සංජානනය: කාලය දිගෑදීම සහ හැකිළීම

Posted by

ඔබේ මොළය ‘වර්තමානය‘ නිර්මාණය කරන ආකාරය

How your brain creates ‘now’

ගිය සතියේ පළ වූ ලිපියෙන්  පොරොන්දු වූ පරිදි  ‘දැන්’ යන්න මනිනු ලබන්නේ කෙසේ දැයි අපි දැන් සාකච්ඡා කර බලමු. ‘දැන්’  යන්න මැණිම සම්බන්ධයෙන් අපට ඇතිවන අභිරහස මතුවන්නේ, කවුරුත් දන්නා කාලයේ දිගැදීම මගිනි. ‘දැන්’ කියලා යම් දෙයක් තිබෙනවා නම් ඇයි සමහර අවස්ථාවල කාලය ඇදී යන බවක් පෙනෙන්නෙ? ඇයි සමහර වෙලාවට කාලය ඉගිලිලා යනවා වගේ පේන්නේ? අප අවට සිදුවන්නේ කුමක්ද යන්න මත රැඳෙමින් කාලය ප්‍රසාරණය වන බවක් හෝ සංකෝචනය වන(හැකිලෙන) බවක් පෙනී යාම ගැන කෙටි අන්දර බඳු සාක්ෂි එමට ඇත. නිදසුනක් ලෙස දක්වතොත් මෝටර් රිය අනතුරකදී සිද්ධි පෙළ ගැසෙන්නේ මන්ද චලනයෙන්(slow motion) බවත් පෙනී යාමට පුළුවන. එම තත්වයන් පරීක්ෂණාගාරවල දී යළි නිර්මානය කරමින් සම්පරීක්ෂණ පවත්වා ඇත.   පරීක්ෂණාගාරවලින් එවන් ප්‍රසාරණයවීම් වාර්තා වී ඇත. එකසමාන දිගක කාලය ගතවීමක් සහිත උත්තේජන පෙළක් හෙවත් සන්තනියක් අනුක්‍රමිකව  ඉදිරිපත් කරනු ලැබූ විට ඔවුන්(සම්පරීක්ෂාවන්ට සහභාගී වූ අය) වාර්තා කර සිටියේ උත්තේජක පෙළෙහි අනපේක්ෂිත සිද්ධියකට  දීර්ඝ කාලයක් ගත වූ බවත් දැනුනේය යනුවෙනි. එපමණක්ද නොව යම් සිද්ධියකට ඇත්තටම ගතවූ කාලයට වඩා කාලයක් ගත් වී යැයි මිනිසුන් විසින්  සංජානනය කරන ලැබූ විට, ඔවුන් ඒ පිළිබඳ වැඩියෙන් තොරතුරු සංජානනය් කරගන්නා අතර වඩාත් නිවැරදිව ඔවුහු එය විස්තර කරති. මෙයින් දැක්වෙන්නේ දිගැදීම, සංවේදනමය පිරිසැකසුමේ කාලයට අදාළ සැබෑ විපර්යාසයන්  පිළිබිඹු කරනා බවයි. එමගින් පරිණාමීය වාසියක් ඇති බව සනාථ කරනු ලැබීමට පවා ඉඩ ඇතුවා  විය හැකිය. නිශ්චිත අවස්ථාවල මොලයේ පිරිසැකසුම් අනුපාතය කෘතිමව වැඩිකිරීමෙන් සහ, පරිසරය  පුරෝකතනය කළ හැකි තත්ට්වයකට හා සන්සුන් බවට යළි පත්වූ විට පිරිසැකසුම් අනුපාතය අඩු කිරීමෙන් අපට ඇත්තටම උවමනා වන විට ලබාගැනීමට හැකි වන පරිදි අපි අපේ වටිනා සංජානමය සම්පත් සංරක්ෂණය කරන්නේමු.

