මානව ඉතිහාසයේ අප මේ ගෙවන යුගය විදහා දක්වන ලක්ෂණ අතරේ දේශගුණ විපර්යාස මුල් තැනක් ගන්නා බව එන්ට එන්ටම පැහැදිලියි. ආක්ටික් ප්‍රදේශයේ මහා ලැව් ගිනි මෙන්ම යුරෝපයේ අධික තාප තරංග මේ පිළිබඳව දැක්විය හැකි අළුත්ම සාක්ෂිය. අප රට ගත්තත්, වැසි කාලවල ගංවතුරෙහි සැඩබව වැඩිවීම, ඇතැම් ප්‍රදේශවල එක දිගට වසර ගණනාවක් තිස්සේ නියං සාය පැවතීම අප සතුව තිබූ සාම්ප්‍රදායානුකූල දැනුමෙන් විග්‍රහ කිරීමට අසීරු කාරණාය. 1960 ගණන් වල මෙන් ‘අමුතු’දේශගුණ වෙනස්කම් ඇතිවී නැතිවී යන කාල ඡේද මෙන් නොව පාලනයකින් තොරව සිදුවන දේශගුණ විපර්යාස නිසැකවම පෘථිවියේ ජීවය නඩත්තුකිරීමේ පද්ධතියෙහි සංකීර්ණ මෙන්ම ආපසු හැරවිය නොහැකි(අප්‍රතිවර්ත්‍ය) විපර්යාසයන්ට මග පාදනු ඇත.
බොහෝ අය දේශගුණ විපර්යාසයන් දකින්නේ විද්‍යාවට අදාල ප්‍රශ්න හැටියටය — භෞතික, ජීවවිද්‍යාත්මක හා තාක්ෂණික කාරණා හැටියටය. දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු පැනලයෙහි හෙවත් IPCC (Intergovernmental Panel on Climate Change) වඩාත්ම මෑතක ඇගැයීම් වාර්තාව නිදසුනක් ලෙස ගෙන දක්වතොත්, එය දේශගුණ විද්‍යාව, දේශගුණ තර්ජන, සහ ක්‍රියාවට නැංවීම පිණිස වන විසඳුම්වල සාරසංග්‍රහයකි. එසේ වුවද, නූතන දේශගුණ විපර්යාස යනු ලොවපුරා ජනතාවගේ — වැඩිපුරම පොහොසතුන්ගේ සාමූහික චර්යාවන් හේතුවෙන් හටගන්නා මානුෂීය ප්‍රශ්නයක් ද වේ. මේ මත දැක්ම, ජපන් ජාතික ආර්ථික විද්‍යාඥයෙකු වන යොයිචි කයා මනෝඥ සමීකරණයකින් මෙලෙස කැටිකොට දක්වයි: ගෝලීය හරිතාගාර වායු යනු හුදෙක් බලශක්ති භාවිතයේ සහ තාක්ෂණයේ නිමැයුමක්ම නොව මානව ගහනය සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ද නිෂ්පාදනයකි.
සැබැවින්ම, දේශගුණ විපර්යාසය හඳුනා ගැනීමට විද්‍යාව අත්‍යවශ්‍යවනවා සේම දේශගුණ විපර්යාසයන්ට අදාල ගැටළු විසඳීමෙහි ලා තාක්ෂණය නැතුවම බැරිය. එහෙත් IPCC වාර්තාව දේශගුණ ආචාර ධර්ම, සමාජ සාධාරණය සහ මිනිස් වටිනාකම් වෙනුවෙන් වෙන්කරණු ලබන්නේ දහයකට මදක් වැඩි පිටු සංඛ්‍යාවක් පමණකි. මෙලෙස විද්‍යාව මත අධිඅවධාරණයක් යොමු කිරීම හේතුවෙන් ලොව දේශගුණ ප්‍රශ්න ඵලදායීව විසඳීමේ සැලසුම් සැකසීම අවහිරකිරීමට බලපෑ හැකි බව පෙන්වාදෙන ස්ටීවන් ඩී. ඇලිසන් සහ ටයිරස් මිලර් එවන් ප්‍රයත්න වලදී විද්‍යාවට ඔබ්බෙන් පිහිටි ඥානකායක පිහිට ද පැතිය යුතු බව කියා සිටිති. ඇලිසන්, අර්වින් හී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යා සහ පරිණාමීය ජීවවිද්‍යා මහාචාර්යවරයෙක් වන අතර, මිලර් එහිම මානව ශාස්ත්‍ර පිඨාධිපතිය.
ජනතාව තම ලෝකය අවබෝධ කරගන්නේ කෙසේද යන්න තේරුම් බේරුම් කරගැනීම පිණිස මානව ශාස්ත්‍ර විද්‍යාර්ථීහු මානව ඉතිහාසය, සාහිත්‍ය, සහ සංකල්පරූප අර්ථ දක්වති. ෆොසිල ඉන්ධන මත කාර්මික සමාජයන්ගේ රඳා පැවැත්ම වැනි දේශගුණ විපර්යාස මෙහෙයවනු ලබන බලවේග විද්‍යාවෙන් ඔබ්බට ගොස් තේරුම් කිරීමට මානවවේදීන්ට හැකිය.
