ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අප ‘සූර්’ වෙන්න පටන්ගත්තේ කොයි කාලේ ඉඳලා ද?
What’s your poison?
Name your poison?
මොන මත්පැන් වර්ගය ද බොන්නේ කියලා නිවසට ආ අමුත්තාගෙන් ඉංග්‍රීසි හාෂාව කතාකරන රටවල පුරාණ කාලයේ මෙහෙම අහන සිරිතක් තිබුණා.
ඔබේ ප්‍රියතම විෂ වර්ගය මොකද්ද? කියලා අද ඇහුවොත් ඔබත් මමත් වගේ සාමාන්‍ය කෙනෙකුට දෙන්න පුළුවන් එකම උත්තරයයි: එතනෝල්. මේ විෂ සහිත, මත්කරවනසුලු දියරය (හොඳට හෝ නරකට) ශහස්‍ර ගණනක් තිස්සේ මානව සංස්කෘතියේ අංගයක් හැටියට පවතිනවා. පැරණී ජන කණ්ඩායම් අහම්බයෙන් මද්‍යසාරය(ඇල්කොහොල්) නිශ්පාදනය කරන හැටි සොයාගත් දවසේ ඉඳන් මිනිස්සු වෙරිමතින් වැනි වැනී යන්න හුරුවුණා. මද්‍යසාර නිශ්පාදන ක්‍රියාදාමය වන ‘පැසීම'(fermentation) සොයාගන්න අසමත් වුණේ ආර්ක්ටික්, ටියෙරා ඩෙල් ෆියුගෝ සහ ඕස්ට්‍රේලියාවේ විසූ ස්වදේශික ජනතාව විතරයි. මිනිස්සු, පසවීමෙන් මද්‍යසාර බවට හරවන්න පුළුවන් හැම දෙයක්ම පැසීමට ලක් කිරීමට සමත්වුණා. අපි දැනටමත් මිදි,ධාන්‍ය,ඇපල්, පෙයාස්, මී පැණි, සහල්, කිරි, ශාක යුෂ, කහඹිලියා වැනි පැළෑටි වර්ග සහ අර්තාපල් පොතු පවා පැසීමට ලක්කර තිබෙනවා. මිනිස්සුන්ට හිතේ හැටියට විනෝද වෙන්න අවශ්‍ය වෙන්නේ සීනි ස්වල්පයක්, යීස්ට් ස්වල්පයක් සහ ටිකක් ඉවසා සිටීම විතරමයි.
අපි ඒතනෝල්වලට දක්වන ළැදියාවට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. දැනට හඳුනාගත් පැරණීම මධ්‍යසාර පානය ගොවිතැන තරමටම පැරණියි. ඒත් අපි මත් පැන් සමග දක්වන සම්බන්ධය නම් ඊටත් වඩා පැරණීයි.
හීන් අඩියක් ගහන්න කැමති මිනිස්සු විතරක්මත් නෙවෙයි. පළතුරු මැස්සන්, පල් වුණු(පැසවූ) පළතුරු ආහාරයට ගත්තත් එයින් ඔවුන්ගේ හැසිරීම කෙරෙහි පිටතට පෙනෙන තරමේ බලපෑමක් ඇතිවන්නේ නැහැ. අනිත් සත්තු නම් සැලකිය යුතු මට්ටමින් මත් වෙනවා. පමණ ඉක්මවා පැසුණු ගෙඩිවර්ග ආහාරයට ගත් වැක්ක්වින්ග් කුරුල්ලන්(දුඹුරු පැහැති සිරුරක්, කරමලයක් හා රතු පැහැති අග්ගිස්සක් සහිත පිහාපත් ඇති උතුරු අර්ධගෝලයේ වෙසෙන කුඩා කුරුලු විශේෂයක්) ගස් මතට වී වැනි වැනී යන හැටිත්, වෙරිමතින් පියාසර කරමින් ගොඩනැගිලිවල හැපෙන හැටිත් නිරීක්ෂණය වී තිබෙනවා. හොඳ හැටි වෙරිවී ‘පිස්සු කෙළීම’ ගැන අලිඇත්තුප්‍රකටයි. ඉන්දියාවේ අසාම් ප්‍රදේශයේදී අහම්ඹෙන් හමුවුණු බියර් පීප්ප කිහිපයක් හිස්කළ අලි රංචුවක් අවම වශයෙන් මිනිසුන් හයදෙනෙක් පාගා මරාදැමීම ඉතාමත් කනගාටුදායක සිදුවීමක්.
අපේ වානර ඥාතීන් අතරින් වර්වට් යනුවෙන් දැක්වෙන සාන්ත කිට්ස් නම් කැරිබියනානු දූපතේ වෙසෙන වඳුරු විශේෂය මිශ්‍ර මධ්‍යසාර පානය හෙවත් මත්පැන් සාදවලට ගන්නා “කොක්ටේල්” පානය සොරකම් කිරීම සම්බන්ධයෙන් කුප්‍රකටයි. ඒ අතරම මලයාසියානු වනාන්තරවල වාසය කරන උනහපුළුවන් බර්තාම් (තාල වර්ගයේ ගසක්) මල්වල පැසුණු ගෙලිජ්ජ සිරිතක් හැටියට දිනපතා බොන සුරා සොඬුන්. රාවලට දැඩි ආකර්ෂණයක් දක්වන ගිනියාවේ වනගතව වෙසෙන චිම්පන්සින් හොඳටෝම වෙරිවී සිටිනු නිරීක්ෂණයවෙලා තියනවා.
