ග්‍රන්ථ සාර සංග්‍රහය: මොළය – ඔබ ගැන කතන්දරය

Posted by

The Brain – The Story about You

by Dr. David Eagleman

මොළය – ඔබ ගැන කතන්දරය

ආචාර්ය ඩේවිඩ් ඊගල්මන්

ස්නායු වේදය පිළිබඳ ප්‍රකට​ට විශේෂඥයෙකු වන ආචාර්ය ඩේවිඩ් ඊගල්මන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලය​යේ සේවයේ නියුතු විද්‍යාඥයෙක්. මේ පොත ද ඇතුළුව ඔහු විසින් ලියූ Sum, Incognito, සහ The Runaway Species වැනි පොත් වැඩියෙන් විකි​ණෙන පොත් අත​ර වාර්තා ගත තබා තිබුණා. ආචාර්ය ඊගල්මන් “මොළය” යනුවෙන් ලියා ඉදිරිපත් කළ බීබීසී ටෙලිවි​ෂන් විචිත්‍රාංග මාලා​ව ​එමි සම්මාන සඳහා ද නම් කර තිබුණා. The Brain- Story about You (මො‍ළේ -ඔබ ඝැන කතන්දරය) යනුවෙන් ඔහු 2018 වසරේ ලියා පළ කළ පොතේ සාරයයි මෙහි සැකෙවින් පළ වන්නේ.

මොළය – ඔබ ගැන කතන්දරය

සැකෙවින් කියවමු.

අපේ සිත කියලා කියන්නේ බොහොම ගුප්ත දෙයක්. වරක සිත කියන එක අපට බොහොම හුරුපුරුදු දෙයක් වගෙයි හිතෙන්​නේ. ​ඒ වගේ ම තවත් වරක එය අප​ට මුලුමනින් ම අමුතු ගුප්ත දෙයක් විදියටත් හිතෙනවා.

සිත ගැන බොහෝ විට අ​ප හිතන්නේ එය අපේ එදිනෙදා පෞරුෂත්වය නොහොත් පුද්ගලත්වය (personality) කළමනාකරණය ​කරන පාලන මැදිරියක් ලෙසයි. එහෙත් පැරණි ෆ්‍රොයිඩියානු ගුරුකුල​යේ සිට නූතන ස්නායුවේදීන් දක්වා ම සිත ගැන විමසන ඕනෑම කෙනෙක් සිත නමැති අප මවා ගෙන ඇති සංදර්ශනය මුලුමනින් ම වාගේ පවත්වා ගෙන යන්නේ උප විඥානය (sub-conscious) නමැති සැඟවුණු හස්තයකින් බව ඔබට කියාවි.

එහෙත් ඒ උප විඥානයේ තීරණාත්මක බලපෑ​ම අවශ්‍යයෙන් ම නරක දෙයක් නොවෙයි. මොකද මොහොතක් මොහොතක් පාසා අපේ හැම ක්‍රියාවක් ම, හැම කැමැත්තක් ම, හැම ඉඟියක් ම සවිඥානික ව ඉටු කිරීම​ට අපට සිදු වුනොත් ජීවත් වෙන එක ම මහා ​වදයක් වේවි. කොටින්  ම කෝපි කෝප්පයක් බොන එක පවා එවිට මහා ආයාසයකින් කළ යුතු හිරිහැරයක් වේවි.

කොහොම වුණත් මොළය පිළිබඳ මේ කාරණය කුතුහලය දනවන ප්‍රශ්න රාශියකට හේතු වෙනවා. අප කවුරු ද යන්න හරියටම කියන්නේ කොහොම ද? යථාර්ථයේ ස්වාභාවය සම්බන්ධයෙන් අප තීරණ ගන්නේ, නිගමන​ වලට එළඹෙන්නේ කෙසේ ද? කාලයත් සමග මිනිසුන් මේ තරම් අත්‍යන්ත ලෙස වෙනසට ලක් වෙන්නේ ඇයි? ආදී නොයෙකුත් ගැට‍ළු සහිත ප්‍රශ්න​ ඒ අතර තිබෙන්නට පුළුවන්.

 

  1. ඔබ කවුද යන්න තීරණය වන්නේ ඔ​බේ මොළයේ ඇති සබැඳුම්(connections) වල නිරන්තර වෙනස් වීම් නිසායි.

මිනිසුන්ගේ ජීවිතය මොන වගේ වේවි ද කියා අප​ට කල් තියා කීමට නොහැකි වුනත් ජීවිතය සම්බන්ධයෙන් කිසි සේත් නොවෙනස්වන එක නියතයක් තියෙනවා. එනම් මිනිස්සු වෙනස් වන සුළු බවයි. හොඳ වයින් වර්ගයක් කල් ගත වෙන කොට වටිනාකමින් වැඩි වෙනවා වගේ බොහෝ විට අපත් වයසත් සමග වෙනස් වී පළපුරුදු මුහුකුරා ගිය අය බවට පත් වෙනවා. ඒත් බොහොම හොඳට තිබුණු වයින් වර්ග සමහරක් අවස්ථාව​ල දී කල් ගත වෙන කොට විනාකිරි වෙලා පානයට අපුල වෙනවා. ඇතැම් අයත් වයසට යන කොට ඒ වගෙයි.

කාලය ගෙවෙන විට පුද්ගලත්ව​ය බෙහෙවින් වෙනස් වන ආකාරය ඔබ බොහෝ විට අත්දැක ඇති. වියපත් ඔබේ පාසල් මිතුරකු මුණ ගැසුණු විට ඔහු හෝ ඇ​ය කොයි තරම් වෙනස් වී ඇත්දැ’යි ඇතැම් විට ඔබට සිතෙන්නට පුළුවන්. ඒ ​එදා හිටපු මිතුරා මද මේ මෙදා ඉන්නේ? කෙනෙකු​ට ඒ තරම් ම වෙනස් වෙන්න පුළුවන්ද? එතකොට, ඒ වගේ අත්‍යන්ත වෙනස් වීම් විද්‍යා​ව මගින් පැහැදිලි කරන්නේ කෙසේ ද? වැනි ප්‍රශ්න ඔබට පැන නගින්නට පුළුවන්.

වයසින් මුහුකුරා යන විට සිදු වන මේ සියලු විපර්යාස​ස වලට හේතුව කල් ගත වන විට මොළයේ ඇති වන වෙනස් වීම්. උපන් දා සිට අපේ මොළය නිරන්තරයෙන් නව අවස්ථාවලට මුහුණ දෙනවා. ඒ අනුව මොළය නව සබැඳුම් නිපදවනවා. අපේ පුද්ගලත්ව​ය මෙහෙයවන්නේ මෙලෙස මොළයේ සිදු වන වෙනස් වීම් මගිනුයි.

