Selfish Genes
by Richard Dawkins
ආත්මාර්ථකාමී ජාන
කතෘ: රිචඩ් ඩෝකින්ස්
කලක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාව පිළිබඳ මහජන අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය රිචඩ් ඩෝකින්ස් පරිණාමයේ මූලික ඒකකය ජාන බව පෙන්වා දෙමින් මුල් වරට 1976 දී ලියා පළ කළ Selfish Genes (ආත්මාර්ථකාමී ජාන) නමැති පොත අදටත් සැලකෙන්නේ ජාන වේදය මහජනතාවට හඳුන්වා දීමට ලියූ විශිෂ්ටතම විද්‍යා කෘතියක් ලෙසටයි . දැන් ඒ පොත මෙසේ සැකෙවින් කියවමු.
ආත්මාර්ථකාමී ජාන
සැකෙවින් කියවමු.
1. පරිණාමය මෙහෙයවන්නේ හැකියාවල විවිධත්වය සහ සම්පත් වල සීමිත කම මතයි.
මීට අවුරුදු බිලියන 3.5 කට පමණ පෙර ජීවයේ(organism) ප්‍රථම සරල ස්වරූපය පෘථිවියේ එක්තරා මූලාකෘතික අණුක සූපයක් (primordial soup of molecules) තුළ බිහි වුණා. ස්වරූපයෙන් නම් එම ප්‍රථම ජීවය ද අර අණුක සූපයේ තිබූ තවත් එක්තරා ආකාරයක අණුවක්(molecule)පමණයි. එහෙත් වෙනස, සූපය තුල තිබූ අනෙකුත් අණුවලට නො තිබුණු හැකියාවක් එනම් තමාගේ ම අනුපිටපත් ඇති කිරීමේ හැකියාව ඒ සුවිශේෂ අණුවට තිබීමයි. වෙනත් අන්දමකින් කිවහොත් ඒ අණුව අනුපිටපත් ප්‍රජනනය කරවන ස්වයං රිප්ලිකේටරයක් (replicator). පාරිභාෂික වචනයකින් කිව්වොත් මෙවැනි රිප්ලිකේටරයක් හඳුන්වන්නේ ප්‍රතිවලකය යන නමින්.
රිප්ලිකේටර අණුවක් නැත්නම් ප්‍රතිවලක අණුවක් (replicator molecule) යනුවෙන් හඳුන්වන්නේ ඇත්තටම කුඩා සාධන ඒකක (building blocks) වලින් යුත් දිගු දාමයක්. උදාහරණයකට අපි භාෂාවක එන වචනයකට ප්‍රතිවලක අණුව සමාන කළොත්, අර කී සාධන ඒකක හරියට ඒ වචනය හැදිල තියෙන අකුරු වලට සමාන කරන්න පුළුවන්. මේ කියන ප්‍රතිවලක අණුව කලින් කී අන්දමට සිය අනුපිටපත් තනන්නේ අනෙකුත් සාධන ඒකක නැත්නම් “අකුරු” ආකර්ෂණය කරගැනීමෙනුයි.
මේ අනුව අර මූලාකෘතික අණුක සූපයේ තිබුණු අනෙක් අණු වලට වඩා ප්‍රතිවලක අණුවලට නිරායාසයෙන්ම වාසිදායක තත්වයක් ඇති වුණා. ඊට හේතුව අනෙකුත් අණුවලට නොතිබුණු ඒ අනුපිටපත් තැනීමේ හැකියාව නිසා ප්‍රතිවලක අණු අනෙකුත් අණු වලට වඩා සංඛ්‍යාවෙන් ඉහළ යාමයි.
එහෙත් මේ කියන අනුපිටපත් කිරීමේ ක්‍රියාවලියේ දී ඇතැම් ප්‍රතිවලක අණු අතින් වැරදීම් ද සිදු වුණා. එහි ප්‍රතිපලය වූණේ එසේ වැරදියට පිටපත් වුණු ඇතැම් දුහිතෘ ප්‍රතිවලක වල සැකැස්ම මව් ප්‍රතිවලක වල සැකැස්මට වඩා අල්ප වශයෙන් හෝ වෙනස් වීමයි. මෙසේ ඇති වූ ඇතැම් නව සැකැසුම් නිසා සිය මව් ප්‍රතිවලක වලට වඩා නිවැරදිව හෝ වේගයෙන් හෝ සිය අනුපිටපත් බිහිකිරීමට සමහර දුහිතෘ ප්‍රතිවලක වලට හැකිවුණා. ඒ නිසා මෙකී දුහිතෘ ප්‍රතිවලක වලට ඇතැම් විට තරඟකාරී ලෙස මව් ප්‍රතිවලක අභිබවා ගිය හැකි වාසි ඇති වුණා.
මෙලෙස ඒ මූලාකෘතික අණුක සූපයේ තිබූ (finite) සාධන ඒකක සැපයුම අසීමිත එකක් නොවේ. ඒ නිසා ප්‍රතිවලක නිපදවීමට යොදා ගැනීමෙන් ම සම්පූර්ණයෙන් පාහේ ඒවා වැය ව ගියා.
මේ සංකල්ප දෙක – එනම් දෘහිතෘ ප්‍රතිවලක අණුවල සිදු වූ හැකියා වෙනස්කම් සහ සාධන ඒකක වැයවීම වැනි සම්පත් සීමිතවීමේ වාතාවරණයක් ඇතිවීම – කිසියම් ජෛව ගහණයක් තුළ පරිණාමය යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන ක්‍රියාවලිය සිදුවීමට මූලික වශයෙන් ම අවශ්‍ය වන සාධකයි.
මෙසේ අනුපිටපත් කිරීමේ ඇතැම් වැරදීම් සිදුවීම නිසා බිහිවුණු සමහර ප්‍රතිවලක වලට අනෙක් ප්‍රතිවලක වල නොතිබූ වඩා වාසිදායක නව ලක්ෂණ ඇති වුණා. උදාහරණයක් වශයෙන් ඇතැම් ප්‍රතිවලක වලට ඇති වූ නව ලක්ෂණයක් වුණේ අනෙකුත් ප්‍රතිවලක කඩා බිඳ දමමින් ඒවායේ තිබූ සාධන ඒකක ඩැහැගෙන ඒවා සිය අනුපිටපත් කිරීමේ කටයුතු වලට යොදා ගැනීමේ හැකියාවයි. මෙය ප්‍රථම වරට මෙලොව ජෛව ගහණයක ඇති වූ මාංශ භක්ෂණ හැකියාවයැ’යි ද කිව හැකියි.
මෙලෙස නව ප්‍රතිවලක ප්‍රභේදන (variations) ඇති වීමෙන් සහ ඒ අතරින් වඩාත් ප්‍රයෝජනවත් ලක්ෂණ සහිත ප්‍රතිවලක වඩ වඩා ප්‍රවර්තනය (survival) වීමෙන් හෙවත් සිය පැවැත්ම නොනැසී තහවුරු කරගැනීමෙන් අද අප දක්නා ජෛව විවිධත්වය ඇති කිරීමට පාදක වූ සංකීර්ණ ප්‍රාථමික ජෛව ආකෘති බිහි වුණා. ඇත්තටම පරිණාමය මෙහෙයවනු ලබන්නේ මෙලෙස සම්පත් සීමිත වීම තුළ ජීවීන්ට වෙනස්වන හැකියාවන් ඇතිවීම නිසයි.
2. පරිණාමයේ මූලික ඒකකය වන්නේ ජානයයි. ජාන වලට බහු අනුපිටපත් වශයෙන් ප්‍රවර්තනය විය හැකියි. එනිසා ම ජාන ආසන්න වශයෙන් අමරණීය යැ’යි සැලකිය හැකියි.
