Blank Slate
by Stephen Pinker
හිස් ගල්ලෑල්ල
කතෘ: ආචාර්ය ස්ටීවන් පින්කර්
ආචාර්ය ස්ටීවන් පින්කර් අමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් සහ ආන්දෝලනාත්මක කෘති කිහිපයක් ම පළ කළ කතුවරයෙක්. ඔහු ගේ Blank Slate (හිස් ගල්ලෑල්ල) නමැති පොත 2002 වසරේ පළ වූ විට සමාජ විද්‍යාඥයන් ඇතුළු බොහෝ දෙනෙකුගේ විචාරාත්මක අවධානයට ලක්වුණා. මේ ඒ පොත සැකෙවින් කියැවීමක්. “හිස් ගල්ලෑල්ල” Blank Slate යන්නෙහි සෘජු පරිවර්තනයයි. මීට දශක පහ හයකට පෙර පාසලේ බාලාංශ පංති වල ලිවීම සඳහා ගල්ලෑලි සහ ගල් කූරු හාවිතා වුණා. එකල හිස් ගල්ලෑල්ලක් යනු අකුරු කිසිවක් ලියා නැති ගල්ලෑල්ලක්. එහෙත් හිස් ගල්ලෑලි භාවිතා නොවන වර්තමාන සංදර්භය තුළ එ් වෙනුවට යොදා ගත හැකි සුදුසු තම යෙදුම “හිස් කඩදාසියයි”. ඒත් මේ සැකෙවින් කියැවීමේ දී අපි ‘හිස් ගල්ලෑල්ල’ යන යෙදුම ම භාවිතා කරමු.
හිස් ගල්ලෑල්ල
සැකෙවින් කියවමු.
දරුවෙකු ගේ උත්පත්ති ස්වභාවය පරිපෝෂණය හෙවත් ඇති දැඩි කිරීම මගින් වෙනස් කිරීම (nature versus nurture) පිළිබඳ ප්‍රශ්නය හෙවත් මනුෂ්‍ය ස්වභාවය හුදු අධ්‍යාපනය ආදී ඉගෙනුම් ක්‍රියාකාර කම් වලින් වෙනස් කළ හැක්කක්ද යන්න දිගු කලක් තිස්සේ අප අතර ගැඹුරින් විමසීමට ලක්වන කරුණක්. ඒ සම්බන්ධයෙන් පරිපූර්ණ වශයෙන් ම සාර්ථක වූ පිළිතුරක් සොයා ගැනීමට අපට අපහසු විය හැකියි. කෙසේ වෙතත් මෙහිදී අප අදහස් කරන්නේ අපේ දේශපාලනික විශ්වාස වල සිට ප්‍රචණ්ඩත්වය කෙරෙහි ඇති නැඹුරුව දක්වා අප කවුරුන් ද යන්න වැඩි වශයෙන්ම තීරණය වන්නේ ආවේණික වශයෙන් බවට නිශ්චිත සාක්ෂි තිබේද යන්න තේරුම් ගැනීම පිණිස චර්යා ජාන විද්‍යාව (behavioral genetics) තරමක් ගැඹුරෙන් විමසීමටයි.
ජාන විද්‍යාව මේ ආකාරයට අවධාණයට ලක් කිරීම වසර සියයකට පමණ පෙර සිට බෙහෙවින් ජනප්‍රියව පැවැති “හිස් ගල්ලෑල්ල” නමින් හැඳින්වෙන එක්තරා චර්යා නියාමයකට එරෙහිව යන්නක්. ‘හිස් ගල්ලෑල්ල’ (Blank Slate) යනුවෙන් ප්‍රචලිත නමින් හැඳින් වූ ඒ නියාමයට අනුව අප සියල්ලෝම ඉපදී ඇත්තේ කිසිදු ආකාරයක සුවිශේෂී පුද්ගලත්වයක් සහ සහජ චර්යා ලක්ෂණයකින් තොරව එක හා සමාන අහිංසකයන් ලෙසයි. කෙසේ වෙතත් මේ න්‍යාය පමණක් නොව ඒ අනුව ගොඩ නැගෙන තවත් මතයක් වන අපේ සිත යනු පරිනාමයේ නිෂ්පාදනයක් නොවේ යන්න තහවුරු කෙරෙන සාක්ෂි සොයා ගැනීම බෙහෙවින් අසීරුයි.
- මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ ජනප්‍රිය එහෙත් අතිශයින්ම සාවද්‍ය න්‍යාය තුනක් අප අතර පවතිනවා.
මිනිස් චර්යාව තේරුම් ගැනීම පිණිස වසර දහස් ගණනක් තිස්සේ කරන ලද වෑයම් වලදී මිනිස් මනසේ ගූඪ ස්වභාවය පිළිබඳව විමතිය නිරන්තරයෙන් ම ප්‍රකාශ වී තිබෙනවා.
මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ අපට ඇති වඩාත් ම පැරණි සහ ජනප්‍රිය නියාමයන් බොහෝමයක් ආගම් විසින් හඳුන්වා දෙන ලද ඒවායි. උදාහරණයක් වශයෙන් යුදෙව්-ක්‍රිස්ත්‍රයානි ආගමික සම්ප්‍රදායට අනුව සිත යනු අපේ භෞතික ශරීරයෙන් මුලු මනින් ම වෙන් කොට සැලැකිය යුතු දෙයක් පමණක් නොව සිරුර මියදීමෙන් පසුවද ජීවත්ව පවතින අරුම පුදුම දෙයක්.
කෙසේ වෙතත් වර්තමානයේ විද්‍යාව එවැනි ආගමික බලපෑම් මගින් මෙහෙය වෙන්නේ නැහැ. කෙසේ වෙතත් මිනිස් මනස ගැන මුල් පෙළේ න්‍යාය තුනක් ආරම්භයේදීම හඳුනා ගැනීම අපේ මේ සාකචඡාවට ඉතා වැදගත්.
මේ අතරින් පළමු වැන්න වන “හිස් ගල්ලෑල්ල” (Blank Slate)පිළිබඳ නියාමයේ නිර්මාතෘවරයා වශයෙන් සැලකෙන්නේ 17 වෙනි සිය වසේ විසූ ජෝන් ලොක් නමැති ඉංග්‍රිසි දාර්ශනිකයායි. ඔහුගේ එම නියාමයට අනුව ආවේණික මනුෂ්‍ය ස්වභාවයක් කියා දෙයක් කිසිසේත් ම ඇත්තේ නැහැ. එනිසා අප සියලු දෙනාම ඉපදුනේ නොලියූ හිස් ගල්ලෑලි වලට සමාන වූ කිසිවකින් දූෂණය වී නැති අතිශයින් පිරිසිදු විවෘත මනසකින් යුක්තවයි. ඉන් අනතුරුව නොයෙක් දේවලින් ඒ මනස පිරෙන්නට පටන් ගත්තේ ජීවන මග ඔස්සේ අප පියවරෙන් පියවර යන ගමනේදී ලද අත්දැකීම් හෙවත් අනුභූති අනුවයි.
මේ නියාමයෙන් හුවා දක්වන්නේ අපේ සිතිවිලි, සිරිත් විරිත් සහ චර්යාව ගොඩ නැගෙන්නේ හුදෙක් අප ජීවත් වන සමාජයේ බලපෑම නිසා බවයි. ඒ අනුව කෙනෙකුගේ ජාතිය, ජනවර්ගය, ස්ත්‍රී පුරුෂ බව කුමක් වුවත් ඔහු විසින් අනුගමනය කරන චර්යා රටාවන් බිහිවන්නේ තමන් අත් විඳින සමාජයීය අත්දැකීම් නිසායි. මෙහි තේරුම වන්නේ කිසියම් පුද්ගලයෙකු වෙනත් දෙමව්පිය යුවලක් විසින් හදා වඩා ගෙන, වෙනත් ආකාරයක අධ්‍යාපනයකට ලක් කොට වෙනස් මාධ්‍ය අත්දැකීමක් ලබා දුන් විට ඔහු හෝ ඇය සහමුලින්ම වෙනස් පුද්ගලයෙකු බවට පත්වෙන වගයි.
මෙවැනි තවත් ජනප්‍රිය න්‍යායක් වන්නේ “ශ්‍රෙෂ්ඨ වනචාරියා”(Nobel Savage) යන නමින් හඳුන්වන න්‍යායයි. එම න්‍යායේ නිර්මාතෘවරයා ලෙස සාමාන්‍යයෙන් සැලකෙන්නේ 18වන සියවසේ විසූ ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු වන ෂෝන් ෂැක් රූසෝයි. ඔහු විශ්වාස කළ අන්දමට මිනිසුන් වනාහී ආවේනිකව වශයෙන් ම කිසිදු මමංකාරයක් නැති සාමකාමී සත්ත්ව විශේෂයක්. එහෙත් ඊනියා ශිෂ්ට සමාජය විසින් මිනිසාගේ මේ ආවේණික පිරිසිදු බව දූෂණය කර මිනිසුන් අතර මසුරුකම සහ ප්‍රචන්ඩ බව ප්‍රචාරණය කරන බව මේ න්‍යායයෙන් කියයි.
