ග්‍රන්ථ සාර සංග්‍රහය: හයවැනි නෂ්ටප්‍රාප්තිය – අස්වාභාවික ඉතිහාසයක්

Posted by

The Sixth Extinction: An unnatural History

by Elizabeth Kolbert

හයවැනි නෂ්ටප්‍රාප්තිය – අස්වාභාවික ඉතිහාසයක්

එලිසබත් කොල්බර්ට්

 

“අතිශය ඛේදජනක ජීවවිද්‍යාත්මක අභියෝගයක් පිළිබඳ සිත් කාවදින පරිදර්ශනයක් එලිසබෙත් කෝල්බෙර්ට් ගේ The Sixth Extinction කතාන්දරයෙන් ඉදිරිපත් කෙරේ. වාර්තාකරනය සුවිශේෂීයි, සන්දර්භගතකිරීම ආදර්ශවත්. සමාජ වගකීමකින් යුතු සමකාලීන අමෙරිකානු ලේඛකයන් අතරේ ඇය ප්‍රමුඛස්ථානයක වැජඹෙන්නේ මන්දැයි පැහැදිලිය” මේ, ඇය සහ ඇගේ කෘතිය අගයමින් විචරකයෙකු සහ ග්‍රන්ථ රචකයෙකු තැබූ සටහනක කෙටි උපුටනයක්. New Yoker සඟරාවෙහි පරිසරවේද නිරීක්ෂක හා විචාරක, සම්මානලාභී ලේඛිකා එලිසබෙත් කෝල්බෙර්ට් සහ ඇගේ සම්මානනීය කෘතිය ගැන මෙවන් සටහන් අපමණයි. පුලිට්සර් ත්‍යාගයෙන් පුද ලත් මෙ​ම කෘතිය, විශේෂිතවු පාඨක පිරිසකට ලියුවක් නොව සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ම ඉදිරිපත් කෙරෙන අතිශය වැදගත් කතිකාවක් බව ඒවායින් කියැවේ.

Image result for The Sixth Extinction

 

හයවැනි නෂ්ටප්‍රාප්තිය – අස්වාභාවික ඉතිහාසයක්

සැකෙවින් කියවමු

අපේ ලෝකය ජීවි විශේෂවල අතිශයින් විපත්ති දායක නෂ්ටප්‍රාප්ත වීම් පහක් අත්දැක තියෙනවා. එම පහ විද්‍යාඥයන් හඳුන්වන්නේ ‘මහා නස්පැත්ති පහ’ යන නමින්. ඩයිනසෝරයන් සහමුලින්ම විනාශ වී යාම ද ඉන් එක නෂ්ටප්‍රාප්තියක්.

එහෙත් හයවැනි නෂ්ටප්‍රාප්තිය ද අපේ ඇස් පනා පිට ම දැන් සිදු වෙමින් තියෙනවා. එය සිදු වන්නේ අපේ  ම වරදින්.

කාර්මිකකරණය සහ වනාන්තර විනාශය නිසා ඇතිවෙන දේශගුණ විපර්යාසය හේතු කොට ජීවි විශේෂ ගණනාවක් විනාශ වී නෂ්ටප්‍රාප්ත වීමට ඉඩ හැරීම ගැන මනුෂ්‍යයා මූලික ව වගකිව යුතුයි. දැන් සත්ත්වයින්ගේ වාසස්ථාන වෙනස් වෙලා, සාගර ආම්ලීකරණයට ලක් වෙලා, ජෛව විවිධත්වය බිය ජනක ලෙස අඩු වෙලා.

ඉතිං අපට ඒ ගැන කළ හැක්කේ කුමක් ද? මේ රැල්ල ආපසු හරවා අපේ ලෝකය තුළ කිසියම් ආකාරයක සමබරතාවක් යළි පිහිටුවීමට අපට හැකි ද? පුලිට්සර් තෑග්ගෙන් පුද ලැබූ එලිසබත් කොල්බර්ට් ගේ The Sixth Extinction: An unnatural History (හයවැනි නෂ්ටප්‍රාප්තිය – අස්වාභාවික ඉතිහාසයක්) නමැති කෘතිය මගින් කියන්නේ අපේ චර්යාව වහා වෙනස් නො කර ගත්තොත් නියන්ඩතාල් මානවයාට මුහුණ දීමට සිදු වූ මහා විපත්තියට අපටත් මුහුණ දීමට සිදු විය හැකි බවයි. මේ ඒ කෘතිය සැකෙවින් කියැවීමක්.