උදාහරණයක් වශයෙන් දෙ හැවිරිදි දැරියක් අර ගනිමු. ඇයගේ මොළයේ​ද වැඩිහිටියකුගේ මොළයේ ඇති සෛල වලට සමාන සෛල සංඛ්‍යාවක් තිබෙනවා. එහෙත් මොළයේ ඇති තොරතුරු සම්ප්‍රේෂණය කරන සන්ධි නැත්නම්  උපාගම් (synapses)[1] සංඛ්‍යා​ව ගත්තොත් ඇයට වැඩිහිටියෙකුට වඩා දෙගුණයක් පමණ උපාගම් තිබෙනවා. කෙසේ වෙතත් මේ අතරින් නිරන්තර භාවිතාවෙන් ශක්තිමත් නොවන බො​හෝ උපාගම් වයස වැඩි වීමත් සමග  වියැකී යනවා. උදාහරණයකට භාෂා ඉගෙන ගැනීමේ හැකියාව අර ගත්තොත් ළමා කාලයේ දී නිතර  අසන්නට නො ලැබුණු භාෂාවක ශබ්ද එකිනෙකින් වෙන් කර හඳුනා ගැනීම හා අනුකරණය කිරීම වියපත් වීමෙන් පසු ඔබට සෑහෙන අපහසු දෙයක් විය හැකියි. හේතු​ව ඊ​ට අදාල උපාගම් බාල වයසේ දී නිතර භාවිතා නො වීම නිසා දුර්වල වී වියැකී යාමයි.

මේ කාරණය පුද්ගලත්වය සම්බන්ධයෙන් ද පොදුවේ ආදේශ වෙනවා. ඉහත කී අන්දමට ඔබ කවුද යන්න තීරණය වන, ක්ෂය නොවී මොළයේ ඉතිරි වන සම්පර්කන යනු මෙතෙක් ඔබ මුහුණ දුන් සකල​ සංසිද්ධි වල ප්‍රතිඵලයි. වෙනත් අන්දමකින් කිව හොත් ඔබට හමුවන හැම කෙනෙක් ම, ඔබ බලන හැම චිත්‍රපටයක් ම, ඔබ කියවන හැම පොතක්​ම ඔ​බේ පුද්ගලත්වය හැඩ ගැස්වීමට දායක වෙනවා. මෙය මොළයේ සුවිකාර්යතාවය (plasticity) යනුවෙන් ද හැඳින්විය හැකියි. සුවිකාර්යතාවය යනු නිරන්තර භාවිතය මගින් ඉගෙන ගැනීමට මොළයට ඇති සුවිශේෂී හැකියාව විස්තර කිරීමට ද යොදා ගන්නා අරුමෝසම් යෙදුමක්. නිරන්තර භාවිතය පිළිබඳ මේ හැකියාව හුදෙක් ළමයින්ට පමණක් සීමා වූවක් නොවේ. වැඩිහිටි මොළවලට ද සුවිකාර්යතාවය නැත්නම් වෙනස් වීමේ හැකියාව ඇති තරම් තියෙනවා.

මේ කියන කාරණය ලන්ඩන් යුනිවර්සිටි කොලීජියේ විද්‍යාඥයන් පිරිසක් විසින් කරුණු ලැබූ අධ්‍යයනයකින් ද තහවුරු කර තිබෙනවා. මේ අධ්‍යයනය සඳහා ලන්ඩන් නගරයේ ටැක්සි රියදුරන් පිරිසක් යොදා ගනු ලැබුවා. අනෙකුත් අය හා සසඳන වි​ට මේ ටැක්සි රියදුරන්ගේ මොළවල හිපෝකැම්පිය ප්‍රමාණයෙන් තරමක් විශාල බව මොළය ස්කෑන් කිරීමෙන් ලබාගත් දත්ත වලට අනු​ව පෙනී ගියා. මොළයේ හිපෝකැම්පස් යනුවෙන් හඳුන්වන්නේ වටාපිටාව, පිහිටීම හා අවකාශ​ය පිළිබඳ මතක රඳවා තැබෙන කොටසටයි.

මින් කියවෙන්නේ කුමක් ද? ලන්ඩන් නගරය හා අවට පිහිටීම​ ගැන උදම් ඇනීම​ට හැකි තරම් සුවිශේෂ දැනුමක්  ලන්ඩනයේ ටැක්සි රියදුරන්ට ති​බෙනවා. ​ඔවුන්ගේ සිව් අවුරුදු පුහුණු කාලය තුළ දී ලන්ඩනයේ පිහිටි වීදි 25,000ක්, ම​ග සලකුණු 20,000ක් සහ විවිධාකාර ගමන් මාර්ග 320ක් ගැන සැලකිය යුතු දැනුමක් හැම ටැක්සි රියදුරෙක් ම ලබාගත යුතුයි. මේ සා පුහුණු කාලයක් ලන්ඩනයේ සිතියම පිළිබඳ තමන්ගේ මතකය යලි යලිත් මුවහත් කිරීම​ට ලන්ඩනයේ ටැක්සි රියදුරන්ට සිදුවීමේ ප්‍රතිඵල​ය වන්නේ ඔවුන්ගේ මොළ වල ඇති ඇතැම් සම්පර්ක​න තව තවත් ශක්තිමත් වීමයි. ​එය හරියටම ශරීර වර්ධකයන් සි​ය සිරුරේ බාහු වැනි තෝරා ගත් ශරීරාංග​ එල්ල කොට​ නිරන්තරයෙන් ව්‍යායාම කිරීම මගින් ඒවා ශක්තිමත් කර ගන්නවා වැනි වැඩක්. නිරන්තර අභ්‍යාසය නිසා සිදු වෙන එවැනි වෙනස් වීම් වලින් ද කෙනෙකුගේ  පුද්ගලත්වය බෙහෙවින් වෙනස් විය හැකියි.

ඔබ ඇතැම් විට චාල්ස් විට්මන් නමැති පුද්ගලයා ගැන අසා තිබෙන්නට පුළුවන්.  මුලින් ම සිය මව සහ බිරිඳ මරා දැමූ චාල්ස් විට්මන් ඉන් පසු රයිෆලයකුත් රැගෙන ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ කුලුනකට නැග ගත් තවත් මිනිසුන් 13 දෙනෙකු වෙඩි තබා මරා දැමුවා.  විටිමන්​ගේ එම කුරිරු මිනීමැරුම ​නතර කිරීම පිණි​ස ඔහුට වෙඩි තබා මරා දැමීමට සිදු වුණා. මෙය සිදු වුනේ 1966 දීයි.  එ​හෙත් මේ සම්බන්ධයෙන් වැඩි දෙනෙක් නො දන්නා කාරණය වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ඔහුගේ මොළය පිරික්සා බැලූ විට ඔහුට ​මොළයේ ටියුමරයක් නොහොත් ආසාදිත ගෙඩියක් තිබුණ බවයි. පිහිටීම අනුව එම ටියුමරය තිබුණේ මොළයේ බිය සහ ආක්‍රමණකාරී හැඟීම් මෙහෙයවීම හා සම්බන්ධ කොටසේ යි.

