සියල්ලෙහි සුලමුල 34 : මුල්ම සංගීත රාවය සවනට දැනුණේ කොහොමද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

මුල්ම සංගීත රාවය සවනට දැනුණේ කොහොමද?

මානවයන්ට සංගීත නිර්මාණ බිහිකරන්නත්, සංගීතයට සවන් දෙන්නත් විවිධාකාර හේතු තිබෙන  බව අපි ඊයෙ පෙන්වාදුන්නා.  සංගීතය සම්බන්ධයෙන් මානවයන්ට පමණක් ආවේනික තවත්  ගුණාංග ගැන අපි දැන් තවදුරටත් සාකච්ඡා කරමු.

මානවයන් හිතාමතාම නව සංගීත නිර්මාණ බිහි කරනවා, නව නාද රටා මවනවා, සංගීතයේ නව ඉසව්, නැවුම් අත්දැකීම්  සොයා යනවා. විචිත්‍රවත්ම කුරුළු ගීයක් වුණත් ගොඩනැගෙන්නේ යම් ඒකාකාරී නාද මාලාවක් මත පදනම්වයි. මේ නිසා සංගීතයේ සම්භවය ගැන අපේ දැනුම අල්ප වුණත්, එය අපටම උරුම වූවක් කියන මතය පෝෂණය වෙනවා.

Related image

ඒත් සංගීතයේ එක අංගයක් නම් පරිණාමීය අතීතයේ  ඈත යුගයකටම දිවෙනවා: ඒ රිද්මය යි. ස්වරයේ උස් පහත් බව(තාරතාව= pitch) සහ සුසංවාදය(harmony) හෙවත් සුසංගත ස්වර සංකලනයත් මෙන් නොව සෑම සංගීත සංස්කෘතියක් තුළම රිද්මයේ සමානකම් නිරීක්ෂනය කරන්න පුළුවන්. මිනිස් බිළිඳුන් සුසංවාදය අවබෝධ කරගන්න ඉස්සර රිද්මයට සංවේදී වෙනවා. මානවයන් නොවන සත්තුත් රිද්මයට ප්‍රතිචාර දක්වනවා.

දැනට මිහිපිට ජීවත්වන අපේ සමීපතම වානර ඥාතීන් රිද්මයට සංවේදියි. වනවාසී චිම්පන්සීන් ගස්වල සවිමත් මුල් ආදී දේවල්වලට රිද්මයානුකූලව තට්ටු කරනවා. ඒ වගෙම, පර්යේෂකයන් ජැක්සන්විල් සත්වෝද්‍යානයේ වාසය කරන බොනබෝ වානරයන්ට බෙර කට්ටලයක් ලබා දුන්නාම උන් කෙටි කාලයකින්ම එය වාදනය කරන්න ඉගෙනගත්තා.

මේ සත්ව විශේෂ අතරින් බහුතරයක් සමාජීය සතුන් වීමත් සමහරු හෝඩුවාවක් හැටියට අර්ථදක්වනවා. රිද්මය අවබෝධ කරගැනීමත් සමාජීය පැවැත්මත් අතර – විශේෂයෙන්ම විවිධ ක්‍රියාවන් සමායෝජනය කරගැනීමේ අවශ්‍යතාව නිසා ගොඩනැගුණු- යම් සබඳතාවක් පවතින්න පුළුවන්. රිද්මය සමාජීය බැඳීම් සවිමත්ව අලවා තබන මැලියමකට සමානයි. චිම්පන්සීන් හා බොනොබෝ වානරයන් විශාල රංචු වශයෙන් ජීවත් වන නිසා රංචුවේ අනිත් සාමාජිකයන්ගේ හැසිරීම් අවබෝධ කරගැනීමත්, ඒවාට නිවැරදිව ප්‍රතිචාර දැක්වීමත් වැදගත්. රංචුවේ චලන ඉරියව් කල්තියාම වටහා ගැනීමෙනුත්, අනිත් සාමාජිකයන් සමග සාමූහිකව කටයුතු කිරීමෙනුත් ස්නායු පද්ධතියේ රිද්මයට අදාල පරිපථ වඩාත් ශක්තිමත් වෙනවා ඇති.