  1. මේ පෘථිවි ගෝලයේ අප ජීවත් වන හා ගමනාගමනයෙහි යෙදෙන ආකාරය සත්ව විශේෂවල නෂ්ටප්‍රාප්තිය ට සෘජුව ම හේතු වී තිබෙනවා.

අද බොහෝ සත්ත්ව විශේෂ  අන්තරායට ලක් වූ නොහොත් ආපදාසන්න (endangered) ජීවි විශේෂ වශයෙන් සැලකෙනවා. ඉන් ඇතමෙක් සහමුලින්ම නෂ්ටප්‍රාප්ත වීමේ අනතුරට ලක් ව තියෙනවා.

එහෙත් මිහි මතින් ජිවි විශේෂයක් අතුරුදහන් වී යන්නේ කෙසේදැ’යි ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවා ද?

ඓතිහාසික ව බැලුවොත් නෂ්ටප්‍රාප්ත වීම් යනු දුර්ලභ මෙන් ම ඉතා සෙමින් සිදුවන දේවල්. එහෙත් බොහෝ සත්ව විශේෂ මිහිපිටින් තුරන් වී යන දැවැන්ත නෂ්ටප්‍රාප්ත වීම් ඇති වීමට තුඩු දුන් අත්‍යන්ත පාරිසරික වෙනස් වීම් සිදුවන කාලපරිච්ඡේද ද තිබුණා. එවැනි අවස්ථාවල දී  නෂ්ටප්‍රාප්ත වීම් සිදු වන්නේ ඉතා කෙටි කාලයක් තුළයි.

පසුබිම් නෂ්ටප්‍රාප්ති ශීඝ්‍රතාව (background extinction rate) යනුවෙන් විද්‍යාඥයන් හඳුන්වන සාමාන්‍ය නෂ්ටප්‍රාප්තිය සිදුවන වේගය අඩු වූවද එක් එක් සත්ව කණ්ඩායම් අනුව එම වේගය වෙනස් වන්නට පුළුවන්.

උදාහරණයක් වශයෙන් ක්ෂීරපායී සත්වයින්ගේ සාමාන්‍ය පසුබිම් නෂ්ටප්‍රාප්ති ශීඝ්‍රතාව අනුව සෑම වසර 700 වරක් එක ක්ෂීරපායී සත්වයන් විශේෂයක් මෙලොවෙන් අතුරුදහන් වී යනු ඇතැ’යි අප බලාපොරොත්තු විය යුතුයි. එහෙත් මහා නෂ්ටප්‍රාප්ති සමයවල දී මේ ශීඝ්‍රතාව අතිශයින් ඉහළ යනවා. විද්‍යාඥයන් විසින් ‘මහා නස්පැත්ති පහ’ යනුවෙන් හඳුන්වන එවැනි සංසිද්ධි පහක් දැනට අප දන්නා පරිදි ඇති වී තිබෙනවා. උදාහරණයක් වශයෙන් මීට වසර මිලියන 64 කට පෙර සිදු වූ ඩයිනසෝරයන් නෂ්ටප්‍රාප්ත වීම ඉන් එකක්.

එහෙත් මහා නස්පැත්ති යනු හුදෙක් ප්‍රාග් ඓතිහාසික යුගයට පමණක් සීමා වූ ඒවා නොවේ. ඇත්තටම මේ වන විට අප අත්දකිමින් සිටින්නේ ද තවත් එක මහා නස්පැත්තියක් විය හැකියි. මෑතක අතුරුදහන් ව ගිය ජීවි විශේෂ වල නෂ්ටප්‍රාප්තියේ සත්‍ය වේගය සොයා බැලුවොත් අපට එය මැනවින් වටහා ගත හැකියි.

උදාහරණයක් වශයෙන් මිහිපිටින් සහමුලින්ම අතුරුදහන් ව යාමේ තර්ජනයට අද වැඩියෙන් ම ලක් වී ඇති උභයජීවී සත්වයන් පිළිබඳව සලකා බලමු.  උභයජීවින් අතුරුදහන් ව යාමේ වේගය ඔවුන්ගේ පසුබිම් නෂ්ටප්‍රාප්ති ශීඝ්‍රතාව මෙන් අද වන විට 45,000 ගුණයකින් වැඩි වී ඇතැ’යි විද්‍යාඥයෝ නිරීක්ෂණය කර තිබෙනවා.