පරිණාමය සිදු වන්නේ ආන්තර ප්‍රවර්තනය (differential survival) අනුවයි. ආන්තර ප්‍රවර්තනය යනුවෙන් මෙහිදී අප හඳුන්වන්නේ එකිනෙකට වෙනස් හැකියාවලින් යුත් සාමාජිකයන් සහිත ජෛව ගහණයක සාමාජිකයන් අතරින් වැඩි ප්‍රවර්තන හැකියාවක් නොහොත් දිගු කාලීන පැවැත්මකට ශඛ්‍යතාව ඇති අය ව්‍යාප්ත වන අතර අනෙකුත් අය වඳවී යාමයි. කෙසේ වෙතත් පරිණාමය ක්‍රියාත්මක වීමේ මූලික ඒකකය වන්නේ ඇත්ත වශයෙන් ම ජීවියා නොව ජානයි. ජාන යනු අපේ පෘථිවියේ ජෛවීය පදනම වන ප්‍රතිවලක අණුව හෙවත් ඩීඑන්ඒ (DNA) වල මූලිකාංගයි.
තනි තනි ජීවින් අතින් සිදුනොවන වැදගත් කාරණයක් ජාන විසින් ඉටුකරනු කරනු ලබනවා. මන්ද ජාන යනු තනි ජීවීන් මෙන් තමන්ටම විශේෂිත අනන්‍යතාවක් ඇති හුදකලා ඒකක නොවේ. එබැවින් එකම ජානවලට එක සමාන අනු පිටපත් වශයෙන් ඒවාට විවිධ අනන්‍යතා ඇති සිරුරු තුළ පැවතිය හැකියි. ඒ අනුව උදාහරණයක් වශයෙන් නිල්පැහැති ඇස් සහිත සියලු මිනිසුන්ගේ සෛල තුළ නිල් ඇස් සඳහා වන අදාල ජානයේ අනුපිටපත් අඩංගු වෙනවා. ජාන වලට එසේ අනුපිටපත් ලෙස පැවැතිය නමුත් බොහෝ ජීවීන්ට ඒ අන්දමින් එක සමාන අනුපිටපත් ලෙස ප්‍රතිවලිත වීමට නොහැකියි. මෙයට හේතුව ලිංගික ප්‍රජනනය යනු හුදු අනුපිටපත් නිපදවීමක් නොව මව් පිය දෙදෙනාගේ ම ජානමය සැකැසුම් මුසු කිරීම මගින් තමන්ටම අවේනික වූ විශේෂ අනනන්‍යතාවයක් ඇති නව පුද්ගලයෙකු නිර්මාණය කිරීමක් වීමයි.
අනුපිටපත් වශයෙන් පැවතීම ම ජාන බෙහෙවින් අමරණීයත්වයට සමීප කරවයි. මන්ද තනි ජීවියෙකුට උපරිම වශයෙන් දශක කිහිපයක ජීවිත කාළයක් තිබිය හැකි නමුත් ජාන වලට එක සමාන අනුපිටපත් වශයෙන් අවුරුදු මිලියන ගණනාවක පැවැත්මක් තිබීමට හැකිවීමයි. ඔබේ මුතුන් මිත්තන් මිය ගොස් වසර සිය දහස් ගණනක් ගත වුනත් ඔවුන්ගේ ජාන වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඔබේ සිරුර තුළ තියෙනවා. අඩුම වශයෙන් ඒ ජානවලින් කිහිපයක් වත් ඔබෙන් පැවත එන්නන් විසින් උරුම කරගනු ලැබේ වි.
ජානවල මෙකී බහුවිධතාව සහ අමරණීයත්වයට සමීප වීමට ජාන වලට ඇති ශඛ්‍යතාව පරිණාමය ක්‍රියාත්මක කිරීමේ ලා වඩාත් සුදුසු ම අපේක්ෂකයා බවට ජාන පත් කර තිබෙනවා. කොටින් ම අනුපිටපත් රාශියක් වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට සංක්‍රමණය වීමට ඇති හැකියාව නිසා ජාන යනු පරිණාමයේ මූලික ඒකකය වශයෙන් සැලකිය හැකියි.
3. සියලු අර්ථයෙන්ම ජාන ආත්මාර්ථකාමීයි. ජානයක පැවැත්ම සාර්ථක වන්නේ අනෙකුත් ජාන අබිබවා යාමෙනි.
ජානයක් ආත්මාර්ථකාමීය. ජානයක් කටයුතු කරන්නේ අනෙකුත් තරඟකරුවන් මැඩ ලමින් තමන්ගේ පැවැත්ම ප්‍රවර්ධනය කිරීමේ අධිෂ්ඨානයෙනි. අප එසේ සඳහන් කළත් මතක තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ ජාන වලට තමන්ගේ ම වූ සවිඥානික චේතනා නොමැති බවයි. අප මෙහි දී බැලූ බැල්මට ආත්මාර්ථකාමී යැයි සඳහන් කරන්නේ ජාන වල එකී අචේතනික හැසිරීමයි. ඒ සමානව සුවිශේෂ පාරිසරික තත්ත්වයන්ට උචිත ලෙස ජීවීන් අනුවර්තනය කිරීමට පරිණාමීය ක්‍රියාවලිය පෙලඹෙන බව පෙනී ගියද එයද සවිඥානික ව අරමුණු කරගත් දෙයක් නොවේ.
ජාන ආත්මාර්ථකාමීයැ’යි පෙනෙන්නේ මන්දැ’යි දැන ගැනීමට ජාන පවතින්නේ කිනම් ආකාරයක භෞතික පරිසරයකදැ’යි වටහා ගත යුතුයි. ජාන පවතින්නේ ක්‍රොමොසෝම් යනුවෙන් හැඳින්වෙන පැකේජ නොහොත් සංචයන් වශයෙන්. මේ ක්‍රොමොසෝම් පිහිටා ඇත්තේ ජීවියා සැදී ඇති එක් එක් සෛලය තුලයි. ක්‍රොමොසෝම් පවතින්නේ යුගල වශයෙනුයි. මනුෂ්‍යයන්ට ක්‍රොමොසෝම් යුගල 23 (සම්පූර්ණ ක්‍රොමොසෝම් ප්‍රමාණය 46ක්) තිබෙනවා. ක්‍රොමොසෝම් යුගලයක ඇති ක්‍රොමොසෝම් දෙකටම ඇත්තේ එක හා සමාන ව්‍යුහයක්. ඒ අනුව එක ක්‍රොමොසෝමයක ඇස් වල වර්ණය නිර්ණය කරන ජානය පිහිටා ඇති තැනමයි එම යුගලයේ අනෙක් ක්‍රොමසෝමයේ ඊට අනුරූප ජානය පිහිටන්නේ. පිහිටීම අතින් සමාන වුණත් ඒ ජාන දෙකම එකම මාදිලියකට (version) අයත්යැ’යි ඉන් හැඟවෙන්නේ නැහැ. ඉන් එක ජානයක් නිල් පැහැති ඇස් වලට අදාල වන අතර අනෙක දුඹුරු පැහැති ජාන වලට අදාළ වෙන්නට පුළුවන්. එසේ එකම ලක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියාකරන එහෙත් මාදිලි වශයෙන් එකිනෙකට වෙනස් ජාන වලට අප කියන්නේ ඇලීල (alleles) කියලයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇස්වල වර්ණයට අදාල ජානයේ ඇලීල කිහිපයක් ම තියෙනවා. මෙසේ වෙනස් වෙනස් ඇලීල ක්‍රොමොසෝමයේ එකම ස්ථානය අල්ලා ගැනීමට තැත්කරන බැවින් ඇලීලයක් විසින් උරුම කරගන්නා ඕනෑම ප්‍රවර්තන වාසියක් අනවරතයෙන්ම ආත්මාර්ථකාමී යැයි කිවහැක. මන්ද එමගින් ඒ හා සමාන අනෙක් ඇලීල මාදිලිවල පැවැත්ම හෙවත් ප්‍රවර්තන හැකියාව අවම කරවන බැවිනි.
