සංජානනය: ඉන්ද්‍රජාලික විද්‍යාව සහ මොළය

Posted by

මැජික් නරඹන විට මොළය පෙන්වන මැජික් පිළිබඳ විග්‍රහයකි

මැජික් යනුවෙන් දැක්වෙන විජ්ජා හෙවත් ඉන්ද්‍රජාලික ක්‍රියා දැක බලාගන්න ලොකු කුඩා භේදයකින් තොරව අප කවුරුත් කැමැත්තක් දක්වනවා. එක අතකින්, කාටත් පේන්න  ගන්නා කාසියක් අපේ ඇස් පනාපිටම ඉන් අතුරුදන් වෙනවා. ඒත් මෙන්න සුළු  වෙලාවකින් වෙනත් අයෙකුගේ සාක්කුවකින් අර කාසිය මතුවෙනවා. කාඩ් කුට්ටමක් යොදාගෙන කරන විජ්ජා අප කවුරුත් විස්මයෙන් විස්මයට පත් කරන්න සමත්. මිනිස් ජීවිතයකට හානියක් කිරීමට දරන තැතක් වගේ යයි අපට සැකයක් මතු කරමින් පෙට්ටියක් තුලට බහා කියතකින් කැපූ යුවතියක් තව සුළු වේලාවකින් වේදිකාවේ දිස් වන්නේ කිසි ඇබැද්දියකින් තොරව සම්පූර්ණයෙන්ම පණපිටින්මය.

ඉතින්, මේ විජ්ජාකාරයෝ නැතිනම් ඉන්ද්‍රජාලිකයෝ අපට ඒත්තු යන ආකාරයකට අපව රවටන්නේ කොහොමද? වසර ගණනක් මේ ඇස්බැන්දුම්කරුවන් දෙස ඇස් ඇර නොබැලූ ස්නායු විද්‍යාඥයන් සහ මනෝ විද්‍යාඥයන් දැන් තේරුම් අරගෙන තියෙනවා මනුෂ්‍යයන්ගේ මනස හැසිරවීම සඳහා ඉන්ද්‍රජාලිකයන් යොදාගන්නා ක්‍රම තුළ වැදගත් අන්තර්දෘෂ්ටීන් හෙවත් ප්‍රතිවේධ ගැබ්ව තිබෙන බව. මැජික් සෙල්ලම් හෙවත් මැජික් ප්‍රයෝග ස්වභාවධර්මයේ නිතිරීතිවලට ඔබ්බෙන් යන බවත් නැතිනම් ඒවා කඩකරන බවක් අපට පෙනී ගිය ද ඇත්තටම එහෙම නොවන බව අපි දන්නවා.  එහෙමනම් ඉතින් ඉන්ද්‍රජාල හරියාකාරව දැක ගැනීමේ මාර්ගය තියෙන්නේ නිතර ආබාධවලට ලක්වන, දුර්වල මොළය මිනිස් තුළයි. ඒ ගැන දැන් සොයා බලමු.

අවධානය යොමු නොකිරීම

ඉන්ද්‍රජාලිකයන්ගේ කලාව හෙවත් ශිල්පය ගැන ගවේෂණය කිරීමේදී වඩාත් සුදුසු ආරම්භක පියවරක් වන්නේ ඉන්ද්‍රජාලිකයන් විසින්ම සිදුකරන ලද (සිය ශිල්පය) වර්ගීකරණයයි. ඔවුන්ගේ මේ වර්ගීකරණය අනුව  ඉන්ද්‍රාජාලික ප්‍රයෝග පුළුල් වර්ග තුනකට බෙදා දැක්වේ: නොමඟ යැවීම(misdirection), මායාව(illusion) සහ බලකිරීම(forcing). ඉන්ද්‍රජාල ශිල්පයෙහි කේන්ද්‍රය නැතිනම් කොඳු නාරටිය ඇත්තටම නොමග යැවීමයි. එය අපව මුලා කිරීමේ ක්‍රියාවෙන් හෙවත් ඇස්බැන්දුමෙන් අපේ අවධානය  ඈත් කොට ඉන්ද්‍රජාලිකයා හෙවත් මැජික් පෙන්වන්නා විසින් තීරණය කරනු ලබන වෙනත් දෙයක් කෙරෙහි  අපේ අවධානය ඇද ගැනීමේ ක්‍රමයයි. ස්නායු විද්‍යාත්මක අර්ථයකින් ගත් කළ, නොමඟ යැවීම රඳා පවතින්නේ, මොළයෙහි ඇත්තේ ඉතා සීමිත අවධාන සැපයුමක් යන කාරණය මතය.