ඉතිං ප්‍රශ්නය වන්නේ මේ විපතට වගකිව යුත්තේ කවුද යන්නයි.

ඇත්ත වශයෙන් ම ජීවි විශේෂ මෙසේ වඳ ව යාම ගැන වක්‍රව මෙන් ම සෘජුව ද වගකිව යුත්තේ මනුෂ්‍යයන් වන අපමයි.

උදාහරණයක් වශයෙන් නූතන පරිවහන ජාලය විමර්ශනය කර බලමු. ලෝකය පුරා මහද්වීප යා කරමින්  දිගට හරහට හැම තැනට ම දිවෙන නැව්, අහස් යානා, දුම්රිය හා මහා මාර්ග මගින් නොයෙකුත් අළුත් ජීවී විශේෂ ඉමක් කොණක් නැතිව හැම තැනට ම පරිවහනය වුණා. ඒ නිසා ඊට පෙර එවැනි ජීවියන් වාසය නො කළ පරිසර වල ජීවත් වූ ජීවීන්ට ආගන්තුක ජීවීන්ගෙන් සිදුවී ඇති විනාශය බලන්න.

යුරෝපයේ සිට දකුණු ඇමෙරිකාවට පැමිණ ඇති මරණීය දිලීර වර්ගයට එරෙහිව සිය දිවි රැක ගැනීම පිණිස තැත් කරණ පැනමාවේ ස්වර්ණමය මැඩියන් මේ සඳහා එක් උදාහරණයක්. 19 වැනි සියවසේ මැද භාගයේ දී දඩයමට ලක් වීමෙන් සහ සංක්‍රමණික මිනිසුන්ගෙන් සිය වාසස්ථාන වලට ඇති වූ බලපෑම නිසා වඳ වී ගිය ග්‍රෙට් අවුක් නමැති පියාසර කළ නොහැකි පෙන්ගුයින් වර්ගය තවත් උදාහරණයක්.

ඉතිං මේ  විපතට වග කිව යුත්තෝ අපයි. එහෙත් අපේ ක්‍රියාකාරි කම් පරිසරය කෙරෙහි මේ සා දරුණු විපාක ගෙන ඒවිදැ’යි දැන ගෙන සිටීමට අපට හැකි වීද? ඒ ගැන දැන ගැනීමට පරිණාමය සහ නෂ්ටප්‍රාප්තිය ගැන ඉතිහාසය තවදුරටත් විමසමු.

  1. නෂ්ටප්‍රාප්තිය හිටි හැටියේ සිදුවන දෙයක් ද නැතිනම් සෙමි සෙමින් සිදුවන දෙයක් ද? සියවස් ගණනක් තිස්සේ ඒ ගැන තිබූ මත නව නිරීක්ෂණ නිසා වෙනස් වී තියෙනවා.

කිසියම් සත්ව විශේෂයක් සංඛ්‍යාවෙන් අඩුවී ගොස් මුලුමනින් ම අතුරුදහන් වී යා හැකිය යන අදහස තරමක අළුත් දෙයක්. ඇත්ත වශයෙන් ම සෑහෙන කාලයක් තිස්සේ දී අප විශ්වාස කළේ මිහිමත වෙසෙන ජීවි විශේෂ පරපුරෙන් පරපුරට යමින් සදාතනික ව ජීවත් වෙනු ඇත යනුවෙන්.

ඉතිං අවසානයේ දී සත්ව රාජධානියේ ප්‍රවර්තනය(survival) වෙනස් වන සුලුයි යන්න අප අවබෝධ කර ගත්තේ කොයි කාලයේ දී ද?

දහනව වැනි සියවසේ විසූ ජෝර්ජ් කුවීයර් නමැති ප්‍රංශ ජාතික ස්වාභාව විද්‍යාඥයා සත්ව විශේෂ ව්‍යසනකාරී පාරිසරික සංසිද්ධි නිසා විනාශ වී යා හැකි බව ප්‍රකාශ කළා.