මේ හැසිරීම් රටා අවුරුදු මිලියන 130කට පෙර ඵල දරන ශාක පරිණාමය වුණු, ඩයිනෝසරයන් රජ කළ, අපේ මුතුන්මිත්තන් ශාක වාසී මූෂිකයන්ව(tree shrews) සිටි යුගය දක්වා දිවයන අතීතයකට උරුමකම් කියනවා. අතීත ක්ෂීරපායීන් වගේම ක්ෂුද්‍ර ජීවීනුත් මේ අලුත් ආහාර වර්ගය පරිභෝජනයට හුරුවුණා. පළතුරුවලට ප්‍රියකරන (ග්‍රීක භාෂාවෙන් සීනි ආහාරයට ගන්නා දිලීරය යන අර්ථය ඇති) ‘ Saccharomyces’ නැමති යීස්ට් ගණය බිහිවෙලා කෙටි කාලයකින්ම අපූරු හැකියාවක් උරුම කරගත්තා. පළතුරුවල තිබෙන සීනි සම්පූර්ණයෙන් බිඳ හෙළීමෙන් වැළකී අර්ධ වශයෙන් දහනය කිරීම මගින් ඒතනෝල් නිශ්පාදනය කිරීමේ හැකියාව ඔවුන්ට පරිණාමයේදී උරුම වුණා. මේ ක්‍රමය ශක්තිය මුදා හැරීමෙ දි සාපේක්ෂව අසාර්ථක වුණත් ඒ පළතුරු ආහාරයට ගැනීමට ප්‍රියකරන අනිත් ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීමේ වාසිය ඔවුන්ට සැලසුණා.
පළතුරු පුසුඹ
‘ Saccharomyces’ දිලීරය ඉදුණු පළතුරු ආහාරයට ගත් නිසා එතනෝල් පුසුඹ නිකුත්වීම ඒ පළතුරු කෑමට සුදුසු තරම් ඉදී ඇති බව හැඟවෙන සංඥාවක් වුණා. ස්වාභාවික වරණයේදී එතනෝල් පුසුඹ ඔස්සේ පෝෂ්‍යජනක ආහාර සොයාගැනීමට සමත්වීම පළතුරු බුදින ක්ෂීරපායීන්ට වාසිදායක වන්නට ඇති. මේ හේතුව නිසා, පෝෂ්‍යජනක ආහාර සෙවීමෙ තරඟයේ දී පැසීමට ලක්වන පළතුරු රසට ප්‍රියකළ අය එලෙස ප්‍රියභාවයක් නොදැක්වූ අයව අභිබවා යන්නට ඇති. ඉතින් ඔය විදියට මධ්‍යසාරවල රසට දක්වන රුචිකත්වයත් අපේ ආදිතම මුතුන්මිත්තන්ගේ ජීව විද්‍යාත්මක සංයුතියට ඇතුළත් වෙන්න ඇති. දුටු පළමු අවස්ථාවෙම නොව බිව් පළමු උගුරේ පටන් ප්‍රේමයේ වෙළීමක්.
අවුරුදු මිලියන ගණනකට පස්සේ ගොවිතැනට නැඹුරුවුණු අපේ ආදිකාලීනයන්ට මධ්‍යසාරවලට දක්වන රුචිකත්වය වාසියට හිටින්නට ඇති. අවුරුදු 10,000කට පමණ ඉහතදී කෘෂිකාර්මික යුගය ආරම්භ වීමත් එක්කම කුඩා ජනාවාසවල ජීවත් වූ ජනතාව ආහාර පාන පැසීමට ලක් කළා. ආහාර නරක්වීමට හේතුවන බැක්ටීරියා ඉවත් වී යීස්ට්වලට වැඩි ඉඩක් ලැබීම නිසා මේ ක්‍රමය අතිරික්ත ධාන්‍ය කල්තබාගැනීමට උපකාරී වෙන්න ඇති. පැසීමේ අතුරුඵලයක් ලෙස බී කාණ්ඩයේ විටමින් නිශ්පාදනය වෙන නිසා ධාන්‍ය වල පෝෂණ ගුණයත් වැඩි වෙන්නට ඇති.
මධ්‍යසාර නිශ්පාදනය දියර පිරිපහදු කිරීමටත් දායක වෙන්න ඇති. මුලින්ම ස්ථිර ජනාවාසවල පදිංචියට පැමිණි පිරිස්වලට මුහුණදීමට සිදුවුණු සනීපාරක්ෂක නොවන තත්ත්වයන් සලකා බැලුවොත් මධ්‍යසාර මිශ්‍ර පාන වර්ග ජලයට වඩා සෞඛ්‍යාරක්ෂිත වන්නට ඇති. ප්‍රජාව ක්‍රමයෙන් වර්ධනය වෙද්දී වඩාත් සංකීර්ණ වන මානව සබඳතා සියුම්ව පවත්වාගෙන යන්න මධ්‍යසාර පානය කිරීම උපකාරී වෙන්නත් ඇති.
අපි මුලින්ම මධ්‍යසාර නිශ්පාදනය කළ හැටි ගැන හෙට (ඉරිදා) කතාකරමු
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START GETTING DRUNK? පරිච්ඡේදය ආශ්‍රයෙනි.