ජල දූෂණය සහ ජල දූෂක වර්ගීකරණය

Posted by

ජල දූෂණය සහ ජල දූෂක වර්ගීකරණය

මූලය පදනම් කරගෙන වර්ගීකරණය

මූලය හෙවත් මූලාශ්‍රය මත පදනම් කරගෙන ජලය කෙලසීම දෙවර්ගයක් ලෙස විස්තර කළ හැකියි. ලක්ෂ්‍යගත මූල හා ලක්ෂ්‍යගත නොවන මූල යනුවෙනි. ලක්ෂ්‍යගත මූල දූෂණය යනු එක් තනි හදුනාගත් ස්ථානගත මූලාශ්‍රයකි. එය හදුනාගැනීමට, ප්‍රමාණ කිරීමට සහ නියාමනයට පහසුය. ජල දූෂණයේ ලක්ෂ්‍යගත මූලයන් අතරේ නාගරික කැලිකසළ පිරිසැකසුම් යන්ත්‍රාගාර සහ කාර්මික යන්ත්‍රාගාර වේ. ලක්ෂ්‍යගත නොවන මූලයන්ගේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ (දූෂක) මුදාහැරෙන ලක්ෂ්‍ය ගණනාවක්ම තිබීමයි. මේවා තනි ලක්ෂ්‍ය මූලයක් තුළ දැකිය නොහැකි අතර අධීක්ෂනය සහ පාලනය දුෂ්කර වන අතර විසිරුණු මූලයන්ගෙන ඇතිවෙන දූෂණය ද ඇතුළත්ය. එමෙන්ම, මනුෂ්‍යයන්ගේ ඉඩම් භාවිතය, ඉඩම් භාවිතයෙහි වෙනස්කම්  සහ   කෘෂිකාර්මික ප්‍රදේශවලින් ජල කඳ වෙත බැසයන පිටාර ජලය ද විසිරුණු මූලයන්ට නිදසුන්ය. කෘෂිකාර්මික ක්‍රියාකාරකමක් යනු ප්‍රධාන පෙළේ ලක්ෂ්‍යගත නොවන දූෂණ මූලාශ්‍රයකි. පොහොර භාවිතය. කෘමිනාශක භාවිතය සහ ගොවිපළ සතුන්ගේ පොහොර යෙදීම ඊට ඇතුළත්ය.

Related image

සිදුවෙන ආකාරය පදනම් කරගෙන වර්ගීකරණය

දූෂක, ඒවා සිදුවෙන අන්දම පදනම් කරගෙන  භෞතික, රසායනික සහ ජීව විද්‍යාත්මක දූෂක ලෙස වර්ගීකරණය කරනු ලැබේ.

ක්‍රියාකාරකමෙහි ස්වභාවය පදනම් කරගෙන වර්ගීකරණය 

වටාපිටාවෙහි ඇති ජලය කෙලෙසන යම් ආකාරයක පාරිසරික කැළඹීමක් මනුෂ්‍යයන්ගේ සෑම ක්‍රියාකාරමෙන්ම පාහේ ඇතිවේ. ආහාර ගැනීමෙන් (ශරීරයේ අපද්‍රව්‍ය) ගෙවතු වගාවෙන් (පළිබෝධ නාශක සහ අවශේෂ පිටාර යාම) සහ තවත් ක්‍රියාකාරකම් ගණනාවකින්ම ජල චක්‍රය වෙත යා හැකි අතුරු ද්‍රව්‍ය  නිපදවේ.

ජල දූෂක වර්ගීකරණය

සිදුවන ආකාරය ස්වභාවය නිදසුන්
භෞතික උෂ්ණත්ව ආවිලතාව (කැලැත්තීම) කර්මාන්තවලින් ඇතිවන අප තාපය
වර්ණය ඩයි වර්ග හා වර්ණක
අවසාදිත හා පාවෙන ද්‍රව්‍යය පස් අංශු, රබර් සහ සම්, රිකිලි
රසායනික අකාබනික N, P, CI, F, etc.
ක්ෂාලක, ප්ලාස්ටික්
කාබනික පළිබෝධ නාශක
ජීවවිද්‍යාත්මක ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවින් සහ පණුවන්
හිරිහැරදායක ජීවීන් ඇල්ගී

 

ප්‍රධාන මූලයන් තුනක් ලෙස ජල දූෂක වර්ගීකරණය

ජල දූෂක මූලයන් විශාල සංඛ්‍යාව  පහසුව තකා අපට ප්‍රධාන මූලයන් තුනකට බෙදා දැක්විය හැකියි. කාර්මික අපද්‍රව්‍යයන්, කෘෂිකාර්මික අපද්‍රව්‍යයන් සහ ගෘහාශ්‍රිත අපද්‍රව්‍යයන් වශයෙනි.

