ලෙන් බිහිවුණු “ද්විතීක නගරයක්”හැටියටයි. නමුත් නගරයක් ලෙස උරුක් ඉස්මතු වීමට පෙරත් මේ ප්‍රදේශය නාගරීකරණයේ දියුණු අවදියක පැවති බව මෑතදී සිදුකළ කැනීම්වලින් හෙළිදරව් වෙනවා.
ක්‍රි.පූ 3700 තරම් ඈත අතීතයේදීත් හෙක්ටයාර 12ක පමණ භූමි ප්‍රමාණයක් ආවරණය කළ ටෙල් හැමොකා නගරය ආරක්ෂිත පවුරකින් වටවී තිබුණා. පවුරට ඇතුළතින් ප්‍රජා ගොඩනැගිල්ලක්යැයි අනුමාන කළ හැකි (බොහෝ දුරට යම් ආකාරයක ආපන ශාලාවක් විය හැකි) ආගමික සිද්ධස්ථානයක් නොවන, දැවැන්ත ගොඩනැගිල්ලක නටබුන් දැකගන්න පුළුවන්. විකිනුණු වෙළඳ භාණ්ඩ ප්‍රමාණය සටහන් කිරීමට තෙත මැටි හෝ “ගල් කීල”වලින් තැනූ පුවරු මත ලකුණු කොටා යොදාගත්, මුද්‍රා අච්චු (සීල්) වර්ග කිහිපයක්ම පුරා විද්‍යාඥයන්ට හමු වී තිබුණා. උරුක් වල මෙම මුද්‍රා බෙහෙවින් ප්‍රකට අතර ඒවායින් ගිණුම්කරණ පද්ධතියක පැවැතම හැඟවෙන නාගරීකරනය පිළිබඳ බලගතු සාක්ෂි සැපයෙන බවට පොදු පිළිගැනිමක් ඇත.
කරුණු කාරණා එසේ නම්, මෙයින් ක්‍රි.පූ 3700වන විට හැමොකා, නාගරික ප්‍රදේශයක කැපී පෙනෙන ලක්ෂණ රැසකට හිමිකම් කී බව තහවුරු වෙනවා. ඒත් ඒ කිසිවකින් දකුණේ බලපෑමක්, ආභාෂයක් විද්‍යාමාන වුණේ නැහැ. උරුක් ප්‍රදේශයේ නිශ්පාදනය කෙරුණු මැටි බඳුන්වලට සමාන මැටි බඳුන් මෙම ප්‍රදේශයේ ප්‍රචලිත වී ඇත්තේ ක්‍රි.පූ 3200න් පසුවයි. මෙම ප්‍රදේශ නාගරීකරණය වූවායයි සැලකෙන කාල සීමාවට අවම වශයෙන් වසර 500කටවත් පෙර සිටම, ටෙල් හැමොකාවල ප්‍රදේශවාසීන්, බොහෝවිට උරුක්හි පැවැත්ම පිළිබඳව නොදැනුවත්වම, නාගරික දිවි පෙවතකට අවතීර්ණ වන්නට ඇති බවයි මෙයින් හෙළි වන්නේ .
කාල තලාවේ අතරමන්ව
පුරාන කාලයේ නාගරීකරණය ගැන කතා කරද්දී, සිරියාවේම පිහිටි ටෙල් බ්‍රැක් නගරයට වඩාත් දීර්ඝ ඉතිහාසයක් ඇතැයි සැලකනවා. මේ භූමියේ මීටර් එකහමාරක පමණ ඝනකමින් හුතු ප්‍රාකාර සහ මැද මිදුලකට පිවිසෙන සුවිසල් වාහල්කඩක් සහිත, ඉපැරණි, දැවැන්ත ගොඩනැගිල්ලක නටබුන් දැකගන්න පුළුවන්. පුරාවිද්‍යාඥයන්ගේ මතයට අනුව මෙහි ඉතිහාසය වසර 6000ක පමණ අතීතයට දිව යනවා. කැනීම්වලදී අච්චු මුද්‍රා ද සොයා ගැනුණා. මැටි ආශ්‍රිත නිර්මාණ අධ්‍යයනය කිරීමේදී හෙළිවන්නේ යම් ආකාරයක ගිනුම්කරණ හා පරිපාලන පද්ධති පැවතුණු බවයි. එයින් කියවෙන්නේ උරුක් බිහිවීමට පෙරත් බ්‍රැක් නගරයේ වැසියන් දියුණු පරිපාලන ක්‍රමවේදයකට හුරු වී සිටිය බවයි.
පුරාවිද්‍යාඥයන් අතරින් බහුතරයකගේ මතයවන්නේ මේ සොයාගැනීම්වලින් පමණක් අවසන් නිගමනයකට එළඹිය නොහැකි යන්නයි. ඊට හේතුව දකුණු ප්‍රදේශයේ ඉතිහාසය පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු නොතිබීමයි. දකුණු මෙසපොටේමියාවේ සිඅයළු අංගවලින් සමන්විත පුරව ක්‍රි.පූ 4000ට පෙර සිටම තිබුණත්, ප්‍රමාණවත් තරමින් කැනීම් සිදුනොවීම ඊට හේතුවක් ලෙස දක්වන්න පුළුවන්. යුධ ගැටුම් සහ දේශපාලන අස්ථාවරභාවය නිසා වසර ගණනක් තිස්සේ මෙම ප්‍රදේශයේ පුරා විද්‍යා කැනීම් කටයුතු ඇනහිට තිබුණා. කැනිම් යළි ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් තව වසර ගණනකට මෙපිටින් නම් උදා වන්නට ඉඩක් නැහැ. ශිෂ්ටාචාරයේ සම්භවය පිළිබඳ ලකුණු ලෝක සිතියමෙන් මැකී යන ආකාරයකට මෙම පුරාවිද්‍යා භූමිය යළි පිළිසකර කළ නොහැකි තරමට විනාශව නොපවතීවා යන්නයි පුරාවිද්‍යාඥයන්ගේ ප්‍රාර්ථනය.
ගල් යුගයට අයත් උප නගරයක්
1958දී මුල්ම වරට හඳුනාගැනුණු අවස්ථාවේ කැටලෝයුක් පුරවරය ලෝකවාසීන්ගේ සිත් වසඟ කර ගැනීමට සමත් වුණා. හෙක්ටයාර 13ක භූමියේ ළඟ ළඟ පිහිටි ගොඩනැගිලි, 10,000ක පමණ ජනගහණයකට වාසස්ථාන සපයන්න ඇතැයි සැලකෙනවා. එය නගරයකට සමානකම් කීවත් බෙහෙවින්ම පැරණියි; පැරණිම නටබුන්වල වයස වසර 9000කට ආසන්නයි. නමුත් නියම නගරයක දකින්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයක් මෙහි දක්නට ලැබුණේ නැහැ: විවිධ ක්‍රියාකාරකම්වලට වෙන්වූ කලාප කිසිවක් එහි දක්නට නැහැ. කැටලෝයුක් හුදෙක්ම නිවාස සහ කසල ගොඩවල් විසිරුණු ආදි කාලීන නගරයක්. ජනතාව නිවසේ සිටම සියළු කටයුතුවල නිරත වූ බවයි පෙනෙන්නේ; ඔවුන් මළවුන් පවා මිහිදන් කළේ නිවසේ පොළොව යටමයි. ඇත්තටම, සැබෑම නගර බිහිවුණේ තවත් වසර 1,500ක් පමණ ගෙවුණාට පසුවයි.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START LIVING IN CITIES? පරිච්ඡේදය ආශ්‍රයෙනි.