එක් තනි දෙයක් හෝ කාරණාවක් මත පමණක් නාභිගත වීම (අවධානය යොමු කිරීම) නිසාවෙන්  (එසේ නාභිගත නොවන්නේ නම් අපට) පැහැදිලිව දැකිය හැකි දේ අපගේ අවධයෙන් ගිලිහී යයි. මේ විශ්මයාකාර සංසිද්ධිය හඳුන්වනු ලබන්නේ ‘අනවධානාත්මක අන්ධභාවය‘ (inattentional blindness) යනුවෙනි. මෙය  ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ  මනෝ විද්‍යාඥයන් විසින්  1999 වර්ෂයේ දී  බොහෝ ප්‍රකට ආකාරය‍කට ප්‍රදර්ශනය කරණු ලැබිණ. මෙම පරීක්ෂණය සඳහා ඔවුහු විශේෂ වීඩියෝ පටයක් නිර්මාණය කළහ: රවුමට පෙළ ගැසී සිටි පුද්ගලයන් හය දෙනෙකු බාස්කට් බෝල දෙකක් වටේට යොමුකරමින් සිටිනු එහි දැක්විණ. බෝලය යොමුකරන (පාස් කරන) වාර ගණන ගණන් කරන්නැයි පරීක්ෂණයට සහභාගී වූවන්ට දැන්වූ විට වීඩියෝව නැරඹූ පිරිසෙන් අඩක්ම  ක්‍රීඩාව අතරවාරයේ ගෝරිල්ලා ඇඳුමෙන් සැරසී, (ගෝරිල්ලකු ආකාරයෙන්) පපුවට ගසා ගනිමින් සිටි අයකු ඇවිදගෙන යනවා දැක තිබුණේ නැත.

ඉන්ද්‍රජාලිකයෝ අපේ ඇස් පනාපිටම අපේ ඇස් වසමින් සිය ප්‍රකට ප්‍රයෝග සාර්ථක කරගනු වස් මෙකී ‘අනවධාන අන්ධභාවය‘ යොදා ගනිති. නිදසුනකින් තවදුරටත් පැහැදිලි කරගනිමු. මැජික්කාරයා (ඉන්ද්‍රජාලිකයා) එකවරම අපේ ඇස් පනාපිට යමක් අතුරුදන් කරන විට ඇත්තටම සිදුවන්නේ ඔබ, ඔබේ අවධානය නැමැති ‘තිත්පහන’ (spotlight) වෙනත් තැන්කට එල්ල කරගෙන සිටියදී (වෙනත් විදිහකට කියනවා නම් ඔබේ අවධානය අනෙක් සියලූ දෙයින් බැහැරව  සම්පූර්ණයෙන්ම වෙනතකට යොමු කර තිබියදී) ‘අතුරුදන්’ වූයේ යැයි සිතන දෙය හෝ වස්තුව ඔබේ දෘෂ්ටියෙන් ගිලිහී යාමය.

Related image

මෙලෙස ඔබේ අවධානය වෙනතකට යොමු කරනවාට වඩා තවත් විටක දී එය තමන් වෙතම රඳවා තබා ගැනීමට ඇතැම්විට ඉන්ද්‍රජාලිකයෝ උත්සුක වෙති. වෘත්තීය  විජ්ජාකාරයකු විවිධ වර්ගයේ ප්‍රයෝග හෙවත් ඇස්බැන්දුම් සදහා යොදා ගන්නා හස්ත චලන එකිනෙකට වෙනස් වර්ග දෙකක් මෑතක සිදු කෙරුණු අධ්‍යයනවල දී සංසන්දනය කෙරිණි. එහි දී පෙනී ගියේ අත වක්‍රාකාරව (කවාකාරව) සෙමින් චලනය කිරීම නරඹන්නන්ගේ අවධානය යොමු කරගෙන දිගටම තබා ගැනීම පිණිස  වඩා යෝග්‍ය බවයි. අනෙක් අතට වේගයෙන් සිදු කරන සෘජු චලනයන්, නරඹන්නන්ගේ අවධානය එක් තැනකින් තවත් තැනකට ක්ෂණයකින් යොමු කිරීම පිණිස වඩාත් යෝග්‍යය. අවධානය මෑනවීම හෙවත් හැසිරවීම සඳහා තවත් උපක්‍රමයක් වන්නේ හාස්‍යයයි. දෑත්වලින් සිදුකරන ප්‍රබල චලනයන් වසන් කිරීම සඳහා ඇතැම් විජ්ජාකාරයෝ විහිලුකතා යොදාගනිති. සිනාසීම, අවධානය බිඳ දමනු ලැබීමේ දී  මෙපමණ ඵලදායි වන්නේ කෙසේද යන්න මෙතෙක් හොඳින් අවබෝධ කරගෙන නොමැත.

Image result for laughing crowd watching magic show

මෙම ලිපියේ දෙවැනි කොටස ලබන බ්‍රහස්පතින්දා: නැති දෙයක් දැකීම ගැන එහිදී කතා කරමු.

 

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදයෙහි  How your brain creates ‘now’ යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.