සියල්ලෙහි සුලමුල 33 : අපි අපේම ලෝම අත්හැර ඇඳුම් ඇඳගත්තේ කොයි කාලේද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

අපි අපේම ලෝම අත්හැර ඇඳුම් ඇඳගත්තේ  කොයි කාලේද?

මිනිස්සු නොයෙක් විධිවලින් අනිත් මහා වානරයන්ට වඩා වෙනස් වෙනවා තමයි. ඒත් අනෙකුත් මහා වානරයන් අතරේලෝම රහිත සතෙකු හැටියට අපේ “නිරුවත්” පෙනුම, අමු අමුවේම කැපී පෙනෙන  වෙනස්කම් අතරින් එකක්.  චිම්පන්සීන්, බොනොබූ වානරයන්, (චිම්පන්සීන්ට සමාන වානර විශේෂයකි. මොවුන් චිම්පන්සීන්ටත් වඩා මානවයන්ට සමීපව නෑකම් කියන බව සත්ව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි) ‍, ඔරං උටංලා සම්පූර්ණයෙන්ම පාහේ ලොම්වලින් වැසී සිටියත්,   අපේ සිරුරු නම් මුලුමනින්ම පාහේ ලෝමවලින් තොරයි.

Related image

අපි එකිනෙකා නිරුවතින් සිටිනවා දකින්නේ කලාතුරකින් නිසා අපේ සිරුරේ ලෝම රහිත බව අපිට නොදැනෙන තරම්. ඒ අපි, (අපේ ආදි මුතුන්මිත්තන්ගේ සිරුරු වැසූ ලෝම අහිමි කරගැනීම බරපතළ වැරැද්දක් වගේ හිතාගෙන) පුරුද්දක්, ඇබ්බැහියක් හැටියට ඇඳුම් අඳින්න හුරු වී සිටින නිසයි.

එය වැරැද්දක් හැටියට සලකන්න හේතු නැතුවාමත් නෙවෙයි. මානව පරිණාමය සිද්ධ වුණේ ශරීරය උණුසුම්ව තබාගැනීමට වඩා  සිසිල්ව තබාගැනීම අභියෝගයක් වුණු අප්‍රිකාවේදි. අපේ සිරුරේ සිසිලන ක්‍රමය වන දහඩිය දැමීම සිරුර ලෝමවලින් වැසී තියෙද්දී හරි හැටි ක්‍රියාත්මක නොවන නිසා, සිරුරේ ලෝම අවම වීම මේ පරිසරයේදී වාසිදායක වෙන්න ඇති. නමුත් සිරුරේ ලෝම නැති වීමෙන් (මේ මහා පොළව මත) අපිට යා හැකි දුර සීමා වුණා. උතුරු දිශාවට හෝ දකුණු දිශාවට යද්දී පරිසරය, ලොම් අහිමි නිරුවත් වානරයන්වන අපට ඔරොත්තු නොදෙන තරම්.

වර්තමානයේදී නම්  එය තවදුරටත් ගැටළුවක් නෙවෙයි. නූතන මානවයන් පෘථිවිය පුරාම පැතිරී සිටිනවා. රෙදි පිළි කියන්නේ මෙතරම් භූමි ප්‍රදේශයක් අත්පත් කරගන්නට  උපකාරී වුණු මෙවලම් අතරින් එකක්. (ගින්දර සහ වාසස්ථාන සැලකිය යුතු මට්ටමින් දායක වුණත් ඒවා තැනින් තැනට රැගෙන යාම ලොම් කබායක් ගෙනියනවා තරම් පහසු නැහැනේ). අපිව උණුසුම්ව හා වියළිව තබනවාට වැඩි භූමිකාවක් ඇඳුම් පැළඳුම්වලට තිබෙනවා. ඒවා අපි කවුරුද කියන වැදගත් පණිවුඩය සමාජයට ලබා දෙන සංනිවේදන සංඥාවක්.

