මැජික් නරඹන විට මොළය පෙන්වන මැජික් පිළිබඳ විග්‍රහයකි
සිනහව, මෙතරම් කාර්යක්ෂම ආකාරයට අපගේ අවධානය බිඳ දමන්නේ කෙලෙසද යන්න ගැන මනා වැටහීමක් නැති බව පසුගිය සතියේ පළ වූ ලිපියෙහි සඳහන් විණි. ඊළඟට අද අපි මායාව (illusion) ගැන සලකා බලමු.
මායාව යන්නෙහි පැවැත්ම රඳා ඇත්තේ ඔබ දකින්නේ යයි ඔබ සිතන දේ වලින් වැඩි හරිය නැතිනම් වැඩි ප්‍රමාණය ඇත්තටම ඔබේ මොළය විසින් නිර්මාණය කරන ලද්දක් යන කාරණාව මතයි.
කුඩා බෝලයක් උඩ දමා එකවරම ඒ අතුරුදන් කරමින් ඉන්ද්‍රජාලිකයන් හෙවත් විජ්ජාකාරයන් විසින් පෙන්වනු ලබන විජ්ජාව (මායාව) සමහරවිට ඔබත් දැක තිබෙන්නට පුළුවන. මෙහිදී ඉන්ද්‍රජාලිකයා බෝලය උඩට පාතට යවන්නේ සිය දෑස් ද බෝලය දෙස උඩට පාතට යොමු කරමිනි. මෙසේ ඇත්තටම බෝලය උඩ දමා නැවත පහලට එද්දී අල්වා ගනිමින් සිටින අතර තුර එකවරම බෝලය අතේ තබාගෙනම (එය) උඩ දැමු ආකාරය අනුකරණය කරමින් විජ්ජා පෙන්වන්නා සිය දෑස් උඩට යොමු කරයි. බෝලය උඩ ගොස් අන්තර්ධාන වූයේ යන මායාව මෙයින් නරඹන්නාට ඒත්තු යන ආකාරයට නිර්මාණය වෙයි.
මෙම විජ්ජාව පෙන්වන අතරවාරයේ නරඹන්නන්ගේ දෑස් යොමු වන ආකාරය පර්යේෂකයෝ සොයා බැලූහ. එහිදී අනාවරණය වූයේ බෝලය ඇත්තටම උඩ පාත වීසි කරද්දී නරඹන්නන්ගෙන් දෑස් බෝලයෙහි ගමන්මග (පරාචක්‍රය = trajectory) වෙත යොමුව තිබූ බවයි. එහෙත් ඉන්ද්‍රජාලිකයා බොරුවට බෝලය උඩට විසිකරන බව දක්වද්දී නරඹන්නන්ගේ දෑස් දැඩිව යොමුව තිබුණේ ඉන්ද්‍රජාලිකයා ගේ දෑස් වෙතය. මෙයින් පෙන්නුම් කරන්නේ මොළය ඇසින් පෙන්වන දෙය ගණන් නොගෙන (සැලකිල්ලක් යොමු නොකොට) ඇත්තටම නොමැති වස්තුවක අනුරූපයක් නිර්මාණය කරන බවයි.
තාරා හොටක් ද? හාවෙක් ද?
ඇත්තටම මොළය එහෙම කරන්නේ ඇයි? ඒ ප්‍රශ්නයට ලැබෙන පිළිතුරෙන් කොටසක් රඳා පවතින්නේ මොළය තුළ අපේක්ෂාවන් ඇති කිරීමට ඇති සමාජ ඉඟිවල බලය මතයි. මේ ඉහත දැක්වූ අවස්ථාවේදී නම් සමාජ ඉඟිවල බලය ඉන්ද්‍රජාලිකයාගේ ඇස් ය. නරඹන්නන්ගේ දෑස්, (ඇත්තටම)නොමැති ( ඒ කියන්නේ විසි කරන බවක් පෙන්වා උඩට වීසි නොකරණ) බෝලයෙහි ගමන්මගට වඩා (බෝලය)විසි කරනා අත දෙස නෙත් යොමාගෙන සිටියොත් මේ විජ්ජාව එතරම් හොඳට ක්‍රියාත්මක නොවේ. තවද, මෙම විජ්ජාව දෘෂ්ටි සංජානනයෙහි හදිසියේ ඇතිවන දෝෂයක් මත විශ්වාසය තබයි. දෘෂ්ටි විතානයේ (රෙටිනාවේ = retina) හසු කරගන්නා තොරතුරු මොළය වෙත යාම පිණිස (තත්පරයකින් දාහෙන් පංගුවක් වන) මිලි තත්පර සියයක් ගතවේ. මේ පමාවට හිලව් වෙන්න මොළය, ඊළඟ මොහොතේ (නුදුරුම අනාගතයේ) ලෝකය කෙබඳු වේදැයි පුරෝකතනය කරන අතර, මොළය සතුව ඇති සැබෑ තොරතුරු වෙනුවට එම පුරෝකතනය අනුව එවිට මොළය ක්‍රියා කරයි. මෝටර් රියක් පදවාගෙන යාම වැනි සැබෑ ලෝකයේ අවස්ථාවලදී මෙය ප්‍රයෝජනවත් ය. එහෙත් එමෙන්ම, එය විජ්ජාකරුවන්ට ප්‍රයෝජනයට ගත හැකි හිඩැසක් පාදා දීමට ද ක්‍රියා කරන බව දැන සිටීම ප්‍රයෝජනවත්ය.
