සියල්ලෙහි සුලමුල 32 : මේ හැටි ලට්ට ලොට්ට අපිට මොකටද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

මේ හැටි ලට්ට ලොට්ට අපිට මොකටද?

 බඩු බාහිරාදියෙන් තොර ජීවිතයක් සිතින් මවාගන්න කියලා එක්තරා පරමාදර්ශී මොහොතකදී, ජෝන් ලෙනන් අපෙන් ඉල්ලීමක් කළා.

(1960 ගණන්වල ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වූ   බ්‍රිතාඥ බීට්ල්ස් පොප් ගීත කණ්ඩායමේ ගායකගේය පද රචක ජෝන් ලෙනන් 1971 දී ලියූ Imagine නම් ප්‍රකට  ගීතයෙහි මේ ආයචනය ගැබ්වේ. එහි අනෙක් කොටස් ද කියැවීම වටී. ලිපිය අවසානයේ මුලු ගීතයම දක්වා ඇත – සංස්කාරක) 

උත්සහ කරලා බලමු කෝ: ඒක නම් ලේසි පහසු වැඩක් නෙවෙයි වගේනේද? එහෙම දෙයක් හිතින් මවාගන්නත් බැරි තරම්. ඇඳුම් පැළඳුම්, හිසට සෙවනක්, උයාපිහාගන්න ක්‍රමයක්, පිරිසිදු වතුර නැතිව අපිට පවතින්න බැහැ. සුකුරුත්තම් බඩු මුට්ටු, අනිත් සැප පහසුකම් ගැන අමතක කරලා ඇඳක්, නාන බේසමක්, තුවා, විදුලි බුබුළු, සබන් නැති ජීවිතයක් ගැන නිකමට වගේ හිතලා බලමු. අපිව සුවිශේෂී විශේෂයක් හැටියට වෙන් කොට හඳුනාගන්නට උපකාරීවන ලක්ෂණ අතරින් අපි සන්තකයේ තිබෙන භාණ්ඩ වලට සුවිශේෂී තැනක් හිමිවෙනවා. ඒවායින් තොර ජීවිතයක් මිනිස් ජීවිතයක් හැටියට සැලකෙන්නේ නැති තරම්.

අපේ සමීපම ඥාතීන් නම් මේ කිසිවක් නැතිවම ජීවත් වෙනවා. චිම්පන්සීන් සරල උපකරණ භාවිතා කළත්, අතු රිකිළිවලින් නිදියහන් තනාගත්තත්, එක වතාවක් භාවිතා කිරීමෙන් පස්සේ ඒවා අතහැර දමනවා. අනිත් සත්තුන්ගෙන් බහුතරයක්ම උපකරණ භාවිතයෙන් තොරවම ජීවත් වෙනවා.

The first things humans owned

අපි සරල වානරයන් වශයෙන් ඉඳලා වස්තු පොදි බඳින මානවයන් දක්වා පරිණාමය වුණේ කොහොමද? මේ ප්‍රශ්නයට සරලව පිළිතුරු දෙන්න බැහැ. ඒ අපිට අයිති දේවල් සහ අයිති නැති දේවල් තනි ඉරකින් බෙදා වෙන් කර‍න්න බැරි නිසයි: උදාහරණයක් කිව්වොත් ඔබේ ගෙඋයනේ තිබෙන පස, එහෙමත් නැත්නම් ඔබේ ජල කරාමවලින් ගලා එන වතුර ඔබට ඇත්තටම අයිතිද? ඔබ ඉවත දැමූ දෙයක හිමිකාරීත්වය ඔබට අහිමි වෙන්නේ කොයි මොහොතේ සිටද?  ඒ වගේම අපේ ආදිකාලීනයන්ට උරුම වී තිබුණු සතුන්ට දමා ගැසීමට යොදාගත් ආයුධ, ලීයෙන් තැනූ ආයුධ පුරාවිද්‍යා කැනීම් ආරම්භ කළ කාලය දක්වා ඉතිරි වී නොතිබුණා වෙන්නත් පුළුවන්.

කොහොම නමුත් මානව වර්ගයා මුල්මවරට අයිතිවාසිකම් කියූ උපකරණ ගැන යම් යම් හෝඩුවාවල් සොයාගන්නට පුළුවන්. වසර මිලියන 3.3කට ඉහතදී තැනුණු පැරණිම ශිලා ආයුධ මීට කදිම උදාහරණයක්. මේවා කිසියම් කාර්යයක් සඳහා යොදාගත් උපකරණ නිසා යම් කාල සීමාවක් තුළ එක පුද්ගලයෙකු සන්තකයේ තිබෙන්නට ඇති. නමුත් මේ උපකරණත් චිම්පන්සීන්ගේ උපකරණ වගේම භාවිතයෙන් පසුව ඉවත දමන ඒවා.