4. ජානයක රූපානුදර්ශය (phenotype) හෙවත් ජානයේ කේත පරිසරයේ ප්‍රායෝගිකව ප්‍රකාශවන ආකාරයට අනුකූලව ජානයේ ප්‍රවර්තනය හෙවත් දිගු කාලීන පැවැත්ම තීරණය වෙනවා.
ශාරීරිකව ගත්තොත් ජාන වල මූලික හැඩය බොහෝ දුරට එක හා සමානයි. ඒවා හැම එකක් ම එකම ඩීඑන්ඒ (DNA) වල කුඩා කොටස්. එහෙත් ජාන එකිනෙකට වෙනස්. ඒ වෙනස පිළිබිඹු වෙන්නේ එක් එක් ජානය විසින් විවිධාකාර ලෙස තොරතුරු ආකේත (encode)කරගැනීමෙනි. මූලික වශයෙන් ඩීඑන්ඒ යනු A,T,C සහ G යන අකුරු වලින් හැඳින්වෙන හතර වර්ගයක අණු හෙවත් මොලෙක්‍යුල යොදා ගෙඩ නගන දිගු අණුක දාමයක්. මේ සතර අකුරෙන් කියවෙන අණු විවිධ ලෙස ජානය තුළ පෙළ ගස්වා ගැනීමයි ආකේත කරගැනීම යනුවෙන් අප හඳුන්වන්නේ. හරියටම ඉංග්‍රිසි භාෂාවේ එන හැම වචනයක්ම ඉංග්‍රිසි හෝඩියේ ඇති අකුරු 26 යොදා හදා ගන්නවා හා සමානව මේ අකුරු හතරෙන් හැඳින්වෙන අණු හතර කුඩා සාධන ඒකක වශයෙන් විවිධාකාරයෙන් යෙදීමෙන් නොයෙක් ආකාරයේ ඩිඑන්ඒ අනුපිළවෙලවල් (DNA sequences) සකසා ගන්නවා. එසේ සැකසෙන විවිධ ඩිඑන්ඒ අනුපිළවෙලවල් මගිනුයි ජීවියෙකු සතු එකිනෙකට වෙනස් සෑම ලක්ෂණයක්ම විස්තර කෙරෙන්නේ.
එසේ ජීවියෙකුගේ දේහය කෙසේ සැකැසිය යුතුද යන උපදෙස් වලට පරිවර්තනය වන්නේ අර ඩිඑන්ඒ අනුපිළිවෙළ සමන්විතවන ජාන වල අඩංගු ව ඇති සුවිශේෂ කේතයි(code). මේ කේත වල ඇති වෙනස් කම් ජීවියාගේ දේහ ලක්ෂණ වශයෙන් පිළිබිඹු වෙනවා. මෙසේ ඇතිවන ඇතැම් වෙනස් ගති ලක්ෂණ තරඟකාරී තත්ත්වයන් යටතේ ජීවියාගේ දිගු පැවැත්ම හෙවත් ප්‍රවර්තනය සහතික කරණ වාසි වශයෙන් සැලකිය හැකිය. උදාහරණයක් වශයෙන් ගත හොත් දිගු කකුල් තිබීම ඇන්ටිලොප් මුවෙකුට ප්‍රවර්තන වාසියකි. හඹා එන චීටාවෙකුගෙන් ගැලවීම පිණිස දිගු කකුල් තිබීම අතිශයින් ප්‍රයෝජනවක් ය. එසේ දිගු කකුල් තිබීම නිසා චීටාවෙකුගෙන් ගැලවී පලායන ඇන්ටිලොප් මුවෙකුට දාරකයන් බිහිකිරීමට හැකිවන තෙක් ජීවත් වීමට ඇති හැකියාවද වැඩිය. එම දාරකයන් බිහිවන්නේ දෙමව්පියන් විසින් උරුම කර දෙනු ලබන දිගු කකුල් කේතනය කළ විශේෂිත ජානයේ පිටපත් සහිතවයි. ඒ අනුව ඇන්ටිලොප් දේහයේ සඵලත්වය තහවුරු කරන එම විශේෂිත ජානයේ පැවැත්ම පරපුරින් පරපුරට යන උරුමයෙන් තව තවත් ප්‍රවර්තනය වෙයි. දිගු කකුල් ඇතිවීම වැනි ජානයේ එබඳු විශේෂිත දේහාත්මක ප්‍රකාශවීම් හඳුන්වන්නේ රූපානුදර්ශ (phenotype) යනුවෙනුයි.
කෙසේවෙතත් ජානවල බලපෑම යනු හුදෙක් ජානය දරා සිටින දේහයට පමණක් ම සීමා වූවක් නොවේ. උදාහරණයක් වශයෙන් ගතහොත් වයිරස් ජානයට එය සතු අනන්‍ය දේහයක් නොමැතිය. එනිසා වයිරස් ජාන වල අඩංගු වන කේත සිය බලපෑමට නතු කරගන්නේ වයිරසය නිසා ආසාදනයට ලක්වන ධාරක දේහයේ (host body)සෛලයි. උදාහරණයක් වශයෙන් ආසාදිත ධාරක දේහයක් ලවා කිවිසුම් ඇරවීමට වයිරසයකට හැකිය. එ් කිවිසුම මගින් ආසාදනය වෙනත් දේහවලට ද පැතිරෙන අතර එමගින් එකී වයිරස් ජානවල පැවැත්ම හෙවත් ප්‍රවර්තනය තහවුරු කරයි. ජානයක රූපානුදර්ශය එනම් එහි සංගෘහිත කේත පරිසරය හමුවේ ක්‍රියාකාරී ලෙස ප්‍රකාශයට පත්වන ආකාරය අනුව ජානයේ ප්‍රවර්තනය තීරණය වෙයි.
5. ජානයක ප්‍රවර්තන හැකියාව එයට සුවිශේෂ වූ කායික හා ප්‍රවේණික පරිසරය මත තීරණය වෙයි.
වන ගහනයක සැඟව වසන් වී සිටීමට උදව්වන කලු පුල්ලි වැටුන කහ සමක් සහිත කොටියෙකුගේ පෙනුම සුදෝ සුදු හිම තලයක වෙසෙන හිම වලසෙකුට කිසිසේත් ම සුදුසු නොවේ. මන්ද මේ සතුන් දෙදෙනො ජීවත් වන්නේ දෙයාකාරයක පරිසරවල නිසයි. කොටියෙකුගේ පෙනුම මෙහෙයවන ජාන ඌට හිම පරිසරයක් තුල ප්‍රවර්තනය වීමට ඇති හැකියාව අවම කරයි.
ජාන වලට බලපාන්නේ අවට පරිසරය පමණක් නොව ජානය අවට ඇති ජාන ද එනම් එකම ජාන කිටුවකට (gene pool) හෙවත් ජාන සංචිතයකට අයත් සත්ව විශේෂයක සියලු ආකාරයේ ජාන විවිධත්වයන් හෙවත් අලීල (allele) ද බලපායි. මෙයට ඇතැම් සත්ව විශේෂ වලට පමණක් ඇති පියාපත්, මාංශභක්ෂක උල් දත් වැනි සුවිශේෂ ශරීරාංග නිර්ණය කරන ජාන මෙන්ම බොහෝ සත්ව විශේෂ වලට පොදුවේ පවතින ජාන ද ඇතුළත්ය.