ස්වච්ඡන්දය හෙවත් ස්වාභිමතය පිළිබඳ මායාව
ඉන්ද්‍රජාලිකයන් යොදා ගන්නා ප්‍රයෝග තුන් වර්ගයක් ගැන ගිය සතියේ ලිපියේ අපි සඳහන් කළෙමු. (එය මෙතනින් කියවන්න) ඒ අනුව බල කිරීම (forcing) ඔවුන් යොදා ගන්නා තුන් වැනි මෙවලමයි. මෙයින් හැඟවෙන්නේ, තමන්ට කිසිම ස්වච්ඡන්දයක් නොමැතිව වුව, එවැන්නක් ඇතැයි යන මායාව ඉලක්ක කණ්ඩායමට සැපයන ඕනෑම ශිල්ප ක්‍රමයකි.
මෙහි කදිම සම්භාව්‍ය නිදසුන වන්නේ (කඩදාසි කුට්ටමකින්) “කොළයක්, ඕනෑම කොළයක් තෝරාගන්න” යනුවෙන් පවසීමෙන් ඇරඹෙන සුපුරුදු විජ්ජාවයි. ඔබත් දන්නා පරිදි මේ විජ්ජාවේදී කඩදාසි කුට්ටමෙන් ඔබ මොන කොළය තෝරා ගත්තත් අපට හිතා ගැනීමටවත් නොහැකි පරිදි ඉන්ද්‍රජාලිකයා එය නිවැරදිව කියයි.
අප විස්මයට පත් කරවනසුළු දෘශ්‍ය, ශ්‍රව්‍ය සහ ස්පර්ශ ක්‍රම සම්මිශ්‍රණයක් උපයෝගී කරගනිමින් මහා ඉන්ද්‍රජාලිකයෝ මෙතෙකැයි කිව නොහැකි කාලයක් තිස්සේ අභ්‍යාසයේ යෙදෙමින් අපගේ අවධානය, ස්මරණය සහ හේතු ඵල අනුමානයෙන් මැනීම සිදුකරති. එසේ වුවද, මෙලොව තිබෙන මහා මැජික් සංදර්ශනය වනුයේ අපගේ මොළය තුළ අඛණ්ඩව සිදුවන මැජික් දර්ශනයයි.
තනාගනු ලබන මතකයන්
ඔබගේ මතකය, අතීතය පිළිබඳ විශ්වාසය තැබිය හැකි වාර්තාවක් සේ දැනී යා හැකිය. එහෙත් එය එසේ නොවේ. අප හට කිසිදාක සිදු නොවූ සිද්ධි පිළිබඳ ප්‍රබල මතකයන් අපි පහසුවෙන්ම ගොඩනඟා ගන්නෙමු. අපට යමක් සිහි ගැන්වෙන(මතක් වෙන) සෑම වාරයක් පාසාම අපි ඉතිහාසය යළි ලියන්නෙමු. මොළයේ හදිසියේ සිදුවන මේ දෝෂ ඉන්ද්‍රජාලිකයන් ඉගෙන ගත්තේ ස්නායු විද්‍යාඥයන්ට වඩා බොහෝ කාලයකට පෙරය. මැජික් ප්‍රයෝගයක් පෙන්වද්දී ඉන්ද්‍රජාලිකයා ඔවුන් එවේලේ සිදු කළ දේ විස්තරයක් බොහෝවිට කරන්නේ එම දෙය පිළිබඳ නරඹන්නාගේ මතකය මෑනවමිනි හෙවත් හසුරුවමිනි. ඉතින් ඉන්ද්‍රජාලිකයා අපේ සිත (සිතෙහි සටහන්ව තිබූ දෙය) කියැවූ බවක් ඔබට හැඟී යා හැකි වුවද ඇත්තටම සිදුවන්නේ ඔවුන් ඔබගේ සිතෙහි යමක් අලුතෙන් සටහන් කිරීමය.
THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ PERCEPTION නම් වන දෙවැනි පරිච්ඡේදයෙහි How your brain creates ‘now’ යන කොටස ඇසුරෙනි