රිද්මයට බුදිමු

උපකරණ තැනීම, දඩයම, ආහාර පිසීම වගේ සාමූහික කටයුතුවලදී අපේ මුතුන්මිත්තන්ට මේ සමාජීය සමායෝජනය උපකාරී වෙන්න ඇති. රිදමය සමායෝජනයට ඉවහල් වන නිසාම  ඒ කාර්යයන් කාලයාගේ  අවෑමෙන් රිද්මයානුකූල වෙන්න ඇති — එකට එක්වී යම් වැඩක් කිරීමේ දී ශ්‍රමිකයන් ගයන ගී, මුහුදු ගමන්වල දී  යාත්‍රිකයන් එක්ව හා සාමුහිකව ගයන ගී  ගැන කල්පනා කළොත් ඔබටත් මේ කාරණාව වැටහේවි.

sea shanties

 

පුනර්වර්තී, රිද්මයානුකූල සංචලනයන් කණ්ඩායම්වල සාමාජිකයන් අතර බැඳීම් වර්ධනය කරන්න උපකාරී වෙන්න ඇත්තේ මිනිසාගේ පැවැත්මට වැදගත්වන සමාජ බන්ධන සක්තිමත්කරමිනි.

මේ පැහැදිලි කිරීම නිවැරදි නම් අපේ ‘සංගීතාත්මකත්වය(musicality)’  ඇතිවුණේ රිද්මය අවබෝධ කරගැනීමෙන්. සහස්‍ර ගණනක් තිස්සේ එය අනිත් සත්තුනට ළඟා වෙන්න බැරි තරම් සියුම්, සංකීර්ණ දෙයකට පෙරළිලා. එහෙම වුණේ කොහොමද කියලා කිසිදාකවත් අවබෝධ කරගන්න දුෂ්කර වුණත් සංගීතය රසවිඳීමෙන් අත්වන ප්‍රතිලාභ අත් විඳින්න එයින් අවහිරයක් නැහැ. මොළය ස්කෑන් පරීක්ෂණවලට ලක් කිරීමෙන් පෙනී ගොස් ඇත්තේ  ආහාර, ලිංගිකත්වය හා මත් ද්‍රව්‍යවලින් උත්තේජනයට ලක්වෙන මොළයේ කොටස්ම සංගීතයෙන් උත්තේජනය කරන බවයි. ඉතින් රිද්මයට නටමු, ගයමු!

ඉඟ සුඟ නටවන සත්තු

රිද්මයකට ගමන්කිරීමේ හැකියාව සමහර සත්තුන්ටත් පිහිටා තිබෙනවා. 2009 වසරේදී යූ ටියුබ් වීඩියෝවක් හරහා ජනප්‍රිය වුණු ,ස්නෝබෝල්  කියන කරමල කහ පටෙ කොකටූ පක්ෂියා ඒ අතරින් ජනප්‍රියම සතා වෙන්නත් පුළුවන්. ස්නෝබෝල් පක්ෂියා,  බැක්ස්ට්‍රීට් බෝයිස්(Backstreet Boys) සංගීත කණ්ඩායමේ සංගීත වාදනයකට රිද්මයානුකූලව අලංකාර නර්ථනයක් ඉදිරිපත් කරන හැටි ඒ වීඩියෝ පටයෙන් දැක්වුණා.

පර්යේෂකයන් අන්තර්ජාලයේ සොයා බැලුවාම මැකෝ ගිරව්, පැරකීට් පක්ෂීන්, ආසියානු අලි සහ රොනන් නම් මුහුදු සිංහ පැටවෙක් ඇතුළුව, රිද්මය හොඳින් අවබෝධ කරගත්,එකිනෙකට වෙනස් සත්ව විශේෂ 14ක් හඳුනාගන්න සමත් වෙලා තියෙනවා. කාලයට අනුකූල නොවුණත්, සංගීතයතට  ප්‍රතිචාර දක්වන බල්ලන්, තාරාවන් හා බකමූණන් වැනි සතුන් දැක්වෙන  තවත් වීඩියෝ පට 500කුත් හමුවුණා. ‘Dad Dancing’(ඕනෑම චලන විලාසක් පෑමට අවසර ඇති, නිදහස් ආරේ නැටුම් විලාසයකි)  නමින් හැඳින්වෙන ඒ ලක්ෂණය මිනිස්සුන් අතරත් දකින්නට ලැබෙනවා

 

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHAT DID THE FIRST MUSIC SOUND LIKE? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.