ඕක මගේ!

උපකරණ ටිකෙන් ටික සංකීර්ණ වෙලා, ඒවා තනාගැනීම වඩාත් අසීරු වෙනකොට හිමිකාරීත්වය ගැන හැඟීම දවසින් දවස මානවයන්ගේ සිත්වල වර්ධනය වන්නට ඇති.  දේපළ, එහෙමත් නැතිනම් උරුමකම් කියන පුද්ගලයා වටිනා වස්තූන් හැටියටත්, අනිත් අය (බොහෝවිට ඉරිසියාවෙන්) අන් සතු දේවල් හැටියටත් මුල්ම වතාවට හඳුනාගන්නට ඇත්තේ එවැනි උපකරණයි. හිමිකාරීත්වය පිළිබඳ සංකල්පය වඩාත් ප්‍රචලිත වෙන්න ඇත්තේ  අවුරුදු 300,000කට ඉහතදී හෙල්ල සහ ඊතල නිපදවීමත් සමගයි. දඩයක්කරුවන් ඒ ආයුධ ගොදුරුවලින් ගලවාගෙන යළියළිත් භාවිතා කරන්නට ඇති.

ගින්දරත් බොහෝවිට එවැනි පැරණි බූදලයක් වන්නට ඇති. වර්තමානයේදී දඩයමින් සහ රැස්කිරීමෙන් ආහාර සපයාගන්නා(hunter-gatherer =දඩකරු අන්න ගවේෂක) පිරිස් ගිනි අඟුරු තැනින් තැනට ගෙනයන නිසා ඔවුන් ගින්නෙහි හිමිකරුවන් හැටීයට සලකන්න පුළුවන්. අපේ මුතුන්මිත්තනුත් එලෙසම සිතන්නට ඇති. ගින්දර හැසිරවීම පිළිබඳව පිළිගත හැකි,පැරණිම සාක්ෂි වසර 800,000ක් පමණ පැරණියි.

ඇඳුම් ඇඳීමටත් දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. මිනිස් සිරුරේ වසන උකුණන්ගේ ජාන අධ්‍යයනය කිරීමෙන් හෙළිදරව් වන්නෙ අපි අපේ සිරුරු ආවරණය කිරීම මුල්ම වරට අරඹන්නට ඇත්තේ වසර 70,000ට පමණ ඉහතදී බවයි.

අපි ගින්න, වස්ත්‍ර සහ සංකීර්ණ උපකරණ හිමිකරගත්තාට පස්සේ, විශේෂයෙන්ම ශීත දේශගුණයක් ඇති ප්‍රදේශවල වාසය කරන්න ගත්තාට පස්සේ, අපේ පැවැත්ම සඳහා ඒවාම මත යැපෙන්නට හුරුවෙන්න ඇති. බීවරයෙකුගේ පැවැත්මට  ඌ තනන වේල්ල අත්‍යාවශ්‍ය වනවා වගේ අපේ බඩුබාහිරාදියත් ටිකෙන් ටික අපේ  විස්තෘත රූපානුදර්ශයේ කොටසක් වන්නට ඇති. (පුද්ගලයෙකුගේ ජානමය සංයුතිය අප විසින් හඳුන්වනු ලබන්නේ ඔහුගේ හෝ ඇයගේ ප‍්‍රවේණි දර්ශය(genotype)ලෙසයි. එමෙන්ම එම පුද්ගලයාගේ කායික ගතිලක්ෂණ හඳුන්වනු ලබන්නේ රූපානුදර්ශය(phenotype) ලෙසය)

කැපීපෙනෙන පරිභෝජනය

කාලයාගේ ඇවෑමෙන් අපි තවත් විශාල පිම්මක් ඉදිරියට පැන්නා. භාණ්ඩයක වටිනාකම එහි ප්‍රයෝජනයට සීමා නොවී හිමිකරුවාගේ දක්ෂතාවය හා සමාජ තත්ත්වය පෙන්නුම් කරන මෙවලම්වලට වටිනාකමක් ආරෝපණය වුණා. පසුකාලීනව සමහර මෙවලම්වල වටිනාකම මුලුමනින්ම රඳාපැවතුණේ ඒ කාරණය මතයි : උදාහරණයක් ලෙස ආභරණ දක්වන්නට පුළුවන්. මේ පිළිබඳ පැරණිම සාක්ෂිය ඊශ්‍රායලයෙන් හා ඇල්ජීරියාවෙන් හමුවූ වසර 100,000ක් පමණ පැරණි පබළු කිහිපයක්.