කෙතරම් ප‍්‍රයෝජනවත් විය හැකි වුවද ජානයක සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ එම ජානය අයත් ජාන සංචිතයේ ඇති අනෙකුත් ජාන වල ක්‍රියාකාරීත්වය මතය. උදාහරණයක් වශයෙන් මාංශභක්ෂක සත්ව විශේෂයක දිගු උල් දත් නිර්ණය කරන ජානයක් ශාකභක්ෂක සත්ව විශේෂයක ජාන සංචිතයකට හඳුන්වා දීමට තැත් කළොත් එය බොහෝ විට සාර්ථක නොවේ. ඊට හේතුව එම ජාන සංචිතය තුළ සාමාන්‍ය මාංශ භක්ෂකයෙකුගේ පැවැත්ම තහවුරු කිරීම අවශ්‍ය කරන මාංශ දිරවීමට හේතුවන ජාන වැනි අත්‍යවශ්‍ය ජාන නොතිබීමයි.
ජීවියෙකුගේ පුද්ගල මට්ටමෙන් ගත්තොත් නිරන්තරයෙන්ම ලිංගික ප්‍රජනනය යනු දෙමව්පියන්ගේ ජාන මුසුවන ක්‍රියාවලියකි. මේ ජාන මුසුවීම මගින් සත්ව විශේෂයක බිහිවන සෑම සාමාජිකයෙකුම අවසාන වශයෙන් තමන්ට ම ආවේනික අලීල කට්ටලයක් උරුම කරගනී. මේ අතරින් ඇතැම් අලීල සංයෝජන අනෙක් ඒවාට වඩා වාසි ගෙන දෙයි. උදාහරණයක් ලෙස දිග අත්තටු ඇතිකරන අලීලය සමග දිගු පශ්චාත් පිහාටු වලට හේතුවන අලීලයද ඇති පක්ෂි වර්ගයකට දේහය සමබර කරලනිමින් අන් පක්ෂීන්ට වඩා වැඩි වේගයකින් පියාසර කර හැකිය. එහෙත් එම අලීල දෙකෙන් එකක් පමණක් ඇති පක්ෂියෙකුට පියාසැරියේදී සමබරතාවය පවත්වාගෙන යාමට අපහසු නිසා අඩුවේගයෙන් පියාසර කිරීමට සිදුවනු ඇත. මේ අවස්ථාවෙදී එකිනෙක අලීලයේ සාර්ථකත්වය පවතින්නේ අදාල අනික් අලීලයත් එම ජාන සංයෝජනයට අඩංගු වේ නම්ය. එනිසා ජානයක දිගුකාලීන පැවැත්ම හෙවත් ප්‍රවර්තනය සාර්ථක වීම එහි ශාරීරික මෙන්ම ප්‍රවේණික වාතාවරණය මත ද රඳා පවතින දෙයක්.
6. ජීවියෙක් යනු ප්‍රජනක යාන්ත්‍රණයක (reproductive mechanism)හවුල් කාරයන් වීම නිසාම පමණක් එකමුතුව කටයුතු කරන ජාන සමූහ විසින් ගොඩනගන ලද යන්ත්‍රයකි.
ජාන එය අයත්වන ජීවියාගේ ශක්තිය, වේගය, පෙනුම ආදි ගතිලක්ෂණ වලට කෙලින්ම බලපායි. මේ බලපෑම් ජීවියාට වාසියක් නම් බොහෝ විට ජීවියා ඒ වාසිදායක බලපෑමට හේතුවන ජානයේ අනුපිටපත් සහිත දාරකයන් බිහිකරයි. ඒ අනුව එකී ජානයද පරපුරින් පරපුරට ප්‍රවර්තනය වෙයි.
කෙසේ වෙතත් තනි ජානයකට පමණක් ජීවියෙකු බිහි කළ නොහැකිය. මිනිස් සිරුරක් වැනි අතිශයින් සංකීර්ණ දේහයක් ගොඩ නැගීමට ජාන දහස් සංඛ්‍යාත ගණනක් අවශ්‍යයයි. එහෙත් ආවේනික වශයෙන්ම ජාන ආත්මාර්ථකාමී වේ නම් එකි නෙකා අතර සහයෝගයෙන් එවැනි සකීර්ණ දේහ ගොඩ නැගිය හැකි ද?
මෙයට පිළිතුර වන්නේ එකම ප්‍රජනක යාන්ත්‍රණයක හවුල් කාරයින් වීම නිසා තනි ජීවියෙකු තුළ අඩංගු ජාන සියල්ල ම එකම අරමුණකින් – එනම් එකී ජීවියාගේ ඩිම්බ හෝ ශුක්‍රාණු වල නිෂ්පාදන හා ප්‍රවර්තන හැකියාව උපරිම කිරීමට – කටයුතු කරන බවයි. කෙසේ වෙතත් පටිපණුවන් වැනි ඇතැම් පරපෝෂිතයන් ධාරක ශරීරයක වාසය කළද ඒ නිසා පටිපණු ජාන ධාරකයාගේ ජාන හා සහයෝගයන් ක්‍රියා නොකරයි. මන්ද, පටිපණුවාත් ධාරකයාත් එකම ප්‍රජනක යාණ්ත්‍රණයක හවුල් කාරයින් නොවන බැවිනුයි.
සමස්ත ජීවියෙක් ලෙස ඇත්ත වශයෙන් ප්‍රකාශයට පත් වෙන්නේ ජාන අතර ඇති සහයෝගතාවය එනම් ඒවායේ රූපානුදර්ශන (phenotype) වල සමස්ත එකතුවයි. මූලිකව ජාන තමන් වටා යන්ත්‍රයක් එනම් ජීවියා ගොඩ නගයි. මේ යන්ත්‍රය එකී ජාන වල අනු පිටපත් සහිත දාරකයන් නිපදවමින් අර කී ජාන වල ප්‍රවර්තනය දිගටම පවත්වාගෙන යයි.
තම පැවැත්ම සඳහා ජාන මේ අන්දමින් සහයෝගයෙන් ක්‍රියාකරන නමුත් ඒ අයරින් ම තනි තනි ජීවීන් තම කණ්ඩායම තුළ එකිනෙකා අතර සහයෝගයෙන් කටයුතු කරනු ඇතැ’යි අප බලා පොරොත්තු නොවිය යුතුයි. මන්ද ඔවුන් ගේ ජාන එකම පොදු ප්‍රජනක පද්ධතියකට බද්ධ වී නැති නිසයි. ඒ වෙනුවට කණඩායම තුළ වෙසෙන හැම සාමාජික සත්වයෙක්ම තමන්ගේම ඩිම්බ හෝ ශුක්‍රාණු නිපදවීම හා ප්‍රවර්තනය කරවීම පිණිස සිය ජාන වල බලපෑමට අනුව කණ්ඩායමේ අනිකුත් සාමාජිකයන් සම්බන්ධයෙන් ආත්මාර්ථකාමීව කටයුතු කළ යුතුය. එහෙත් මෙය හැම විටම පොදු දෙයක් නොවෙයි. පසුව, පරාර්ථකාමීත්වය නමැති සංකල්පය ගැන කථා කරන විට අපි ඒ ගැන තවදුරටත් විමසා බලමු. මතක තබාගත යුතු කරුණ වන්නේ ජාන සමූහ වල සහයෝගයෙන් ජීවියෙකු ගොඩ නැගීමට ඇති එකම හේතුව ඒ සියලු ජාන එකම ප්‍රජනික යාන්ත්‍රණයක හවුල්කරුවන් වීමයි.
7. ජාන තමන් විසින් ගොඩ නගනු ලබන මොළ ද ක්‍රමලේඛනය (program) කරන්නේ ජාන වල ප්‍රවර්තනය තහවුරු කිරීමට උදව්වන හැසීරීම් රටාවන් ද අඩංගු කරමින්.
