ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි දෙවියන් අදහන්නේ කවදා පටන් ද?
ටැන්සානියාවේ හඩ්සා ගෝත්‍රිකයන් දෙවියන් ඇදහීමට විශේෂ නැඹුරුවක් දැක්වුවේ නැහැ. ඔවුන්ගේ ඇදහිලි අතරත් විශ්වය බිහිවීම ගැන මිත්‍යා මත සහ වෙනත් අද්භූත කතන්දර තිබුණත් ඔවුන්ගේ වත් පිළිවෙත් අක්‍රමවත් මුහුණුවරක් ගත්තා. ඔවුන්ගේ දෙවිවරු පුද්ගලත්වයක් ආරෝපණය නොවුණු, දුරස්ථ, එදිනෙදා ජීවිතයට බලපෑම් නොකළ පිරිසක්.
හඩ්සා ගෝත්‍රිකයන් සහ අනෙකුත් දඩකරු අන්න ගවේශක (හෙවත් දඩයමින් සහ කෑම සොයා රැස්කරමින් දිවි ගතකළ)ගෝත්‍රිකයන් අපේ අතීත මුතුන්මිත්තන්ගේ ජීවන රටාව පිළීබඹු කරන බව පොදුවේ පිළිගැනෙනවා. ඒ ඇත්තක් නම් ලිඛිත ඉතිහාසයේදී මිනිස් ජීවිතයේ ප්‍රධානම අංගයක් හැටියට පිළිගැනුණු සාධකයක් වුණු විධිමත් ඇදහීම්වලට(ආගම්) ඔවුන් වටිනාකමක් නොදුන් බව හෙළිදරව් වෙනවා.
අනාගාමික ජීවිතයට වැඩි වටිනාකමක් හිමිවන වර්තමානයේදි පවා් බහුතරයක් දෙනා තමන්, ක්‍රිස්තියානි දහම, ඉස්ලාම් දහම, හින්දු දහම , බුදුදහම වැනි ප්‍රධාන ආගම් අදහන්නන් අතරට අයිති වෙන්නේ යයි සලකනවා. ආගමික දේශනා, සම්මත චාරිත්‍ර සහ සංවිධානාත්මක බල ව්‍යුහයක් පැවතීම නිසා මේවා හඩ්සා ගෝත්‍රිකයන්ගේ අවිධිමත් ඇදහිලිවලට වඩා වෙනස් මුහුණුවරක් ගන්නවා. මිනිස් ඉතිහාසයේදී යහපත් වගේම අයහපත් බලපෑම් ඇති කරපු බලවත්ම බලවේග අතරට ආගම් අයිති වෙනවා. ඇත්තෙන්ම මේ ආගම් ආවේ කොහෙන්ද?
උපන්ගෙයි ඇදහිලිකාරයෝ
ඉහත නැගූ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න කලින් තවත් ප්‍රශ්නයක් මතු කරන්න සිද්ධ වෙනවා: මිනිස්සු ආගම් අදහන්නේ ඇයි? බහුතරයකට උත්තරය බොහොම පැහැදිලියි: දෙවියන් ජීවමානයි. ඒ කතාවේ ඇත්ත නැත්ත කොහොම වුණත්, මෙයින් ආගමික විශ්වාසවල ස්වභාවය ගැන සිත්ගන්නාසුළු කරුණක් ඉන් පැහැදිලිවෙනවා. මිනිස්සු අතරින් වැඩි දෙනෙකුට දෙවියන් ඇදහීම කියන්නෙත් හුස්ම ගන්නවා වගේ ඉබේම සිද්ධ වෙන ක්‍රියාවලියක්. මෑත අතීතයේදී එහෙම වෙන්න බලපාන හේතු පැහැදිලි කරන්න විද්‍යාඥයන් සමත් වුණා. මේ “ඥානන අතුරුඵල න්‍යායට” අනුව මිනිස්සු “උපන්ගෙයි ඇදහිලිකාරයො “. මිනිස් මොළ ආගමික ඉගැන්වීම්වලට ළැදියාවක් දක්වන අතරම, කිසිදු වගවිභාගයක් නැතිව ඒවා පිළිගැනීමට පෙළඹෙනවා.
