ලෝකය වටේ ඇවිද යාමට කොපමන කාලයක් ගතවේද?

Posted by

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා.  නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.

එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS.  එය ඇසුරෙන් සකසණු ලබන, අද සිට සෑම බදාදාවකම තතු  ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.

 

ලෝකය වටේ ඇවිද යාමට කොපමන කාලයක් ගත වේද?

පිළිතුරු සපයනු ලබන්නේ Rosie Swale-Pope  විසින්

1946 ඔක්තෝබර් 2 වැනිදා මෙලොව එළිය දුටු Rosie Swale-Pope (MBE, FRSGS)  බ්‍රිතාඥ ලේඛිකාවකි; වික්‍රමිකාවකි; මැරතන් ධාවන ශුරියකි. රුසියාවේ අනාථ දරුවන් වෙනුවෙන් වෙන්වූ පුණ්‍ය කටයුත්තක් සඳහා පවුම් 250,000ක් එකතු කිරීමට මෙන්ම පුරාස්ථ පිළිකාව වේලාපහින්ම හඳුනා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමේ අරමුණ සාර්ථක කර ගන්න වසර පහක කාලයක් තුළ ලොව වටා  ඇය සිදුකල දිවීමේ දී ඇයට හැකිවුණා. තනිවම, කුඩා බෝට්ටුවක නැගී අත්ලාන්තික් සාගරය තරණය කිරීම, අසුපිට නැගී තනිවම චිලිය හරහා කිලෝමීටර 4,800ක චාරිකාවක යෙදීම ඇගේ අනෙකුත් ජයග්‍රහන අතර වේ. කුඩා කල සිටම නිවස තුළම කොටුවී නොසිට එළිමහනේ ගැවසෙමින් සිරුර වෙහෙසා සිදු කෙරෙන  නොයෙකුත්  අභ්‍යාසවල යෙදීම Rosieගේ වික්‍රමාන්විත ක්‍රියාවනට නිසැකවම උපකාරී වෙන්නට ඇත.

ලෝකය වටා පස්වසරක දිවීම නිමා කරමින් …

ලෝකය වටේ ඇවිද යාමට කොපමන කාලයක් ගත වේද?

ලෝකය වටේ ඇවිද යන්න කොච්චර කල් ගත වෙයිද කියලා කියන්න නම් ඇත්තටම මම දන්නේ නෑ. නමුත් මට ලෝකය වටා දිව යන්න නම් දින 1,789 ක් ගත වුණා. දිවිල්ලේ තරම කිව්වොත්  ඔය කාලය තුළ දී සපත්තු කුට්ටම්  53 ක් ගෙවිලා ගියා.

මගෙ සැමියාගේ මරණයෙන් පසුව අසරණ සරණ, දායා අනුග්‍රහ ලබාගැනීමේ කටයුතු සදහායි මම මේ දිවීම ආරම්භ කරේ. මම එහෙම කිරීම ගැන  බොහොමත්ම  සතුටු වෙනවා. එය ඉතාමත් සුන්දර, පුදුමාකාර අත්දැකීමක්. ලොව වටා දුවන අතරවාරයේ  මිනිසුන්, සතුන්, වනාන්තර වගේම පමණක් නෙවෙයි මා ගැනමත් බොහෝ දේ සොයා ගන්න මට හැකිවුණා.

එහි මම අත්දුටු අමතක‍ නොවෙනම සිද්ධි වලින් එකක් තමයි සයිබීරියාවේ වනාන්තරයක් තුල වෘක රංචුවක් මුණ ගැසුණු සිද්ධිය. සයිබීරියාව කියන්නේ ලොකයේ ත්යෙන පාළුම තැන. එය එක අතකින් අතිශය සීතලෙන් පිරුණු අනික් පැත්තට සුන්දරත්වයෙන් පිරුණු සුරංගනා ලෝකයක්. මම සඳහන් කළ අමතක නොවන සිද්ධියට ආයෙත් අවධානය යොමු කළොත්,   මම එදා රෑ මගේ කූඩාරම තුළ නිදාගෙන ඉන්නකොට එකපාරටම මට ශබ්දයක් ඇහුනා. මිනිත්තු කීපයකට පස්සේ මෙන්න වෘකයෙක් කූඩාරම තුළට ඔලුව දානවා. වෘකයා තමන්ගේ ලොම් පිරුණු අත් ඉදිරියට දිගු කරන විට ලොම් වල දිය වෙමින් තිබුණු හිම දකින් කොට මට පෙනුනේ හරියට වෘකයා  දියමන්ති පිරි ඇඳුමක් ඇඳගෙන ඉන්නවා වගේ. ඒත් ඉතින් ඊට පස්සේ එකපාරටම  වගේ වෘකයා ආපසු යන්න ගියා.

