සංජානනය: ඔබගේ සංවේදනයන්ගේ සංජානනය

Posted by

ඇස් දෙක වහගන්න. දැන් අත් දෙක ඉදිරියට දිගු කරන්න. ඊළඟට ඇඟිලි සොලවන්න පටන් ගන්න. හොඳයි ඔබට දැන් කියන්න පුළුවන්ද ඔබේ අත් කොහේද තියෙන්නේ කියාලා? ඇඟිලි සෙලවෙන බව ඔබට හරි හැටි කියන්න පුළුවන් කියලා හිතනවද? දැන් ඔන්න ඊළඟට තනි කකුලෙන් හිටගෙන ඔය කිව් කාරණා සියල්ල ඉටු කරන්න. මොකද බිම වැටුණාද? එතකොට වේදනාවක් එහෙම දැනෙන්න ඇතිනේ?

 

ඇත්තටම මේ කාරණා සියල්ල කරන්න ඔබට හැකි වුණේ ඔබේ ඉන්ද්‍රිය නිසා තමයි. ඒත් ඉතින් අර අපි පාසල් යන කාලේ ඉගෙන ගත්ත පංචේන්ද්‍රියන් නෙවෙයි වෙන්න පුළුවන්. අපට ඇත්තේ  සංවේදන පහක් යයි අපට කියලා දුන්නේ ඇරිස්ටෝටල්. ඉතින් අද කාලේ ජීවත්වන අපි හැමෝටම පාහේ ඒවා නම් කරන්න  පුළුවන්. පෙනීම, ඇසීම, ස්පර්ශය, රසය, සහ ගන්ධය වශයෙන්. ඒත් ඉතිං එකම  සංවේදනයකටවත් බැහැ ඔබට කියන්න ඔබේ සිරුර ඇත්තේ අවකාශයේ කොයිබද, එය සෙලවෙනවා ද යන්න හෝ ඔබට වේදනාවක් දැනුනා ද යන්න කියලාවත්. එහෙම නම් ඉතින් අපට තර්ක කරන්න තියෙන්නෙ මේ ලෝකය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න නම් කලින් නම් කළ  මූලික සංවේදන පහ පමණක්ම ප්‍රමාණවත් වන්නේ නැහැ කියන එකයි. එතකොට  ඔන්න ප්‍රශ්නයක් මතුවෙනවා.

ඉම  සලකුණු කළ යුත්තේ කොතැනද?

අපට සංවේදන කොපමණ ඇද්ද යන්න ගැන මතභේදාත්මක තත්ත්වයක් තිබෙනවා. ඒකට ඉතින් හේතුව අපි ‘සංවේදනයක්“ යන්න කෙලෙස විග්‍රහ කරන්නේ කෙසේ ද පිළිබඳව පැහැදිලි අදහසක් නොතිබීම වන්න පුළුවන්. එක විදිහක් තමයි උත්තේජනයේ ස්වභාවය අනුව  ඒවා වර්ගීකරණය කිරීම. එහෙම වර්ග කරනවිට සංවේදන මෙන්න මෙහෙම දක්වන්න පුළුවනි. රසායන (රසය හා ගන්ධය); යාන්ත්‍රික (ස්පර්ශ සහ ඇසීම) සහ ආලෝකය (පෙනීම).  ඊළඟට අපට  සුවිශේෂී සංඥා වර්ගයකට  ප්‍රතිචාර දක්වන පද්ධතියක් ලෙස සංවේදන සලකමින් ඒවා යළිත් උප කාණ්ඩ ලෙස අනු කාණ්ඩවලට වර්ග කළ හැකියි. නිදසුනක් ගනිමු. රසය අප දන්නා තරමට එක සංවේදනයක්නේ? ඒත් ඉතින් රසය නැතිනම් රුචිය එක් රසායනික සංවේදනයක් ලෙස නොව පහක් ඔව්, පැණි රසය, ලුණු (ලවණ) රසය, ඇඹුල් රසය, තිත්ත රසය සහ උමාමි(Umami) රසය (මෙය මස් රසය දැක්වීම සඳහා වන ජපන් වචනයකි. අපට මස් රසය යනුවෙනුත් රසයක් දැනෙන නිසාවෙන් එයවෙනම රසයක් ලෙස මෙලෙස වර්ග කර ඇත)

