සියල්ලෙහි සුලමුල 31 : අප ‘සූර්’ වෙන්න පටන්ගත්තේ කොයි කාලේ ඉඳලා ද? II කොටස

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

අප ‘සූර්’ වෙන්න පටන්ගත්තේ කොයි කාලේ ඉඳලා ද? II කොටස

අප ‘සූර්’ වෙන්න පටන්ගත්තේ කොයි කාලේ ඉඳලා ද? යන්න ගැන ඊයේ කතාකරද්දී කිව්වනේ මධ්‍යසාර නිශ්පාදනය කළ හැටි ගැන අද කතාකරමු කියලා.

ඉතින් අපි මුලින්ම මධ්‍යසාර නිශ්පාදනය කළ හැටි විස්තර කරනවා නම්, ආදිකාලීන ගොවියන්ට ගබඩාකළ තිරිඟු සහ බාර්ලිවලට  සකරොම්සේස් නම් යීස්ට් (Saccharomyces) ප්‍රභේදය ආසාදනය වීම නිසා අහම්බයෙන් මධ්‍යසාර නිශ්පාදනය කරන ක්‍රමවේදය සොයාගන්නට ලැබෙන්නට ඇති කියලා කියන්න පුළුවන්. මිනිස්සු මුල්ම වරට ධාන්‍ය පැළ කළේ මධ්‍යසාර නිශ්පාදනයට මිස ආහාර සඳහා නොවෙයි කියා සමහර මානව විද්‍යාඥයන් සැක පලකරනවා. බියර් පාන්වලට වඩා පැරණි බවයි පෙනීයන්නේ.

Image result for Saccharomyces GIF

Saccharomyces cerevisiae (yeast)

Image result for fermentation process GIF

ගෘහාශ්‍රිතව මිදි වගාකිරීම පටන්ගත්තේ ඊට කලකට පසුවයි. මිදි ගෙඩියේ පොත්තේ වැඩෙන දිලීරයක ක්‍රියාකාරීත්වය  නිසා අව් රශ්මියට කාලයක් නිරාවරණය වුණොත් ඉබේම නතිනම් ස්වභාවිකව පැසවීමෙන් වයින් නිපදවුණා.  පැරණිම මධ්‍යසාර පානවල අවශේෂ හෙවත්  මණ්ඩිවලින් ඒවායේ පැරණි බව හෙළි වෙනවා. චීනයේ කහ ගංගාවට (හ්වැන් හෝ ගංගාව ) ආසන්නයේ පිහිටි ජියෑහු නම් කැනීම් භූමියෙන් හමුවුණු අවුරුදු 9000ක් පමණ පැරණි හැළිවලින් එවන් අවශේෂ හමුවී තිබෙනවා. ඒ මණ්ඩි රසායනික පරීක්ෂණවලට ලක් කිරීමෙන් ඒවා සහල්, හෝතෝන් ගහේ ගෙඩි, මිදි සහ මී පැණි මිශ්‍රණයක් බව හෙළි වුණා.

පරණ වයින් පරණ බෝතල්වලම

 

Image result for residues of the oldest wine Hajji Firuz Tepe in Iran

පැසුණු මිදි සහ ලාටු මිශ්‍රණයක් යොදාගෙන නිපදවූ ලොව පැරණිම වයින් වර්ගයේ මණ්ඩි ඉරානයේ හජ්ජි ෆයිරුස් තේපේ කියන අවුරුදු 7000ක් පැරණි පුරා විද්‍යා භූමියෙන් සොයාගත් වළං කැබලිවල තිබී හමුවී තිබුණා. ඊට අවුරුදු 1500කට පස්සේ  බියර් පිළිබඳ මුල්ම රසායනික සාක්ෂිය හමුවන්නේත් ඒ ප්‍රදේශයෙන්මයි. මේ ලැයිස්තුවේ මිශ්‍ර මත් පැන් වර්ගත් අඩංගුයි: අවුරුදු 3000කට ඉස්සර සිටි ලෝකඩ යුගයේ ග්‍රීක ජාතිකයෝ වයින්, බියර් සහ මී පැණිවලින් සෑදූ මුද්‍රික පාන මිශ්‍රණයක් බීමට පුරුදු වී සිටියා. මේ පැරණි මත් පැන් වර්ග ප්‍රතිනිශ්පාදනය කිරීමට ජෛවාණු පුරාවිද්‍යාඥයන් සමත් වී තිබෙනවා. ඒ අතරින් සමහර  පාන බොහොම රසවත් බව කියවෙනවා.

