මිනිස් ප්‍රජනනය

Posted by

මිනිස් ප්‍රජනනය

අපි මේ ලෝකෙට ආවේ කොහොමද? මිනිස්සු භාෂාවක් කතා කරන්න පටන් ගත්ත කාලේ ඉඳලාම මේ ප්‍රශ්නේ අහනවා ඇති. විශේෂයෙන්ම ළමයි. (වැඩිහිටියන් සමහරකට වගේම) ඒ අයට මේක කොහොමහරි දැන කියා ගතයුතු ප්‍රශ්නයක්. ඒ නිසාම සමහර දරුවෝ වැඩිහිටියන් ගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒත්, හරියාකාර උත්තරයක් තබා කිසිම උත්තරයක් ලැබෙන්නේ නැති තරම්. අපි මේ උත්සාහ කරන්නේ අපේ පූර්ව ගැටවර රසිකයන් වෙනුවෙන් මේ ගැන විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරන්න යි. මොකද, එක එක  වල්පල් වගේ නෙවෙයි හරිදේ දැනගැනීම ජීවිත කාලයටම වැදගත් වෙනවා නේ. ඉතින් මේ ලිපි පෙළ නොවරදවා කියවමු, සෑම සඳුදාවකම.

ප්‍රජනනය(reproduction) හෙවත් නැවත නිර්මාණය කියන්නේ සාමාන්‍යයෙන් කිසිවක අනුපිටපතක් තනන ක්‍රියාව හෝ ක්‍රියාදාමයටයි.  මානව ප්‍රජනය කියන්නේ, මානවයන් අලුතෙන් තව මානවයන්(ජනිතයන්)  තනන හෙවත් අපට හුරුපුරුදු වචන වලින් කියතහොත් බබාලා හදන අසිරිමත් ස්වභාවික සිද්ධියටයි. මානව වර්ගයාගේ පැවැත්මට ප්‍රජනනය නැතුවම බැරිය. මෙයින් අදහස් කෙරෙන්නේ ප්‍රජනනය නොමැතිනම් මානව වර්ගයා තව දුරටත් පැවතිය නොහැකිය යන්නයි. මන්ද අප මහළුවියට පැමිණ, මියපරලොව ගියාම අප වෙනුවට වෙන අය නැතිව යන නිසයි.

ජීවීන් ගතහොත්, දෙයාකාරයක ප්‍රජනන වර්ග කරදැක්විය හැකිය. ඒ, ලිංගික සහ අලිංගික යනුවෙනි. ලිංගික ප්‍රජනනයට එකම විශේෂයක දෙදෙනකු — සාමාන්‍යයෙන් පුරුෂයකු සහ ස්ත්‍රියක (පුරුෂ ලිංගික සහ  ස්ත්‍රි ලිංගික ජීවීන්) සම්බන්ධයි. අනෙක් අතට අලිංගික ප්‍රජනනය තවත් අයෙකුගේ සම්බන්ධයක් නොමැතිව සිදු විය හැකිය. අලිංගික ප්‍රජනනය සාමාන්‍යයෙන්  ඒකසෛලික ජීවීන් අතර සහ සමහර ශාක වල දැකිය හැකිය.

මෙහිදී මානව ප්‍රජනනය වැටෙන්නේ පුරුෂයෙකු හා ස්ත්‍රියක සම්බන්ධ වන ලිංගික ප්‍රජනන වර්ගයටයි. තවද, සම්ප්‍රදායානුකූලව ගතහොත් මේ ක්‍රියාදාමය ආරම්භවන්නේ පුරුෂ සහ ස්ත්‍රී අවයව දෙකෙහි අන්තර් ක්‍රියාකාරීත්වයෙනි. පැහැදිලිව පෙනෙන අන්දමට මේ අන්තර් ක්‍රියාකාරීත්වය,  පුරුෂ හා ස්ත්‍රී ලිංගික අවයව භාවිතයට සම්බන්ධයි. ළමයි වර්ධනය වෙමින් වැඩිහිටියන් බවට පත් වෙද්දී ඔවුන් ප්‍රජනනයට සූදානම් කරනු වස් ඔවුන්ගේ ප්‍රජනන අවයව සමග එක්ව මොළය ක්‍රියාකාරී වෙයි. මේ ප්‍රජනන ක්‍රියාදාමය සඳහා කලක් ගත වන අතර එය හඳුන්වනු ලබන්නේ යෞවනෝදය(puberty) යනුවෙනි. (මල්වර වීම, වැඩිවියට පත්වීම, ලිංගික පරිපාකය යනුවෙන්ද හඳුන්වනු ලැබේ.)   මෙම ලිපිය වඩා හොඳින් ග්‍රහණය කරගැනීම පිණිස යෞවනෝදය ගැන තතු ගෙන ආ ලිපියක් මෙතනින් කියවන්න. අපි මේ කතාබහ, ස්ත්‍රී ප්‍රජනක අවයවය ගැන කෙරෙන හැඳින්වීමකින් පටන් ගමු.