එක ජානයක රූපාදර්ශය(phenotype), එනම් උදාහරණයක් වශයෙන් දිගු කකුල් ඇතිවීම, අනෙක් රූපාදර්ශ වලට වඩා සාර්ථක බව ඔප්පු කිරීමට පරම්පරා ගණනාවක් ගතවීමට හැකියි. කෙසේ වෙතත් ජාන විසින් ගොඩනගනු ලබන සිරුරු වල පැවැත්ම තහවුරු කිරීමට නම් කෑම, සටන් කිරීම හෝ සැණෙකින් පලායාම වැනි පාරිසාරික උත්තේජන වල දී වේගයෙන් ප්‍රතිචාර දැක්වීමට එම සිරුරු වලට හැකිවිය යුතුයි. මෙය පහසු කරවීම පිනිස සැණෙන් වෙනස් වන වාතාවරණයන්ට ප්‍රතිචාර දැක්වීමට ජීවීන්ට ඉඩ සලසන මොළ ජාන විසින් ගොඩ නගනු ලබයි. වෙනස්වන වාතාවරණයන්ට ජීවීන් දක්වන එකී ප්‍රතිචාර අප හඳුන්වන්නේ “චර්යාව” යන නමින්.
සාමාන්‍යයෙන් ස්වාභාවික පරිසරයක් තුළ එකිනෙකට වෙනස් අවස්ථා අපරිමිත සංඛ්‍යාවක් ඇතිවිය හැකියි. එනිසා කිසිදු ජීවියෙකුට ඒ සෑම අවස්ථාවක් සඳහා ප්‍රතිචාර දැක්වීමේ සූදානමක් කල්තියා ඇති කර ගැනීම අපහසුය. ඒ වෙනුවට සිදුවන්නේ කිසියම් නියාමයන් මගින් චර්යා රටා මෙහෙයවීමයි. පරිගණකයක ක්‍රමලේඛ (program)අඩංගුව ඇති ආකාරයට අනුරූපව මේ නියාම ද අදාළ ජානය විසින් ම ආකේතනය (encode) කරනු ලැබ තියෙනවා. උදාහරණයක් වශයෙන් ගතහොත් ජීවියෙක් දිවට රස දේවල් ඉෂ්ටඵලයක් ලෙස සැලකීමත් එකී ඉෂ්ටඵලය ලබා ගැනීම ඉටු කර ගත හැකි චර්යා යළි යළිත් අනුගමනය කිරීමත් එවැනි ජානගත නියාම දෙකක් විය හැකියි.
එහෙත් මෙවැනි නියාම පදනම් කරගත් ක්‍රමලේඛනය කිරීම් වල ඇති ගැටලුව නම් ජීවියා ජීවත්වන වාතාවරණය අත්‍යන්ත ලෙස වෙනස් වන හැමවිටම ඊට උචිතව අනුවර්තනය වීමට එකී නියාම වලට ඇති අපහසුවයි. දිවට රස දැනෙන දේවල් වලට ආකර්ෂණය වීම ජානයක ක්‍රමලේඛනය කර තිබීම දඩයමින් වනඵල එකතු කිරීමෙන් සිය පැවැත්ම රැකගත් කය වෙහෙසා වැඩ කළ මනුෂ්‍යයින්ට ප්‍රවර්තන ආධාරකයක් වූවත් අද වැනි කැලරි වලින් බෙහෙවින් පොහොසත් ලෝකයක එය කයේ ස්ථුලතාව පිලිබඳ වසංගතයකට හේතු විය හැකිය.
එවැනි යල්පැනගිය නියාම නිසා ඇතිවිය හැකි අවාසි අවම කිරීමට නැණවත් ජීවීන්ට යොදා ගත හැකි විධි ක්‍රමදෙකක් තිබෙනවා. එනම් ඉගෙන ගැනීම (learning) සහ සමාකරණයයි (simulation). ඉගෙන ගැනීම යන්නෙන් අදහස් කරන්නේ කිසියම් ක්‍රියාවක් ඉටුකර එය හොඳ දැයි අත්හදා බලා එහි සඵලදායකත්වය මතක තබා ගැනීමයි. එහෙත් සමාකරණය යනුවෙන් හඳුන්වන්නේ ඇත්තටම එවැනි ක්‍රියාවක් කිරීමට පෙර එම ක්‍රියාවෙන් ඇතිවිය හැකි ඵලය කල්තියා සිතින් නිරූපකරණය(modelling) කොට තක්සේරු කර බැලීමයි. සමාකරණය කිරීමේ දී ඇත්ත වශයෙන්ම අදාල ක්‍රියාව ප්‍රායෝගිකව කිරීම අවශ්‍ය නොවන බැවින් ඇතැම් විට ක්‍රියාව නිසා ඇති විය හැකි අන්තරාදායක තත්ත්වයන්ට මුහුණ දීමට ද සිදු වෙන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් ගිරිමුදුණකින් බිමට පැනීම හොඳ වැඩක් නොවේ යන්න කල්තියා දන්නා ජීවියෙකුට ගිරිමුදුණින් පැන එය අත්දැකීමෙන් වටහා ගැනීමට සිදුවන ජීවියෙකුට වඩා ප්‍රවර්තන ශඛ්‍යයතාවයක් තිබෙනවා. මතක තබා ගත යුතු කරුණ වන්නේ ජාන වල පැවැත්ම සඳහා අවශ්‍යවන උපායමාර්ග ජාන තමන් විසින් නිපදවන මොළවල ක්‍රමලේඛනය කරනු ලබන බවයි.
8. ජීව ගහණයක හැසීරීම් රටා ස්ථාවර වන්නේ එම ජීවීන් විසින් යොදා ගන්නා උපාය මාර්ග අතර ඇති තරඟකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙසයි.
එකම සත්ව විශේෂයක සාමාජිකයෝ තමන්ට අවශ්‍ය සම්පත් සඳහා සෘජු ලෙස එකිනෙකා හා තරඟ කරනවා. මේ තරඟකාරීත්වය සාමාජිකයන් අතර සිදුවන දරුණු ගැටුම් දක්වා යොමු විය හැකිය. මේ ගැටුම් සාමාන්‍යයෙන් බියෙන් පලායාමේ සිට මරණය දක්වා සටන් කිරීම වැනි විවිධ චර්යා උපායමාර්ග මගින් විසඳා ගනු ලබනවා.
ජීවියෙකුගේ අනෙකුත් ගති ලක්ෂණ මෙන්ම හැසීරීම් උපායමාර්ග ද බොහෝ විට විවිධාකාර විය හැකියි. ඒ අතරින් සමහරක් චර්යා අනෙකුත් චර්යා වලට වඩා ජීවියා මෙන් ම ජීවියාගේ ජාන ද ප්‍රවර්තනය කිරීමට උපකාර වෙනවා. ජාන වල සාර්ථකත්වය එහි පරිසරය මත තීරණය වනවා මෙන්ම ජීවියෙකුගේ හැසීරීම් උපාය මාර්ග වල සාර්ථකත්වය තීරණය වන්නේ ගමා ජීව්තවන පරිසරයේ වෙසෙන අනෙකුත් සියලු ජීවීන්ගේ චර්යා උපාය මාර්ග වලට අනුවයි.
මේ සම්බන්ධයෙන් උදාහරණයක් වශයෙන් ගැටුමක දී පක්ෂි ගහණයක් විසින් උපයෝගි කරගනු ලබන පහත සඳහන් උපාය මාර්ග සලකා බැලිය හැකියි.
1. පහර දීමක දී පලායන පරෙවියන්;
2. තමන්ට දරුණු ලෙස තුවාල සිදු වන තෙක් නොකඩවා ආක්‍රමණශීලී ව සටන් වදින උකුස්සන්;
3. පහර වදින තෙක් පරෙවියන් ලෙස හැසිරෙන නමුත් පහරක් වැදීමෙන් පසු උකුස්සන් මෙන් එකට එක ප්‍රතිචාර දක්වන පක්ෂීන්.