අවුරුදු දසදහස් ගණනකට එහා අතීතයේ සිටම මිනිසා සහ භාණ්ඩ අතර සම්බන්ධය උපයෝගීතාවයේ හෝ පැවැත්ම සඳහා අත්‍යවශ්‍යතාවයේ   සීමාව ඉක්මවා ගොස් සිටි බව පැහැදිලියි.

 

එහෙමවුනත්, තැනින් තැනට සංක්‍රමණ වන ජීවන රටාව නිසා මහා පරිමාණයෙන් ලට්ට ලොට්ට ගොඩගසාගැනීමට තිබුණු ඉඩකඩ ඇහිරුණා. මේ හේතුව නිසාම සමහර පුරාවිද්‍යාඥයන්ගේ මතය මල්ල හෝ පැස අප සතු උපකරණ අතරින්  මුල්ම ජංගම දෙපළ වන්නට ඇති බවයි. මලු භාවිතා කිරීමෙන් මිනිස්සුන්ට අත්වලින් ඔසවාගෙන යා හැකි ප්‍රමාණයට වඩා ලට්ට ලොට්ට  රැස් කරන්නත්, ඒවා තැනින් තැනට ගෙනියන්නත් අවස්ථාව සැලසුණා. අවාසනාවකට(?) වගේ  මලු නිශ්පාදනය කළේ  ස්වාභාවිකව දිරාපත්වන ද්‍රව්‍යවලින් නිසා අපිට ඒවා නිශ්පාදනය කළ කාලසීමාව ගැන අවබෝධයක් නැහැ. දැනට හමුවී ඇති පැරණිතම මලු වසර 4,000ක් පමණ පැරණියි.

ස්ථාවර ජීවන රටාවකට හුරුවීමත් සමග මෙය කනපිට හැරවුණා. මිනිස්සු ස්ථිර වාසස්ථානයක පදිංචි වීමත් සමගම ඔවුන්ගේ දේපල ගොඩගැසෙන්නට පටන්ගත්තා.  මෙම ජීවන රටාව වෙනස් සමාජ ආර්ථික ක්‍රමයකට මගපෑදුවා. වස්ත්‍රාභරණ සහ වටිනා දේපලවලට හිමිකම් කීමෙන් වැදගත් තනතුරු දැරූවන්ගේ සමාජ තත්ත්වය ඉහළ ගොස් ජන කණ්ඩායම් වඩා විශාල වී, ධූරාවලීන් වර්ධනය වුණා.  සමහර පුරාවිද්‍යාඥයන් මේ ද්‍රව්‍යමය සංස්කෘතියෙන් බැහැරව සමාජයක් සංකීර්ණ වන්නටත් ධූරාවලීන් බිහිවන්නටත් ඉඩක් නැති බවට තර්ක කරනවා.

අනලස් අල්ලස්

මිනිස්සු ස්ථිර වාසස්ථානවල පදංචි වීමත් සමග ද්‍රව්‍යමය සංස්කෘතියත් වෙනස් ආකාරයකින් බලගැන්වුනා. මිනිස්සු ස්ථිර වාසස්ථානවල පදිංචි වීම නිසා පරිසර ආපදාවලින් ඔවුන්ට ඇති විය හැකි බලපෑම වැඩි වුණා. ඒ නිසා රක්ෂණ ක්‍රමවේදයක් ලෙස වැඩි වැඩියෙන් දේපළ ගොඩගසාගැනීමට ඔවුන් පෙළඹුණා. අසල්වැසි ප්‍රජාවන් සමග සුහද සබඳතා ගොඩනගාගැනීමත් තවත් එවැනි එක රක්ෂණ උපක්‍රමයක්. තමන්ට අවශ්‍ය නොවන භාන්ඩ එවැනි සබඳතා ගොඩනගා ගැනීමේ දී අල්ලස් හැටියට යොදා ගන්න පුළුවන්නේ. අවසානයේදී, මෙම සමාජ වඩාත් විශාල හා සංකීර්ණ වීමත් එක්ක භාණ්ඩ ගොඩගසාගැනීම ධනය රැස් කරන උපක්‍රමයක් වුණා. එවැනි භාණ්ඩ වෙළඳාම් කිරීම අවශානයේ දී මුදල් භාවිතයට මග පෑදුවා.