එහෙත් කුවියර්ගේ මතය බ්‍රිතාන්‍ය ජාතික භූවිද්‍යාඥයෙකු වූ චාර්ල්ස් ලයිල් විසින් අභියෝගයට ලක් කළා. ලයිල් යෝජනා කළේ  සත්වයින් වඳ වී යාම සිදු වන්නේ පරිසරයේ වෙනස් වීම් සිදුවන වේගයට අනුරූප ව ම බවයි.  ඒ අනුව පරිසරය වෙනස් වීම සෙමින් සිදුවන්නක් නම් සත්ව විශේෂ වඳ වී යාම ද සෙමින් සෙමින් සිදු වෙනවා. ජෝර්ජ් කුවියර්ගේ අදහසට වඩා පිළිගැනීමක් චාල්ස් ලයිල් ගේ මේ අදහසට ලැබුණා.

එහෙත් ඉන් බොහෝ කලක් ගිය පසු 1980 ගණන් වල දී වෝල්ටර් අල්වාරෙස් නමැති භූවිද්‍යාඥයා පොළොව කැණීමෙන් නව සාධක මතු කරගත් විට  කුවියර්ගේ අදහසට නැවතත් වැදගත් තැනක් ලැබුණා.

මීට වසර මිලියන 66කට පමණ පෙර  වූ ක්‍රෙටේසියස් සමය අවසාන වන අවධියට අයත් පොළෝ ස්තරය කැන බැලූ විට බොහෝ විට උල්කාපාත වල පමණක් දක්නට ලැබෙන ඉරිඩියම් නමැති ලෝහයේ අසාමාන්‍ය ප්‍රමාණයක් එම ස්තරයේ තැන්පත් ව ඇති බව අල්වාරෙස් සොයා ගත්තා.

මේ සොයා ගැනීම පදනම් කර ගෙන ඩයිනසෝරයන් වඳ වී යාමට හේතු වූ කරුණු විස්තර කරන ගැටුම් න්‍යාය (impact theory) නම් මතයක් ඔහු ඉදිරිපත් කළා.

ගැටුම් න්‍යායයෙන් කියන්නේ වසර මිලියන ගණනාවකට පෙර කිලෝ මීටර් දහයක් පමණ දිග දැවැන්ත උල්කාපාතයක් මහ පොළොවට පතිත වූ බවත්, ඒ ගැටුමේ ප්‍රතිඵලයක් වශයෙන් ඉහළට නැගි අප්‍රමාණ දූවිලි වලාවකින් සූර්යයා දිගු කලක් තිස්සේ අස්තංගත වුණා. ඒ නිසා ඇති වූ මහා විපත්තියෙන් විනාශකාරී දේශගුණික විපර්යාසයක් සහ ඩයිනසෝර් විශේෂයේ බොහෝ සතුන් වඳ වීම ද සිදු වුණා.

මෑතදී කළ පර්යේෂණ වලට අනුව ‘මහා නස්පැත්ති’ ගණයේ නෂ්ටප්‍රාප්ත වීම් පහෙන්  හතරක් ම පෘථිවි කක්ෂය හදිසියේ වෙනස් වීමේ ඵලයක් ලෙස ඇති වු අත්‍යන්ත දේශගුණික විපර්යාස නිසයි සිදු වුණේ. මෙසේ පෘථිවි කක්ෂය වෙනස් වීමට හේතුව අපේ සෞරග‍්‍රහ මණ්ඩලයේ ඇතැම් ග්‍රහයන්ගේ ගුරුත්වාකර්ෂණීය ඇදීම වෙනස් වීමයි.

එහෙත් ජීවී විශේෂ වඳ වී යාම පිළිබඳ මිනිස් ක්‍රියාකාරකම් ද හේතු වූ බව අප දන්නවා. ඉතිං ඒ කිනම් ආකාරයකින් ද?

  1. ජීවි විශේෂ නෂ්ටප්‍රාප්ත වීමේ ක්‍රියාවලිය උත්සන්න වන්නේ කාබන් ඩයොක්සයිඩ් නිසා ගෝලීය උණුසුම ඉහළ යෑමෙන්.

හයවැනි මහා නස්පැත්තිය යනුවෙන් හැඳින් විය හැකි නෂ්ටප්‍රාප්තියක අප දැන් ගත කරන බව පෙනෙනවා. ඒ ඇයි ද යන්න තේරුම් ගැනීමට නම් අප අපේ පරිසරයට කර ඇත්තේ කුමක්දැ’යි තේරුම් ගත යුතුයි. මෙහි දී ප්‍රමුඛතම දෝෂාරෝපිතයා වන්නේ කාර්මිකකරණයයි.