පරෙවි රංචුවකට කඩා වදින උකුස්සෙකුට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක්කේ පරෙවියන් උකුස්සාට එරෙහිව නැගී නොසිටින බැවිනි. ඒ නිසා උකුසු ජාන සමග උකුසු ගහණය ද ඉහළ යාමට ඇති ඉඩ කඩ වැඩියි. එහෙත් උකුසු ගහණය වැඩිවන විට පරෙවි ගහණය ද ඉහළ යෑමට ඉඩ ඇත. ඊට හේතුව එසේ වැඩිවෙන උකුස්සන් ගොදුරු ඩැහැ ගැනීම පිණිස එකිනෙකා සමග නිරන්තරයෙන්ම දරුණු ලෙස සටන් වැදීමෙන් තුවාල වීම නිසයි. මෙය පරිනාමීය ස්ථාවරත්වය තහවුරු කරන උපාය මාර්ගයක් නොවේ.
එහෙත් තෙවැනි උපාය මාර්ගය අනුගමනය කරන, එනම් එකට එක පමණක් ප්‍රතිචාර දක්වන පක්ෂීන් අනවශ්‍යය ලෙස ආක්‍රමණශීලී ව කටයුතු නොකරයි. එ නිසා එවුන් තුවාළ වී අනතුරට ලක් වී මෙන් වැලකේ. එහෙත් පරෙවියන් මෙන් නොව අවශ්‍යය වූ විට තමන්ගේ ආරක්ෂාව පිණිස සටන් වැදීමට උන් නොපසුබට වෙයි. ඒ නිසා එකට එක පමණක් ප්‍රතිචාර දක්වන පක්ෂි ගහණයක් හමුවේ පරෙවියන්ට මෙන්ම උකුස්සන්ට ද සාර්ථක වීමට නොහැකිය. ඒ අනුව එකට එක කරන්නන්ගේ උපාය මාර්ගය පරිනාමිකව වඩා ස්ථාවර වූ එකකි.
9. ජාන වල ආත්මාර්ථකාමී පැවැත් ම දෙමව්පිය රැකවරණය වැනි පරාර්ථකාමී චර්යා මගින් විස්තර වේ.
කලින් පැවසූ අන්දමට ජාන වල ආවේනික ආත්මාර්ථකාමී බව සහ ජානමගින් හැසීරීම පාලනය වන ජීව ගහණයක සාමාජිකයන් එකිනෙකා අභිමුව හැසිරෙන්නේ ආත්මාර්ථකාමී ලෙසට බව අප බලාපොරොත්තු විය යුතුයි.
එහෙත් ඒ අතර බොහෝ චර්යා පරාර්ථකාමී විය හැකිබවට ඇති තරම් උදාහරණ අපට ස්වභාධර්මයෙන් ලබා ගත හැකියි. උදාහරණයක් වශයෙන් ගොදුරු සොයා යන හිවලෙකුගේ අවධානය තම දරුවන් වෙතින් ඉවතට යොමු කිරීම පිණිස තමාගේ අත්තටු කැඩී ඇති බව බොරුවට හඟවන පක්ෂි මවකගේ අනූපමේය මව් සෙනහස දැක්විය හැකිය. පරාර්ථකාමීත්වය යනුවෙන් මෙහිදී ඇත්ත වශයෙන් ම හැඳින්වෙන්නේ අනෙකෙකුගේ යහපත උදෙසා තමන්ගේ ම පැවැත්ම රැකගැනීමට ඇති අවස්ථා අඩුවන ආකාරයට හැසිරීමයි.
එහෙත් බැලූ බැල්මටම පෙනෙන මෙම පරස්පරය ජාන වල මූලික ලක්ෂණ විශේෂයෙන් ජාන වනාහි බහු පිටපත් ලෙස විවිධාකාර ජීවින් තුළ අඩංගුවන බව සලකා බලන විට අතුරුදන් වෙයි. ඒ අනුව තමන්ට අවාසි විය හැකි වුව ද අනෙකුත් ජීවීන් තුළ අඩංගු තමන්ගේ අනුපිටපත් වලට වාසිදායක චර්යා ක්‍රමලේඛනය කිරීමට ජාන පෙළඹේ. එහෙත් එසේ කරන්නේ එය අදාල ජානයේ සමස්ත ප්‍රවර්තනයට උපකාර වන්නේ නම් පමණි.
ජානයක් තමන්ගේ අනුපිටපත් වෙනත් ජීවියෙකු විසින් ද දරා සිටින බව දන්නේද? ඇත්ත වශයෙන් ම නැත. ජාන යනු සවිඥානික දේවල් නොවෙයි. එනිසා කිසිවක් දැනගැනීමට ජානයකට හැකියාවක් නැත. එහෙත් සියලු නෑ ජීවීන් ජාන පිටපත් වල පංගුකාරයෝය. ඔවුන් හැම එම ජානයේ අනුපිටපත් දරා සිටී. එනිසා ජාන සිය ජීවීන්ගේ නෑයන්ට ද ප්‍රවර්තන වාසි සලසන අන්දමේ චර්යා ක්‍රමලේඛය කොට එම චර්යාවන් දිගින් දිගටම ප්‍රවර්තනය කරවයි.
පරාර්ථකාමය යනු අවශ්‍යයෙන් ම එක සමාන ලෙස එකිනෙකා අතර ප්‍රත්‍යෝපකාර කර ගැනීමක් ම නොවේ. දෙමව්පියන් හා දරුවන් එක හා සමානව සමීප නමුත් දරුවන් දෙමව්පියන්ට දක්වනවාට වඩා පරාර්ථකාමයක් දෙමව්පියෝ දරුවන් කෙරෙහි දක්වනවා. ඊට හේතුව එක් පරම්පරාවක් අබිබවා තමන්ගේ ජාන ප්‍රවර්තනය කරවා ගැනීමට නම් සිය දරුවන් ඉඳුරාම ප්‍රජනක අවධියට පත්වෙන තෙක් රැකගැනීමට දෙමව් පියන් වග බලාගත යුතු නිසයි. එහෙත් අනෙක් අතට සිය දෙමව්පියන්ගේ යහපත හා පැවැත්ම දරුවන්ට අර තරම් ම වැදගත් නොවේ. ප්‍රත්‍යෝපකාරී පරාර්ථකාමය සම්බන්ධයෙන් දෙමව්පියන් හා දරුවන් අතර අසමානතාවක් ඇත්තේ එබැවිනුයි.
මේ අනුව දෙමව්පිය රැකවරණය වැනි ඇතැම් පරාර්ථකාමී චර්යා මගින් ප්‍රකාශවන්නේ ජානවල ආත්මාර්ථකාමී ප්‍රවර්තන ප්රවනතාවයයි.
10. ප්‍රත්‍යොපකාරී පරාර්ථකාමය බොහෝවිට සාර්ථක වන්නේ ආත්මාර්ථකාමීව හැසිරෙනවාට වැඩි වාසියක් එනිසා ධාරකයාගේ ජානවලට ලැබෙන බැවිනුයි.
ජීවින් අතර සිදුවන අන්තර් ක්‍රියා වල ස්වභාවය විස්තර කිරීමේ දී ශුන්‍ය ඓක්‍ය (zero-sum game)හෝ අශුන්‍ය ඓක්‍ය (non-zero-sum game)ක්‍රීඩා පිළිබඳ සංකල්පය නිරූපන(model) ලෙස යොදාගත හැකිය. ශුන්‍ය ඓක්‍ය ක්‍රීඩාවක් යනු මූලික වශයෙන් එක් පැත්තක් පමණක් දිනන අනෙක් පැත්ත පරදින ක්‍රීඩාවකි. උදාහරණයක් වශයෙන් ඇන්ටිලොප් මුවෙකු ගොදුරු කරගැනීමට හඹායන චීටාවෙකු නියැලෙන්නේ ශුන්‍ය ඓක්‍ය ක්‍රීඩාවකයි. මන්ද අවසානයේදී එක්කෝ ඇන්ටි ලොප් මිය යයි, නැතහොත් චීටාට කුස ගින්නේ සිටීමට සිදුවෙයි.