Related image

උණුසුම් ඇතිරිලි

රෙදිපිළි භාවිතය මානව ප්‍රාග් ඉතිහාසයේ වැදගත් සන්ධි ස්ථානයක් බව පැහැදිලියි. අවාසනාවකට ඒ ඉතිහාසය අදටත් අභිරහසක්. රෙදිපිළි නිපදවන්නේ සත්ව ලෝම, සත්ව හම්, ශාකවල කෙඳි වගේ ස්වාභාවිකව දිරාපත්වන ද්‍රව්‍යවලින් නිසා කාලයාගේ ගැහැට, පීඩාවලට ඔරොත්තු දෙන්නේ නැහැ. දැනට හඳුනාගත් පැරණිතම රෙදිපිළිවල ඉතිහාසය සහස්‍ර කිහිපයකට සීමා වුණත් මිනිස්සු ඊට බොහෝ කලකට කලින්ම ඒවා අඳින්නට ඇති බව අපි දන්නවා.  අවුරුදු 15,000කට ඉස්සර, අවසාන හිම යුගයේ උච්චතම අවධියේදී බෙරින්ජියා භූමි සන්ධිය හරහා ඇලස්කාවට සංක්‍රමණය වුණු සයිබීරියානුවන් අනිවාර්යෙන්ම වස්ත්‍ර ඇඳගෙන ඉන්නට ඇති. ඊටත් එපිට අතීතය ගැන සලකා බැලුවොත් අවුරුදු 40,000කට ඉස්සර යුරෝපය ජනාවාස වූ අවධියේදී මිනිස්සු උණුසුම් ඇඳුම් ඇඳ නොසිටියා යැයි සිතීම අසීරුයි.

වස්ත්‍ර ඉපැරණි නිමැවුමක් බවට ප්‍රබල පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබෙනවා.  ඇඳුම් ඇඳ සිටින මිනිසුන්ව දැක්වෙන  ප්‍රංශයේ  ගුහා චිත්‍රවල ඉතිහාසය වසර 15,000ක් පමණ යයි අනුමාන කළ හැකි වුණත් ඒවායේ කාල සීමාව ස්ථිර වශයෙන් නිගමනය කිරීම අසීරුයි. පැරණිම ඉඳිකටුවල ඉතිහාසය වසර 40,000කට ආසන්නයි, සත්ව සම් ගලවා ගැනීමට යොදාගත් සීරුම් කටු උපකරණ වසර පන්ලක්ෂයක් පමණ පැරණියි. නමුත් මේ උපකරණ දෙකම ඇඳුම් සැකසීම හැර වෙනත් අරමුණක් සඳහා යොදාගත්තා වෙන්නත් පුළුවන්. අපේ මුතුන්මිත්තන්ට ලෝම අහිමි වීම ගැන නිශ්චිත සාක්ෂි සෙවීම නම් ඊටත් අසීරුයි.

වාසනාවට අපිට පුරාවිදයාත්මක සාක්ෂි අත්‍යවශ්‍ය නැහැ. නිරුවත් වීමටත් රෙදිපිළි   භාවිතයටත් සම්බන්ධ කාලය ගණනය කිරීමට යොදාගැනුණේ  අප නොහිතන විදියේ සාක්ෂියක්: ඒ උකුණන්. මේ පරපෝෂිතයන් ක්ෂීරපායී විශේෂ බහුතරයකට උරුම අනිවාර්ය  පීඩාවක්. උකුණු කරදරයෙන් ගැලවීමට සමත් වුණු ඔරං උටං සහ ගිබන් වානරයන් හැර, වානරයන්ගෙන් බහුතරයකගේ සිරුරේ වාසය කරන්නෙ උන්ටම ආවේණික එක උකුණු විශේෂයක් පමණයි. එහෙත් මානවයන් වන අපි, අපේ සිරුරේ තැනින් තැන විසිරී ගිය රෝමත්, ඇඳුම් භාවිතයත් නිසා උකුණු විශේෂ තුනකට හිමිකම් කියනවා. අපි නම් ඇත්තෙන්ම උකුනන්ගෙන් පිරී ගිය, අවාසනාවන්ත වානර විශේෂයක්. හැබැයි උකුනන්ගෙන් අත්වෙච්ච් වාසියකුත් තියනව. ඒ, අපේ අතීත විත්ති හෙළිදරව් කිරීමට ඔවුන් උපකාරී වීමයි. ඒ කොහොමද කියලා හෙට( 08 වෙනි ඉරිදා) මෙම ලිපියේ ඉතිරිය කියවලා බලමු.

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE SWAP OUR FUR FOR CLOTHES? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.