සියල්ලෙහි සුලමුල 34 : මුල්ම සංගීත රාවය සවනට දැනුණේ කොහොමද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

මුල්ම සංගීත රාවය සවනට දැනුණේ කොහොමද?

ලෝකයේ සංගීතවත්ම මිනිස් කොට්ඨාශයක්  කොන්ගෝ වැසි වනාන්තරයේ මූකලානේ ජීවත් වෙනවා. “එම්බෙන්සිලේ” නමින් හැඳින්වෙන දඩකරු අන්ත ගවේෂක පිරිස (hunter-gatherers) වනාන්තරයෙන් පිටතට යන්නේ කලාතුරකින්. ඔවුන් සතුව ගුවන්විදුලි යන්ත්‍ර,රූපවාහිනී යන්ත්‍ර කිසිවක් නැහැ. ඔවුන් බාහිර සමාජය සමග සම්බන්ධතා පවත්වන්නේ ඉතාම කලාතුරකින් වුණත් ඔවුන්ගේ සංගීත නිර්මාණ — ගායනය, අත්පුඩි ගැසීම, බෙර වාදනය- ඒවායේ දකින්නට ලැබෙන අසමසම ස්වර සුසංයෝජනය සහ රිද්මය නිසාම සංකීර්ණ ස්වර සංධ්වනිවලට හිමි පිළිගැනීම උරුම කරගෙන තිබෙනවා.

මේ එම්බෙන්සිලේවරුන් සංගීතය මිනිස් ස්වභාවයේ අංගයක් බව විදහාපාන කදිම සාක්ෂියක්. භාෂාව සහ ආගම වගේම මෙයත් හැම සංස්කෘතියකටම උරුම අංගයක්. එය අපේ මිනිස්බව තහවුරු කරන ලක්ෂණයක් වෙනවා වගේම පැහැදිලි කරන්න අසීරුම ලක්ෂණ අතරින් ද එකක්.

මිනිස් ලක්ෂණ අතරින් බොහෝමයකට මුල්වූ සාධක ගැන ඔහුගේම දෘෂ්ටිකෝනයකින් අදහස් දැක්වූ චාල්ස් ඩාවින් පවා සංගීතය හැඳින්වුවේ අපේ “ගුප්තම” ලක්ෂණ අතරින් එකක් හැටියටයි. ඔහුගේ අදහස වුණේ සහකරුවන් ආකර්ෂණය කරගැනීමට යොදාගන්නා (කුරුළු ගීත වැනි) “සංගීතමය මුල් භාෂාවක්”  ලෙස ඇරඹී විකාශනය වීමෙන් සංගීතය හා කථනය කියන සහජ ලක්ෂණ දෙක අපට උරුම වන්නට ඇති කියලයි.

තවත් සමහරු මෙය මතකය සහ භාව ප්‍රකාශනය ආදී බුද්ධිමය කුසලතා තීව්‍ර කරන, මොළය පුහුණු කිරීමට අදාල ක්‍රියාකාරකමක් බවට මතයක් ඉදිරිපත් කළා. එය රිද්මය හඳුනාගැනීම වගේ අපේ මනසේ හැකියාවන් එක්ක බද්ධ වීම නිසා අපේ සිත් ඇදගන්නා මිහිරි අත්දැකීමක්:”සවනට පරමාදර්ශී රසමවුලක්” හැටියටත් විස්තර වෙනවා. අවාසනාවට මේ මතවාද හැම එකක්ම පාහේ තහවුරු කරන්න හරිහමන් සාක්ෂියක් නැහැ.

අපේම ගායන හැකියාව  හඳුනාගැනීම

සංගීතයේ සම්භවය සම්බන්ධ තොරතුරු කාලයත් සමග වැළලී ගිය එක ඊට එක හේතුවක්. පැරණිම සංගීත භාණ්ඩ හැටියට සැලකෙන අස්ථිවලින් සෑදූ නලා හමුවූ යුරෝපයේ ගල් ගුහාවලින් ම බිතු සිතුවම්ද හමුවී තිබුණා. මේවා මිනිස් සිත්වල නිර්මාණශීලීත්වය දළුලා ළියැළුණු, අවුරුදු 42,000- 15,000කට එපිට කාලසීමාවේදී බිහිවුණු නිර්මාණ.

ඒ අතරින් පැරණිම සංගීත භාණ්ඩයක් වන, දිව්ජි බේබ් කියලා හඳුන්වන බටනලාව, දැන් ස්ලොවේනියාව කියලා හඳුන්වන ප්‍රදේශයෙන් හමුවුණේ නියැන්ඩර්තාල්වරුන්ගේ ශරීරවල සුන්බුන් අතරින්. එය ඔවුන්ම නිර්මාණය කරලා වාදනය කරන්න ඇති කියලා සමහරු විශ්වාස කරනවා. ඒ නම් සිත් ඇදගන්නා කාරණයක් — නියැන්ඩර්තාල්ලාට සංගීත ඥානය තිබුණා නම් අපේ පොදු මුතුන්මිත්තාටත් සංගීත රසය විඳීමේ හැකියාව පවතින්න ඇති. එහෙම නම් සංගීතයේ උප්පත්තිය තව අවුරුදු පන් ලක්ෂයකින් අතීතයට යනවා. ඒත් ඒ ගැන කිසිම භෞතික සාක්ෂියක් නැහැ. මුල්ම සංගීතය ගායනයට සීමා වුණා කියලා අනුමානය කළොත් එහෙම වීම පුදුමයකුත් නෙවෙයි.