එයට වෙනස්ව අශුණ්‍ය ඓක්‍ය ක්‍රීඩාවක් යනු උදාහරණයක් වශයෙන් තරඟකාරී දෙපාර්ශයක් සම්පත් හිමි බැංකුවකට එරෙහිව ක්‍රීඩා කිරීමයි. මෙහි දී ඒක් පාර්ශවයක දිනීම යනු අනෙක් පාර්ශවයට සතු කිසිවක් අහිමි වීමක් ම නොවේ. බැංකුව සතු සම්පත් ඩැහැගැනීම පිනිස දෙපාර්ශවයට එකිනෙකා හා ඇනකොටා ගත හැකිවාක් මෙන්ම ක්‍රීඩාවේ නීති අනුව ඉඩ ලැබෙන්නේ නම් අනොන්‍ය අවබෝධයකින් යුතුව එකිනෙකා හා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් තරඟකාරී දෙපාර්ශවයට ම එක්ව බැංකුව පරාද කළ හැකියි.
සවභාධර්මයේ දී ජීවීන් සාමාන්‍යයෙන් තම පරිසරයේ ඇති සම්පත් උපයෝගිකර ගැනීම පිණිස එකිනෙකා හා තරඟ කරනවා. මෙයින් බොහෝ අවස්ථාවන් ඇන්ටිලොප් සහ චීටා අතර සිදු වන අන්දමින් ශුන්‍ය ඓක්‍ය ක්‍රීඩාවන් විය හැකියි. එහෙත් ඇතැම් විට තමන්ගේම ජීවී විශේෂයේ අවශේෂ සාමාජිකයන් සමග පමණක් නොව අන්‍ය ජීවි විශේෂ වල සාමාජිකයන් සමග ද සහයෝගයෙන් කටයුතු කරන අවස්ථාවන් ද තිබිය හැකියි.
උදාහරණයක් වශයෙන් ඇතැම් කුහුඹුවර්ගයක් ඇපිඩ්(Aphids) නමින් හැඳින්වෙන කෘමි විශේෂයක් විසින් නිපදවනු ලබන දියරයක් ආහාර සඳහා දොවා ගැනීම පිණිස එකි නෙකා හා සහයෝගයෙන් කටයුතු කරනවා. මෙහිදී බැලු බැල්මටම කුහුඹුවන් විසින් ඇපිඩ් කෘමින් සූරාකෑමක් කරනු ලබන බව පෙනී යනු නමුත් ඇත්ත වශයෙන් ම සටන්කාමී කුහුඹුවන් විසින් අන්‍ය ආක්‍රමණකාරීන්ගේන් ආරක්ෂා කරනු ලැබීම ඇපිඩ් කෘමින්ට ලැබෙන මහඟු උපකාරයක්. මේ සඳහා ඇතැම් විට කුහුඹුවෝ අපිඩ් කෘමීන් සිය කුහුඹු තුඹස් වල සුරැකිව ඇති දැඩි කරනවා. මෙම අනොන්‍ය සහයෝගිතාව කුහුඹවන්ගේ මෙන්ම ඇපිඩ් කෘමීන්ගේ ද ජාන ප්‍රවර්තනයට මහෝපකාරී වෙනවා. එහි අවසාන ප්‍රතිඵලය ආත්මාර්ථකාමීව තම තමන්ගේ ප්‍රවර්තනය ඉහළ නැංවීමයි. නමුත් ඒ සඳහා උපයෝගි කරගන්නා මාර්ගය ප්‍රත්‍යෝපකාරී ලෙස පරාර්ථකාමී වීමයි. මේ අනුව අනොන්‍ය වශයෙන් පරාර්ථකාමීවන චර්යා බොහෝවිට සාර්ථක වන්නේ මුලුමනින්ම ආත්මාර්ථකාමී චර්යා වලට වඩා එවැනි චර්යා ධාරකයන්ගේ ජාන වලට වාසි දායක වන නිසායි..
11. මිනිස් සංස්කෘතිය ද පරිණාමයට භාජනය වේ. සංස්කෘතික පරිණාමයේ මූලික ඒකකය මීමය (meme)යි.
මනුෂ්‍යයන්ගේ විශිෂ්ඨතම ලක්ෂණ වලින් එකක් වන්නේ සංස්කෘතියයි. භාෂාව, ඇඳුම, ආහාර, උත්සව, චාරිත්‍ර හා කලා කටයුතු ආදී මෙකී සංස්කෘතික ලක්ෂණ කිසිවක් සෘජුව අපේ සහජාශයට (instinct) හෙවත් සහජබුද්ධියට හෝ ප්‍රවර්තනයට හෝ සම්බන්ධ ඒවා නොවේ. මූලික ව මානව ඕනෑ එපා කම්වලට හා මනෝවිද්‍යාවට ඥාතීවර්ගයා හා බැඳුනු අනොන්‍ය පරෝපකාරය නිසා ඇතිවිය හැකි ප්‍රවර්තන ඵලප්‍රයෝජන හුවා දැක්විය හැකි නමුත් එමගින් මානව සංස්කෘතියේ විවිධත්වය හා සංකීර්ණ බව විස්තර නළ නොහැකියි.
මෙහි දී අපට සංස්කෘතිය යනු ජාන වෙනුවට සංස්කෘතික පරිණාමයේ මූලික ඒකකය මීමය (meme) ලෙස ගැනෙන ජාන කීටුවකට හෙවත් සංචිතයකට සමාන දෙයක් ලෙස සැලකිය හැකිය. මීමයක් යනු සංස්කෘතියක අමරණියත්වයට ළං වීමට ආසන්න කුඩාතම කොටස යැ’යි හැඳින්විය හැකියි. මීමයක් සඳහා උදාහරණ වශයෙන් කිසියම් තාලයක්, අදහසක්, ගායනයක්, චාරිත්‍රයක් හෝ පමණක් නොව බළල් රංගනයක් සමග අන්තර්ජාලයේ සංසරණය වන ජනප්‍රිය වීඩියෝවක් වැනි සංනිවේදනය – එනම් කථනය, ලේඛනය හා අන්තර් ජාලය – මගින් සම්ප්‍රේෂණය කළ හැකි දේවල් ද අර ගත හැකියි.
ජාන මෙන්ම මීම ද එකිනෙකා හා තරඟ කරයි. ඇතැම් ඒවා සෘජු ලෙස තරඟ කරයි. පරිණාමවාදය හා දේව-නිර්මාණවාදය අතර තරඟකාරිත්වය එවැනි එක් සෘජු උදාහරණයක්. එහෙත් සියලු මීම මිනිස් අවධානය හා ස්මරණය සඳහා තරඟ කරති. සංකීර්ණ ජීවීන් ගොඩ නැගීම පිණිස ජාන සහයෝගයෙන් ක්‍රියාකරන ආකාරයෙන් ම මීම ද සංකීර්ණ දේවල් ගොඩ නැගීමට සහයෝගය දක්වයි. උදාහරණයක් වශයෙන් කතෝලික පල්ලිය යනු සර්වබලධාරී දෙවියන් නමැති මධ්‍යම මීමය වටා ඊට සංකල්ප, චාරිත්‍ර, ඇඳුම් සහ ගෘහ නිර්මාණ ශිල්පය වැනි මීම එකතුවෙන් තැනුනකි.