Related image

එවැනි සංවේදනය විපර්යාසයන් හෙවත් වෙනස්වීම් උප විඥානමය වශයෙන් සිදුවනවා විය හැකිය; නමුත් ‘දැන්’ යන්න පිළිබඳ අපේ සංජානනය අපේ පාලනයට නතු කර ගත නොහැකි ද? වෙනත් බොහෝ දෙනාට වඩා  වර්තමානයේ වඩාත් පරිපූර්ණ වඩාත් තීව්‍රතාවකින් තමන් ජීවත්වන බව නිරතුරුව භාවනාවේ යෙදෙන අය කියා සිටිති. බොහෝ විට ඇතැම් සම්පරීක්ෂණ මගින්ද මේ මතයට රුකුලක් ලැබේ. අනුරූප දෙකක් අතර පෙරළීමක් ඇතිවෙන බවක් දැක්වෙන දෘෂ්ටි මායාවක් දෙස විමසිල්ලෙන්  බලා සිට, ඒවායේ දෘෂ්ටිකෝණය ප්‍රතිලෝම වන සෑම වාරයකදීම බොත්තමක් ඔබන්න භාවනා කරුවන්ට උපදෙස් දෙනු ලැබීය. මෙම ආපසු හැරෙන කාලය හෙවත් ප්‍රතිලෝම කාලය (reversal time) මනෝවිද්‍යාත්මක වර්තමානයෙහි දිග මැනීම පිණිස හොඳ තක්සේරුවක් ලෙස මේ ආකාර කාර්යන්හිදී සැලකිණ. නිතිපතා භාවනා කරන්නන් සහ පර්යේෂණයට සහභාගී වූ භාවනායෝගීන් යන ඒ ඒ පිරිසම ‘දැන්’ සඳහා තත්පර හතරක පමණ කාලයක් ගත වී යැයි සංජානනය කළහ. එහෙත් යම් සුවිශේෂී  දෘෂ්ටි කෝණයක් හැකි තරම් කාලයක් රඳවා ගන්නයි ඔවුනට  දැන්වූ විට නිතිපතා භාවනා කරුවන්ට සාමාන්‍යයක් වශයෙන් ගතහොත් දැන් යන්න තත්පර 8ක් පමණ රඳවා ගත හැකි වූ අතර  සංසන්දනාත්මක සෙස්සන්ට රඳවා ගත හැකිවුණේ තත්ත්පර 6 ක කාලයකි. මෙයින් හැඟී යන්නේ නිතිපතා භාවනා කරන්නන්, අවධානය යොමු කිරීමේ  වඩාත් වර්ධනය වූ කුසලතා  සහ වර්ධනය වූ  ක්‍රියාකාරී මතක ධාරිතාව පිළිඹිබු කරන්නාවූ සිය පුහුණුව,  මොහොතෙහි වේලාව දිගැ දීමට ඔවුනට මඟ පාදනවා විය හැකි බවයි.  බාගදා ටිකක් වෙහෙසක් දරන්න පුලුවන්නම් අපි හැමෝටමත් ‘දැන්’ ගැන අපේ  අවබෝධය හැසිරවී මේ හැකියාව ලබාගත හැකියි.  ඔබේ ‘දැන්’  මොහොත දිගැදීමට නැතිනම් විකසිත කිරීමට භාවනාවටද පුළුවන් නම් එවිට එයට ඔබේ මනස සේම ඔබේ ජීවිතයද විකසිත කිරීමට පුළුවන. ඉතින් ඔබේ සවිඥානකත්වය ඔබේ පාලනය යටතට ගෙන මොහොත දිගැද කරගෙන තවත් වැඩි වේලාවක් ප්‍රීතිමත්ව ගතකරන්න.  මේ මොහොත තරම් අගනා තවත් වෙනත් වෙලාවක් නොමැත.

දිනදසුන් සමාස්වාදය

 

CALENDAR SYNAESTHESIA

කාලයාගේ ගෙවී යාම හෙවත් කාලය ගතවීම සමහරු අත්විඳින්නේ  අප සෙසු අයට  වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. ඔවුහු ඇත්තෙන්ම කාලය ‘දකිති‘. නොපැහැදිලි සංකල්පමය කාල රේඛාවක් ලෙස නොව ඔවුන් කොපමණ නම් යථාභූතව කාලය දකිනවා ද  කිවහොත් ඔවුන්ට කාලය  දැනෙන්නේ  අතින් ඇල්ලීමට පුළුවන් තරමට වගේ සැබෑ විචිත්‍ර දිනදර්ශනයක්(කැලැන්ඩරයක්) ලෙසිනි. සමාස්වාදය හෙවත් සංවින්දනය යනු එක සංවේදනයක් මොළය මගින් වෙනත් සංවේදනයකට යා කිරීමයි. (මෙම ලිපිපෙළේ  අගෝස්තු 22  දා.පළ වූ ඔබගේ සංවේදයන්ගේ සංජානනය නම් ලිපියෙහි මේ ගැන තව විස්තර කියවන්න).  වැඩි ප්‍රසිද්ධියක් නොමැති සමාස්වාද ප්‍රභේදයකින් පෙළෙන එක් කාන්තාවක කාලය දකින්නේ හුලාහූපයක් ලෙසය.   එහි දෙසැම්බර් 31දා  ඇලී තිබෙන්නේ ඇගේ පපුවටය.  වසරෙහි ඉතිරිය ඇය ඉදිරියේ මීටරයක් පමණ දික්වන වළල්ලක් ලෙස ද දකී. තවත් එවැනි සමාස්වාදයෙකුට වසර, ඇයට උඩින් ගැවසෙන ආපස්සට හැරවූ C අකුරකි.  අශ්වලාඩමක් බඳු එහි එක් කෙළවරක ජනවාරිය ද අනෙක් කෙළවරෙහි දෙසැම්බරය ද ඇත. ඇයට දිනයක් ගැන හිතෙන විට  දිනදර්ශනය දිගේ ගොස් හරියටම නිවැරදි ස්ථානය වෙත ළඟා විය හැකිය. අනෙක් සියලු දෙනා කාලය අත්විඳින ආකාරයෙහි අධි බලගැන්වූ ස්වරූපයක් මෙවන් සමාස්වාදී පුද්ගලයන් අත්විඳින බවක් පෙනී යයි.

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදයෙහි  How your brain creates ‘now’ යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.