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය

මානව වර්ගයාගේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඩිම්බ කෝෂ (ovaries), ඩිම්බ ප්‍රණාල(oviduct or egg tubes) ගර්භාෂය(uterus) ගැබ් ගෙල(ශ්‍රීවය= cervix) යෝනි මාර්ගය(vagina) යන අංග වලින් සමන්විත වේ. මේ සියල්ල ප්‍රජනක පද්ධතියෙහි වැදගත්ම කොටස්ය. ස්ත්‍රී ශරීරය තුළ ඒවා පිහිටා ඇති ආකාරය චිත්‍රයෙහි දැක්වේ.

ඩිම්බකෝෂ: ගැහැනු දරුවකු උපදින විටම නොමේරූ ඩිම්බ සෛල හෙවත් බිම්බ දහස් ගණනක් සහිතව උපදින අතර එම ගැහැණු දරුවා වැඩිවියට පත්වීමෙන් (යෞවනෝදයන්) ඩිම්බ කෝෂයේ තැන්පත් ව තිබූ එම ඩිම්බ සෑම මසකට වරක් මුදාහැරේ. මෙය මාස් ශුද්ධිය හෙවත් ඔසප් වීම වශයෙන හඳුන්වනු ලැබේ. (ඩිම්බ මෝචනය) ප්‍රයෝජනයට නොගන්නා ඩිම්බ, ඔසප්වීමේදී (ශරීරයෙන්) පිටව යයි.

ඩිම්බ ප්‍රණාල: පැලෝපීය නාල ලෙසද දැක්වෙන ඩිම්බ ප්‍රණාලය හරහා තමයි ඩිම්බ සෛල ගර්භාෂය කරා ගමන් කරන්නේ. සෑම ඩිම්බයක්ම, ඩිම්බ ප්‍රණාලයක් මගින් ගර්භාෂයට සම්බන්ධිතය.  පැලෝපීය නාලයේ  cilia නම් කුඩා කේෂ ඇත. පරිනත ඩිම්බය ගර්භාෂය වෙත සුමටව ගමන් කිරීම ඒවා මඟින් සහතික කෙරේ.

ගර්භාෂය: මෙම පැස,  යටිකුරු කළ හෙවත් අනෙක් අතට හැරවූ පෙයාර්ස් ගෙඩියක් බඳුය.  පිහිටා ඇත්තේ  බන්ධනි(ligaments) සහ පේශී ආධාරයෙනි. මෘදු ඇතුළු තට්ටුවකින් යුක්තයි. සංසේචනය වූ ඩිම්බ රඳවා තබාගෙන පෝෂණය කරමින් පූර්ණ බිළිඳකු ලෙස වර්ධනය වනතුරු රැකබලා ගනු ලබන්නේ මෙහිදීය.

ග්‍රීවය හෙවත් ගැබ් ගෙල: ගැබ්ගෙල මාංශපේෂිවලින් සැදුම්ලත්  මුදුවක් බඳුය. ගර්භාෂයේ පහළ තුන්වෙනි කොටසේ පිහිටා ඇත. එය ගර්භාෂය හා ස්ත්‍රි යෝනිය අතර බාධකයක් සාදයි. උපත සිදුවන තුරු දරුවා නියමාකාරයෙන් ගර්භාෂය තුළ රඳවාගෙන සිටිනු ලබන්නේ ග්‍රීවය මගිනි. උප්පත්තිය සිදුවන අවස්ථාවේ ගැබ්ගෙල පළල් වන (ප්‍රසාරණය) අතර බිලිදා එය හරහා එළියට එයි.

යෝනි මාර්ගය: මෙය ඇදෙනසුලු, නාලාකාර. පේශිය ව්‍යුහයකි. කාන්තාවගේ ශරීරයේ ලිංගික අවයවයේ බාහිර සිට ගැබ්ගෙලට සම්බන්ධ වන්නේ  යෝනිමාර්ගය මගිනි.  සර්ෂණයන්ට ඔරොත්තු දීම පිණිස ඝනාකාර අපිච්ඡද පටකයක් මගින් ආස්තරණය වී ඇත. පුරුෂ ශිෂ්ණය මෙයට ඇතුල් වන අතර ශුක්‍රාණු බැහැර කෙරෙන්නේ එයටය. ඒවා යෝනි මාර්ගය තුළින් පැලෝපීය නාලය දක්වා පරිවහනය වේ. ඔසප්වීමේදී , ඔසප් රුධිරය වහනය වන්නේ ද එය ඔස්සේය. දරු උපතට කාලය පැමිණි විට ඒ සඳහා උපත් මග සකසන්නේද  එමගිනි. එහි පවතින ආම්ලික ස්වභාවය නිසා (එයට ඇතුළු වන) බැක්ටීරියා මර්ධනය කිරීමේ හැකියාවෙන් ද නියුක්තයි.

ඊළඟ ලිපියෙන් අපි පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන කතා කරමු.

eschooltoday හි පළවන Introduction to Human Reproduction යන කොටස ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.