ජීව විද්‍යාව මුලුමනින් ම සංස්කෘතියෙන් වෙනස් කොට දැක්වීමෙන් ජීව විද්‍යාවට ඉඳුරා පටහැනි බ්‍රහ්මාචාරීව විසීම වැනි මනුෂ්‍යයන්ගේ අමුතු චර්යා පහසුවෙන් විස්තර කළ හැකිය. සංස්කෘතිය යනු රිප්ලිකේටර හෙවත් ප්‍රතිවලක වලින් සමන්විත පරිණාමීය පද්ධතියක් වශයෙන් සැලකුවොත් ඊට අදාල වන ප්‍රතිවලක වලට ප්‍රවර්තනය වීමට අවශ්‍ය වන්නේ එකී පද්ධතිය තුළ පමණි. ජීව විද්‍යාත්මක ප්‍රවර්තනයේදී මෙන් ඒවා අදාළ මීම කිටුවට (meme pool) හෙවත් මීම සංචිතයට බැහැරින් එන බලපෑම්වලට අවශ්‍යයෙන් ම නතු නොවේ. ජාන මෙන් ම මීම වල සාර්ථකත්වය තීරණය කරන්නේ ද පරිසරය මගිනි. ඒ අනුව බළල් රංගනය සහිත වීඩියෝව මීමයක් ලෙස සැලකුවහොත් ඒ සඳහා අන්තර්ජාලය ද උපකාරී පරිසරයකැ’යි අපට එකඟ විය හැකිය. මතක තබාගතයුතු වන්නේ මානව සංස්කෘතියද පරිණාමයට ලක්වන්නක් බව සහ එම පරිනාමයේ මූලික ඒකකය මීමය බවයි.
12. ජාන වල ජීවවිද්‍යාත්මක ආත්මාර්ථකාමීත්වයේ අවාසි ඉක්මවා යාමට මානවයාගේ සවිඥානික ඉදිරි දැක්මට හැකිය.
ජීවි විශේෂයක එක් එක් සාමාජිකයා තමන්ගේ ජාන වල ප්‍රවර්තනයට වඩා වාසි වන ලෙස හැසිරීමට පෙළඹෙයි. එහෙත් චර්යා උපායමාර්ග පිළිබඳ විද්‍යාත්මක මොඩල මගින් පෙන්වා දෙන්නේ වඩා ස්ථාවර ජනගහණයක් පවත්වාගෙන යාමට හැකි වන්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යෝපකාරයේ නියැලෙන සත්ව විශේෂ වලටයි.
ඇතැම් අවස්ථාවල දී ජානවලට තමන්ගේ ආසන්න ප්‍රවර්තන අවශ්‍යතා නොසැලකීමෙන් වඩාත් ඵළදායක විසඳුම් ලබා ගැනීමට හැකිය. උදාහරණයක් වශයෙන් ගැටුම්කාරී අවස්ථාවක දී පක්ෂි ගහණයක් තුළ එකිනෙකට හාත්පසින් ප්‍රතිපක්ෂ උපායමාර්ග අනුගමනය කරන උකුස්සන් සහ පරෙවියන් වැනි සත්ව විශේෂ ගැන විමසා බලමු. ගැටුමකදී උකුස්සා මරණයට පත්වෙනතෙක් හෝ මරණිය තුවාල ලබන තෙක් සටන් කරන නමුත් පහරවැදීමක දී පරෙවියා කරන්නේ පළා යාමයි.
තනි තනි පරෙවියන්ට එරෙහිව උකුස්සා සෑම විටම ජයගන්නා නමුත් දීර්ඝකාලීනව බැලුවොත් එය වාසිදායක නොවන්නේ ඒ අතර අනෙකුත් උකුස්සන් සමග සටන් වැදීමට සිදුවීමෙන් තුවාල වීමට අර උකුස්සාට සිදුවන නිසාය. සියලු සාමාජිකයන්ට යහපති වන්නේ කෙටිකාලීන වාසි නිසා උකුස්සෙකු මෙන් සටන්කාමී ලෙස හැසිරීම නොව අකල් මරණය හා මරණිය තුවාල සිදුනොවීම පිණිස දීර්ඝ කාලීන පැවැත්ම සලකා පක්ෂි ගහණයේ හැම කෙනෙක්ම පරවියන් ලෙස සාමකාමීව හැසිරීමට එකඟවීමයි.
කොස් වෙතත් ජාන යනු සවිඥානික දේවල් නොවේ. එනිසා ඒවාට අනාගතය දැකීමේ හැකියාවක් ද නැහැ. එබැවින් තමන්ගේ ම පැවැත්ම පිණිස කොයිතරම් වැදගත් වුවද සාමකාමීව සිටීම වැනි කිසියම් පොදු චර්යාවක් ඇතිකරගැනීම පිණිස එකඟත්වයට ඒමේ හැකියාවක් ජානවලට නොමැත.
එහෙත් එයට හාත්පසින් ම වෙනස්ව මිනිසුන්ට දුරදක්නා සංවිඥානයක් ඇත. මේමයන් වශයෙන් සලකා බැලුවොත් හුදු ජීව විද්‍යාත්මක විධිවිධාන වලින් ගැලවීමට අපේ සංස්කෘති සමත්ව තිබේ. ජානමය හෝ ආවේනික වශයෙන් අප පරාර්ථකාමී නොවිය හැකිය. එහෙත් ජානමය ආත්මාර්ථකාමීත්වයට එරෙහිව අපේ අනාගතය සුරැකීම පිණිස පරෙවියන් මෙන් සාමකාමීව විසීමේ අවශ්‍යතාවය තේරුම් ගැනීමේ දුරදක්නා නුවණ අපට තිබේ. එනිසා ස්වභාධර්මයේ නොමැති පරාර්ථකාමීත්වයක් වූවද ඇති කර ගැනීමට අපට හැකි වනු ඇත. මතක තබා ගත යුතු වන්නේ මිනිසාගේ සවිඥානික දුරදක්නා බව ජීව විද්‍යාත්මකව ජාන සතු ආත්මාර්ථකාමීත්වයේ ඇති අඩුපාඩු මගහරවා ගැනීම පිණිස උපයෝගි වන බවයි.
පරිණාමය සිදු වන්නේ තනි ජීවීන් හෝ ජීවී විශේෂ වල ක්‍රියාකාරකම් මත නොව ජාන වල ස්වාබාවික වරණය (natural selection) හරහා සිදුවන ක්‍රියාකාරකම් නිසාය. ජාන ස්වභාවයෙන් ම ආත්මාර්ථකාමීය. අනෙකුත් ජාන අබිබවා සිය සාර්ථකත්වය තහවුරු කර ගැනීම පිණිස තමන්ගේ පැවැත්ම ප්‍රවර්තනය කර ගැනීම ජාන වල ආවේණික ලක්ෂණයකි. සියලු ම සත්ව චර්යාව ජාන වල මේ ආත්මාර්ථකාමී කම නිරූපනය කරයි.
ආත්මාර්ථකාමී ජාන නමැති මේ පොත මගින් පහත සඳහන් මූලික කරුණු විමසා බැලිණි.
පරිණාමය සිදු වන්නේ කුමන ක්‍රියාවලියන් හරහා ද? ඒ සම්බන්ධයෙන් ජාන වැදගත් වන්නේ කෙසේද?
– පරිණාමය සිදු වන්නේ හැකියාවන් වල විවිධත්වයක් ඇති වීම සහ සම්පත් සීමිත වීම නිසයි.
– පරිණාමයේ මූලික ඒකකය ජානයයි. ඊට හේතුව ජාන වලට බහු අනුපිටපත් වශයෙන් පැවැතිය හැකි නිසා ජාන සමීප වශයෙන් අමරණීය වීමයි.
– ආවේණිකවම ජාන ආත්මාර්ථකාමීය.
සැකසුම: විජයානන්ද ජයවීර
thathu.com