අප අවට පරිසරයේ ඇතිවන හැම සංසිද්ධියක්ම සචේතනික ජීවියෙකුගේ හෙවත් දැන්නුම් තේරුම් ඇති ප්‍රාණියෙකු ඇතිකරන ක්‍රියාකාරකම් හැටියට උපකල්පනය කිරීම අපට මානව පරිණාමයේදීම උරුම වූ ලක්ෂණයක්. මෙය පරිණාමවාදයට අනුව පැහැදිලි කරන්න පහසුයි: අපේ මුතුන්මිත්තන් නිරන්තරයෙන්ම විලෝපිකයන්ගේ ප්‍රහාරවලට ලක්වුණා. පඳුරක සරසර ගෑමත් අනතුරක සේයාවක් වෙන්නට ඉඩ තිබුණු පරිසරයකදී සූදානම් ශරීරයෙන් සිටීම වාසිදායක වුණා. නමුත් ඒහි බලපෑම නිසාම හුදෙක්ම අහම්බයෙන් සිදුවූ සිදුවීම්වලටත් හේතු ඉදිරිපත් කරන්නත්, අප අවට ලෝකය කාගේ හෝ නිමැවුමක් හැටියටත්, හැමදේටම අරමුණක් ඇති බවටත්, හැම සිදුවීමකටම මුල්වූ හේතුවක් ඇති බවටත් පිළිගැනීමට අපි පෙළඹුණා. ආගම් අතරින් බහුතරයක අඩිතාලම වැටෙන්නේ අදිසි බලවේගයක් ලොවේ සියළු දේ මැවීමෙත් විවිධ ක්‍රියාකාරකම් මෙහෙයවීමේත් නිරතව සිටිනවා යන කරුණ පිළිගැනීම මතයි.
මේ වගේ මානසික නැඹුරුවීම්වල බලපෑමෙන් මිනිස්සු හඩ්සා ගෝත්‍රිකයන්ගේ ඇදහීම්වලට සමාන අධිස්වභාවික නැතිනම් අද්භූත ඇදහිලි වලට නැඹුරුවුණා. ඒත් මෙයින් මහා පරිමාණයෙන් ව්‍යාප්තවුණු සංවිධානාත්මක ආගම්වල සම්භවය ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට උත්තරය ඇත්තේ තුර්කියේ කඳු මුදුනක, ලෝකයේ පැරණිම ආගමික සිද්ධස්ථානය ලෙස පොදු පිළිගැනීමක් ඇතී ගොඩනැගිල්ලේ නටබුන් අතර වෙන්නත් පුළුවන්. 1990 දශකයේදී සොයාගත් ගෝබෙක්ලි තේපෙ විහාරය මීටර් තිහක පමණ විශ්කම්භය ඇති කවාකාර ශෛලමය කුටිවලින් පිරුණු වංකගිරියකින් සමන්විතයි. ඨ් අකුර හැඩයේ කුඩා ප්‍රතිමාවලින් වටවුණු මීටර් හයක් පමණ උස ටැම් ඒවාට මැදිවී තිබෙනවා. ඒ ටැම්වලින් සමහර ඒවා වල සළුපිලි සහ හවඩිත්, අනිත් ටැම්වල සර්පයන්, ගෝනුස්සන් සහ හයිනාවන් වැනි සතුන්ගේ විසිතුරු රූපත් කැටයම් කර තියනවා.
ගෝබෙක්ලි තේපෙ භූමියේ කැනීම්වලට සහභාගී වුණු පුරාවිද්‍යාඥයන් එය ආගමික සිද්ධස්ථානයක් හැටියට හඳුනාගැනීම අරුමයක් නෙවෙයි. නමුත් ඒ මතය ස්ථාපනය කරන්න විධිමත් ආගම්වල බිහිවීම ගැන එතෙක් පැවතුණු ජනප්‍රිය මතයට (ආගම් පශ්චාත් ශිලා හුගයේදී සිදුවුණු සංස්කෘතික විප්ලවයෙහි ප්‍රතිඵලයක් බවට පැවති මතයට) අභියෝග කරන්න ඔවුන්ට සිද්ධ වුණා.