උදාහරණයක් වශයෙන් කාර්මික මට්ටමේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය(emission) නිසා අපේ සාගර සැලකිය යුතු මට්ටමින් ආම්ලීකරණය(acidification) වී තියෙනවා. එහි ප්‍රතිඵලය සාගරයේ ජෛව විවිධත්වය (bio-diversity)අඩු වීමයි.

මෙය හරියටම සිදු වුණේ කෙසේ ද?

සාගර හා වායුගෝලය පවතින්නේ  එකි නෙක අතර නිරන්තර වායු හුවමාරුවක නිරත වීමෙන්. වායු ගෝලයේ සැරිසරන ඇතැම් වායු සාගරය තුළ දිය ව තැන්පත් වන අතර සාගරයෙන් නිකුත් වන තවත් වායු වර්ග වායු ගෝලයට එක් වෙනවා. ඒ අනුව වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය ඉහළ ගිය විට සාගරයේ  තැන්පත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ද ඒ අනුව ඉහළ යනවා.

එහෙත් කාබන් ඩයොක්සයිඩ් සාගර ජලයේ දිය වන විට එය අම්ලයක් බවට පත් වෙනවා. අධ්‍යනයන් මගින් පෙන්වා දී ඇති පරිදි කාර්මිකකරණය ආරම්භ වූ 1700 ගණන් හා සසඳන විට සාගර ජලයේ ආම්ලිකතාව දැන් 30% කින් ඉහළ ගොස් තිබෙනවා.

සාගර ජලය ආම්ලීකරණය වීම සත්ව විශේෂ ගණනාවකට විශාල ප්‍රශ්නයක් ව තියෙනවා. එය සාගරයේ පෝෂ්‍ය පදාර්ථ වල සංයුතිය වෙනස් කරනවා. එනිසා ඇතැම් ජීවි විශේෂ වලට ප්‍රමාණවත් ආහාර සැපයීමක් සිදු වන්නේ නැහැ. එහි ප්‍රතිඵලය වන්නේ සාගරයේ ජෛව විවිධත්වය අඩුව යාමයි. සාගර ජලයේ ආම්ලීකරණය වැඩිවීම චූර්ණීභූත (calcifier) සත්ව විශේෂවලට, උදාහරණයක් වශයෙන් බෙල්ලන් වැනි කවචය (shell) සහිත සත්වයින්ට, ඉතා තදින් බලපානවා.

සාගර ජලයේ ආම්ලිකතාව වැඩි වීම නිසා බෙලි කටු, කවච සහ අස්ථි පඤ්ජර වැඩීමට අවශ්‍ය කැල්සියම් සහ කාබනේට් අයන ප්‍රමාණය අඩු වෙනවා. සිය පැවැත්මට කවච කටු ආවරණ ආදි ශරීරාරක්ෂක මෙවලම් අවශ්‍ය එහෙත් සාගර ආම්ලීකරණය නිසා  ඒවා වර්ධනය කර ගත නොහැකි සත්වයන් එවිට වඳ වී යනවා.

එහෙත් ප්‍රශ්නය එය පමණක් නොවෙයි. කාබන් ඩයොක්සයිඩ් යනු ගෝලීය උණුසුම ඇති කරණ හරිතාගාර වායුවක්. ගෝලීය උණුසුම යනු හුදෙක් ශීතල දේශගුණ වල වෙසෙන සත්ව විශේෂ වලට පමණක් බලපාන ප්‍රශ්නයක් නොවෙයි.

කිසියම් සත්ව විශේෂයකට සිය වාසභූමිය පමණට වඩා උණුසුම් යැයි දැනුනොත් වඩා ශීතල වාසභුමියකට සංක්‍රමණය විය හැකියි. එහෙත් ප්‍රශ්නය වී ඇත්තේ හිම වලසුන් සැරිසරන මිහිමත ඇති ශීතලතම වාසභුමි පවා දැන් වඩ වඩා උණුසුම් වෙමින් නැතිව යාමයි.

පෘථිවිය උණුසුම් වීම මින් පෙර නොවූ විරූ වේගයකින් සිදුවන බැවින් අනතුරට ලක් වූ සත්ව විශේෂවලට වඩා ශීතල වාසභුමි කරා සංක්‍රමණය වීමට මීට පෙර තිබූ හැකියාව දැන් සෑහෙන දුරට අඩු වී තියෙනවා.  එනිසා  ජීවත් වීම පිණිස සුදුසු වාසභූමියක් සොයා ගැනීමට පෙර ම මිය යාමට උන්ට සිදුවී තියෙනවා.

