ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා. නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.
එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS. එය ඇසුරෙන් සකසණු ලබන, අද සිට සෑම බදාදාවකම තතු ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.
රුධිරය නිල් පාට නැතුව, රතු පාට ඇයි?
පිළිතුරු සපයනු ලබන්නේ වෛද්‍ය Cristian Jessen විසින්
ක්‍රි.ව. 2000 දී ලන්ඩන් යුනිවර්සිටි කොලීජියෙන් වෛද්‍ය උපාධිය ලබාගන්නා ක්‍රිස්ටියන් ජේසන් සිය වෘත්තීය ජීවිතය ආරම්භකරන්නේ වෛද්‍යවරයෙකු ලෙසය. කලක් උගන්ඩාවේ සහ කෙන්යාවේ වාසය කළ හෙතෙම පාසල් ගුරුවරයෙකු හා පර්යේෂකයෙකු ලෙස ද සේවය කර ඇත. සෞඛ්‍ය අධ්‍යාපනය ගැන උනන්දුවක් දක්වන ඔහු සඟරා යනාදියට ලිපි සපයයි. ඔහු වඩාත් ප්‍රකට විද්‍යුත් මාධ්‍ය සංනිවේදකයෙකු ලෙසය.
ඔබත් සමහරවිට අහලා ඇති රජවරුන්ට සහ රැජිනියන්ට තියෙන්නේ නිල් පාට ලේ කියලා. එය ඇත්තෙන්ම විහිලු සහගත වගේම අසත්‍යය කතාවක්. මේ ලෝකේ කිසිම කෙනෙකුට නිල් පාට ලේ නැහැ. රුධිරය කවදටත් රතු පාටයි. රතු පාටම තමයි.(නිල් ලේ කතාව ප්‍රකට යුරෝපයේයි. රාජකීයන්ගේ සහ වෙනත් ප්‍රභූවරුන්ගේ ලේ නිල්පාටය කියන අන්දරයට මුල්වෙන්නේ ඔවුන්ගේ සුදුමැලි සම යට නහර නිල්හැහැයක් ගැනීම විස්තර කිරීමට යොදා ගත් රූපකයක්)
මම දන්නවා, ඔබේ අත් වල නහර දෙස ඔබ සමීපව බැලුවොත් ඔබට පේන්නේ එම නහර තුළ අඩංගු රුධිරය නිල් පාටයි වගේ. නමුත් එහෙම වෙන්නේ ඔබේ නහර, සම මතුපිටට ඉතා ආසන්නව පිහිටීම හා සම හරහා ආලෝකයේ සමහර වර්ණ පමනක් ගමන් ගන්නා නිසායි. මේ නිසා නහර තුළ ඇති රුධිරය පිටතට පේන්නේ නිල් පාටටයි. ඒත් ඉතින් ඔබේ නහර ඇතුළේ ඇති රුධිරය රතු පාටම තමයි.
It’s a myth that blood in your veins is blue
ඔබේ රුධිරයට මේ රතු පැහැය ලබා දෙන්නේ කුමක්ද? මේ වර්ණය පැමිණෙන්නේ හීමොග්ලොබින් නම් රුධිරයේ පවතින ඉතා වැදගත් රසායනික ද්‍රව්‍යයකින්. එමඟින් පෙනහළු වලින් ලබා ගන්නා ඔක්සිජන් ඔබේ ශරීරය පුරා රැගෙන යන අතර ඔබට චලනය වීමට අවශ්‍ය ශක්තියක් ලබා දෙනවා . කිසිවිටෙකත් නිල් පාට නොවුණත්, හීමොග්ලොබින් වලට වර්ණය සුළු වශයෙන් වෙනස් කල හැකියි. ඔබේ සිරුර තුළ විශාල ඔක්සිජන් ප්‍රමාණයක් පවතිනවා නම් හීමොග්ලොබින් මගින් ඔබේ රුධිරය මනරම් දීප්තිමත් රතු පැහැයට හරවනවා. ඔබ දුවන විට හෝ සෙල්ලම් කරන විට, ඔබේ සිරුර වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් භාවිතා කරනවා. එවිට රුධිරය බෙහෙවින් තද රතු පැහැයක් ගන්නා අතර තවත් ඔක්සිජන් ලබා ගැනීමට ඕනෑකරන නිසා ,නැවතත් ඉක්මනින් ආපසු පෙනහළු වලට එම රුධිරය පොම්ප කරනවා.