දැකීමත්  එහෙමයි. දැකීම අපට ආලෝකය යනුවෙන් එක සංවේදනයක් ලෙස දක්වන්න පුළුවන්. ආලෝකය සහ වර්ණ යනුවෙන් දෙකක් හැටියට හෝ ආලෝකය, රතු,  කොළ සහ නිල් ලෙස හතරක් හැටියටත් දකින්න පුළුවන්. අප මෙහිදී කොතැනක ඉම සලකනු කළත්, පැහැදිලිවෙන කාරණාව තමයි  සංජානනයට කේන්ද්‍ර වන්නේ තනිකර සංවේදනයම පමණක් නොවන බවයි. (පහත දක්වා ඇති අපගේ සංවේදන 22+ රූපය බලන්න). අපේ සංවේදනය යනුවෙන් අප කතා කරන විට අපි ඇත්තටම විස්තර කරන්නේ අපේ  සංජානනය යන්නයි. තවද ඔය දෙකම අවශ්‍යයෙන්ම එකක් වියයුතු නැහැ.

කොතරම් ස්වභාවිකව අප වෙත සංජානනය හෙවත් ප්‍රජානනය පැමිණෙන්නේ ද කිවහොත් ජීවත්වීම සඳහා එය අවශ්‍ය නැතැයි යන්න බාගදා පුදුමයට කාරණාවක් විය හැකිය. අපේ මේ ග්‍රහ ලෝකයේ සිටින ජීවීන් වැඩිදෙනෙකු තම පැවැත්ම රැක ගන්නේ මූලික සංවේදන එකක් හෝ දෙකක් පමණක් ඇතිවය. බොහෝවිට ඒ ආලෝකය සහ/හෝ ස්පර්ශයයි. ශාකයක් වර්ධනය වන්නේ සූර්යයාගේ දෘශ්‍ය චලනය අනුව යමිනි.  වීනස් මැසි උගුල(Venus fly trap)  නම් මාංශ භක්ෂක ශාකයෙහි හණු ඉබේටම වැසෙන්නේ කෘමියෙකු එහි  උගුල ඇතුළෙහි තිබෙන  කේසර ස්පර්ශ කිරීමට ප්‍රතිචාර දක්වමිනි(මේ කෙටි වීඩියෝවෙන් එය නරඹන්න).

කෙසේවෙතත්, මනුෂ්‍යයන් හැටියට අපි  මීට වැඩි දේවල් ඉටු කරන්නෙමි. අපි ආලෝකය සහ අඳුර දකින්නෙමු. එහෙත් එය අපි  යොදාගන්නේ වස්තුන්, අවකාශ සහ පුද්ගලයන් සහ ඒවා ස්ථාන ගතකිරීම ප්‍රජානනය හෙවත් අවබෝධ කර ගැනීම සඳහායි. අපට ශබ්ද ඇසෙයි.  එහෙත් ඒවා කටහඬ හෝ සංගීතය හෝ එහෙමත් නැතිනම්  ඉදිරියෙන් එන වාහනයක හඬ ලෙස සංජානනය කරගන්නෙමු. අපි රසායනික සංඥාවල සංකීර්ණ මිශ්‍රනයක් ලෙස අපට රසය හෝ ගන්ධය දැනෙයි. එහෙත් අපි එය සංජානනය කර ගන්නේ, අයිස්ක්‍රීම්, දොඩම් ගෙඩියක් හෝ මස් හෝ මාළු පෙත්තක් ලෙසය. සංජානනය(perception) යනු, සංවිධිත මොලය සංවේදක දත්තවලට සපයාදෙන ‘එකතු කළ අගය'(added value)යි. සංජානනය සංවේදනයන් පරයා බොහෝ ඔබ්බට යන්නේ ස්මරණය අවුස්සමින් සහ ඉහළ මට්ටමේ පිරිසැකසුම් ඊට එක්කර ගනිමිනි.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.