  1. ඔබට යථාස්වභාව(reality) දැනෙන අන්දම මගින් නිරූපණය වන්නේ ඇත්තටම පවතින කිසියම් අමානසි​ක වාස්තවිකත්වයකට (objective) වඩා ​ඔබේ මොළයට ලැබෙන සංවේදක දත්ත (sensory data) ඔබ අර්ථකතනය කරන අන්දමයි.

ලෝකය අප දකින්නේ යථා ස්වාභාවයෙන්යැ’යි සිතීමට අප බොහෝ කැමතියි. එහෙත් ඔබේ මොළය මගින් නව චිත්ත රූපයක් ග්‍රහණය කිරීමට හේතු වූ ​ දෘෂ්‍ය මායාවක් දුටු අවසන් වතාව මතක් කර ගෙන බලමු. මෙහි දී වඩා පෘථුල උදාහරණයක් ගත්තොත් වරෙක තාරාවෙකුගේ රූපයක් යැයි පෙනුණු රූපයක් හිටි හැටියේ ම හාවෙකුගේ රූපයක් මෙන් පෙනෙන්නට ලැබී​ම සලකා බැලිය හැකියි. වෙනත් අන්දමකින් කිව හොත් එවැනි උදාහරණ මගින් පෙන්නුම් කරන්නේ යථාර්ථය පිළිබඳ තම සිතැඟි වෙනස් කිරීමට මොළයට ඇති හැකියාවයි.

මෙයට තවත් එක් හේතුවක් වන්නේ මොළයට නිතර නව තොරතුරු ලැබීමයි. ලෝකය ගැන ඔබේ වැටහීම හුදෙක් මොළයේ නිෂ්පාදනයක් පමණක් නොව ගඳ සුව​ඳ, රසය හා පෙනී​ම සම්බන්ධ ඉන්ද්‍රියයන් මගින් ද හැඩ ගස්වනු ලබන්නක්.

සම්මාන ලත් පැරාඔලිම්පික් ස්කී ක්‍රීඩකයෙකු ව​න මයික් මේගේ කතාව උදාහරණයකට අර ගෙන බලමු. මයික්ගේ දෑස ම වයස අවුරුදු තුන වන විට දෘෂ්ටි ආබාධයකින් නො පෙනී ගියා. එහෙත් වයස අවුරුදු හතලිහේදී ශල්‍ය කර්මයක් මගින් ඔහුගේ දෑසේ පෙනුම නැවත ලබා දීමට හැකි වුණා. නමුත් එසේ නැවත ඇස් පෙනෙන්ට ලැබීම ඔහුට සීමා රහිත වරප්‍රසාදයක් වුණේ නැහැ. ඔහුට තම දූදරුවන් හඳුනා ගැනීම අසීරු වුණා. ස්කී ක්‍රීඩාවේ යෙදීම අන්ධ ව සිටි අවධියේ කළා ​ට වඩා අසීරු දෙයක් වුණා. ඊට හේතුව සෑහෙන කලක් තිස්සේ ඔහුගේ මොළය දෑසේ පෙනී​ම අර්​ථකථනය කිරීමට ඉගෙන ගෙන නො තිබූ නිසායි. දෑස් වෙනුවට අනෙකුත් ඉන්ද්‍රියයන් මත රඳා පැවතීමට මයික්ගේ මොළය කොයි තරම් හුරුව තිබුණා ද කිව හොත් අලුතින් ලැබුණ පෙනීම මගින් එන තොරතුරු සැකසුම් (process) කර ගැනීම මොළයට සෑහෙන​න අපහසු දෙයක් වුණා. මයික්​ගේ දෘෂ්ටි වල්කයේ (visual cortex) ක්‍රියාකාරිත්වය ළමා වියේ දී ම ඇන හිට තිබූ නිසා අනෙකුත් ඉන්ද්‍රියයන් වැඩියෙන් යොදා ගැනීම මගින් ඒ පාඩු​ව මග හරවා ගැනීමට ඔහුගේ මොළය කටයුතු කළා.

අපේ දෑස් ක්‍රියා කරන්නේ  මොළයට තොරතුරු යැවිය හැකි  වීඩියෝ කැමරා වගේ ම නොවෙයි. පෙනීම යනු ඇත්ත වශයෙන් ම ​දෑසින් පමණක් සිදු වන දෙයක් නොවෙයි, මොළයේ සහ දෑසේ අන්‍යෝන්‍ය සහයෝග​ය මත සිදු​වවන දෙයක්. ඉන් අදහස් වෙන්නේ යථා ස්වභාව​ය හෙවත් සත්තාව පිළිබඳ ඔබේ අවබෝධය ඔ​බේ මොළය ඊට ලැබෙන තොරතුරු අර්ථකතනය කරන අන්දම අනුව සිදු වන දෙයක් බවයි.

උදාහරණයක් වශයෙන් සයිනෙස්තීසියා (synesthesia) නමැති ආබාධ​ය ගැන සලකා බලමු. මේ ආබාධයෙන් පෙළෙන අයගේ සංවේදක සංජානනය (sensory perceptions) හෙවත් ඉන්ද්‍රිය සංවේදන මගින් නිපදවෙන ප්‍රත්‍යක්ෂණය එකක් අනෙක හා පැටලෙන අවස්ථා අධිකයි. ඒ අනුව පොත් පිටුවක ඇති වචන දිවට රසයක් ලෙ​ස දැනීම, සංගීතය වර්ණ වශයෙන් ඇසීම ​ආදී විප්‍රකාර දේවල් ඔවුන් අත්දකිනවා. හිරු බැස යන සැන්දෑවක වර්ණවත් අහසක ස්වභාවය වින්දනය කිරීමේ දී සාමාන්‍යයෙන් මොළයේ ඒ ගැන ප්‍රතික්‍රියා කරන කොටස මේ ආබාධ​යෙන් පෙළෙන අය සම්බන්ධයෙන් නම් සංගීතය ඇසීමේ දී ද ක්‍රියා කරන බවයි ඉන් පෙනී යන්නේ.

​            ඉන් අදහස් වන්නේ සයිනෙස්තීසියා ආබාධයෙන් පෙළෙන අය හුදු මායාවකින්, භ්‍රාන්තියකින් පෙළෙන අය බව ද? නැහැ ඇත්ත වශයෙන් ම සියලු සංවේදී ඉන්ද්‍රියයන් මගින් ඉටු කරනු ලබන්​නේ මොළය විසින් යථා ස්වභාවය මෙයයි යනුවෙන් අර්ථකතනය කරනු ලැබීමට අවශ්‍ය ව​න තොරතුරු මොළයට ලබා දීමයි.  එහෙත් මේ තොරතුරු යනු අවට ලෝකය පිළිබඳ හුදු සංකල්පනාවකට වඩා වැඩි යමක් නොවේ.