සත්තුන්ව අධ්‍යයනය කිරීමත් සංගීතයේ යටගියාව හාරා අවුස්සන්න පහසු මාර්ගයක්. සමස්තයක් වශයෙන් ගත්තහම, ඒ මාර්ගයේ ගවේෂණයට දෙයක් නැති තරම්: සත්තුන්ගෙන් බහුතරයක් සංගීතය ගැන උනන්දුවක් දක්වන්නේ නැහැ. වඳුරන්ට සංගීතයත් නිහැඬියාවත් අතරින්  එකක් තෝරාගන්න අවස්ථාවක් දුන්නොත්, උන් හැමවිටම තෝරගන්නෙ නිශ්ශබ්දතාවය. උන් ශබ්ද සහ නාද වෙනස් කොට තකන බවක් පෙනෙන්නෙත් නැහැ. ඒ අතින් උන් ඇමුසියාවෙන්(amusia) පෙළෙන මිනිස්සුන්ට සමානයි. මෙය සහජයෙන්ම උරුම වන සංගීතය රසවිඳීමේ හැකියාව අහිමි කරවන, ස්නායු පද්ධතියේ ආබාධයක්. මේ අවාසනාවන්ත මිනිස්සුන්ට සංගීතය කියන්නේ  ඒකාකාරී වෙහෙසකර ඝෝෂාවක් විතරයි; සමහරුන්ට සංගීත වාදනයකත් වතුර බහින නළයකට මුරිච්චි අඬුවකින් තට්ටුකරාම ඇතිවන ශබ්දයත් වෙන්කර හඳුනාගැනීමටවත් හැකියාවක් නැහැ. මිනිස්සුන්ව සංගීතයට  සංවේදී කරවන මොළයේ කිසියම් පද්ධතියක් මොවුන් තුළ පිහිටා නොතිබීම මීට හේතුව වෙන්න පුළුවන්. එයින් ඇඟවෙන්නේත් සංගීතය මානවයන්ටම සීමා වූ දෙයක් බවමයි.

කුරුළු ගී

සත්ව ලෝක‍යේ හැමෝම සංගීතයට අසංවේදී නැහැ. කුරුල්ලන් අතරින් වැඩි දෙනෙක් සංකීර්ණ ගායනා ඉදිරිපත් කරනවා වගේම අලුත් ඒවා ඉගෙනගන්නත් දක්ෂයි. ජාවා දූපත්වාසී ගේ කුරුල්ලන්ට විවිධ සංගීත රටා වෙන් වෙන්ව හඳුනාගන්න පුළුවන්. උන් ෂෝන්බර්ග්ගේ නිදහස් ආරයේ සංගීතයට(ආර්නොල්ඩ් ෂෝන්බර්ග්-19වන සියවසෙහි විසූ ඕස්ට්‍රියානු ජාතික සංගීතවේදියෙකි) වඩා බාක් ගේ (ජොහෑන් සෙබෙස්තියන් බාක් — 17වන සියවසෙහි විසූ ජර්මානු ජාතික සංගීතවේදියෙකි) ශාස්ත්‍රීය සංගීතය ප්‍රිය කරනවා වගේම නිහැඬියාවට වඩා බාක් ගේ සංගීතයට සවන්දීමට කැමැත්තක් දක්වනවා.

Related image

ඒත් උන් සංගීතයේ පරතෙරට ගිය බවක් මෙයින් අදහස් වෙන්නේ නැහැ. කුරුළු ගීයක් ගැයෙන්නේ නිශ්චිත අරමුණක් ඇතිවයි. ගායනය පිරිමි සතුන්ට පමණක් සීමා වුණු දෙයක්; ගායනයේ අරමුණම පවා  සහකාරියක් ආකර්ෂණය කරගැනීමටත් හා තමන්ගේ බල සීමාව ආරක්ෂා කරගැනීමටත් සීමා වෙනවා. නමුත් මානවයන්ට සංගීත නිර්මාණ බිහිකරන්නත්, සංගීතයට සවන් දෙන්නත් විවිධාකාර හේතු තිබෙනවා — ලිංගිකත්වය, බැඳීම් ගොඩනගා ගැනීම, බල සීමාව රැකගැනීම අපිටත් පොදු වුණත්, අපි අපේ හැඟීම් උත්තේජනය කරන්න වගේම වෙනස් කරන්නත්, දෙවියන් වන්දනාමාන කරන්නත්, ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නත්, අවධානය යොමු කිරීම පහසුකරගන්නත්, හුදෙක්ම විනෝදය සඳහාත් සංගීතය යොදාගන්නවා.

සංගීතය සම්බන්ධයෙන් මානවයන්ට පමණක් ආවේනික තවත්  ගුණාංග ගැන අපි හෙට(15 වනි ඉරිදා) තවදුරටත් සාකච්ඡා කරමු.

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHAT DID THE FIRST MUSIC SOUND LIKE? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.