වැඩි වන කාබන්  ඩයොක්සයිඩ් මට්ටම ජීවි විශේෂ අතුරුදහන් වී යාමට ප්‍රබල හේතුවක්. එහෙත් මනුෂ්‍යයන් මේ විනාශකාරී නෂ්ටප්‍රාප්තිය ට මග පාදන එකම ආකාරය එය පමණක් නොවේ.

  1. අවදානමට ලක් ව ඇති ජීවි විශේෂ තවදුරටත් උපද්‍රවයට ඇද දමමින් දුම්රිය, ගුවන් යානා සහ මොටර් රථ ලොව පුරා සැරිසැරීමට අපට ඉඩ සලසයි.

වැඩි වන කාබන් ඩයොක්සයිඩ් සංයුතියට අතිරේක ව වනගහන විනාශය සහ නූතන ප්‍රවාහන පද්ධතියේ විනාශකාරී බලපෑම් ද ජීවි විශේෂ නෂ්ටප්‍රාප්ත වීමට දායක වන ප්‍රධාන සාධක අතර වෙයි.

වන ගහණ එළ පෙහෙලි කිරීමෙන් අප කරන්නේ එ්වායේ වෙසෙන ජීවි විශේෂ වඩා කුඩා සත්ව ගහණ වලට කඩා දැමීමයි. එවිට වාසභූමිය සීමා වීම නිසා වඩාත් අවදානම් තත්ත්වයන්ට තුළ ආපදාසන්න වීම හෝ  සහමුලින්ම වඳ වීමේ තර්ජනයට මුහුණ දීමට උන්ට සිදු වෙනවා.

උදාහරණයක් වශයෙන් ඉතිරි වන්නේ සත්ව විශේෂයෙන් එක් පිරිමි සතෙක් හා එක් ගැහැණු සතෙක් පමණක් නම් ඉන් එකෙකු මිය යාමෙන්  මුලු සත්ව විශේෂය ම අනතුරට ලක් විය හැකියි. දූපත් වල සත්ව විශේෂ සංඛ්‍යාව මහාද්වීපික ප්‍රදේශවල සත්ව විශේෂ සංඛ්‍යාවට වඩා ප්‍රමාණයෙන් බෙහෙවින් අඩු වන්නේ ඒ නිසායි.

මේ හේතුව නිසාමයි වන විනාශය ජෛව විවිධත්වය කෙරෙහි ඉතා හානිදායක ලෙස බලපාන්නේ. ලොව පුරා අඩු වී ගෙන යන වනගහන ප්‍රමාණය ගණනය කර බැලූ විද්‍යාඥයන් වන විනාශය නිසා වසරකට ජීවි විශේෂ 5000ක් පමණ වඳ වී යන බව නිගමනය කර තිබෙනවා. මේ ගණන් බැලීම අනුව ජීවි විශේෂ මිලියන 2ක පමණ වාසස්ථානය වන නිවර්තන කලාපීය වනගහන වල වෙසෙන ජීවි විශේෂ අතරින් 1%ක් වසරක් පාසා නෂ්ටප්‍රාප්ත වන බව කිව හැකියි.

තවත් ප්‍රශ්නයක් වන්නේ අපේ ගමන් බිමන් සංචාර යනාදිය මගින් විවිධ ජීවි විශේෂ ලෝකය පුරා යලි බෙදාහැරීමට ද අප දායක වීමයි. ඉන් සිදු වන්නේ  පොදු ජෛව විවිධත්වය අඩු කිරීමෙන් දැනට සිටින ජීවි විශේෂ සමජාතිකරණයකට ලක් කිරීමයි.

ඇත්තටම එය සිදු වන්නේ කෙසේ ද?

අප්‍රිකාව, ලතින් ඇමෙරිකාව සහ ඕෂනියාව වැනි එක සමාන ආකාරයක දේශගුණයෙන් යුත් භූගෝලීය කලාප වල එකිනෙකට මුලුමනින් ම වෙනස් වර්ගයේ ජීවීන් විශේෂ ජීවත් වීමට හේතුව විස්තර කර දීමට චාල්ස් ඩාවින්ට භූගෝලීය බාධක වැදගත් සාධකයක් වුණා.