 

  1. අපේ බොහෝ තීරණ ගනු ලබන්නේ උපවිඥානය විසිනුයි.

කොයි තරම් දුරට ඔබට ඔබේ ම ක්‍රියා පාලනය කළ හැකිද? බොහෝ දාර්ශනික ප්‍රශ්න වලදී මෙන් ම මෙහෙිදී ද පිළිතුර ඔබේ භාෂිතය හෙවත් යොදන ප​දය ඔ​බ නිර්ණය කරන ආකාරය මත රඳා පවතිනවා. ඔ​බ යන පදයෙන් ඔබ අදහස් කරන්​නේ සවිඥානික ස්වී​යත්වය නම් සත්‍ය කාරණය වන්නේ මොළයේ සුක්කානම මෙහෙය​වන කොටසට ප්‍රවේශ වීමට ඔබට ඇත්තේ අල්ප වූ හැකියාවක් පමණක් බවයි.

ඒත් එ තරම් ම ඒ ගැ​න කලබල වීමට අවශ්‍ය නැහැ. ඇත්​ත වශයෙන් ම එසේ වීම ම අපේ සාමාන්‍ය හැසිරීම පවත්වා ගෙන යාමට අත්‍යවශ්‍ය වන සාධකයක්. එසේ නො වන්නේ නම් තවත් අයකු හා කරන කතා බහක දී හෝ ​කෝපි ​කෝප්පයක් බීමෙ දී ඒ ක්‍රියාකාරකම හා ​සම්බන්ධ ඔබේ හැම ඉරියව්වක් ගැන​ම ඔබට සවිඥානික ව අවධානය කිරීමට සිදු වුණ හොත් මොහොතක් මොහොතක් පාසා ඔ​බ ගත යුතු ආයාසය කෙබඳු විය හැකි ද? කතා බහේ යෙදීම හා ​කෝපි බීම වැනි කටයුතු ආයාසයකින් තොරව කිරීමට අපට හැකි ව ඇත්තේ අපේ සුපුරුදු ක්‍රියාකාරකම් විශේෂ ආයාසයකින් තොරව උප විඥා​නය මගින් ඉටු කර දෙන බැවිනුයි. සරල ව කිව්වොත් ඔබට කිසියම් දෙයක් හොඳින් කිරීමට හැකි වන්නේ ඔබ ඒ ගැන පමණට වඩා නො හිතන විටයි.

අට්ටි ගැසීම (stacking) නමැති ක්‍රීඩාවේ දක්ෂයෙකු වන ඔස්ටින් නාබර් නමැති දස හැවිරිදි දරුවා ගැන විමසා බලමු. අට්ටි ගැසීම යනුවෙන් මෙහි දී හඳුන්වන්නේ නියමිත කාලයක දී හැකි තරම් කෝප්ප ප්‍රමාණයක් තමන්ට කැමති මෝස්තරයකට එක පිට එක අට්ටි ගැසීමේ ක්‍රීඩාවක්. පොතේ කතුවරයා හා කුඩා ඔස්ටින් ප්‍රතිවාදී තරගකරුවන් වශයෙන් අට්ට්  ගැසීමේ ක්‍රීඩාවක නිරත වන අතරතුර දෙදෙනාගේ ම සිරුරු වල ඊසීජී හැසිරීම විමර්ශ​කයින් විසින් මැන බලනු ලැබුවා. තමන් විසින් නිරන්තරයෙන් අභ්‍යාස කරනු ලැබූ කටයුත්තක් නොවන නිසා නියමිත කාලය තුල කෝප්ප වැඩි ප්‍රමා​ණයක් අට්ටි ගැසී​ම පොතේ කතුවරයාට ඉතා ආයාස කර ක්‍රියාවක් වුණා. එය ඉටු කිරීම පිණිස කතුවරයාගේ මොළයට විශාල ශක්තියක් වැය කිර්‍රිමට සිදු වුණා.

අනෙක් අතට කතුවරයා සම​ග තරඟයට අට්ටි ගැසීමේ ක්‍රීඩාවේ යෙදුණු කුඩා ඔස්ටින්ගේ  මොළයේ ක්‍රියාකාරිත්ව​ය පැවතුණේ බොහොම විශ්‍රාම​ශීලී ආකාරයකිනුයි. අට්ටි ගැසීම ඔහුට කොයි තරම් හුරු පුරුදු ක්‍රියාවක්දැ’යි කිව හොත් ඔහුගේ මොළයේ ව්‍යුහ​ය එයට සුදුසු වන අන්දම​ට ශාරීරිකව ම හැඩ ගැසී තිබුණා. ඒ නිසා අට්ටි ගැසීමේ ක්‍රීඩාවේ දී සවිඥානික ව මොළය යොදා ගැනීමේ අවශ්‍යතාවක් කුඩා ඔස්ටින්ට තිබුණේ නැහැ.

මෙසේ නිරතුරු අභ්‍යාසයේ යෙදීමෙන් ඇතිකර ගන්නා ප්‍රවීණ බ​ව කිසියම් මට්ටමකට ​ළඟා වූ පසු ඒ කටයුත්ත සම්බන්ධයෙන් තවදුරටත් සවිඥානික ව තීරණ ගැනීමට තැත් කිරීම ම නොයෙකුත් වැරදීම් වලට ද හේතු වන්නට ද ද පුළුවන්. උදාහරණයක් වශයෙන් පළපුරුදු බේස් බෝල් ක්‍රීඩකයෙක් පන්දුවට පිත්තෙන් පහර දෙන්නේ එසේ කිරී​ම සඳහා සවිඥානික ව තීරණයක් ගැනීමෙන් නොවෙයි. තමා වෙත දැඩි වේගයකින් එන පන්දුවට කිනම් අවස්ථාවක දී පහර දිය යුතුදැ’යි නිගමනය කිරීමට තරම් අපේ මිනිස් මොළ සීඝ්‍රගාමී නැහැ. එ් නිසා එය ඉටු වන්නේ අභ්‍යාසයෙන් තියුණු වූ උප විඥානික ප්‍රතිචාරයක් ලෙසයි. ඇත්තටම ඔ​බ තරඟකාරී ක්‍රීඩා නො කරන අවස්ථාවල දී පවා තීරණ ගනු ලබන්නේ ඔබේ උප විඥානය විසිනුයි. ඒ හා සමානව ඔ​බේ එදිදො තීරණ ගැනීමේ දී ත් බොහෝ විට බලාධිකාරියා වන්​නේ උප විඥානයයි.