විශාල කණ්ඩායම් ලෙස ජීවත් නොවන, අවම භාණ්ඩ ප්‍රමාණයක් පරිහරණය කරන ජන කොටස් අදටත් අපි අතර ඉන්නවා. උදාහරණයක් හැටියට කිව්වොත් ටැන්සානියාවේ හඩ්සා ගෝත්‍රිකයන් පෞද්ගලික දේපළ ස්වල්පයක් පමණක් ළඟ තබා ගනිමින් බෙදා හදාගැනීමේ සංස්තෘතියකට උරුමකම් කියනවා. ඒත් මිනිස්සුන්ගෙන් බහුතරයක් ඊට වෙනස්. ඒ නිසාම ඔවුන් දේපල ගොඩගසාගෙන, වැඩි වැඩියෙන් රැස් කිරීමේ නොසන්සි‍‍දෙන ආශාවට වහල් වී සිටිනවා.

මිනිස්සුන්ගේ අනවශ්‍ය තරම් බඩු ගොඩකට අයිතිවාසිකම් කීමේ පුරුද්ද වෙනස් කරන්නට ඉඩක් තියනවාද? අපි පැවැත්ම සඳහාත්, සමාජ තත්ත්වය සඳහාත් ඒවා මත යැපෙන ප්‍රමාණය සලකා බැලුවාම නම් ඒ ගැන බලාපොරොත්තු තබාගන්න අමාරුයි. ඒත් අපි දිගටම එවැනි දවසක් ගැන සිහින දකිමු. (ජෝන් ලෙනන්ගේ Imagine ගීතයෙන් අපට සිතින් මවාගන්න කියන්නේ එවැනි ලෝකයක්).

සුනඛ භුක්තිය

Image result for dogs sharing a bone

1776දී ඇඩම් ස්මිත් නම් දාර්ශනිකයා සත්තු ගැන අපූරු කරුණක් නිරීක්ෂණයක් සිදු කළා: එනම් සතුන්ට  කිසිම වස්තුවක් අයිති බවක් පෙනෙන්නට නැත කියන කාරනාවයි. “බල්ලෙක් හිතාමතා තවත් බල්ලෙක් එක්ක එක මස් කට්ටක් සාධාරණව තවත් මස් කට්ට කට  හුවමාරුකරගන්නවා නම් කවුරුවත් දැකලා නැහැ.” ඔහුගේ කතාව කිහිප අතකින්ම වලංගුයි. සංකීර්ණ දේපල ක්‍රමයක් තියෙන්නේ මිනිස්සුන්ට විතරයි. සමහර සත්තුන්ට දේපළ තිබෙන බවට අපට තර්ක කරන්න පුළුවන්: කුරුල්ලන්ට කූඩු තිබෙනවා, බීවරයන්ට වේලි තිබෙනවා. ලේනුන් සහ කොට්ටෝරුවන් කෑම සඟවා තබනවා. බොවර්බර්ඩ් නම් ඕස්ට්‍රේලියානු කුරුළු විශේෂය සහකරුවන් ආකර්ෂණය කරගන්න වර්ණවත්,දිලිසෙන දේවල් රැස් කරනවා. සත්තුන්ගෙන් බහුතරයක් තමාගේ බල ප්‍රදේශය රැකගන්න සටන් කරනවා.

එහෙත් මේ කිසිවක් මිනිස්සුන්ගේ සංකීර්ණ දේපළ හිමිකාරීත්වය සමග සංසන්ධනය කරන්න බැහැ. ඊට හේතුව බොහොම සරලයි: ඒ තමයි භාෂාව. වචන නැතිව පොදුවේ පිළිගත් තීති පද්ධතියක්වත්, ඒවා ක්‍රියාත්මක කරන ආයතන පද්ධතියක්වත් පවතින්නේ නැහැ. නීතිවලින් 90%ක්ම දේපළවලට අදාලයි- ඔව් ඉතින්, නීතිය හැදී තිබෙන්නේත් වචනවලින්නේ, නේද?

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DO WE NEED SO MUCH STUFF? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

Imagine

Song by John Lennon

Imagine there’s no heaven
It’s easy if you try
No hell below us
Above us only sky

Imagine all the people
Living for today (ah ah ah)

Imagine there’s no countries
It isn’t hard to do
Nothing to kill or die for
And no religion, too

Imagine all the people
Living life in peace

You may say that I’m a dreamer
But I’m not the only one
I hope someday you’ll join us
And the world will be as one

Imagine no possessions
I wonder if you can
No need for greed or hunger
A brotherhood of man

Imagine all the people
Sharing all the world

You may say that I’m a dreamer
But I’m not the only one
I hope someday you’ll join us
And the world will live as one

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.