 කාර්මික අපද්‍රව්‍ය

සියලුම ජල දූෂකවල ප්‍රධානතම මූලයන් වන්නේ කර්මාන්ත මගින් එන ජලයයි. සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක කර්මාන්ත අපද්‍රව්‍ය පිරියම් කිරීමකින්  තොරව ජල මාර්ගවෙත යොමු කරන්නේ (එසේ නොකළේ නම්) භාවිතයට ගැනීමට ඉඩ තිබූ ජල සැපයුම දූෂණයට ලක් කරමිනි, රසායනික කම්හල්, තෙල් පිරිපහදු, වානේ කම්හල් ආදී නිෂ්පාදන කර්මාන්ත ශාලා ඉතාමත් අධික විෂ ඇති ධූලක දූෂක ගණනාවක්ම සඳහා වගකිව යුතුවේ. කාබනික රසායන ප්‍රභේද ගණනාවක්ම සහ බැර ලෝහ ඇතුළු බෙහෙවින් ප්‍රතික්‍රීයක (reactive) සහ විෂ සහිත ධූලක මේ අතර වේ. අනෙකුත් කර්මාන්තවල බලපෑම සාපේක්ෂව අඩු යයි සැලකෙන නමුත් ජල දූෂණය සම්බන්ධයෙන් ගත් කළ ගැටලුකාරී වේ. මෙකී අනෙකුත් කර්මාන්ත අතරට රෙදි පිළි, සම් පදම් කිරීම, තීන්ත, ප්ලාස්ටික්, ඖෂධ, කඩදාසි හා පල්ප කර්මාන්ත ඇතුළත් වේ. කාර්මික කැලිකසළ රසායන පිරියම් කළ හැක්කේ විශේෂ අපද්‍රව්‍ය පිරියම් කිරීමේ යන්ත්‍රාගාර භාවිත කරමින් පමණකි. මන්ද කැලිකසළ පිරියම් කිරීමේ යාන්ත්‍රාගාර මගින් ඒවා පිරියම් කළ නොහැකි හෙයිනි. කාර්මික අපද්‍රව්‍යවලින් ප්‍රධාන කොටස සමන්විත වන්නේ බැර ලෝහ වලිනි. වඩාත් පැතිරුණු මෙම දූෂක හායනය නොවන නිසාත්, විෂ සහිත නිසාත්  සහ ජලජ පරිසරයට බරපතළ හානි ඇතිකරන නිසාත් පරිසරාත්මක වශයෙන් දැඩි අවධානය යොමු වන්නකි.

බලශක්ති ජනනය කිරීමේ කර්මාන්ත. තාපය හා විකිරණශීලීතාව කෙරෙහි ප්‍රධාන වශයෙන්  දායකත්වයක් සපයන කර්මාන්ත අංශයි. යොදා ගන්න ඉන්ධන කුමක් වුවත් විදුලි බලාගාර සෑම එකක්ම පාහේ තාපජ දූෂණය ඇති කරයි. න්‍යෂ්ටික බලාගාරවල විකිරණශීලීතාව විවිධාකාරයෙන් ජලය දූෂණය කළ හැකියි. මද වශයෙන් විකිරණශීලී අප ජලය මුදා හැරීම සහ වළදමන ලද න්‍යෂ්ටික අපද්‍රව්‍ය මගින් භූකත ජලය දූෂණය ද මීට ඇතුළත්ය. විකිරණශීලීතාව භූගත ජලයේ මෙන්ම මතුපිට ජලයේද දැකිය හැකිය. භූගත ජලයේ දී එය සිදුවන්නේ විකිරණශීලී ද්‍රව්‍ය භූගත පාෂාණවල අඩංගුවීම නිසා වන අතර මතු පිට ජලය විකිරණශීලී ද්‍රව්‍ය තිබීමට යුරේනියම් පතල් කැණීම සහ යුරේනියම් ධානරෝපය හේතුවෙන් ඇතිවන අපවාහයන් මුසු වීම නිසා විය හැකියි.

කෘෂිකාර්මික අපද්‍රව්‍ය

Related image

බෝග වගා කිරීම සහ සත්ව පාලනය හේතුවෙන් මේවා ජනනය වේ. ගෝලීය වශයෙන් ගත් කළ අවසාදිත (රොන්මඩ) දූෂණය සම්බන්ධයෙන් ප්‍රධානතම මූලය වන්නේ කෘෂිකාර්මයයි. ශාක ආවරණය ඉවත් කෙරෙමින් පසෙහි පිහිටීම වෙනස් කරන සුලු සීසෑම සහ වෙනත් භාවිතයන් මීට දායක වේ. කෘෂිකාර්මික ප්‍රෙද්ශවලින් ඇතිවන අවසාදිත පිටාර ගැලීම ජලයෙහි ගුණාත්මක භාවය කෙරෙහි බලපෑම එල්ල කරයි. එය මිරිජ්ජ ජල කඳන්වල ධාරිතාව හීන කරන අතර ජලය හරහා ආලෝකය ගලා යෑමද අඩුකරයි. මෙය දියයට ශාක සංහතියට බලපායි. එහෙයින්ම එම ශාක මත යැපෙන  මත්ස්‍ය සහ අනෙකුත් සත්ව විශේෂවලටද එමෙන්ම, එම හේතුවෙන්  සම්පූර්ණ ආහාර දාමයටම ද  බලපෑම් එල්ල වේ. අවසාදිත අංශුවලින් මත්ස්‍ය කරමල් හිරවීම හේතුවෙන් මසුන් මිය යාමටද පුළුවන. අවසාදනය (මණ්ඩි බැස්ම) හේතුවෙන් පළිබෝධ නාශක, පෝෂක සහ අන්තරයාකර රසායන එහා මෙහා ගෙන යනු ලැබීමත් එකතු වීමත් සිදුවේ.

ලිපියේ ඉතිරිකොටස ලබන සතියේ

Fresh Water Pollution Dynamics and Remediation (Springer Nature 2020) ග්‍රන්ථයේ The Concerns for Global Sustainability of Freshwater Ecosystems නම් පරිච්ඡේදය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.