සැමට විදු නැන නුවණ – Science Literacy for All

සියල්ලෙහි සුලමුල 35 : වැසිකිලි කඩදාසි කාගේ නිමැවුමක්ද?

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

වැසිකිලි කඩදාසි කාගේ නිමැවුමක්ද?

එක්දහස් අටසිය පනහේ දශකය, ගෙදරදොරේ පවිත්‍රතාව අතින් නම් ස්වර්ණමය යුගයක් හැටියට හඳුන්වන්න පුළුවන්. පිඟන් සෝදන යන්ත්‍රයත්, රෙදි සෝදන යන්ත්‍රයත් බිහිවුණේ ඒ යුගයෙදි. ඒත් ඒ නව නිපැයුම් අතරින් එකක්වත් නිව් යෝක් නගරයේ ජෝසප්. සී. ගෙයෙටිගේ සොයාගැනීම තරම් සුවිශේෂ වුණේ නැහැ. Scientific American සඟරාවෙහි පල කළ ප්‍රචාරණ දැන්වීමක ඔහු ඒ නිපැයුම හැඳින්වුවේ “විශිෂ්ට, අසමසම සොයාගැනීමක්”, යනුවෙන් හෝ “යුගයේ අද්විතීය ආශ්චර්‍යය” වගේ වර්ණනාත්මක යෙදුම්වලින්. ඒ අපූරු සොයාගැනීම මොකක්ද කියලා මුද්‍රණය කරලා තිබුණේ  කුරුමිණි අඬු වගේ, පුංචි  අකුරින් මෙන්න  මෙහෙම: ගෙයටිගේ ඖෂදීය කඩදාසි; ඒ තමයි ඇමරිකාවේ මුල්ම වරට නිශ්පාදනය කළ වැසිකිලි කඩදාසි.

ගෙයෙටිගේ දැන්වීම ගැන විරෝධයක් එල්ල වුණේ බලාපොරොත්තු නොවුණු ආකාරයකටයි.  වැසිකිලි කඩදාසි රෝල අද කාලේ නම් නිවසක භාවිතයට නැතුවම බැරි භාණ්ඩයක් වුණත්, එක්දහස් අටසිය පනහේ දශකයේදී ඒවා   නිකම්ම නිකම් “තට්ටම් පිහින කඩදහිවලට  නිස්කාරණයේ මුදල් වියදම් කිරීමක්” හැටියට සලකලා  එ කල සමාජය ප්‍රතිචාර දැක්වුවේ සමච්චලේට සිනා සෙමිනුයි.  ඒ මොකද කීවොත්, එච්චර කල් ඒ උවමනාව පිරිමහගන්න පාවිචිචි කළේ ඉතින් අඩු මිලට සපයාගන්න ඇහැකි  ඉරිඟු බඩ මූඩ්ඩ නැතිනම් පරන පත්තර පිටු, සඟරා, විස්තර පත්‍රිකා කැට්ලොග ආදිය  නේ. ඒවායේ ඉතින්  අහවල් වැරැද්දක්ද? සමහර ඇමරිකානු කැට්ලොග ප්‍රකාශකයන්  විස්තර පත්‍රිකා කැටලොගවල කෙළවර සිදුරක් පවා විද්දේ  කවදාක හරි ඒවායේ ඉරණම වැසිකිලි කඩදාසි හැටියට වැසිකිලියක එල්ලා තැබීම බව දැනගෙන ඒ ඉරණම නිහඬව භාරගන්නවා වගේයි.

පස්සට විසිවුණු  පස්ස පිහින කඩදහි

ගෙයෙටිගේ කඩදාසි ගැන පැතිරුණු පුහු මතයක්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් නොසන්සුන් කිරීමට සමත්වුණා. Bum Fodder: An absorbing history of toilet paper (කටී කඩදහිය හෙවත් වැසිකිලි කඩදාසියේ අතීත කතාව) ලියූ රිචඩ් ස්මිත්ට අනුව මේ අලුත් කඩදාසි වර්ගය භාවිතයෙන් අර්ශස් රෝගය සුව වෙන බවට මතයක් පැතිරීම තමයි ඔවුන් නොසතුටට පත් කළේ. ඉතින් ඔවුන්  ඊට එරෙහිව, ජනප්‍රිය වෛද්‍ය සඟරාවල පිටු පිරෙන්න ලිපි ලියමින්  සිය විරෝධය පෑවා.

ලෝකයේ මුල්ම වරට වැසිකිලි කඩදාසි නිරිමාණය කළේ තමන්ය කියලා ගෙයෙටි උජාරුවෙන් උදම් ඇනුවත්, එය ඇත්තක් නෙවෙයි. චීන ජාතිකයන් ඒ කටයුත්තට අත ගහලා තිබුණේ ඊට අවුරුදු සිය ගණනකට කලින්. චීනයේ කඩදාසි භාවිතය ප්‍රචලිත වුණේ ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ ඉඳන්. ඉතින් මිනිස්සුන්ට කියවීම අතඇරලා පිහීම පටන්ගන්න වැඩි කලක් ගතවුණේ නැහැ.

දහහතරවෙනි සියවසේ රජකම් කරපු හොන්ග්වූ කියන චීන අධිරාජ්‍යයා දරුණු ඒකාධිපතියෙකු වුණත්  තමන්ගේ රාජකීය පවුලේ පරිභෝජනයට අති සුසිනිඳු, සුවඳකැවූ වැසිකිලි කඩදාසි 15,000ක් ඇනවුම් කරලා තමන්ටත් සංවේදී පැතිකඩක්  තියන බව කියා පෑවා.

Image result for chinese invented toothbrush

දැනට තියන සාක්ෂි අනුව තවත් අත්‍යවශ්‍ය සනීපාරක්ෂක උපාංගයක් නිර්මාණය කරන්නත් මුල් වෙලා තියෙන්නෙ චීන ජාතිකයන්: ඒ තමයි දත් බුරුසුව. පැරණි ශිෂ්ටාචාර හැම එකකම පාහේ ජීවත් වූ ජනතාව දත් පිරිසිදු කළේ කෝටු කැබලි සැපීමෙන් — හරියටම කියනවා නම් හැම ශිෂ්ට සම්පන්න ජාතියක්ම දන්ත සෞඛ්‍යය රැකගන්න කිසියම් උපකරණයක් භාවිතාකරලා තියනවා.

එහෙම වුණත්,  නියම දත් බුරුසු බිහිවෙන්නේ පහළොස්වන සියවසේ, මින්ග් රජ පෙළපතේ පාලන සමයෙදි. ඒවා නිපදවා තිබුණේ ලීවලින් හෝ අස්ථියකින් තැනූ මිටකට රළු ඌරු කෙඳි ඇමණීමෙන්. චීනයට ගිය යුරෝපීය සංචාරකයන් ආපසු ඔවුන්ගේ මව් රටවල්වලට යද්දී (ඔය කියන) චීන දත් බුරුසු ගෙන ගිය  නිසා ඒ තාක්ෂණය බටහිර රටවලත් ප්‍රචලිත වුණා. එතකොට දත් බෙහෙත්? දත් බෙහෙත් දත් බුරුසුවලටත් වඩා පැරණි සොයාගැනීමක්.  ඒ ගැන සහ  මාතෘකාවට අදාල තවත් කරුණු ගැන හෙට(22 ඉරිදා) තතු  ගෙන එන මේ ලිපියේ ඉතිරි කොටස කියවලා දැන ගමු.

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHO INVENTED TOILET PAPER? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: