සියල්ලෙහි සුලමුල 33 : අපි අපේම ලෝම අත්හැර ඇඳුම් ඇඳගත්තේ  කොයි කාලේද? II කොටස

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

අපි අපේම ලෝම අත්හැර ඇඳුම් ඇඳගත්තේ  කොයි කාලේද? II කොටස

අපි නම් ඇත්තෙන්ම උකුනන්ගෙන් පිරී ගිය, අවාසනාවන්ත වානර විශේෂයක් වුණත් උකුනන්ගෙන් අත්වෙච්ච් වාසියකුත් තියනවා කියලා ඊයේ ලිපියේ සඳහන් වුනා මතක ඇතිනේ? , අපේ අතීත විත්ති හෙළිදරව් කිරීමට ඔවුන් උපකාරී වීමයි. ඒ කොහොමද කියලා අද මෙම ලිපියේ ඉතිරිය කියවලා බලමු.

Pediculus humanus

Pthirus pubis (crab louse)

අපි මුලින්ම ලෝම අහිමිවීම ගැන සොයා බලමුකෝ.  අනෙකුත් මහා වානරයන්ගේ මෙන්ම, අතීතයේදී මිනිස් සිරුරුවලත් කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම පැතිරුණු එකම උකුණු විශේෂයක් වාසය කරන්නට ඇති. ඒ උකුණු විශේෂයවර්තමානයේදී මිනිස් හිසේ ජීවත් වන Pediculus humanus උකුණු විශේෂයේ මුතුන්මිත්තකු බව හෙළි වී තිබෙනවා. අපේ සිරුරේ රෝම ප්‍රමාණය අඩු වන විට උන්ගේ වාසභූමි ක්‍රමයෙන් කුඩා වුණා. ඒත් උකුණන්ට අලුත් වාසස්ථානයක් ඊට සමාන්තරව හටගත්තා: ඒ ලිංගික ප්‍රදේශවල වැඩෙන රෝම. මේවා හිස කෙස්වලට වඩා රළු වීමත් ගණකමින් වැඩි නිසාත් කුඩා, දුර්වල උකුණන්ට ඒ මත රැඳී සිටීම අසීරුයි. Pthirus pubis හෙවත් ලිංගික උකුණන් එය වාසියට හරවාගත්තා. ඔවුන් හිසකෙස්වල වසන උකුණන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වීමත්, ශක්තිමත් වීමත් නිසා ඔවුන්ට කකුළුවන් කියන විකට නම පටබැඳී තිබෙනවා. ඔවුන් මුහුණේ වැඩෙන රෝම (රැවුල), ඇහිබැම, කිහිලිවල වැඩෙන රෝම සහ පපු ප්‍රදේශයේ වැඩෙන රෝම වල ජීවත් වීමට වැඩිපුර ප්‍රිය කළත්, කලාතුරකින් හිසකෙස්වලත් ජීවත් වෙනවා.

ලිංගික උකුණන් පරිණාමය වුණේ හිසකෙස්වල වසන උකුණන්ගෙන් කියලා ඔබ අනුමාන කරන්න ඇති; නමුත් ඒ අනුමානය නම් වැරදියි. දැනට ඔවුන්ට සිටින සමීපතම ඥාතියා වන්නේ Pthirus gorillae  හෙවත් ගෝරිලි උකුණා. අතීතයේ එක මොහොතකදී මේ උකුණන් ගෝරිල්ලන්ගේ රෝම වලින් මිනිස් සිරුරට පැනගන්න ඇති. එහෙම වුණේ කොහොමද කියන කාරණය නම් තරමක් සංකීර්ණ මාතෘකාවක්: අපි ඒ තරම් දුරට නොගිහින් ඉඳිමු. නමුත් ජාන විද්‍යාවට අනුව මේ විශේෂ දෙක අතර අපසාරී පරිණාමය(divergent evolution) සිදුවුණේ අවුරුදු මිලියන 3.3කට ඉස්සර නිසා ඒ කාලයේදිත් අපේ මුතුන්මිත්තන්ට ලිංගික ප්‍රදේශය ආශ්‍රිත රෝම තිබුණු බව පෙනී යනවා. මේ කියන්නේ නූතන මානවයන් හෙවත් Homo sapiens ලා පරිණාමය  වන්නටත් පෙර, ඉතාම ඈත අතීතයේ කාලසීමාවක් ගැනයි. මෙයින් කියවෙන්නේ අපි කවදටත් නිරුවත් වානරයන්ව සිටි බවයි.

නූල් පොටක සාක්ෂිය   

ලෝම ගැන කතාකළාට අපි ඇඳුම් ගැන කතා කළේ නැහැනේ, නේද? ප්‍රාග් ඓතිහාසික මානවයන් නිරුවත වසාගන්නට දරපු උත්සහයේ අතුරු ඵලයක් හැටියට උකුණන්ට අලුත් වාස භූමියක් නිර්මාණය වුණා. මේ වතාවෙ නම් ඉස්සර වුණේ හිස කෙස්වල ඉන්න උකුණෝ. රෙදිපිළිවල වසන උකුණන් පෙනුමෙන් විශාල, ශක්තිමත් උකුණන්ට සමානයි. දෙගොල්ලෝ සමීප ඥාතීන් බවට කිසිම සැකයක් නැහැ.