එහෙත් දහනව වෙනි සියවසේ  අග භාගයේ දී වෙනස් වෙනස් මහද්වීපවලින් සොයා ගනු ලැබූ ඇතැම් ෆොසිල වල කුතුහලය දනවන සමාන කම් ඇති බව පුරාතත්ව විද්‍යාඥයන් නිරීක්ෂණය කළා. ඉන් පසු කලෙක මහද්වීප ප්ලාවිතය (continental drift) පිළිබඳ නියාමය මගින් මේ සමාන කම් වලට හේතුව එකී මහද්වීප කලක් එකම භූමියක් ව පැවති පන්ජියා නමින් දැන් හඳුන්වන සුපිරි මහද්වීපයක කොටස් බව පැහැදිලි කළා.

වර්තමානයේ දී නූතන තාක්ෂණය විසින් මහද්වීප අතර තිබූ මේ ඉපැරණි භූමි සේතු බන්ධන යළි ගොඩනගා තියෙනවා. එදා ශාක සහ සත්ත්වයින් මහද්වීපයෙන් මහද්වීපයට සංක්‍රමණය වුණේ සෙමෙන්. ඊට හේතුව එදා මිනිසුන් ද එසේ සෙමෙන් සෙමෙන් සංක්‍රමණය වූ නිසායි. එහෙත් අද මේ ක්‍රියාවලිය වෙන කවරදාකටත් වඩා වේගයෙන් සිදු වෙනවා.

එහි ප්‍රතිඵලය වන්නේ  ජීවීන්ගේ වාසස්ථාන එකිනෙක හා එක්වීමයි. එනිසා කලක් එකිනෙකින් වෙන්ව හුදකලාව වාසය කළ ජීවි විශේෂ වලට දැන් තරඟකාරී ලෙස එකට ජීවත් වීමට සිදු ව ඇති බැවින් ඔවුන් අතරෙන් සැලකිය යුතු ජීවී විශේෂ ප්‍රමාණයක් අනතුරට ලක් ව වඳ වී යනවා.

වන විනාශය සහ ප්‍රවාහනය මෙසේ නූතන යුගයේ නෂ්ටප්‍රාප්ත වීමේ වේගය කෙරෙහි ඉතා හානිදායක ලෙස බලපානවා. එහෙත්  මනුෂ්‍යයන් වන අප අපේ පරිණාමයේ මුල් අවධියේ සිට ම ජීවි විශේෂවල නෂ්ටප්‍රාප්තිය ට දායක වී තියෙනවා.

  1. ලොම් සහිත දැවැන්ත මැමත් අලින්ගේ පමණක් නොව අපේ ම ඥාති මානව විශේෂ වල නෂ්ටප්‍රාප්තියට ද හෝමෝ සේපියන්ස්වරු වන අප දායක වී තියෙනවා.

ජීවි විශේෂ වල නෂ්ටප්‍රාප්තියට හේතු වී ඇත්තේ හුදෙක් කාර්මීකරණ යුගයේ සිට මනුෂ්‍යයන් කළ ක්‍රියාකාරකම් පමණක් නොවෙයි.  ඇත්ත වශයෙන් ම අපේ මනුසත් විශේෂය වූ හෝමෝ සේපියන්ස්වරුන්ගේ සම්භවයේ සිට ම ජීවී විශේෂවල නෂ්ටප්‍රාප්තියට අප දායක වී තියෙනවා.

රයිනෝසිරස් වැනි විශාල සතුන් බෝ වෙන්නේ  සෑහෙන අඩු වේගයකින්. එහෙත් රයිනෝසිරස්ගේ  දැවැන්ත සිරුර නිසා මිනිසුන් හැරෙන විට අනෙකුත් බොහෝ  ස්වාභාවික විලොපියන්ගෙන්(predators) උන්ට කිසි අනතුරක් නැහැ.  කෙසේ වෙතත් පසුගිය සහස‍්‍ර කීපයේ දී මනුෂ්‍ය වර්ගයා මුලු ලොව පුරා පැතිර ගොස් දඩයම් කිරීම කර ගෙන ගිය බැවින් මිහිපිට විසූ බොහෝ දැවැන්ත සත්වයන් ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු වී ගියා.