තුන්වෙනි න්‍යාය වන්නේ “යන්ත්‍රයේ හොල්මන” (Ghost in the Machine) යනුවෙන් හඳුන්වන න්‍යායයි. එය දහත්වෙනි සිය වසේ විසූ රෙනේ ඩෙකා නමැති ප්‍රංශ දාර්ශනිකයා ගේ හඳුන්වා දීමක්. ඔහු විශ්වාස කළ අන්දමට මිනිසුන් සැදී තිබෙන්නේ එකිනෙකට වෙනස් පද්ධති දෙකකින්. ඉන් එක පද්ධතියක් මගින් මිනිස් ශරීරය සැදී තිබෙන අතර අනෙක් පද්ධතිය මගින් මිනිස් චෛතසිකය සැදී තිබෙනවා. මේ න්‍යාය විශ්වාස කළ අයගේ අවබෝධය වුණේ ශරීරය මෙන් නොව චෛතසිකය යනු සරල යාන්ත්‍රික දේවල් තේරුම් කර දෙන අන්දමට තේරුම් කළ හැකි දෙයක් නොවන බවයි.
“හිස් ගල්ලෑල්ල”, “ශ්‍රෙෂ්ඨ වනචාරියා” සහ “යන්ත්‍රයේ හොල්මන” නමැති මෙකී න්‍යාය තුන අනුපිළිවෙලින් අනුභූතිවාදය(empiricism), චමත්කාරවාදය (romanticism), සහ ද්වෛතවාදය(dualism), යනුවෙන් ද හැඳින්වෙනවා. එහෙත් අපි මීළඟට සාකච්ඡා කරන්නට යන්නේ සිත ක්‍රියා කරන්නේ කෙසේද යන්න ඊට මුලුමනින් ම වෙනස් ආකාරයකට විස්තර කරන න්‍යායක්.
- සංස්කෘතික චර්යාව යනු පරිනාමයේ සහ ජාන විද්‍යාවේ ප්‍රතිඵලයක් විය හැකියි.
විසි වෙන ශතවර්ෂයේ දිගුකාලයක් ම ඉහත කී ත්‍රිවාද අතරින් සමාජ විද්‍යාඥයන්ගේ වැඩි අවධානය යොමු වී තිබුනේ “හිස් ගල්ලෑල්ල” නමින හැඳින් වුණු න්‍යායටයි. එයට හේතුව මනුෂ්‍යයන්ට සහජ වශයෙන් ම වර්ගවාදීව හෝ ලිංගිකවාදීව හෝ හැසිරීම අවශ්‍ය කරන පූර්ව සාධකයක් ඇති බව ප්‍රතික්ෂේප කිරීමට එම න්‍යායට අනුව හැකි වීමයි. ඊට අනුව වර්ගවාදී වීම හෝ ලිංගිකවාදී වීම හෝ බැහැරින් එන බලපෑම් අනුව මිනිසුන් විසින් අමුතුවෙන් ඉගෙන ගන්නා දෙයක්. මේ නිසා “හිස් ගල්ලෑල්ල” පිළිබඳ නියාමය සංස්කෘතිය යන්න හඳුන්වන්නේ මොළය, ජාන විද්‍යාව සහ පරිණාමය යන විෂය පථයන්ට කිසිසේත් ම අයත් නොවන විෂයක් ලෙසටයි.
එහෙත් එය එසේ නොවන බව අද අප දන්නවා. ඇත්ත වශයෙන් ම සංස්කෘතික චර්යාව යනු සෑම ජීවියෙකුගේ පැවැත්ම, සඵලත්වය සහ සිය ජාන ඊළඟ පරපුරට දායාද කර දීමේ විශිෂ්ටතම ක්‍රියාවලිය වන අපේ පරිනාමීය ප්‍රවර්ධනයේ ම තවත් ඒකාග්‍ර ලක්ෂණයක්.
කෙසේ වෙතත් ඇතැම් සුවිශේෂි ආකාරයේ සංස්කෘතික චර්යා අභිමතානුකූලව සිදුවන ඒවා බවද සත්‍යක්. ඒ සඳහා උදාහරණයක් වශයෙන් කිසියම් රටක ජීවත් අය සිය මෝටර්වාහන පැදැවිය යුත්තේ පාරේ වම් අත පැත්තෙන්ද නැතහොත් දකුණු අත පැත්තෙන්ද යන්න තීරණය කිරීම ගත හැකියි. එහෙත් එවැනි දේවල දී පවා තීරණ ගැනීමට පාදක වන අනෙක් නොයෙක් කරුණු තිබිය හැකියි. මන්ද රිය පැදවීම වැනි කටයුත්තකදී අන්‍ය රියැදුරන් සමග අනොන්‍ය අවබෝධයකින් යුතුව කටයුතු කිරීම සියලු දෙනාගේම පොදු යහපතට හේතුවන බැවිනි. මේ අනුව කල්පනා කළහොත් සංස්කෘතිය යනු අපේ ජීවිත එකි නෙකා හා සම්බන්ධීකරණය කර ගැණීම සඳහා සකස්කර ගත් සම්මුති සහ ව්‍යවහාර වල එකතුවක් වශයෙන් ද සැලැකිය හැකියි.
“හිස් ගල්ලෑල්ල” අනුදත් න්‍යායවාදීන් පවසන අන්දමට උත්පත්තියේදී අප ගේ සිත් වල කිසිවක් අඩංගු වෙන්නේ නැහැ. එහෙත් මිනිසුන් ළදරු අවධියේ වර්ධනය ආකාරය විමසා බැලූවිට එය එසේ නොවන බව පෙනී යනවා. ඉගෙනගත් නැතහොත් ශික්ෂිත සංස්කෘතික කුසලතාවක් පිලිබඳ හොඳම උදාහරණය භාෂාවයි. භාෂාව ඉගෙනීම සිදවන ආකාරය අනුවම අපට පෙනී යන්නේ ළදරුවන් හිස්ගල්ලෑල්කට වඩා යමක් සහිතව ඉපදෙන බවයි. මනස හිස්ගල්ලෑලක් නම් එයට කළ හැකි එකම දේ වන්නේ වීඩියෝ කැමරාවක් මෙන් තමන්ට ඇසෙන ශබ්ද සහ දකින දසුන පටිගත කිරීම පමණයි. එහෙත් හාෂාවක වචන ඇසෙන විට ඒවායේ අරමුණ සහ තේරුම උකහා ගැනීමේ මානසික පෙලඹීමක් ළදරුවන්ට ඇති බව එම වචන යොදමින් මින් පෙර නොකළ අන්දමට කිසියම් ආකාරයක අදහසක් කියාපෑමට ළදරුවන් ගන්නා උත්සාහයෙන් ම පැහැදිළි වේ.
ළදරුවකු හා ගිරවෙකු අතර ඇති එක වෙනසක් එයයි. ගිරවා තමන්ට ඇසෙන වචනය ඒ ආකාරයෙන්ම පුනරුච්ඡාරණය කරන අතර ළදරුවා ඉපදෙන්නේ භාෂා ප්‍රයෝග ඉගෙන ගැනීමට ජානගත නැඹුරුවක් ද සහිතවයි.
අපේ ජාන යනු මේ කතන්දරයේ එක් පැත්තක් පමණයි. පාරිසරික තත්වයන් හෙවත් අප ජීවත් වන වාතාවරණයද අපේ සංස්කෘතික චර්යා සදම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
කෙනෙකුගේ මනස ගොඩනැගෙන්නේ ඔහුගේ සංස්කෘතියට අනුවයි යන අදහස වර්ගවාදයට එරෙහිව හොඳ තර්කයක් ලෙස සැලැකුණු අතර සදාචාරාත්මක වශයෙන් වඩා ආකර්ෂණීය වූයේද එම මතයයි.
- භෞතික ලෝකය හා මනස අතර වැදගත් සම්බන්ධතාවක් ඇති බව නූතන විද්‍යාව විසින් සොයාගනු ලබයි.
පසුගිය සියවස් කිහිපයේ සිදුවූ විස්මය ජනක සොයාගැනීම් නිසා ජීවයේ ගූඪ ස්වභාවය පිළිබඳව විස්තර කිරීමට හැකි දැනුම වැඩි දියුණු වුණා.
විද්‍යාත්මක දැනුම දියුණුවීම ඇත්තටම ඇරඹුනේ දාහත්වැනි සියවසේ අයිසැක් නිව්ටන් විසින් ඔහුගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියාමය හඳුන්වාදීම මගින් විශ්වය සහ පෘථිවිය අතර තිබූ කඩතිරය කඩා දැමූවිටයි. විශ්වයේ ඇති සියලු වස්තු ගමන් කරන්නේ කෙසේද යන්න නිව්ටන්ගේ නියාම වලින් කදිමට විස්තර කෙරුණි.