ගම්වැසියෝ
කෙටියෙන් විස්තර කළොත් මේ මතයෙන් කියවෙන්නේ අවුරුදු 10,000කට එහා අතීතයේදී මිනිස්සු එඬේර දිවියට සමු දී ස්ථිර කෘෂිකාර්මික ප්‍රජාවන් හැටියට ජීවත්වෙන්න පටන්ගත්තා කියලයි. අවුරුදු 8,300කට ඉස්සර නැගෙනහිර මධ්‍යදරණී ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය, ගෘහාශ්‍රිත සත්තු, කුඹල් කර්මාන්තය සහ ස්ථිර ජනාවාස වැනි පශ්චාත් ශිලා හුගයට අයත් ලක්ෂණවලින් පොහොසත් වුණා. ඔවුන් විධිමත්, සංවිධිත ආගම්වලටත් උරුමකම් කී බවට උපකල්පනය කරන්න පුළුවන්. එවැනි ආගම් උත්පාදනයත් ඔවුන්ගේ සාර්ථකත්වයට දායක වූ බව පිළිගැනෙනවා. මේ සංස්කෘතික පෙරළිය ඇතිවන්නට කලින් මානවයන් ජීවත් වුණේ සමීප ඥාතීන්ගෙන් සැදුම්ලත් කුඩා පවුල් ඒකක ලෙසයි. පසුකාලීනව නාඳුනන පිරිස් සමග ජීවත්වීමට සිදුවීමත් සමග කොන්දේසි විරහිත අන්‍යෝන්‍ය විශ්වාසය හා සහයෝගය සමාජීය පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වුණා.
පරිණාමීය ජීව විද්‍යාවට අනුව අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගය ඥාතීන් අතර සහයෝගය හා අන්‍යෝන්‍ය පරහිතකාමීත්වය (ඔබ මගේ පිට කැසුවොත් මම ඔබේ පිට කසන්නම් වැනි එකඟතා) ඇසුරින් දෙයාකාරයකින් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඥාතීන් නොවන විශාල මිනිස් කණ්ඩායම් අතර පවතින සහයෝගය මේවායින් පමණක් පැහැදිලි කිරීම අසීරුයි. මුණගැහෙන අය අතරින් වැඩි පිරිසක් පිටස්තරයන් වීමේ සම්භාවිතාව නිසා ඥාතීන් අතර සහයෝගය වලංගු වන්නේ නැහැ. අන්‍යෝන්‍ය පරහිතකාමීත්වයේ බලපෑමත් බොහෝදුරට වියැකී යනවා.
ජන ජීවිතයට ආගම්වල බලපෑම තීරණාත්මක වෙන්නේ මෙතැනදියි. වර්තමාන ආගම්වලින් බහුතරයක් සහයෝගය සහ පරහිතකාමීත්වය ප්‍රවර්ධනය කරනවා. ආදිකාලීන ආගම්ද ඒ සඳහා යම් දායකතත්වයක් සපයන්නට ඇති. මෙවැනි ආගම්, සම්බන්ධයක් නැති පිරිස් ප්‍රජාවක් ලෙස එක්කිරීමටත්, ශවුන් අතර ඇති බැඳීම් ශක්තිමත් කිරීමටත් දායක වන්නට ඇති. එවැනි ප්‍රජාවන් අසල්වැසි ප්‍රජාවන්ට වඩා විශාල වීමත්, සම්පත් උරුමකරගැනීමේදී ඔවුන්ව පරාජය කිරීමත් නිතැතින්ම සිදුවන්නට ඇති. ඒ පිරිස් ව්‍යාප්ත වෙද්දී ඔවුන් ඇදහූ ආගම් ඉබේම ව්‍යාප්ත වුණා. වර්තමානයේදී අපෙන් බහුතරයක් ඒ ජනප්‍රිය ආගම් අතරින් එකකට යාන්තමින් හෝ නැඹුරුව සිටිනවා.