පැසවීමෙන් මධ්‍යසාර නිශ්පාදනය සොයා ගත්තේ කොයි ආකාරයෙන් වුවත්  වැඩි කලක් ගෙවෙන්නට මත්තෙන්ම මේ නම් අහවර නොවන වාසනාවක් බව මිනිස්සු වටහා ගත්තා. පැසවීමෙන් නීපදවුණු මධ්‍යසාර පානයේ කොටසක් මුසු කරගෙන එය තවත් හැලියක් මත්පැන් නිපදවීමේ සරල ක්‍රියාදාමය තුළින්  නැවත නැවතත් සුරා නිපදවන්න පුළුවන්.

කෘෂිකර්මාන්තයේ ව්‍යාප්තිය වෙමින්, වෙනස් මානව සංස්කෘතීන් බිහිවීමට සමගාමීව යීස්ට් දිලීරයත් වෙනස්කම් ගණනාවකට භාජනය වුණා. වයින් සහ වෙනත් මත්පැන් වර්ග නිපදවීමේදී විවිධ ප්‍රදේශවලින් නානාප්‍රකාර යීස්ට් ස්වරූප බිහිවුණා. එයින් සමහර ප්‍රභේද වෙනත් කාරණා වෙනුවෙන් කැපවී  පාන් ආහාර නිශ්පාදනය සඳායොදාගන්නවා.

කෙසේවෙතත්,  ස්වාභාවික පැසීමෙන් කළ හැකි දේ සීමිතයි. අවසානයේදී තමාගේම පරිවෘත්තීය අපද්‍රව්‍ය විෂ වීම නිසා යීස්ට් විනාශ වෙනවා. පැසීම මගින් නිපදවන මධ්‍යසාර සහිත පානවල අඩංගු උපරිම මධ්‍යසාර ප්‍රතිශතය සමස්ත පරිමාවෙන් 15%යක් පමණයි. නමුත් අවුරුදු 1000කට කලින් චීනයේදී ආසවනය(distillation) හෙවත් කටවහරින් කියනවානම් ‘මත්පැන් පෙරීම’  සොයාගැනීම සමග ඒ ගැටලුව විසඳිලා පැසීමෙන් සැකසූ මත් පැන්, සැර සප්‍රීතුවලට හැරවීමේ අවස්ථාව හිමිවුණා. ෂා කදිමයි, සවුදිය පුරමු!

 

චොකලට් ලෝලීන්ගේ අවධානය පිණිසයි

මත්පැන් පානයෙන් වැළකී සිටින අයටත් සුරාව සොයාගැනීම සමරන්න සාධාරණ හේතුවක් තිබෙනවා: ඒ තමයි චොකලට්. ස්පාඤ්ඤ ජාතිකයන් මධ්‍යම ඇමරිකාව ආක්‍රමණය කරන්න කලින් ඒ ප්‍රදේශයේ ජීවත්වුණු මීසොඇමරිකානුවන් හෙවත් මධ්‍යමඇමරිකානුවන් චොකලට් වැඩිදියුණු කළේ මධ්‍යසාර නිශ්පාදනයේ අතුරුඵලයක් හැටියටයි. චොකලට් රසය ඇතිවන්නේ අමු කොකෝ ලෙලි සහ ඇට යොදාගෙන සකසාගත් දියාරු තලපය පැසීමට ලක් කළොත් විතරයි.  මේ පළතුරු වෙනත් අරමුණකින් පල් කිරීමේදී අහම්බයෙන් සොයාගැනීම හැර මීසොඇමරිකානුවන්  මේ ක්‍රමවේදය සොයාගත්තේ කෙසේද යන්න පැහැදිලි නැහැ.  බාගදා, ඒ ‘වෙනත් අරමුණ’ තමයි චිකා කියන මත් පැන් වර්ගය පෙරීම‍. චොකලට් නිශ්පාදනයේ මුල් පියවර බිහිවෙන්න ඇත්තේ චිකා නිශ්පාදකයන් පැසීමෙන් පසුව ඉතුරු වූ කොකෝ ඇට අඹරා බියර් උකු කිරීමට යොදාගැනීමෙන් පසුව එයින් බියර්වලට අපූරු චොකලට් රසයක් ලැබෙන බව දැනගැනීමයි

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START GETTING DRUNK? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.