ලේ රතු සහ රතු ලේ පිටුපස විද්‍යාව
සමහර අවස්ථාවල විශේෂයෙන්ම, සුදු ජාතිකයන් හෝ ඔවුන්ගේ මෙන් ඉතා පැහැපත් සමක් ඇති අයගේ රුධිරය හම හරහා දකිද්දී නිල් පැහයට පේන්න පුළුවන්,(ඡායාරූපය බලන්න). සමහර විට ඒ ගැන තියෙන ‘කතාව’ ඔබත් අසා ඇති. රුධිරය ආපසු පෙනහළු කරා අපේ නහර ඔස්සේ ඇදෙද්දී එයට ඔක්සිජන් අහිමි නිසා එම රුධිරය නිල් පාටලු! මොන බොරු කතාවක්ද? මනුෂ්‍යන්ගේ රුධිරය කිසිවිටකත් නිල් පැහැ ගන්නේ නැහැ. නහරවල නිලට හුරු පැහැය හුදෙක් දෘෂ්ටි මායාවක් පමණයි.
රසායන අපේ ඇහැට යම් සුවිශේෂී වර්ණයක් ලෙස අප දකින්නේ එමගින් පරාවර්තනය කරන ආළෝකයේ තරංග ආයාම පදනම් කර ගෙනයි. ඔක්සිජන්වලට බැඳුණු හීමොග්ලොබින් නිල්-කොළ ආළෝකය අවශෝෂණය කරන හෙයින් ඉන් අපේ ඇස්වලට පරාවර්තනය කරන රතු මෙන් දිස්වන රත්-තැඹිළි ආළෝකයයි. ඔක්සිජන් නොමැතිව රුධිරය වඩාත් රතු පැහැයයි.
මනුෂ්‍යන්ට කොහොමවෙතත්, ඇතැම් සතුන්ට නම් නිල් පැහැති රුධිරය තිබෙනවා. එහෙම නිල් පැහැති රුධිරය සහිත සතුන්ව ඔබ දන්නවාද? බුවල්ලන්, දැල්ලන්, පොකිරිස්සන්, පොතු දැල්ලන්(cuttlefish), (අශ්වලාඩම්) කකුළුවන් යන සියලුම සතුන් එසේ නිල් පැහැති රුධිරය සහිත සතුන් අතරට අයත් වෙනවා.
දැන් ඉතින් රතු ලේ පිළිබඳ කතාව ජීවිත කාලයටම අමතකවෙන්න ඕන නැහැ, ඕන්. මිනිස් අපේ ලේ නම් ඉතින් රතු පාටම තමයි. නිල් හෝ වෙනත් වර්ණයක් නම් නොවෙයි. රතු ලේ කතාවෙන් අපට තවත් පාඩමක් උගෙන ගන්න පුළුවනි. වංශය කුලය නිසා හෝ, වත් පොහොසත්කම් නිසා හෝ උස්පහත් සමජ මට්ටම් නිසා හෝ හමේ පාට නිසා හෝ වෙනත් හේතු නිසා හෝ සමහරු සෙස්සන්ට වඩා තමන් උසස් හෝ වෙනස් යයි සිතුවට අපි කවුරුත් සමානයි. මේ මිහිතලය මත හෝ ඉන් පිටත කොයි ලෝකේ හිටියත් මානවයාගේ ලේ රතුම තමයි.