Related image

ඒ වෘක රංචුව දින දහයක් විතර, තරමක් දුරින් මගෙ පස්සෙන් ආවත් මට ළං වුණේවත්, කිසිම කරදරයක් කළේවත් නෑ. මට මතක් වුණා වෘකයන් බොහෝ අවස්ථා වල මිනිසුන්ව රැකබලාගත්ත බවට මං අහලා තිබෙන කතා.

සත්තු වගේම මට හැමතැනකදීම මුණගැසුණු මිනිස්සුත් හරිම සුවිශේෂයි. ඔව්. හරියට රුසියාවේදි පොරවක් වන වනා මගෙ පස්සෙන් දුවගෙන ආපු භයානක මනුස්සයා වගේ. ඔහු දුවගෙන ඇවිත් මට ඉතාම කරුණාවන්ත විදිහට පාන් පර්සලයක් දුන්නා. ඔහු ඇලෙක්සි නමැති ගස් කපන්නෙක්. ඔහු හිතලා තියෙන්නෙ මං බඩගින්නේ කියලා.

Related image

ඒ වගේම තමයි ඇලෙස්කාවේ ධවල ගිරිපව්වේ  ජීවත් වුණු දරුවන්.  මම ඉතින් තවත් සැතපුම් දහස් ගණනක් දිව යන්න  පිටත් වෙන්න කලින් මා වෙනුවෙන් නිර්මාණය කරන ලද ලස්සන බැනර් එකක් මට බාර දුන්නා. ඔවුන්ගේ ගුරුතුමා මට මෙන්න මෙහෙම කිව්වා “අපි ඔබේ නමින් තරුවක් නම් කරා. අපි රෑට අහස දිහා බලන විට ඒ තරුව දැක්කහම අපිට ඔබව මතක් වෙයි” කියලා.

ඔය විදිහට දුවලා,  දුවලා අන්තිමේ දී මම මුළු ලෝකය වටේට දුවපු ඒ දිවිල්ල අවසන් කරා.  වේල්ස් හි ටෙන්බි වල පිහිටි මගේ නිවසේ තිබෙන පැතැලි ගල්කැටය  මත පා සලකුණු දෙකක් කැටයම් කර තිබෙනවා. මගෙ පළවෙනි පියවර සහ අවසන් පියවර. ඒ පා සලකුණු දෙක අතර සැතැපුම් විසි දහසක් තිබෙනවා.

 

ලෝකය වටේ ඇවිද යාමට කොපමන කාලයක් ගත වේද? කියලා ඔබ මගෙන් අහපු යස ප්‍රශ්නයට ස්තුතියි. ඉතින් මට කියන්න තියෙන්නෙ ඔබට සිහිනයක් තිබෙනවා නම්, ඒ සිහිනය මොකක් වුණත් පසුබට නොවී එය හඹා යන්න. මේ ලෝකයේ ඔබ සැමට යහපතක්ම වේවා කියලා  සුබ පතනවා!

(අනුන් වෙනුවෙන්)

 

කෙතරම් අසීරු කාර්යයක් වුවත් පොදු යහපත වෙනුවෙන් නිර්භයව ඉදිරිපත්වීම, කෙතරම් බාධක, අවහිර ආවත් ඒවා සාර්ථක කරගනීමට ක්‍රියා කිරීම කෙතරම් වටනේ ද යන්න  Rosie Swale-Pope අපට කියා දෙන පාඩමයි.  අනුන්ගේ එවන් ප්‍රයත්න ඇගැයීම කෙතරම යහපත් ක්‍රියාවක් ද යන්න රුසියාවේ වෘක රංචුව මෙන්ම ඇලෙස්කාවේ ළමුන් ඇතුළුව ඇයට මුණ ගැසුනු අය අපට උගන්වන පාඩමයි.

 

පරිවර්තනය කොට සකස් කළේ: දිල්රු කාවින්ද්‍යා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.