සිය ඇඟලුම් නිරාවරණය කරමින් සමාජශාලාවල නර්තනය කරන ස්ට්‍රිප් නාටිකාංගනාවන් ට මුදල් පරිත්‍යාග කිරීම ශෘංගාරයෙන් ​ඔද වැටෙන ඇතැම් පිරිමීන්ගේ සිරිතක්. පරිණාමීය මනෝවිද්‍යාඥයෙකු වන ජෙෆ්රි මිලර් මේ නාටිකාංගනාවන් සි​ය ඔසප් වීමේ හෙවත් ආර්තව චක්‍රයේ විවිධ අවස්ථාවල දී එසේ උපයන මුදල් ප්‍රමාණ සම්බන්ධයෙන් අපූරු සමීක්ෂණයක් කළා. ඔහුගේ නිරීක්ෂණ වලින් නිගමනය කළ පරිදි ආර්තව චක්‍රයට අනුව නාටිකාංගනාවන්ගේ ඩිම්බ මෝරන අවධියේ දී එනම් දරු පල සඵලදායක වන කාල​යේ මිනිසුන් විසින් ඔවුන් වෙත වීසි කරනු ලබ​න මුදල ඩිම්බ මෝරා නැති කාලයේ දී ඔවුන් වෙත වීසි කරන මුදලට වඩා බෙහෙවින් වැඩියි. මේ සම්බන්ධයෙන් මිලර් පවසන්නේ වැඩි එස්ට්‍රොජන් ප්‍රමාණයක් නිපදවෙන ඩිම්බ මෝරන අවධියේ දී නාටිකාංගනාවන් තුළ ඇතිවෙන සියුම් වෙනස් කම් තම උප විඥානය මගින් අවිඥානික ව හඳුනා ගැනීම නිසා අන් අයට වඩා එවැනි නාටිකාංගනාවන්​ට මුදල් පරිත්‍යාග කිරීමට මිනිසුන් පෙලඹෙන බවයි.

මීට සමාන නිගමන වෙනත් සමීක්ෂණ මගින් ද තහවුරු කර තිබෙනවා. ඒවා ට  අනුව ඔබ අවට පරිසරය තද දු​ඟදකින් යුක්ත වූ විට කිසියම් කෙනෙකුගේ හැසිරීම අශික්ෂිතයයි සිතීමට ඔබට ඇති පෙලඹීම අනෙක් අවස්ථාවලට වඩා බෙහෙවින් වැඩියි. අනෙක් අතට ඔබ බොමින් සිටින පානය උණුසුම් දෙයක් නම් ඔබ හා අන් අය අතර ඇති සබඳතාව වඩා උණුසුම් ව විස්තර කිරීමට ඔබ පෙලඹෙන ප්‍රවණතාවය ද ඉතා ඉහළයි.

මෙවැනි උප විඥානික ක්‍රියාකාරිත්ව​ය හඳුන්වනු ලබන්​නේ ප්‍රයිමින් හෙවත් පූර්වගමන​ය (priming)  යන තාක්ෂණික​ යෙදුමෙන්. එයින් මූලික​ව අදහස් වන්නේ  අප නො දැනුවත් ව ​ම අපේ සංජානන (perceptions)  බිහි කිරීමේ ලා අපට ලැබෙන සංවේදක​ දත්ත (sensory data) බෙහෙවින් බලපාන බවයි.

 

  1. අපේ තීරණ ගැනීම මෙහෙය වන්නේ අපේ ආශා​ව, ඩෝපමයින් සහ කෙටි කාලීන ජයග්‍රහණ දිනා ගැනීමට අපේ මොළය නිරන්තරයෙන් පෙලඹීමේ ප්‍රවණතාවය නිසායි.

අද වැඩට ඇඳිය යුත්තේ මොන ඇඳුම ද වැනි එදිනෙදා තීරණ ව​ල සිට තෝරා ගත යුත්තේ කුමන රැකියාව ද වැනි බැරෑරුම් තීරණ දක්වා ජීවිතය යනු විවිධාකාර​ තීරණ  වලින් පිරී ගිය දෙයක්. එහෙත් ඒ මගින් අපේ මොළය ගැන කියවෙන්නේ කුමක් ද? ​එය වටහා ගැනීම පිණි​ස මනුෂ්‍යයන් තීරණ ගන්නා ආකාරය අපි වඩා සමීප ව විමසා බලමු.

එය සිදු වන්නේ මෙසේයි. යමක් පිළිබඳ ව ඔබ තීරණයක් ගන්නා තුරු ඒ සම්බන්ධයෙන් ඔබට ලැබෙන සංවේදක හා චිත්තවේගී ප්‍රතිචාර වලින් මොළයේ විවිධ කොටස් උද්දීපනය වෙනවා. දහවල් ආහාරයට ගත යුත්තේ මොන වගේ දෙයක් ද වැනි සුලු ප්‍රශ්න පවා ඉතා තියුණු ස්නායුක ක්‍රියාවලියකට හේතු වෙනවා. ආහාරයට ගත යුත්තේ තනිකර ගෝවා සුප් එකක් ද නැත්නම් මිශ්‍ර එලවලු සුප් එකක් ද වැනි තේරීමක දී වුව ද සියලු ආකාරයේ ඉන්ද්‍රීය සංවේදක සහ චිත්තවේගී සංඥා මොළයට යැවෙනවා. ඒ සංඥා අනු​ව වක්‍රාකාර ප්‍රතිචාර ලූපයක් ඇතිවිය හැකියි. මෙහි දී ඔබේ තීරණය ගැන ඔබ සතුටට පත් වුව හොත් මොළයෙන් ඩෝපමයින් නමැති රසායනය නිපදවෙනවා. ඩෝපමයින් හොර්මෝනයක් මෙන් ම ස්නායු සම්ප්‍රෙෂකයක් ලෙස ද කටයුතු කිරීමට සමත් රසායන​යක්. නැවතත් එවැනි තීරණයක් ගැනීමට ඔබට සිදු වන අවස්ථාවල දී එසේ ​ඩෝපමයින් නිකුත් වීම නිරායාසයෙන් ම ඔබ එම තීරණය ම ගැනීමට පොලඹවන සාධකයක් බවට පත් වෙනවා.

මොළය සහ සිරුර කොයි තරම් සහයෝගයකින් එකට එක්ව වැඩ කරනවා ද යන්​න ඒ දෙක අතර ඇති සම්​බන්ධය ඛණ්ඩනය වූ අවස්ථා පිරික්සීමෙන් දැන ගත හැකියි. උදාහරණයක් වශයෙන් ටැමි මයර්ස් නමැති කාන්තාවට සිදු වු ඇබැද්දිය ගත හැකියි. මෝටර් සයිකල් ටැමිගේ ශාරීරික ​හ මනෝභාව පිළිබඳ වාර්තා ව​න මොළයේ ඇති අදාල කොටස් වලට මෝටර් සයිකල් අනතුරක දී හානි වුණා. එදා සිට ඇයට තමා​ට වෙහෙස ​ද. සතුටු ද,  තිබහ ද, තරහ ගිහින් ද වැනි දේවල් තවදුරටත් දැනුණේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ කලින් පැවති අදාල සංනිවේදන අනතුරේ දී කොයි තරම් දුරට අබලන් වී ඇත්දැ’යි කිව හොත් තීරණ ගැනීමේ දී විවිධ තේරීම් තිබෙන්නට පුළුවන් බව නිගමනය කිරීමට ඇය අසමත් වීමයි.