සාහිත්‍ය විද්‍යාර්ථි ස්ටෙප්නි ලේමෙනේජර් “Living Oil: Petroleum Culture in the American Century” නම් සිය ග්‍රන්ථයෙහි මෙසේ සඳහන් කරන්නිය: ” 20 වැනි සියවසේ සංස්කෘතිය — නවකතා, කාව්‍යය, චිත්‍රපට, ඡායාරූප, සහ රූපවාහිය — මේ සියල්ල ‘පෙට්‍රෝල්-මනෝරාජ්‍යයක්(යුතෝපියාවක්)’ පිළිබඳ මිථ්‍යාවක් ගොඩනැගුවා. ඇමරිකානු ‘සැපවත් ජීවිතය’ පදනම්වෙලා තිබුණේ නිර්බාධිතව ඇති පදම් ෆොසිල ඉන්ධන පරිභෝජනය මතයි. ජනප්‍රිය සංස්කෘතිය, ඉඩම් පරිහරණය, ආර්ථික කටයුතු — මේ සියල්ලෙන්ම නිරූපණය වුනෙත් මේ මතවාදයම තමයි.”
ඇමරිකානු අනන්න්‍යතාව විදහා දක්වන ස්වාධීනත්වය, නිදහස, සංචලතාව, සහ ස්වශක්තිය වැනි ගුණාංග පෙට්‍රල් පරිභෝජනය හා පැටලී ඇතැයි ඇලිසන් සහ මිලර් දෙදෙනා කියාසිටිති. එක්සත් ජනපදයේ මෝටරිය සංස්කෘතිය, ඉඩම් පරිහරණය, ගමනාගමන රටා ඇතුළු ඇමරිකානු ජීවිතයේ අනෙකුත් බොහෝ අංග කෙරෙහි බලපෑමක් එල්ල කර ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.
කාලගුණ විපර්යාසයන්ට අදාල ගැටළු ලිහීම ගැන කතා කිරීමේ දී බොහෝදෙනෙකුගේ හිතට නැගෙන්නේ තාක්ෂණික විසදුම්ය. න්‍යාත්මක වශයෙන් ගත් කල විද්‍යාඥයන්ට සහ ඉංජිනේරුවන්ට මෙම විසදුම් යොදා ගත හැකිය. කෙසේවෙතත්, සංස්කෘතික විද්‍යාර්තීන්ට සහ දාර්ශිකයන්ට ප්‍රතිපත්ති සැලසුම්කරණයේ දී සදාචාරාත්මක පිළිවෙත් එකතු කළ හැකි බව අමතක කළ යුතු නොවේ. ප්‍රතිපත්ති විකල්පයන් කෙරෙහි ඉතිහාසය සහ සංස්කෘතිය කෙලෙස බලපාන්නේ දැයි මානවවාදීන්ට, තීරණ ගන්නා පාර්ශවවලට පෙන්වා දීමේ දී උපකාර වීමට පුළුවන.
දේශගුණ විපර්යාස නතර කිරීම සඳහා අවශ්‍යවන දැවැන්ත සමාජයීය පරිවර්තනයන්ට අනුකූලතාව දක්වනු වස් ඇමරිකානුවන් පෙළඹවීමට මෙතෙක් විද්‍යාත්මක කරුණුවලට නොහැකි වී තිබේ. දේශගුණ විපර්යාස වඩාත් දැනෙන්නේ ඒවා ජනතාවගේ වාසස්ථන, ජීවන වෘත්තිය සහ අධ්‍යාත්මික විශ්වාසයන්ට බලපානා කල්හිය. මිනිසුන්ට ‘දැනෙන දේ’ ගැන සැලකිලිමත්වීමෙන් ඉස්මතු වේගෙන එමින් පවතින පාරිසරික මානව ශාස්ත්‍ර ක්ෂේත්‍රය දේශගුණය සඳහා ක්‍රියාත්මකවීම දිරිගැන්විය හැක. ඉතිහාසය, දර්ශනය, ආගමික අධ්‍යයන, සාහිත්‍යය සහ මාධ්‍ය අංශයන්හි විද්‍යාර්ථීහු, පෘථිවිය සහ මානවයන් අතර සම්බන්ධතාවයේ බොහො පැතිකඩ ගැන ගවේෂණය කරති. ‘දේශගුණ ප්‍රබන්ධ’ යනුවෙන් දැක්වෙන පූර්ණ සාහිත්‍ය ශානරයක් මගින් මනුෂ්‍ය වර්ගයා මත දේශගුණ බලපෑම් ගැන අනාගතවාචක දැක්මක් ඉදිරිපත්කරකරනු ලැබේ. දේශගුණ කම්පන සම්බන්ධයෙන් අතිත ශිෂ්ඨාචාරයන් ක්‍රියාකළ ආකාරය ගැන සමාජ විද්‍යාඥයෝ කරුණු දක්වති.
ඵලදායී දේශගුණ විසඳුම් සඳහා මානව ශාස්ත්‍ර සහ විද්‍යාව හරහා ශක්තිමත් සහයෝගීතාවක් අවශ්‍ය බව කල්පනාකලත් ඒ සම්බන්ධයෙන් නොයෙකුත් බාධක ඇති බව සඳහන් කරන සහ මිලර් දෙදෙනා, මෙම බාධක බිඳ දමා ගෝලීය දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී මානුෂික අංගය ගැන විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ මානවවේදීන් එක්ව ක්‍රියා කළ යුතු බව පෙන්වාදෙති.
The Conversation(Global Perspectives) හී පළවූ Why science needs the humanities to solve climate change යන ලිපිය ඇසුරෙන් සම්පාදිතයි.