ඒත් ඒ සුළු වෙනස්කම් ඔවුන් අපසාරී පරිණාමයට ලක්වූ කාලය ගණනය කිරීමට ප්‍රමාණවත්. මෑතකදී කෙරුණු පරීක්ෂණයකින් හෙළිවුණේ ඔවුනගේ පොදු මුතුන්මිත්තා වසර 83,000ත් 170,000ත් අතර කාල පරාසයකදී ජීවත් වන්නට ඇති බවයි. අපේ මුතුන්මිත්තන් අප්‍රිකාවේ සිට අනිත් මහද්වීපවලට සංක්‍රමණය වී ලෝකය පුරා පදිංචි වෙන්නත් ඉස්සර ඇඳුම් අඳින්න පුරුදු වෙලා හිටපු බව මෙයින් පෙනී යනවා. ඒ හේතුව නිසාම රෙදිපිළි ඔවුන්ගේ  ඉදිරි ගමනට දායක වුණු තාක්ෂණික සොයාගැනීමක්, ජයග්‍රහනයක් හැටියට හඳුන්වන්න පුළුවන්.

මුල්ම ඇඳුම් පැළඳුම් මොන වගේද, ඒවා සැකසීමට යොදාගත් අමුද්‍රව්‍ය මොනවාද යන්න ගැන නම් අපට ඉතින් තියෙන්නේ අනුමාන බොහොමයක් තමයි. එහෙම වුණත්මුල්ම ඇඳුම් පැළඳුම් නිර්මාණය, සංකේත  සංස්කෘතියෙහි මූලාරම්භයන් සමග සම්පාත වුණා. ඉතින්, කාර්යිකත්වය(යම් කාර්යකට යොදාගැනීම) නැතිනම් ප්‍රයෝජනවත්බව සමග විසිතුරු විලාසිතා අත්වැල් බැඳගැනීමත් කෙටි කලකින්ම සිදු වුණා. සිරුරේ ලොම් අත්හැරදමලා පිටතින් පොරවා ගත්තු ලොම් රෙදි පිළි විසිතුරුයි, අලංකාරයි තමයි — ඒත් ඉතින් ඒකෙන් පහර වැදුණේ උකුණන්ට තමයි, අනේ පව්!

 

 

 

සූට් බූට්

දැනට හොඳ තත්වයේ පවතින පැරණිම සපත්තුවේ ඉතිහාසය අවුරුදු 5,500කට ආසන්නයි. ආමේනියාවේ ගුහාවකින් හමුවුණු මේ සපත්තුව සම් පටියක් ලේස් හැටියට යොදාගෙන තනි ගව සම් කැබැල්ලකින් සකසා තිබෙනවා. නමුත්  පාවහන් භාවිතය ඊට වඩා ඈත අතීතයේ පටන් සිදුවූ බව වක්‍ර සාක්ෂිවලින් හෙළි වෙනවා. චීනයේ ගුහාවකින් හමුවුණු වසර 40,000ක් පැරණි පා ඇඟිලිවල අස්ථි අධ්‍යයනය කිරීමේදී ඒවායේ හිමිකරුවා පාවහන් භාවිතයට හුරුවී සිටි බව පෙනෙනවා.

පුරාවිද්‍යාඥයන් ඒ අස්ථිවල හැඩයත්, ඝනත්වයත් මැනලා විසිවන සියවසේදී ජීවත්වුණු ඇමරිකානුවන්, පසුකාලීන ප්‍රාග් ඓතිහාසික ඉනුයිට් ගෝත්‍රිකයන්  සහ වෙනත් පසුකාලීන ප්‍රාග් ඓතිහාසික ස්වදේශික  ඇමරිකානුවන්ගේ  අස්ථි සමග සංසන්ධනය කළා. සපත්තු භාවිතය අපි ඇවිදින රටාව වෙනස් කරනවා. ඇඟිලි වකුටු වීම අවම වීම නිසා අස්ථිවලට යොමුවෙන බලය අඩුවීම කැපී පෙනෙන ව්‍යුහාත්මක වෙනස්කම්වලට බලපානවා. පාවහන් භාවිතා කරන නූතන මානවයන් අඟුටුමිටි පුංචි ඇඟිලිවලට හිමිකම් කිව්වත් පාවහන් නොපළඳින රතු ඇමරිකානුවන්ගේ ඇඟිලි විශාලයි. පාවහන් පළඳින  අයිනූස් ගෝත්‍රිකයන්ගේ ඇඟිලි අතරමැදි ප්‍රමාණයේ ඒවා. චීනයෙන් හමුවූ අස්ථි ප්‍රමාණයෙන් ඉනුයිට් ගෝත්‍රිකයන්ගේ අස්ථිවලට සමාන වීමෙන් පෙනී යන්නේ ඒ අස්ථිවල හිමිකරුවා පුරුද්දක් හැටියට පාවහන් පැලඳි බවයි.

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE SWAP OUR FUR FOR CLOTHES? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.