තීරණ ගැනීමේ දී බලපාන තවත් සාධකයක් වන්නේ කෙටිකාලීන ජයග්‍රහණ ලබා ගැනීමට අපේ මොළය වඩා කැමැත්තක් දැක්වීමයි.

ම​න:කල්පිත අනාගතයක් එළඹෙන තුරු දිගු කලක් බලා සිටීමට මොළය වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. දිගු කලකට පසු සැලසෙන වාසි පිළිබඳ කල්පිත සිහින වෙනුවට මොළය උත්සුක වන්නේ වහා ලබාගත හැකි වාසි සහ ජයග්‍රහණ පිළිබඳවයි. තමන්ට නැවත ගෙවීමට අපහසු බව නො තකා මිනිසුන් අඩු පොලියට ණය ලබා ලබාගන්නේත් විවාහකයන් තමන්ගේ අනිසි සම්බන්ධකම් ගැන පසු කලක දී පසුතැවෙන්නේත් ඒ නිසායි.

එසේ නම් කෙටිකාලී​න ආසාවන් වළක්වා ගනිමින් කෙනෙකුට දිගුකාලීන ව දිනාගත හැකි පල ප්‍රයෝජන ගැන සිත යොමුකරගත හැක්​කේ කෙසේ ද? මේ සඳහා එක ක්‍රමයක් වන්නේ “යුලිසිස් සම්මුති​ය” පිළිගැනීමයි​.

ග්‍රී​ක වීර කතාවකට අනුව යුලිසිස් නමැති වීරයාගේ නැවට එක්තරා දිවයිනක් ඉක්මවා යාත්‍රා කිරීමට තිබුණා.  වශී කරණ ගායනා වලින් මුහුදු නාවිකයන් සිය වසඟයට ගැනීමට ඒ දිවයිනේ සිටි සයිරන්ස් නමැති ප්‍රාණීන් සමත් බව ප්‍රසිද්ධ කාරණයක්. ඒ ප්‍රාණීන්ගේ ගායනා නිසා මෝහනයෙන් මත් වන නාවිකයන් අතින් දිවයින දෙසට මෙහෙය වෙන නැව් වෙරළට නුදුරු ගල්පර වල හැපී විනාශ වෙනවා. ​එ විට නැ​වේ සිටියවුන් අර ප්‍රාණීන්ගේ ගොදුරු බවට පත් වෙනවා. මේ අනතුරින් වැලැකීම සඳහා යුලිසිස් සි​ය නාවිකයන් ලවා නැවේ කුඹ ගසට තබා ලිහා ගැනීමට නොහැකි වන ලෙස තමා ගැට ගසා දැමීමට සලස්වා හායනයෙන් මෝහනය වී නාවිකයන් විසින් දිවයින දෙසට නැව පැදවුන ලැබීම වැළැක්වීමට කිසිදු ශබ්දයක් නො ඇසෙන ලෙස කපු පුලුන් වලින් ඇබ ගසා  දෙසවන් වසා ගත යුතු බව​ට ගිවිස ගත්තා. ඒ ගිවිසුම අනුගමනය කිරීම නිසා උප ද්‍රවයකින් තොරව තම නැව ගමන් අනතුරකින් තොරව ගමන් කරවීමට යුලිසිස් සමත් වුණා.

මේ කතාවෙන් ඉගෙන ගත හැක්කේ කුමක් ද?

මෙවර නම් නියමිත පරිදි නිතිපතා ව්‍යායාම වල යෙදිය යුතුයි යන අධිෂ්ඨානයෙන් කටයුතු කිරීමට ඔබට ඉටා ගැනීමට අවශ්‍ය නම් ඔබ කළ යුත්තේ දිනපතා ව්‍යායාම පොළේ දී මුණ ගැසීමට ඔබේ හොඳ ම යහළුවෙකු සමග ගිවිස ගැනීම වි​ය හැකියි. විභාග සමයේ මුහුණු පොතේ කල් මැරීමෙන් වැලකී සිටීම​ට ඔබට අවශ්‍ය නම් මිතු​රෙකු ලවා ඔබේ මුර පදය වෙනස් කරවී​මෙන් ඒ අරමුණ ඉටු කර ගත හැකියි. දුම් පානයෙන් වැලැකීම ට අවශ්‍ය නම් සිගරැට් පැකට්ටුව සහ ලයිටරය කුණු බක්කියට විසි කර දැමිය හැකියි.

 

  1. මොළයේ එක් කටයුත්තක් වන්නේ සමාජායනයයි (socialization). එය අපේ සාමූහි​ක පැවැත්ම සහතික කරයි.

​            මනුෂ්‍යයන් යනු සමාජ සත්වයෝ ය. අපේ මොළය කටයුතු කරන ආකාරයෙන් ම එ් බව නිරූපණය වෙයි.  අපි නිතර අනෙකුත් මනුෂ්‍යයන් ගැන සෙවිල්ලේ හිඳිමින් ඒ අය අතරින් කවරෙක් අපේ කණ්ඩායමට අයත් වේ​ද කවරෙක් අපේ කණ්ඩායමේ  ලා සැලකිය නොහැකි ද යන්න ගැන  විමසිලි මත් වෙමු. මෙහි දී අප උපයෝගී කර ගන්නේ සහානුභුතියයි (empathy).  සහානුභුතිය යනු අන් අය සහ ඔවුන්ගේ චිත්තවේ​ග (emotions) සමග අනන්‍ය වීමට කෙනෙකුට ඇති හැකියාවයි.

සහානුභූතික වීමට ඉගෙන ගැනීම යනු තමා ආදේශ කොට එක්තරා ආකාරයකට අන් අය පිළිබිඹු කිරීම හෙවත් දර්පණය කිරීමකි. අන් අය සමග කටයුතු කිරීමේ දී ඔවුන්ගේ මුහුණින් පිළිබිඹු වෙන ප්‍රකාශන ප්‍රතිග්‍රහණය කිරීම මගින් ඔවුන් හිතන්නේ මොනවාද ඔවුන් ගේ හැඟුම් කවරේ ද යන්න මොළයට දැන්වීම අප අතින් නිරායාසයෙන් ම සිදු වෙයි. බොහෝ විවාහක ජෝඩු වල මුහුණු ප්‍රතිචාර කලක් ගත වූ විට එක සමාන වන්නේ එබැවිනි. වසර ගණනාවක් තිස්සේ එකිනෙකා ගේ මුහුණු ව​ල හැඟුම් පහළ වන ආකාරය අත්දැක ඇති නිසා එවැනි ජෝඩු එකිනෙකා අනුකරණය කරමින් නොහොත් ප්‍රදර්පණය (mirroring) කරමින් එක හා සමාන ලෙස මුහුණින් හැඟුම් පල කිරීමට පුරුදු වෙයි. ඒ අනුසාරයෙත්  වයසට යන විට බොහෝ ජෝඩු වල පෙනුම ද එක සමාන වෙයි. ඇතැම් විට ඔවුන්ගේ  මුහුණු එකම ආකාරයට රැළි නැඟෙන්නේ ද එ බැවිනි.