එවැනිම තවත් කඩතිරයක් දහනමවැනි සියවසේදී කඩාගෙන වැටුණා. ජීවිතය ඇතිවීම කිසියම් ඉන්ද්‍රජාලික හෝ අධිස්වාභාවික බලවේගයක් මගින් හෝ මෙහෙයවන්නක් නොවන බව විද්‍යාඥයෝ එමගින් සොයාගත්තා. එය ජීවිතය හා මරණය පිලිබඳ නව දැනුමක් වුණා. ඒ අනුව උචිත විශේෂ තත්ත්වයන් යටතේ සාමාන්‍ය රසායන ද්‍රව්‍ය කිහිපයක් සංයෝග කළ විට ජීවය නිපදවිය හැකි බව හෙළි වුණා.
මීළඟ කඩතිරය වන්නේ භෞතික ලෝකය හා මානසික ලෝකය අතර ඉදිවී ඇති කඩ තිරයයි. හිස් ගල්ලෑලි පිළිබඳ න්‍යායට සිදු වූ දෙය මෙන්ම මෙම කඩතිරය කඩා වැටීම ද ඇරඹී තිබෙනවා.
ඊට හේතුව ද්‍රව්‍යමය ලෝකය හා චෛතසික ලෝකය අතර ඇති සම්බන්ධතා පිළිබඳ සැලකිය යුතු දැනුම් සම්භාරයක් මෑත කාලයේ නූතන විද්‍යාව මගින් ගොඩ නගා තිබීමයි.
එවැනි එක් දැනුම් විශේෂයක් හැඳින්වෙන්නේ ඥානන විද්‍යාව(cognitive science) හෙවත් සිත පිළිබඳ විද්‍යාව යනුවෙන්. උත්පත්යේදීම මනස යනු හිස් ගල්ලෑල්ලක් වැනිය යන අදහස එක්දහස් නවසිය පනස් ගණන් වල දී ඇරඹුණු එකී ඥානන විද්‍යා ක්ෂේත්රය විසින් ප්‍රතික්ෂෙප කරනු ලැබුවා. භාෂාවක වචන මෙන්ම ඔබට ඕනෑම තොරතුරුක් හිස් ගල්ලෑල්ලක් මත සටහන් කිරීම කළ හැකියි. එහෙත් එම තොරතුර තෝරා උපයෝගී කර ගත හැකි කිසියම් යටිඇතුරුම් පද්ධතියක් ඔබට නැතිනම් ඉන් නිසි ඵල ප්‍රයෝජනයක් ගත නොහැකියි.
මේ කරුණ අවබෝධ කරගැනීමේ ලා තවත් වැදගත් ක්ෂේත්‍රයක් වන්නේ චර්යා ජාන විද්‍යාවයි (behavioral genetics). එමගින් අධ්‍යයනය කරන්නේ අපේ චර්යාව සම්බන්ධයෙන් ජාන වල ඇති විවිධාකාර බළපෑමයි.
අප ඉපදෙන්නේ ම කෙතෙක් දුරට අප හුරුබුහුටි ද, ලජ්ජා සහිතද, ප්‍රීතිමත්ද වැනි සුවිශේෂ ගති ලක්ෂණ නිර්ණය කිරීමට හේතුවන විවිධ ජාන සහිතව බැවින් ඉපදෙන විට මිනිසුන් හිස් ගල්ලෑලි වැනිය යන අදහස චර්යා ජාන විද්‍යාඥයෝ ප්‍රතික්ෂේප කරනවා.
මේ සම්බන්ධයෙන් ඇතැම් විට දිය හැකි හොඳම උදාහරණය නම් උත්පත්තියේදීම එකිනෙකාගෙන් වෙන් කොට හදා වඩා ගත් එක සමාන නිඹුල් දරුවන් ගැන කර ඇති නිරීක්ෂණයි. එකිනෙකට බෙහෙවින් වෙනස් වාතාවරණ තුළ ඇති දැඩි කළ ද ස්වරූපයෙන් එක හා සමාන බොහෝ නිවුන් දරුවන් කතා විලාසයෙන්, ගණිතය පිළිබඳ අභියොග්‍යතාවයෙන්(aptitude), අන්තර්වර්තිකවීමෙන් (introvert) හෝ සුසීලාචාරවීමෙන් එක හා සමානයි.
දෙතැනක හැදී වැඩුනත් එක සමාන නිවුන්නු එකම සිගරැට් වර්ගයට ඇබ්බැහිවීම ඔවුන් හැදී වැඩෙන පරිසරයට වඩා ආවේණික ජානමය පෙළඹීම් නිසා සිදුවන්නක් බැවින් චර්යා ජාන විද්‍යාවට අනුව සොයා ගැනෙන මෙවැනි මෙවැනි කරුණු “යන්ත්‍රයේ හොල්මන” නමින් හැඳින්වෙන න්‍යායද අවලංගු කරයි.
ජානමය හේතු නිසා ඇතිවන පුද්ගල ගති ලක්ෂණ සලකා බලන විට “ශ්‍රේෂඨ වනචාරියා” නමින් හැඳින්වෙන න්‍යාය ද අර්බුධයට යයි. පර්යේෂණ කිහිපයකින් ම පෙන්වා දෙන ආකාරයට ඇතැම් අයට සොරකම් කිරීම, ප්‍රචණ්ඩ හැසිරීම, දැඩි ආක්‍රමණශීලී බව ආදී සමාජ විරෝධි චර්යාවන්ට පෙළඹෙන ස්වභාවයක් ආවේණිකවම ඇති වෙනවා. ඒ අනුව කෙනෙකුගේ එවැනි ඇතැම් හැසිරීම් හුදෙක් සමාජය ආශ්‍රයෙන් ම එන ඒවා ම නොවෙයි.
- හිස් ගල්ලෑලි න්‍යාය සනාථ කරන තර්ක ශක්තිමත් ඒවා නොවෙයි.
ජාන විද්‍යාවේ ඇති වූ ඉමහත් ප්‍රගතිය හිස්ගල්ලෑලි න්‍යාය අනාථ කිරීමට ප්‍රමාණවත් යැයි ඔබට සිතෙන්නට පුළුවන්. එහෙත් හිස් ගල්ලෑලි න්‍යායට ඇලී ගැලී සිටින උදවිය පහසුවෙන් එම ඇල්ම අතහැර දැමීමට සූදානම් නැහැ.
2001 දී ප්‍රථමවරට සමස්ත මිනිස් ජෙනෝමයම (human genome) විකේතනය (decode) කළ විට හිස් ගල්ලෑලි න්‍යාය සනාථ කිරීමට හැකි වන සාක්ෂි ලැබෙනු ඇතැයි එම න්‍යාය විශ්වාස කළ න්‍යායවාදීන් කල්පනා කළා. මිනිස් ජාන ප්‍රමාණය සංඛ්‍යාවෙන් 50,000 කටත් 100,000 කටත් අතර වනු ඇතැයි කලින් සිතා සිටියත් ඇත්ත වශයෙන්ම මිනිස් ජෙනෝමය සංයුක්ත වී ඇත්තේ ජාන 34,000 කින් පමණක් බව දැනගත් විට බොහෝ විද්‍යාඥයෝ මවිතයට පත් වුණා.
මෙතරම් කුඩා ජාන සංඛ්‍යාවක් තිබීම නිසා මිනිසුන් ඔය කියන තරම් සංකීර්ණ සත්ව වර්ගයක් ලෙස පිළිබිඹු නොවේ යැයි තර්ක කළ හිස් ගල්ලෑලි න්‍යාය වාදීන් මිනිස් සිත හිස් ගල්ලෑලකට සමයැ’යි කීම නිවැරදි බව පළ කළා. මන් ද ජාන 34,000 ක් යනු ගැඩවිලෙකුට තියෙන ජාන සංඛ්‍යාව වගේ දෙගුණයක් පමණයි.
එහෙත් මිනිස් ජාන ඇත්තේ සංඛ්‍යාවෙන් සුලු ප්‍රමාණයක් පමණක් බව සැලැකීම අතිශයින් නොමග යන කාරණයක්. මන්ද මේ ජාන අතර ඇති විය හැකි අති විශාල සංයෝජන සංඛ්‍යාව සහ විවිධාකාර අන්තර් ක්‍රියාවන් සංඛ්‍යාව සැලකු විට මිනිස් දේහය සම්බන්ධයෙන් ජාන නිසා ඇතිකළ හැකි අතිශය සංකීර්ණ ස්වභාවය මැනවින් සාධාරණීය කළ හැකියි.
එහෙත් එපමණකින් අපට සෑහීමට පත් විය නොහැකියි. ඉපදෙන විට මිනිස් මනස හිස් ගල්ලෑල්ලක් වැනි බවත් එය වඩා සංකීර්ණ බවට පත්වන්නේ වයසින් මුහුකුරායාම සමග බවත් යන මතයට පක්ෂ තවත් තර්ක දෙකක් තිබෙනවා.
මින් එක තර්කයක් හඳුන්වන්නේ සම්බන්ධනවාදය (connectionism) යනුවෙන්. එමගින් අදහස් කරන්නේ මොළයේ ඇති ස්නායු ජාලය (neural network) බෙහෙවින් සමාන වන්නේ විවිධාකාර රටා හඳුනා ගැනීම මගින් ඉගෙන ගැනීමටත් සම්බන්ධතා බිහිකිරීමටත් හැකි දියුණු පරිගණක මොඩලයකට බවයි.
එහෙත් කෘත්‍රිම බුද්ධිය(artificial intelligence)සම්බන්ධයෙන් දැනට දැනගෙන ඇති පරිදි සම්බන්ධනවාදය මෙසේ මනුෂ්‍යන් සම්බන්ධයෙන් අදාළ කරගැනීමේ ලා පැහැදිලි සීමාවන් තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් මිනිසුන්ට සාමාන්‍ය අදහසක් එනම් කිසියම් වස්තුවක් සහ එම වස්තුව සම්බන්ධයෙන් දිය හැකි විවිධ උදාහරණ අතර ඇති වෙනස හඳුනා ගැනීමට හැකිය. පිහිනන සජීවි තාරාවෙකු සහ ඩොනල් ඩක් නමැති තාරාවාගේ කාටුන් රූපයක් දකින මිනිසෙකුට ඒ දෙකම තාරාවාගේ එකිනෙකට වෙනස් නිරූපණ වශයෙන් හඳුනාගත හැකියි. එහෙත් සම්බන්ධනවාදය උපයොගිකරගන්නා කෘත්‍රිම බුද්ධි යාන්ත්‍රණයකට ඉඳුරාම එවැනි වැටහීමක් ඇති කර ගැනීමේ හැකියාවක් නැහැ.
හිස් ගල්ලෑල්ල පිළිබඳ ඒ හා සමාන තවත් තර්කයක් වන්නේ මොළය තම ජීවිත කාලය තුළ සිය ස්වාභාවය වෙනස් කරගන්නා ස්නායු සුවිකාර්යතාවය (neural plasticity) හෙවත් වෙනස් වීමෙ හැකියාවයි. සුවිකාර්යතාවට එක් උදාහරණයක් වශයෙන් පළපුරුදු වයලීන් වාදකයන්ගේ මොළයේ බාහිකයේ ඇති වමත පාලනය කරන කොටස අන් අයට වඩා වැඩියෙන් වර්ධනය වීම සැලැකිය හැකියි. එහෙත් හුදෙක් වයලින් වාදනය වැනි කුසලතාවයක් වගා කර ගැනීම නිසා ජාන මගින් නිර්ණය කරන චර්යා වෙනස් වන බවට සාක්ෂි නොමැතියි. මෙයට එක් නිශ්චිත උදාහරණයක් වන්නේ සමලිංගිකයන්ට එසේ නොවී සිටීමේ හැකියාවක් ඇතිකර ගැනීම අසීරු වීමයි.
“උත්පත්තියේ දී ම සිත හිස් ගල්ලෑල්ලක් වැනිය” යන න්‍යාය පිළිබඳ බොහෝතර්ක ගොඩනැගී ඇත්තේ දේශපාලනය හා ආගම පදනම් කරගෙනයි.
උපතේ දී සිත හිස්ගල්ලෑලකි යන අදහස මෙතරම් ආකර්ෂණීය වී ඇත්තේ අප සියල්ලෝම ඉපදෙන්නේ එක හා සමාන අය ලෙසයි යන අදහසට ඉන් ලැබෙන වලංගුකම හේතු කොට ගෙනයි. එයට බෙහොවින් වෙනස් වූ අප ඉපදෙන්නේ ජීව විද්‍යාත්මක වෙනස් කම් සහිතවයි යන අදහසට තදබල දේශපාලනික විරෝධයක් පවතින්නේ එ් නිසයි.
ඇත්ත වශයෙන් ම හිස් ගල්ලෑල්ලකට වඩා මිනිස් ස්වාභාවය බෙහෙවින් සංකීර්ණවිය හැකිය යන අදහස දෝෂ දර්ශනයට ලක් කළ රැඩිකල්වාදී විද්‍යා ගවේෂණ ව්‍යාපාරයක් 1970 ගනන් වලදී බිහිවුණා. මාක්ස්වාදී අභාෂය සහිත මේ රැඩිකල්වාදී විද්‍යාඥයෝ හිස් ගල්ලෑල්ල පිළිබඳ නියාමය අනාථ කිරීමට දරන වෑයම අඩුසැලකිලි දැක්වීමේ දේශපාලන ක්‍රමයකට සහාය දැක්වීම සඳහා කරන කුමන්ත්‍රණයක් වශයෙන් හැඳින්වූවා. ඒ අනුව මොළය හැඩගැස්වීමේ ලා ජාන වල ඇති කර්තව්‍ය පිළිගැනෙන ඕනෑම සාක්ෂියක් “නියතිවාදී” (determinism) හෝ “ඌනනවාදී” (reductionism) යැයි සලකා ප්‍රතික්ෂේප කිරීමට ඔවුහු උත්සුක වූණා.
කෙසේ වෙතත් කිසිදු නුවණැති විද්‍යාඥයෙක් අපේ දේහය සහ මනස සම්බන්ධයෙන් සියයට සියයක්ම ජාන වග කිවයුතුයැ’යි කියන්නේ නැහැ. එමෙන් ම හැම මනුෂ්‍යකුගේම චරිත ස්වභාවය නිර්ණය කරන සුවිෂේශ ජාන කට්ටලයක් වෙතැයි යන අදහසක් ද ඔවුන් පවසන්නේ නැහැ.
කෙනෙකු තුළ ප්‍රචණ්ඩත්වයට නැඔුරුවන ජානමය බලපෑම් ඇතිවිය හැකිය යන අදහස “ශ්‍රේෂඨ වනචාරියා” නමින් හැඳින්වෙන න්‍යාය ප්‍රියකළ තවත් ආකාරයක රැඩිකල් විද්‍යාඥ පිරිසකගේ තදබල විවේචනයට ලක්වුණා. එය වැඩියෙන් ම දක්නට ලැබුණේ ප්‍රාග් ඓතිහාසික යුගයේ යුධකෝලාහල ඉතා සුලභ දෙයක් වූ බව විශිෂ්ඨ ජීව විද්‍යාඥයෙකු වූ ඒ.ජේ. විල්සන් 1975 දී තමන් විසින් පළ කළ ‘සමාජ ජීවවිද්‍යාව’(sociobiology) යන ග්‍රන්ථයෙන් කියා සිටි අවස්ථාවේයි. එම ප්‍රකාශයට දැඩි ලෙස විරෝධය පළ කළ රැඩිකල්වාදී විද්‍යාඥයෝ එක් ගෝත්‍රයක් විසින් අනෙක් ගෝත්‍රය විනාශ කර දැමීම මනුෂ්‍ය ස්වභාවය බව පැවසීමට රුචි අය ජනඝාතය (genocide) අනුමත කරන අයයැ’යි දෝෂාරෝපණය කළා.
ඒ අතර දක්ෂිනාංශික දේශපාලන නැඹුරුවක් ඇති අය වඩාත් කැමැත්ත දැක්වූයේ කෙනෙකුගේ මරණින් මතු ද චෛතසිකය පවතී යන අදහස අනුදත් “යන්ත්‍රයේ හොල්මන” නමින් හැඳින් වූ න්‍යායටයි. මේ ප්‍රවාදය ආරක්ෂා කිරීමට ක්‍රිස්ත්‍රියානි මූලධර්මවාදීන් ද විශේෂයෙන් උනන්දු වුණා.
පරිණාමවාදය පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ඕනෑම අයෙකු මිනිස් සිත යනු පරිනාමීය ක්‍රියාවලියේ ම ප්‍රතිඵලයක් බව විශ්වාස කිරීමට අකමැතියි. සිත මුල් කොටගත් දිව්‍යමය ආත්මයක් ඇත්තේයැ’යි අදහන අය සිතුවිලි සහ හැඟීම් යනු මොළයේ ඇතිවන රසායනික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්යැ’යි කිසිසේත් ම පිළිගැනීම උගහටයි.
- අසමානතාවය සහ අපරිපූර්ණතාව ප්‍රචලිත වීමට “හිස් ගල්ලෑල්ල” න්‍යාය අතහැරීම හේතුවේ යන බිය.
කිසියම් අවස්ථාවක් පිළිබඳ යථාර්තයට මුහුණ දීමට සිදුවීම ඇතැම් විට බිය ජනක දෙයක් විය හැකියි. “හිස් ගල්ලෑල්ල” නමැති න්‍යාය අතහැර දැමීිමට සිදුවීමද එවැනි එක් අවස්ථාවක්. ශත වර්ෂ ගණනාවක් තිස්සේ පැවැති වහල් පීඩනය සහ අනතුරුව පැමිණි මහා යුදෙව් සංහාරය (holocaust) වැන අමානුෂික ක්‍රියා1970 ගණන් වලදී ද තවමත් මිනිසුන්ගේ මතකයේ තදින් කාවැදී තිබුනු දේවල් වුණා. ඒනිසා “හිස් ගල්ලෑල්ල” පිළිබඳ න්‍යාය සමානාත්මතාවය පිළිබඳ සැනසිලිදායක හෙවත් සුඛවරණ න්‍යායක් (comfort theory) වශයෙන් එකල සැලැකීම පුදුමයක් නොවෙයි.