ගොබෙක්ලි තෙපේ විහාරය සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුණේ එය මේ මතයට ගලපන්නට බැරි තරම් පැරණි නිසයි. එහි ඇති පැරණීම ගොඩනැගිලිවල ඉතිහාසය වසර 11,500කට එපිට, මිනිස්සු දඩයමෙන් හා ආහාර රැස් කිරීමෙන් යැපුණු යුගය දක්වා දිව යනවා. මේ භූමියේ කෘෂිකර්මාන්තය හෝ ස්ථිර ජනාවාස පිහිටි බවට කිසිදු ලකුණක් නැහැ. නමුත් ගොබෙක්ලි තෙපේ විශාල පිරිසකගේ ශ්‍රමය රැස්කිරීමට තරම් දියුණු සමාජයක නිමැවුමක් බව පැහැදිලියි. මේ සමාජයට පොදු ඇදහිලි හා චාරිත්‍ර තිබූ බවටත්, ඔවුන් ඒ වත පිළිවෙත් ඉටුකිරීම සඳහා ගෙබෙක්ලි තෙපේ විහාරය වෙත රැස්වූ බවටත් පිළිගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා. වෙනත් වචන වලින් කියනවා නම් ඒ සංවිධානාත්මක ආගමක පැවැත්ම විදහාපාන ලක්ෂණ.
ගොබෙක්ලි තෙපේ විහාරය සහ යාබදව පිහිටි වඩාත් පැරණි ස්මාරක සොයාගැනීම මෙතෙක් පැවති සම්මත මතය උඩුයටිකුරු කිරීමට බලපා තිබෙනවා. කෘෂිකාර්මික ජීවන රටාව විධිමත් ආගම් මුල්බැසගැනීමට දායක වූවා යන මතය මේ නිසා බැහැර වෙනවා. මිනිස්සුන්ව මුල්ම වරට විවෘත සමාජ ඇසුරට යොමුකිරීමට හේතු වී ඇත්තේ ගොවිතැන නොව චාරිත්‍රානුකූලව වතාවත් පැවැත්වීමට එක් රැස්වීමයි. රැස්වූ සෙනගට ආහාර සැපයීමේ අවශ්‍යතාවය නිසා කෘෂිකර්මාන්තය ආරම්භ වන්නට ඇති. ගොබෙක්ලි තෙපේවලට ආසන්න ප්‍රදේශයක් ගෘහස්ත තිරිඟු ප්‍රභේද මුල්ම වරට වගා කළ ප්‍රදේශය ලෙස ජාන විද්‍යා පර්යේෂණ මගින් හෙළිදරව් වීම ඊට කදිම සාක්ෂියක්.
පරලොව වාහල්කඩ
ගොබෙක්ලි තෙපේ විහාරය වන්දනාමාන කළ අයගේ ඇදහිලි විශ්වාස ගැන අපට පැහැදිලි අවබෝධයක් නැති වුණත්, පුරාවිද්‍යාඥයන් ඒ පිළිබඳව මත කිහිපයක් ඉදිරිපත් කරලා තියනවා. විහාර භූමියේ සුවිශේෂීම ලක්ෂණයක් හැටියට( විලෝපියන් සතුන් ගොදුරු කරගන්නා හැටි සුලබව කැටයම් කළ) ‘වාහල්කඩ ‘ දක්වන්න පුළුවන්. මේ සිදුරු (කෙනෙකුට) රිංගා යාමට ඉඩ ඇති තරම් විශාල නිසා බැතිමත්තු උපත හෝ මරණය සංකේතවත් කරමින් ඒ හරහා ගිය බව අනුමාන කරන්න පුළුවන්. ඊට අමතරව භූමියේ කැළිකසල අතරින් මිනිස් අවයවවල කොටස් ඇතුළු අස්ථි ගොඩකුත්, මෘත ශරීර වෙත ආකර්ෂණය වන කපුටු විශේෂවල අසාමාන්‍ය ව්‍යාප්තියකුත් දක්නට ලැබුණා. මෙයින් මේ ගොඩනැගිල්ල මළගිය ඇත්තන්ගේ අවසන් කටයුතු සඳහා යොදාගත් බවට පැවතුණු මතය සනාථ වෙනවා. අවසන් ගෞරවය දැක්වීමත් නූතන ආතම්වලට පොදු ලක්ෂණයක්.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START WORSHIPPING GODS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.