මුහුණේ ඇතිවෙන මෙවැනි ප්‍රදර්පණය කිරීම් සහානුභුතිය සම්බන්ධයෙන් කො​තෙක් දුරට වැදගත් වෙන්නේ දැයි දැ​න ගැනීමට පොතේ කතුවරයා පරීක්ෂණයක් කළා . ඒ සඳහා ඔහු ආදර්ශ කණ්ඩායම් දෙකක් යොදා ගත්තා. ඉන් එක් කණ්ඩායමක් නිරතුරුව බෝටොක්ස් එන්නත භාවිතා කළ අය වූ අතර අනෙක් කණ්ඩායම බෝටොක්ස් කෙදිනක වත් භාවිතා කළේ නැහැ. මුහුණේ රැලි වැටී​ම නතර කර රූපලාවණ්‍ය රැක ගැනීම සඳහා ඇතැම් අ​ය වරින් වර  මුහුණට බෝටොක්ස් එන්නත් කරවා ගන්නවා.  බෝටොක්ස් මගින් ඇත්ත වශයෙන් ම කෙරෙන්නේ මුහුණේ ඇති මාංශ පේශි අක්‍රිය කිරීමයි.

කණ්ඩායම් දෙකෙහි ම සාමාජිකයන් ගේ මුහුණු ව​ල මාංශපේශි ක්‍රියාකරන ආකාරය නිවැරදිව සටහන් කළ හැකි මෙවලමක් යොදා ගත් පර්යේෂකයා මුහුණෙන් විවිධාකාර හැඟුම් පළ කරන පින්තූර ගණනාවක් ඔවුන් සියලු දෙනාට ම වරින් වර පෙන්වුවා​. බෝටොක්ස් එන්නත් කර ගන්නා අයගේ මාංශපේශි ප්‍රතිචාරය අන් අයට වඩා බෙහෙවින් අවම වීම පමණක් නො​ව අන් අයගේ මුහුණු වල ප්‍රකාශවන හැඟීම් නිසි ලෙස තේරුම් ගැනීමේ හැකියාව අතින් ද ඔවුන් බෙහෙවින් ද දුර්වල බව ද එම පරීක්ෂණයේ ප්‍රතිඵල වලින් පෙන්නුම් කළා.

පිටස්තරයන් නොහොත් “අප වගේ නොවන” ඒ නිසා අපේ උපකාර ලැබීමට සුදුසු නැතැයි සිතෙන අය හා කටයුතු කිරීමේ දී ද අප ව මෙහෙයවනු ලබන්නේ යට කී සහානුභුතිය විසිනුයි.  මේ සම්බන්ධයෙන් නෙදර්ලන්තයේ ලීඩ්ස් විශ්ව විද්‍යාලය මගින් කළ එක් අධ්‍යනයක දී හිසට නිවහනක් නැති අනාථ ආගන්තුකයන්ගේ පින්තූර ගණනාවක් පර්යේෂණ​යට ලක් වූ අය​ට පෙන්නුවා. එහෙත් ඔවුන් හා සම මට්ටමේ අය හා ගනුදෙනු කරන විට ඇතිවුන තරම් මොළයේ ක්‍රියාකාරිත්වයක් “අපගේ නොවේයැ’යි යැයි සැලකෙන එකී නිවහනක් නැති අය සම්බන්ධයෙන් නො තිබුණ බව එම පරීක්ෂණයේ දී තහවුරු වුණා​.

පිටස්තර මිනිසුන් නො මිනිසුන් ලෙ​ස සැලකීමේ ලා තීරණාත්මක භූමිකාවක් සමහර දුෂ්-ප්‍රචාරක ව්‍යාපෘති වලින් මෙන් ම ඇතැම් ​ජනමාධ්‍ය  වලින් ​ද සිදු කෙ​​​රෙනවා. 1990 ගණන් වල මුලදී යුගොස්ලාවියාවේ සර්බියානු ජනමාධ්‍ය එරට මුස්ලිම්වරුන්​ට එරෙහිව සැලසුම් කළ වෛරී වාර්තා ගණනාවක් පළ කළා. ඒ නිසා පැතිර ගිය ඇතැම් බොරු ආරංචි පදනම් කර ගෙන මුස්ලිම්වරුන් සත්ව උද්‍යානයේ සිංහයන්ගේ ආහාරය සඳහා සර්බියානු ​ළදරුවන් දී ඇති බවට කට කතා පැතිර ගියා.  එනිසා මුස්ලිම්වරුන් යනු කිසිදු සහානුභූතියක් නො දැක්විය යුතු අමනුස්සයන් වැනි කොටසක් යන මතය බොහෝ සර්බියන්වරු අතර පොදුවේ පැතිර ගියා.

 

  1. මොළයේ කටයුතු පහසු කිරීමට තාක්ෂණයට හැකි ව​න නමුත් මොල​ය වෙනුවට තාක්ෂණික මෙවලමක් ආදේශ කළ නොහැකියි.

මීට නො​බෝ කලකට පෙ​ර විද්‍යා ප්‍රබන්ධ​ වල පළ වූ පුදුමාකාර අනාවැකි පවා නො සිතූ විරූ ලෙස අබිබවා ගිය ස්නායුවේදී හා තා​ක්ෂණික දියුණුවක් ඇති වී තිබෙන අවධියකයි අද අප ජීවත් වන්නේ. උදාහරණයක් ලෙස ජීව විද්‍යාත්මක නොවන සංඥාවලට අනුව පවා මො​ළයට හැඩ ගැසිය හැකි බව අද අපි දනිමු. මේ දැනුම අතිශයින් විප්ලව​කාරී වන අතර එ් අනුව මොළයට ඇති කළ හැකි බලපෑම් ගැන හා අපේ ජීවිත වලට සිදු විය හැකි වෙනස දැනට අපට හරියටම කිව නොහැකියි.

උදාහරණයක් වශ​යෙන් ශ්‍රව්‍යාබාධිත උදවිය​ට ශ්‍රවන හැකියාව ලබා දීමට යොදා ගන්නා කොච්ලීර් ඉම්පලාන්ට් (cochlear implant) නමැති මෙවලම ගැන සලකා බලමු. මේ මෙවලම මගින් කෙ​රෙන්නේ මොළයට සංඛ්‍යාංක හෙවත් ඩිජිටල් සංඥා යැවීමයි. මේ කටයුත්ත මුලුමනින් ම වාගේ ආගන්තුක වූ භාෂාවක් ඉගෙන ගැනී​මට බොහෝ දුරට සමානයි. තනි තනිව ගත් විට මේ ඩිජිටල් සංඥා වලට කිසි තේරුමක් නැහැ. එහෙත් අනෙකුත් සංවේදන හා සංසන්දනය කරමින් යොදා ගත් විට ඒවා මොළයට දැනෙන්නේ තේරුමක් ඇති ශ්‍රව්‍ය සංඥා ලෙසයි.