එහෙත් දැන් ඒ වෙනුවට මිනිසුන් සහජයෙන්ම එකිනෙකාට වෙනස් ය යන කාරණය තදින් තහවුරු වෙමින් පවතිනවා. මේ නිසා ම සමාජය තුළ පවතින අසමානතාවය සාධාරණීයකරණය කිරීම පිණිස ජාන විද්‍යාව යොදාගනු ඇතැ’යි යන සැකය ඇති වුණා.
මේ අතරින් වඩාත්ම බිය දනවන සංකල්පයක් ලෙස සැලකුනේ සමාජ ඩාවින්වාදයයි(Social Darwinism). සමාජ ඩාවින් වාදයට අනුව සමහර අය අන් අයට වඩා පහත් යැයි පෙන්වීමට අපරාධ සහ ආදායම් ප්රමාණවල වෙනස් කම් යොදා ගැනීමෙන් සමාජ අසමානතාවය සාධාරණීයකරණය කරනු ඇතැ’යි අතැම් අය තර්ක කළා.
එහෙත් ලිංගික, වාර්ගික සහ ජානික කන්ඩායම් තුළ සුළු වශයෙන් පවතින ජානමය වෙනස්කම් අවිචාරශීලී ලෙස සමාජ ඩාවින්වාදය පිළිගැනීමට කිසිසේත් ම හේතු විය යුතු නැහැ.
මෙහිදී පළමු කොට ම කෙනෙකුගේ ජානමය වෙනස්කම් යනු ඔහුගේ සමාජ තත්ත්වය තීරණය කරන එකම සාධකයැයි සැලකීම අයුතුයි. ජානමය දුර්වලතා සමග උපත ලද අය සම්බන්ධයෙන් වුවද අඩුසැලකිලි දැක්වීම වෙනුවට ඔහුගේ හෝ ඇයගේ දුර්වලතා ඌණපූරණය කළ හැකි සුදුසු සමාජ සේවා වැඩපිළිවෙලවල් පවත්වාගෙන යාම සාධාරණ සමාජයක වගකීමයි.
හිස ගල්ලෑලි න්‍යාය අතහැර දැමීමට ඇති තවත් නොකැමැත්තක් ඇතිවන්නේ පුද්ගල අපරිපූර්ණත්වය (imperfection) පිළිගැනීමට අදාළවයි.
උදාහරණයක් වශයෙන් ගතහොත් සාමාන්‍යයෙන් පුරුෂයන් ආත්මාර්ථකාමී ලිංගික ආවේග සහිතව ඉපදෙන්නේය යන අදහස ලිංගික හිරිහැරවලට හේතුවක් බවට ඇතැම් ස්ත්‍රීවාදින් අතර ඇති ජනප්‍රිය ප්‍රවාදයක්. ඇතැම්විට ජුගුප්සාජනක ලිංගික ක්‍රියාවන් ස්වාභාවිකයැයි සැලකිය හැකි වුව ද ඒ හා සමානව ම ස්ත්‍රීන් තමන් මත පටවන ලිංගික බලහත්කාරයට එරෙහිවීමද ස්වාභාවික දෙයක්. ලිංගික චර්යාව පිළිබඳ අපේ සමාජ වටිනාකම් ගොඩනැගී ඇත්තේ අනෙකෙකුගේ ආසාවන්ට වඩා වැදගත් වන්නේ සිය දේහය භාවිතා කිරීමේ හෝ නොකිරීමේ තීරණය ගැනීමට අයිතිය ඇත්තේ දේහය තුළ ජීවත්වන පුද්ගලයාටය යන පදනම මතයි. ඒ නිසා ස්වාභාවික වූ පලියට ම ඕනෑම ආසාවක් සමාජය විසින් ඉවසාදරා ගත යුතුයැයි කිසිසේත් ම අදහස් නොකළ යුතුයි.
මනුෂ්‍ය ස්වභාවය පිළිගැනීම එහි ප්‍රභවය වන මිනිස් මොළය පිළිබඳ තිබිය යුතු නිහතමානී ගෞරවභක්තියෙන් ඇරඹිය යුතුයි.
- විවිධ ප්‍රවර්ග (categories) බිහිකිරීම මිනිස් මනසේ ජනප්‍රිය හැකියාවක්. එහෙත් එම හැකියාව වර්ගවාදය (racism) ප්‍රචලිත කිරීමට ද යොමු විය හැකියි.
බිලියන සියගණනක නියුරෝන ත්‍රිලියන සිය ගණනක සම්බන්ධන (connections)මගින් යාකරන ලද මිනිස් මොළය විශ්මය ජනක ලෙස සංකීර්ණ වූ ඉන්ද්‍රියයකි. එහෙත් මේ සා දියුණු සංකීර්ණතාවයක් කුමක් සඳහා ද?
අපේ මොළයේ ප්‍රධාන අරමුණ ජීවී විශේෂයක් වශයෙන් අපේ දිගුකාලීන පැවැත්ම හෙවත් ප්‍රවර්තනය(survival) සහතික කිරීමට අවශ්‍යවන පරිදි අප අවට ලෝකය පැසුරුම් (process) කිරීමට, අවබෝධ කරගැනීමට අපට ආධාර කිරීමයි. ඊටත් වඩා මොළය අප සඳහා වූ යථාර්තයක් (a reality)ද නිර්මාණය කරනවා.
අපට ආරක්ෂා සහිත යථාර්තයක් නිර්මාණය කිරීමට පිණිස යම් යම් දේවල් විවිධාකාර ලෙස ප්‍රවර්ග(categorize) කිරීමට මිනිස් මොළය කටයුතු කරනවා. එහෙත් මොළය හරියටම යථාර්තය නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව විවිධ මත පවතිනවා.
ඇතැම් අය යෝජනා කරන පරිදි අප විසින් සංජානනය කරනු ලබන යථාර්තය හුදු සමාජීය නිර්මාණයක් (social construct) පමණයි. මේ සම්බන්ධයෙන් දිය හැකි එක් උදාහරණයක් වශයෙන් ඔවුන් දක්වන්නේ ඇතැම් අය විසින් හොඳ-නරක, ශිෂ්ට-අශිෂ්ට ඈ වශයෙන් මිනිසුන් ඒකාකෘතික (stereotypes) කොටස් වලට බෙදනුලැබීම හෙවත් ස්ටීරියෝටයිප් කිරීමයි. ඔවුන් කියන පරිදි ජාතිවාදය පැවතීමට එක් හේතුවක් වන්නේ ද සමාජය තුළ ප්‍රචාරණය වන ජාතිවාදී ඒකාකෘතිකත්වය අපේ මොළ මගින් ද ප්‍රවර්ගයක් වශයෙන් දිගින් දිගටම පවත්වාගෙන යාමේ ප්‍රවණතාව නිසයි. ඒනිසා ඔවුන් පවසන අන්දමට ජාතිවාදය නැතිකළ හැක්කේ එහි පැවැත්ම සහමුලින් ම ප්‍රතික්ෂේප කිරීමෙනි. එවිට සමාජ නිර්මාණයක් වශයෙන් ද ජාතිවාදය කඩා වැටෙනු ඇතැ’යි අදහස් කරනවා.
උදාහරණ වශයෙන් ගතහොත් මුදල්, නිලකාලය, පුරවැසිබව වැනි ඇතැම් දේවල් හුදු සමාජ නිර්මාණයන් බව සැබවකි. ඒවා පවතින්නේම සමාජයේ හැම අයෙකුගේම පොදු සම්මුතිය හේතු කොටගෙනය. එහෙත් එයට වෙනස්ව ලිංගිකවාදය (sexism) හෙවත් ස්ත්‍රීරෝෂණය සහ ජාතිවාදය(racism) වැනි ඒකාකෘතීන් බිහිවන්නේ අපේ මොළ ක්‍රියා කරන ස්වභාවය නිසයි.
අපේ මොළය සැලැසුම් වී ඇත්තේ ම මොළයට ග්‍රහණය වන දේවල් හැකිතරම් යුහුසුලුව ප්‍රවර්ග කරගැනීම පිණිසයි. කෙනෙකුගේ අභිප්‍රායන් හොඳද නරකද ඈ වශයෙන් කෙරෙන ප්‍රවර්ග කිරීමටද මෙය අදාළ වෙනවා. එමෙන් ම සුදුසු කෙටි මංවලට ප්‍රියවීම ද මොළයේ ස්වභාවයයි. ව්‍යාපාරික අධ්‍යනය හදාරන ශිෂ්‍යන්ට වඩා කලා අංශයේ ශිෂ්‍යයෝ ලිබරල් මතධාරීන්යැයි සිතීමට අපේ මොළය යුහුසුලුව පෙළඹීම එයට එක් උදාහරණයක්. අපේ සිත් තුළ ඒකාකෘතීන් නිපදවෙන්නේ එ් අයුරිනුයි. ජාතිවාදී හා ස්ත්‍රීරෝෂණවාදී ඒකාකෘතීන් ඇතිවන්නේද ඒ හා සමාන වූ පැසුරුම් තුළෙනි.
ඇතැම් ඒකාකෘතීන් සංඛ්‍යා ලේඛන මගින් සාධාරණීයකරණය කළ හැකි නමුත් අනෙක් බොහෝ ඒවා බිහිවන්නේ දේවල් සහ මිනිසුන් ප්‍රවර්ග වලට වෙන් කිරීමට අපේ මොළය දක්වන දැඩි නැඹුරුව නිසයි. එහෙත් මේ දෙයාකාරය ම හුදු සමාජ නිර්මාණ වශයෙන් සැලැකිය නොහැකියි.
ඇතැම් දේවල් සහ මිනිසුන් ප්‍රවර්ග වලට වෙන් කිරීමට මොළය අතිශයින් සමත් වුවද අමූර්ත ලෝකය (abstract world)ගැන යුහුසුලව හැඟීමක් ඇතිකර ගැනීමට මොළයට අපහසුයි. උදාහරණයක් වශයෙන් නූතන භෞතික විද්‍යාව, ගණිතය සහ ජානමය ලෝකය ගැන තවමත් අපට නිසි පරිඥානික අවබෝධයක් (intuitive knowledge) නැහැ. මන්ද ඒ හා සම්බන්ධව තිබෙන අමූර්ත විද්‍යාව (abstract science) අපට ඉතා අලුත්ය. එය පහසුවෙන් තේරුම් ගැනීමේ කුසලතාව ඇතිකරගෙන ඒ කුසලතාවය ජානමය වශයෙන් අපේ දූ දරුවන්ට උරුම කිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් අමූර්ත විද්‍යාව අප අතර තවම ගැවසී නැහැ.
මේ නිසා ඇතිවන පරතරය පිරවීමටයි අපේ අධ්‍යාපනය නිසිලෙස විකසනය කිරීම හෙවත් සංවර්ධනය කිරීම කළ යුතු වන්නේ.
- පරෝපකාරයට අපේ ඇති බලවත් කැමැත්ත මෙහෙයවන්නේ ජාන වලින් වන අතර අපේ සදාචාර හැඟීම් ද බොහෝවිට අහේතුක ඒවා විය හැකියි.
වසර සහස්‍රයකට අධික කාලයක් තිස්සේ ‘මිනිස්කම’ යන්න යම් යම් ලේබල් ගසා හැඳින්වීමට විවිධාකාර කණ්ඩායම් විසින් තැත්කරනු ලැබ තිබෙනවා. මිනිසුන් ස්වාභාවයෙන් නිරාචාරී (amoral) වන අතර ආත්මාර්ථකාමී අවශ්‍යතාවයන් මත පමණක් ක්‍රියා කරන බව සම්භාව්‍ය ආර්ථික විද්‍යාඥයෝ පැවසුවා. එහෙත් මනෝරාජික සමාජවාදීන් තර්ක කළේ මිනිසුන් වනාහී එකම අරමුණක් කරා අනොන්‍ය සහයෝගයෙන් ක්‍රියා කරන පිරිසක් බවයි.
එහෙත් සත්‍යය නම් මේ ලේබල් දෙකෙන් එකක්වත් ම හරියට ම හරි නැති බවයි. අප සුනියත ලෙස ම මමංකාර ආත්මාර්තකාමීන් හෝ කිසිදු මමංකාරයක් නැති පරාර්ථකාමියෝ හෝ නොවෙයි.
අනෙකුත් ඒවා මෙන්ම අපේ සමාජ අවශ්‍යතාවයන් සහ ආශාවන් ද විකාසනය වී ඇත්තේ තම ගෝත්‍රයේ කොටස්කරුවන් වශයෙන් එකිනෙකා හා සහයොගයෙන් කටයුතු කිරීම වෛරී සමාජ ද්වේශීන්වීමට වඩා මිනිසුන්ගේ පොදු ප්‍රවර්තනයට වැඩදායකය යන පදනමේ පිහිටායි. මේ නිසා අවංක ලෙසම දයාව දැක්විය හැකි චිත්තවේග සහිත මනසක් අපට දායාද කර දීමට ස්වාභාවික වරණය කටයුතු කර තිබෙනවා. එහෙත් මේ දයාවට ද සීමාවන් ඇති අතර ඒවා හුදෙක් ප්‍රජා සමූහයක් වශයෙන් ජීවත් වීමට පක්ෂව ම පැනවෙන සීමාවන් ද නොවේ.
අපේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාව වන්නේ අපේ ම ජාන පරපුරින් පරපුරට දායාද කර දීමයි. ඒ අනුව කෙනෙකු ඥාතීත්වයෙන් අපට සමීප වන ප්‍රමාණයට අනුව ඔහුට උදව් උපකාර කිරීමට අප විශේෂයෙන් පෙළඹෙනවා.
කෙසේ වෙතත් අපේ ප්‍රජා ආශාවන්ගේ සීමාවන් දැනගැනීමට නම් ඉස්රායේලි කිබුට්ස් (Israeli Kibbutz) සමුහ ප්‍රජා කණ්ඩායම් පිළිබඳ ඉතිහාසය විමසීම ප්‍රයෝජනවත්. මෙකී කිබුට්ස් ප්‍රජා සමූහ සැලැසුම්කර තිබුනේ පරිපූර්ණ සමාජවාදී ප්‍රජා කණ්ඩායම් ලෙස ක්‍රියාකිරීමටයි. උදාහරණයක් වශයෙන් කිබුට්ස් ප්‍රජා සමූහ වල විසූ විවිධ පවුල් වල දරුවන් සියල්ලෝම සැලැසුම් කර තිබූ අන්දමට එකම පොදු ලැගුම් හලක නිදාගැනීම කළ යුතුව තිබුණා. එහෙත් අවසානයේ ජාන වල බලපෑම එකී පරමාදර්ශී චේතනා වලට වඩා ප්‍රබල බව ඔප්පු වුණා. මන්ද දෙමව්පියන් ට අවශ්‍ය වුනේ තම තමන්ගේ දරුවන් එකම පොදු ලැගුම් හලක නිදා ගැනීම නොව තමන් සමග තමන්ගේ නිවෙස් වල නිදා ගැනීමයි.
එමෙන්ම කොයිතරම් ගුණයහපත් වුවද අපේ බෙහෙවින් විස්තීර්ණ සදාචාරාත්මක හැඟීම් වලට පවා දෝෂ සහ විකාර ජනක දේවලින් මිදීමට හැකි වී නැහැ. උදාහරණයකට මේ කථාව සලකා බලමු. පවුලේ සුරතල් බල්ලා රියක හැපී මිය යෑමෙන් පසු එම පවුලේ උදවිය මුලින් ම ශෝකයට පත්වෙනවා. ඉන් පසු බලු සිරුරට කුමක් කළ යුතු ද යන ප්‍රශ්නය පැන නගිනවා. ඇතැම් ජාතිකයන් මොවුනු අතර ද අතර බලු මස් ප්‍රණීත ආහාරයක් ලෙස සැලකෙනවා. ඒ අනුව ඔවුහු මිය ගිය බලු සිරුරු සුද්ද කොට පිස රාත්‍රි භෝජනය සඳහා බලුමස් අනුභව කරනවා.
දැන් ඔබේ ක්ෂණික ප්‍රතිචාරය විය හැක්කේ ඉහත කී චර්යාව වැරැදි බවයි. එහෙත් ඔබට ඔබේ එම ප්‍රතිචාරය සහේතුකව සාධාරණීය කළ හැකි ද? එසේ බලු මස් කෑම අදාළ සමාජයේ හැම දෙනාගේම කැමත්තෙන් කෙරෙන්නක් නම් සහ එම ක්‍රියාවෙන් අන් කිසිවෙකුටත් හානියක් සිදුනොවන්නේ නම් එහි ඇති කිසිදු වරදක් නැතැයි ඕනෑම සදාචාරවාදී දර්ශනවාදියෙකු පවසනු ඇති.
කිසි ම කෙනෙකුට හානියක් සිදු නොවන ඇතැම් ක්‍රියාවන් සම්බන්ධයෙන් අප දක්වන අකැමැත්ත බොහෝවිට සහේතුකව සාධාරණීයකරණය කිරීමට අපට නොහැකියි. එයට හේතුව ඒ සම්බන්ධයෙන් අපේ විනිශ්චය පාදක වන්නේ එම ක්‍රියාව නිසා කෙනෙකුට සිදුවිය හැකි හානිය මත නොව පරිනාමයෙන් ම විකාසනය වී ඇති අපේ ඇතැම් සදාචාරාත්මක හැඟීම් මත නිසා බැවින්.
- ස්ත්‍රීන් හා පුරුෂයන් ගේ සිත් එකි නෙක හා හුවමාරු කළ හැකි දේවල් නොවේ. එහෙත් එම කීම ස්ත්‍රීවාදය ට එරෙහිවූ කියමනක් ද නොවේ.
මීට ටික කලකට පෙර ස්ත්‍රීන් සම්බන්ධයෙන් පැවැති පෘථුල ආකල්පය වූයේ ඔවුන් කීකරු භාර්යාවන් සහ ස්නේහවන්ත මව් වරුන් වශයෙන් කටයුතු කළ යුතු බවයි. වර්තමාන එක්සත් ජනපදයේ මේ ආකල්පය සැලැකියයුතු පමණ වෙනසකට ලක් වී ඇති නමුත් තවමත් ස්ත්‍රීන් අඩුසැලැකිලි දැක්වීමට, බාල්දුවීමට සහ ලිංගික අතවරවලට නිරන්තරයෙන් භාජනය වෙනවා.
ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරය සහ ස්ත්‍රීවාදය නිවැරදි ලෙසම අපට ඓතිහාසික ජයග්‍රහණ ලෙස සැලැකිය හැකියි. එහෙත් අඩුම තරමින් ස්ත්‍රීවාදයේ එක්තරා ප්‍රභේදයක් විසින් මනුෂ්‍ය ස්වභාවය පිළිබඳ නූතන විද්‍යාත්මක අවබෝධය ප්‍රතික්ෂේප කර තිබෙන බව ද ඒ අතර කිව යුතුයි. ලිංගභේද ස්ත්‍රීවාදය යනුවෙන් හැඳනිවිය හැකි මේ ප්‍රපභේදයේ සාමාජිකයන් ට අනුව පිරිමි ළමයින් සහ ගෑනු ළමයි අතර ඇති එක ම වෙනස ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය වෙනස් වීම පමණයි.
එහෙත් ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ සිත් අතුරුමාරු නොහොත් එකක් වෙනුවට අනික ආදේශ කළ හැකියැයි යන අදහස බොහෝ අතින් පලුදු සහිත අදහසක්. පළමුවෙන්ම කිව යුත්තේ මොළයට නිශචිත ව්‍යුහයක් පවතින බවයි. ඒ අනුව ස්ත්‍රීන් හා පුරුෂයන්ගේ මොළ වළ අසමාන දෘෂ්‍යමාන වෙනස්කම් තිබෙනවා. ඒ නිසා ඔවුන්ට එකනෙකාට වෙනස් ආකාරයේ ඥානන හැකියාවන් පවතින බව තර්කානුකූලයි.
මේ තර්කය සනාථ කිරීමට කරන ලද සමීක්ෂණ වල දී පුරුෂයන්ගේ අවදානම් ගැනීමේ සාමාන්‍ය ස්ත්‍රීන්ගේ අවදානම් ගැනීමේ සාමාන්‍යට වඩා බෙහෙවින් වැඩි බවත් මනසින් ත්‍රිමාන වස්තු හැසිරවීමේ හැකියාව අතින් පුරුෂයන් ස්ත්‍රීන්ට වඩා සමර්ථ භාවයක් දක්වන බවත් සොයාගෙන තිබෙනවා. එමෙන්ම අක්ෂර වින්‍යාසය, හැඩ සීහීම, දෛහික සංඥා සහ මුහුණු අභිනය තේරුම් ගැනීම වැනි දෑ අතින් ස්ත්‍රීන් පුරුෂයන් අභිබවන බවත් එම සමීක්ෂණ වලින් හෙලිවුණා.
මේ වෙනස්කම් නිසා කිසිසේත්ම එක් ලිංගික වර්ගයක් අනෙක් ලිංගික වර්ගයට වඩා උසස් වන බවක් නොහැඟෙන බව අප මතක තබාගත යුතුය. සාමාන්‍ය බුද්ධිය සහ මූලික චිත්තවේගී ප්‍රතිචාර සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයටම බොහෝවිට ඇත්තේ සමාන හැකියාවන්.
ජානමය පර්යාලෝකයකින් බැලූවිට ස්ත්‍රී ශරීරයක් හෝ පුරුෂ ශරීරයක් තුළ විසීමට ලැබීම ජාන වලට නම් හොඳ උපායමාර්ගයක්. ඒ නිසයි වඩා සංකීර්ණ සිරුරු සහ සිත් වලින් සමන්විත වීමට ලිංගික ප්‍රභේද දෙකම එක සමාන ව ස්වාභාවික වරණය ඔස්සේ සුශිෂ්ටවී ඇත්තේ.
ඒ අනුව ලිංගික ප්‍රභේද දෙකටම ඇත්තේ එකිනෙකට වෙනස් සිත් බව පිළිගන්නා අතර හොඳ ස්ත්‍රීවාදියෙකු වීමට ඕනෑම කෙනෙකුට හැකිය. මන්ද ජීව විද්‍යාත්මක වෙනස්කම් අඩුසැලකිලි දැක්වීම් වලට කිසිසේත් ම හේතුවක් නොවන නිසයි.
ඒ හැර මේ කාරණය සත්‍රීන්ට අඩුසැලකිලි දැක්වීමට හෝ ලිංගික වශයෙන් වැටුප් විෂමතා පවත්වා ගැනීමට හෝ හේතුවක් නොවේ. වැටුප් විෂමතා වලට අතිරේක ව අඩු සැලකිලි දැක්වීමට හේතුවන අනෙකුත් කරුණු ගැන හොඳ අවබෝධයක් ස්ත්‍රී පුරුෂ භාවය නිසා ඇති විය හැකි ජීවවිද්‍යාත්මක වෙනස්කම් පිළිබඳ තොරතුරු විමසීමෙන් ලබාගත හැකිය. ඒ අනුව ඇතිවිය හැකි විෂමතා හානිපූරණය කිරීමේ වැඩ පිළිවෙලවල් ද සමාජයට සකස් කළ හැකිය. කිසියම් සමාජයක් ස්ත්‍රී කුසලතා වලට වඩා පුරුෂ ගති ලක්ෂණ හා වඩා ගැලපෙන කුසලතා අවශ්‍යවන රැකියාවන් අගය කරනවිට පුරුෂයන් කාර්යක්මෂ වීමට ඉඩ තිබෙන අතර තවත් සමාජයක් ස්ත්‍රී කුසලතා හා පෑහෙන රැකියා අගය කරන විට එම සමාජයේ ස්ත්‍රීන් වඩා කාර්යක්ෂමව කටයුතු කිරීම ද සිදුවිය හැකියි.
කෙසේ වෙතත් ස්ත්‍රී-පුරුෂ භාවය නොතැකීම මනුෂ්‍ය ස්වභාවයේ වැදගත් අංගයක් නොතකා හැරීමකි.
- මව්පිය කම, අනන්‍ය පරිසරය සහ ජානවල බලපෑම චර්යා ජාන විද්‍යාවේ(behavioral genetics) එන නියාම තුනක් මගින් පෙන්නුම් කරයි.
“හිස් ගල්ලෑලි” න්‍යාය අනාථ කළ පර්යේෂණ රැසක් මගින් සොයාගත් සාක්ෂි මත පදනම්ව චර්යා ජාන විද්‍යාව පිළිබඳ මූලික න්‍යාය තුනක් වසර 2000 දී එරික් තුරුක්හයිමර් නමැති මනෝවිද්‍යාඥයා විසින් යෝජනා කරනු ලැබුවා.
ඒ අනුව චර්යා ජාන විද්‍යාව පිළිබඳ පළමුවැනි න්‍යාය වශයෙන් හැඳින් වුනේ “මනුෂ්‍ය චර්යාවේ නිජ ගති ලක්ෂණ ආවේණියෙන් ම එන්නකි” යන්නයි.
මෙහිදී නිජ චර්යා ගති ලක්ෂණ යන ගණයට වැටෙන්නේ කිනම් හැසිරීම් ද යන්න විවාදාත්මක වන නමුත් භාෂා ප්‍රවීණතාව, ආගමික විශ්වාසවල ප්‍රබලතාව හෝ ඔබ කෙතෙක් දුරට ආචීර්ණ කල්පික හෝ ලිබරල් ද හෝ යන බව වැනි නිශ්චිතව ම පරීක්ෂාවට ලක් කළ හැකි දේවල් එයට අයත් විය හැකි බවට බොහෝ විශේෂඥයෝ එකඟ වෙනවා.
ඒ අතරම ඔබේ මව් බස සහ ඔබේ ආගම වැනි හුදෙක් ආවේණියෙන් දායාද නොවන බොහෝ අනන්‍යතා ගති ලක්ෂණ ද පවතින බව අප මතක තබා ගත යුතුයි.
චර්යා ජාන විද්‍යාව පිළිබඳ දෙවැනි නියාමයෙන් කියැවෙන්නේ ” එකම පවුලක ඇතිදැඩිවීම නිසා ඇතිවන බලපෑම් ජාන වලින් එන බලපෑමට තරම් ම ප්‍රබල නොවේ” යන්නයි.
උත්පත්තියේදී ම එකිනෙකාගෙන් ඈත් කරන ලද එක සමාන නිවුන් දරුවන් සම්බන්ධයෙන් කළ අධ්‍යයන වල දී මෙන් ම ජානමය වශයෙන් ඥාතිත්වයක් නැතිව එක ම පවුලක අරන් හදාාගත් දරුවන් සම්බන්ධයෙන් කරන ලද පර්යේෂණ ද හා මෙම නියාමය හා සබැඳෙනවා. අරන් හදාගත් දරුවන්ගේ පෞරුෂත්ව ලක්ෂණ මූලික වශයෙන්ම නිර්ණය වන්නේ ඔවුන්ගේ ජාන වලින් බවත් හදාගත් දෙමව්පියන්ගේ නිජ ගති ලක්ෂණ නිසා අරන් හදාගත් දරුවන් කෙරෙහි ඇතිවිය හැකි බලපෑම නොසැලකිය හැකි තරම් ස්වල්ප බවත් අධ්‍යයන මගින් තහවුරු ව තිබෙනවා. ඒ අනුව සම වයසේ සහෝදරයන් ලෙස එකම වහලක් යට ජීවත් වුවද අරන් හදාගන්නා දරුවන් මුහුකුරා යන විට දෙමව්පියන්ට දාව ඉපදෙන ජීව විද්‍යාත්මක දරුවන්ට වඩා බෙහෙවින් වෙනස් වෙනවා.