දැවැන්තයින්ගේ මේ අඩු වීම ඇතැම් පර්යේෂකයන් විසින් දේශගුණ විපර්යාසයට සම්බන්ධ කිරීමට තැත් කළත් එය තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැහැ. ඔවුන් සොයා ගත් වඩා ඒත්තු යන හේතුව නම් මිනිසුන් වාසස්ථානය කරගත් සෑම ප්‍රදේශයක ම දැවැන්ත සත්වයන් තොග ගණනේ මරණයට පත් වූ බවයි.

මනුෂ්‍යයන් මුල් කාලයේ සිට ම දඩයමේ නිරත වූ අයයි. මනුෂ්‍යයන් පැමිණීමට පෙර ලොම් සහිත මැමත් අලියන් අනතුරට ලක් කළ වෙනත් විලෝපීයෙක් සිටියේ නැහැ.

නියන්ඩතාල් මානව විශේෂය වඳ කර දැමී සම්බන්ධයෙන් ද කිසියම් වගකීමක් හෝමෝ සේපියන්ස් මානවයන්ට තියෙනවා. නියන්ඩතාල් මානවයන් ජීවත් වූ ප්‍රදේශ වලට හෝමෝ සේපියන්ස්වරු සංක්‍රමණය වීමට පටන් ගත් විට නියන්ඩතාල් මානවයන් වඳ වෙන්නට පටන් ගත්තා.

එහෙත් අවසාන නියන්ඩතාල් මානවයින් මිහිපිටින් තුරන් වීමට පෙර හෝමෝ සේපියන්ස්වරු ඔවුන් සමග සහාවාසයේ යෙදී තියෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අද ජීවත් වන මානවයන්ගෙන් සියයට හතරකට නියන්ඩතාල් ජාන උරුම වී තියෙනවා. මෙය බොහෝ විට අදාල වන්නේ එකල නියන්ඩතාල් මානවයන් වාසය කළ යුරේසියාවේ වෙසෙන මිනිසුන්ටයි.

නියැ‍න්ඩතාල්වරු බොහෝ දුරට යුරේසියාව කේන්ද්‍ර කොට වාසය කළ නමුදු හෝමෝ සේපියන්ස්වරු සාගර මැද පිහිටි හුදකලා දූපත් ද ඇතුළුව ලොව පුරාම විසිර ගියා.

ඊස්ට්ර් දූපත් වැනි මුහුද මැද පිහිටි දූපතක් අවසානයේ දී වාසස්ථානය කරගැනීමට පෙර එම දූපත බලා ගිය මිනිසුන්ගෙන් කොයි තරම් ප්‍රමාණයක් අතරමග දී අනතුරට ලක් වන්නට ඇත් ද? ඇතැම් විට නියන්ඩතාල් මානවයින්ට වඩා අපේ මානව විශේෂය සාර්ථක වීමට එක් හේතුවක් වන්නට ඇත්තේ අවදානම ගැනීමට හෝමෝ සේපියන්ස්වරුන් වන අප තුළ තිබූ නිසග හැකියාව නිසා විය හැකියි.

ඉතිං හයවැනි මහා නෂ්ටප්‍රාප්තියට හේතුව මනුෂ්‍යයින් වන අප වුවත් අප ද එහි වින්දිතයන් වීමට ඉඩ තියෙනවා. අපේ ක්‍රියාකාරකම් නිසා ඇති වෙන බරපතළ දේශගුණික වෙනස්කම් විසින් අවසානයේ දී අපවද  නියැ‍න්ඩතාල්වරු ගිය මග ඔස්සේ ම යවනු ලැබීමට කටයුතු යෙදිය හැකියි.

මිහිපිට මනුෂ්‍යය වාසය ඇරඹුණ දා සිට ම අප අනෙකුත් ජීවී විශේෂ වල නෂ්ටප්‍රාප්තියට දායක වී තිබෙනවා. මෑත සියවස් තුළ අප විසින් පරිසරය වෙනස් කිරීමට කර ඇති දේවල් අතිශයින් බරපතළ ලෙස විපත්ති දායකයි. හැකි ඉක්මනින් අපේ ඒ චර්යාව වෙනස් නො කළ හොත් එය මානව ශිෂ්ටාචාරය අවසන් වීමට ද හේතුව විය හැකියි.

 සැකසුම: විජයානන්ද ජයවීර

thathu.com

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.