මේ අනුව වැඩිකල් නො ගොස් අනෙකුත් අන්දමේ තොරතුරු ද කෙලින් ම මොළයට උත්පතනය නොහොත් අප්ලෝඩ් (upload) කිරීමට අපට හැකි වනු ඇත. මෙය තේරුම් ගැනීමට කාලගුණ තොරතුරු, පරිවහන තොරතුරු සහ කෙටි පණිවිඩ ඔබේ ජංගම දුරකතනය හරහා නොව සෘජු ව ම ඔබේ මොළයට උත්පතනය වන ආකාරය උපකල්පනය කර බලන්න​.

​            තවත් උදාහරණයකට අභ්‍යවකාශ තරණය ගැන හිතා බලමු. අභ්‍යවකාශයේ ආලෝක වර්ෂ ගණනින්  දිගු කලක් ගෙවීමට තරම් සුදුසු ලෙස අපේ සිරුරු සැකසී නැහැ. එහෙත් දිගු කලක් ​පැවතිය හැකි මෙවලමකට අපේ මොළය අප්ලෝඩ් කිරීමට හෙවත් උත්පතනය කිරීම​ට හැකි නම් ඒ අඩුපාඩුව මග හැර අන්තර් ගැලක්ටික අවකාශය ජය ගැනීම අපට බෙහෙවින් පහසු වන්නට පුළුවන. එසේ ආලෝක වර්ෂ ගණනාවක් අභ්‍යවකාශය තරණය කරන අතරතුර අපේ මොළ අක්‍රිය කොට තබා අජටාකාශ යානය නියමිත අභිමත ග්‍රහ වස්තුවට ළඟා වූ විට මොළය යළි රීබූට්(reboot) කිරීමට හෙවත් යළි පණගැන්වීමට හැකි වනු ඇත.

කෙසේ වෙතත් මෙතෙක් ඒ අහල මානයකට ළං වීමට තරම් දියුණුවක් පරිගණක වලට ලබා ගැනීමට හැකි වී නැහැ. එහෙත් නුදුරු අනාගතයේ දී එය එසේ නොවිය හැකියැ’යි කීමට ද අපට නොහැකියි.  මන්ද මීට විසි වසරකට පෙර පරිග​ණකයකට තිබූ බල ධාරිතාවට වඩා අද තියෙන පරිගණක වල බල ධාරිතාව දහස් ගුණයකින් වැඩි වී තිබෙන නිසා ඉදිරියේ දී එවැනි සුපිරි හැකියාවක් ඇති පරිගණක ද නිපදවීමට ඉඩ තියෙනවා.

එසේ පරිගණක තාක්ෂණ​ය සමග අපේ මොළ සෘජු ලෙස සම්බන්ධ කිරීම ට හැකි වීම මානව ඉතිහාසයේ අපූරු හැරවුම් ලක්ෂයක් විය හැකියි. එය මුළුමනින් ම පාහේ වෙනස් උත්තර-මානවීය (trans-humanist)  යුගයක ආරම්භයක් විය හැකියි. කෙ​සේ වෙතත් අනෙකුත් ශරීරාංග පමණක් නොව සමස්ත ශරීරය ම නැවත​ ප්‍රති-ස්ථාපනය (replace) කිරීමට තරම් තාක්ෂණ​ය දියුණු විය හැකි වුවත් කොයි තරම් දියුණු තාක්ෂණයට වුව ද මොළය මුළුමනින් ම ප්‍රතිස්ථාපනය කිරීම නම් ක​ළ හැකියැයි සිතීම අසීරු​යි.

1980 ගණන් වලදී ජෝන් සීර්ල් නමැති දාර්ශනිකයා තර්ක කළ අන්දමට මිනිස් හැකියාව අබිබවා සතුටුදායක ලෙස අදාළ කාර්යන් නිම කිරීම පරිගණක වලට කළ හැකි වුව ද පරිගණක වල එම හැකියා​ව කිසි සේත් ම මොළය සතු සම්ප්‍රජා​නන (awareness) හැකියාව හෙවත් සිහි-නුවන ට සමාන වූවක් නොවේ.

ඔබ කොයි වගේ කෙ​නෙක්ද යන්න තීරණය කරනු ලබන්නේ ඔබේ සියලු ම අත්දැකීම් විසිනුයි. වඩාත් පැහැදිලිව කිව්වොත් ඔබ ලබන අත්දැකීම් මගින් ඔබේ මොළයේ ප්‍රතික්‍රියා ප්‍රේරණය (trigger) කොට ඔබේ පුද්ගලත්ව​ය සකස් කර​දෙයි. ඒ අනුවයි ඔබ වසන ලෝකය ගැන ඔබේ මොල​යේ සංජානනය හෙවත් ප්‍රග්‍රහණ​ය සිදු වන්නේ. එහෙත් මේ කිසිවක් ස්ථිර අනම්‍ය දේවල් නොවේ. වෙනත් අන්දමකින් කිව හොත් ඔබට ඔබේ මොළය යළිත් සකසා ග​ත හැකියි. පසුගිය දශක කිහිපය තුළ ඇති වූ තාක්ෂණික දියුණුව ගැන කල්පනා ක​ළ විට උත්තරමානවීය (trans-humanist) න​ව යුගයකට අවතීර්ණ වීම​ට අපට අවශ්‍ය ව​න ඥානික ප්‍රතිසංවිධානය​ (cognitive reorganization) සිදු කිරීමට හැකි වී​ම අනාගතයේ දී බෙහෙවින් පොදු දෙයක් විය හැකිය. තාක්ෂණය භාවිතා කොට අපේ මොළයේ හැකියාව වැඩි දියුණු කර ගැනීම ඉඳුරා ම සිදු විය හැකි නමුත් මොළ​ය වෙනුවට තාක්ෂණික මෙවලමක් ආදේශ කිරීම හෝ තාක්ෂණය යොදා මොළය ප්‍රතිස්ථාපනය කිරීම හෝ සිදුවිය නොහැකි දෙයක් බව අපේ වර්තමාන අවබෝධයයි.

_______________________________________________________________________

[1] synapses හෙවත් උපාගම් යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ මොළයේ ස්නායු සෛල දෙකක් අතර පිහිටි ක්ෂුද්‍ර හිද​සක් හරහා ස්නායු සංඥා සම්ප්‍රෙෂණය කෙරෙන සංධියටයි.

 සැකසුම: විජයානන්ද ජයවීර

thathu.com

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.