චර්යා ජාන විද්‍යාවේ තුන්වැනි නියාමයෙන් කියවෙන්නේ “සංකීර්ණ වූ මානව චර්යා ගති ලක්ෂණ වල විවිධ ප්‍රභේදන අතරින් සැලැකිය යුතු කොටසක් පවුලේ හෝ ජාන වළ බලපෑම මගින් නිර්ණය නොවේ” යන්නයි.
මෙය තරමක් ප්‍රශ්නාර්ථකාරී දෙයක් ලෙස පෙනුනත් ඉන් ඇත්ත වශයෙන් ම කියැවෙන්නේ පවුල සහ ජාන වලින් බැහැරව සැලකිය යුතු බලපෑමක් අදාළ පුද්ගලයා හැදී වැඩෙන පරිසරයෙන් ඇතිවන බවයි. පරිසරය යනු මෙහිදී පදිංචි වටාපිටාව මෙන්ම ඇසුරු කරන මිතුරු කණ්ඩායමේ ස්වභාවය ද අදහස් වේ.
ගණනය කළ ඇති අන්දමට මෙකී නියාම තුනට අනුකූලව ඇතිවන බලපෑම මෙසේ ප්‍රමාණ කර දැක්විය හැකියි. ජාන නිසා: 40%-50% දක්වා. හැදී වැඩුනු පවුල් පසුබිම: 0%-10% දක්වා. හැදී වැඩෙන පදිංචි පරිසරය හා මිතුරු ජාලය නිසා: 50%.
- කලාවද අපේ ජාන වලින් පැවතෙන්නක් වන අතර එම අරුමය නූතන කලාවෙන් ගිලි හී යමින් පවතිනවා.
සෑහෙන කලක් තිස්සේ අමෙරිකානු පාසැල්, කලාව සහ සංගීතය වැනි විෂයයන් කප්පාදු කරමින් විද්‍යාව සහ තාක්ෂණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අමෙරිකානු අධ්‍යාපනයේ ඇති මේ ප්‍රවණතාව සම්බන්ධයෙන් බොහෝ අය විරෝධය ප්‍රකාශකර ඇති අතර ඉන් ඇතැමුන් කලාව අතුරුදහන්ව යාම පිළිබඳව ද අනතුරු අඟවා තිබෙනවා. එහෙත් ඒබිය තුරන් කිරීමට හැකි කරුණුද එමටයි.
ඔය හිතන තරම් ම හානියක් කලාවට ඇත්ත වශයෙන් ම සිදුවිය නොහැක්කේ කලාව බොහෝ විට අපේ ජාන වලම අඩංගු දෙයක් වන නිසායි.
කලාව හැම විටම පැවැතුණේ අපේ මනුෂ්‍ය ස්වභාවය ප්‍රකාශයට පත් කරන එක් ආකාරයක් වශයෙන්. ලෝක ජනගහණයේ ඉහළ යාමත් සමගම කලා කෘතිද සංඛ්‍යාව අතින් ඉහළ ගොස් තිබෙනවා. ගායනය, නර්තනය, චිත්‍ර හා මුර්ති සහ කතන්දර කීමේ කලාව ආදි වශයෙන් කලාව යනුලෝකයේ ඇති හැම සංස්කෘතියක් තුළම ජීවමානව පවතින දෙයක්. ඒ නිසා කලාව අපේ මනුෂ්‍ය ස්වභාවයේ එක් අංගයක් වශයෙන් සැලැකිය යුත්තේ ඇයි ද යන්න තේරුම් ගැනීම එතරම් අපහසු නැහැ.
කෙනෙකුගේ බුද්ධිමය හැකියාව පිලිබඳ සහජ ලක්ෂණයක් බවට පිළිගැනෙන නිර්මාණශීලීත්වය පුදගලයෙකුගේ ජාන වල ගුණාත්මක හා ආකර්ෂණීය බව පිළිබඳ වද හොඳ සාධකයක්. එ බැවින් කලා නිශ්පාදනය පිළිබඳ ආසාවන් පළමුවෙන් ම ඉස්මතුවන්නට ඇත්තේ සහකරුවන් හෝ සහකාරියන් හා සහාවාසයට මනුෂ්‍යාට තිබූ උනන්දුව නිසා විය හැකිය.
කෙසේ වෙතත් ඇතැම් කලා කෘති වෙනත් කලා කෘති වලට වඩා ප්‍රහර්ෂය දනවන බව සමීක්ෂණ මගින් සනාථ වී තිබෙනවා. කලාව මියන බවට ඇති වැරදි විශ්වාසයට හේතුව බොහෝ විට එමගින් අපට විස්තර කළ හැකියි.
සම්භාව්‍ය අර්ථයෙන් පියකරු චිත්‍ර සහ සුන්දර භූමි පරිදර්ශන(landscape) කෙරෙහි මිනිසුන් සාමාන්‍යයෙන් වඩා කැමැත්තක් දක්වනවා. එහෙත් ඒ වෙනුවට නූතන හා පශ්චාත් නූතන කලාව වඩාත් ලැදි කම දක්වන්නේ අමූර්ත අදහස් සහිත කලාවකටයි.
ඉතින් ලස්සණ මල් පොකුරු, පියකරු බැලරිනා නාටිකාංගනාවන් සහ ඉර බැසයන විචිත්‍ර දර්ශන වෙනුවට මෑතක සිට අපට බොහෝ විට දැකගන්නට ලැබෙන්නේ එක බැල්මකින් රස විඳීමට අසීරු දිගට හරහට තීන්ත ගසා බසා දමා ඇති ජැක්සන් පොලොක්ගේ වියරු පුවරු සහ කරදරකාරී ලෙස අමූර්ත වූ පින්තූරයි. එමෙන්ම නූතන සංගීතයද බොහෝ විට සම්භාව්‍ය ස්වරමාධූර්ය දනවන තාල සහ රිද්ම අතහැර ඒ වෙනුවට කිසිදු ස්වරමාධූර්යක් නැති විසංවාදී ධ්වනි රචනා වලට කැමැත්තක් දක්වනවා.
ඇත්ත වශයෙන්ම පිරිහෙමින් යන්නේ චිරාගත සෞන්දර්ය වෙනුවට එලෙස අමූර්ත චිත්‍ර සහ ශබ්ද ආදේශ කිරීමට තැත් කළ කලාවයි. අනෙකුත් සියලු සංවේදනා මෙන්ම සෞන්දර්ය පිළිබඳ අපේ සංවේදනා ද පරිනාමීය අනුවර්තනයෙන් විකාසනය වූ ඒවායි. ඒ නිසා කලාව හීනවීගෙන යන බවට පැමිනිලි කරන බොහෝ අය ඇත්ත වශයෙන් ම පවසන්නේ අපට වඩා හුරු සම්භාව්‍ය වර්ගයේ කලා කෘති වල නිශ්පාදනයේ අඩුවීමක් ඇති බවයි.
කලාව සහ සෞන්දර්ය යන දෙකම මනුෂ්‍ය ස්වභාවය සම්බන්ධයෙන් කැපීපෙනෙන භූමිකාවක් ඉටු කරයි. ඒ නිසා ඒ දෙක එකිනෙක හා වැළඳ ගැනීම අරුමයක් නොවේ.
මිනිස් සිත බිහිවන්නේ “හිස් ගල්ලෑලක්” ලෙස හෝ අනෙකුත් සියලු ජීව විද්‍යාත්මක පැසුරුම් හෙවත් ක්‍රියාවලියන්ගෙන් වියුක්ත වූ ශරීරය නමැති යන්ත්‍රයක වෙසෙන හොල්මනක් ලෙස හෝ නොවේ. ඒ හා සමානව උත්පත්තියෙන් ම මිනිසුන් වනචාරී ශ්‍රේෂ්ටයන් වන නමුත් සමාජය නිසා දූෂිත වෙයි යන ප්‍රවාදයද මිථ්‍යාවක්. ඒ වෙනුවට ඇත්ත වශයෙන් ම සංකීර්ණ ව්‍යුහයකින් යුක්තව මිනිස් සිත සැදී ඇත්තේ ම ලෝකය තුළ සාර්ථක ලෙස ප්‍රවර්තනය වීමට පිණිස ලෝකය සුදුසු ලෙස අර්ථකතනය කර දීමට අපට අවශ්‍ය කරන අන්තර්ඥානය හෙවත් සහජාසය(instinct) ලබා ගැනීමටයි.
thathu.com