ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා. නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.
එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS. එය ඇසුරෙන් සකසණු ලබන, අද සිට සෑම බදාදාවකම තතු ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.
සංගීතය කියලා දෙයක් අපට තියෙන්නේ ඇයි ?
පිළිතුරු සපයනු ලබන්නේ Jarvis Cocker විසින්
1963 සැප්තැම්බර්යේ උපන් Jarvis Branson Cocker ඉංග්‍රීසි ජාතික සංගීතඥයෙකි; (හැරී පොටර් චිත්‍රපටයක ද රඟ පෑ) නළුවෙකි; එමෙන්ම (BBC Radio 6 Music ඇතුළුව) වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකි. Pulp නම් සංගීත කණ්ඩායම බිහිකළ කොකර් එහි අවසානයත් සමග හුදකලාව සංගීත අභිවෘත්තිකයෙකු ලෙස ද ක්‍රියාකරයි. 1990 දශකයේ මැද Britpop නම් බ්‍රිතාඥ සංගීත හා සංස්කෘතික ව්‍යාපාරයේ පෙරමුණ ගෙන ක්‍රියා කළ අයෙකි. මීටත් අමතරව ඔහු සංස්කාරවරයෙකු සහ ලේඛකයෙකු ලෙස ද ප්‍රකටය.
සංගීතය කියලා දෙයක් අපට තියෙන්නේ ඇයි ?
එය ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. මම ඒ ප්‍රශ්නයට පිළිතුර දැන සිටියා නම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා. (නෑ, නෑ ප්‍රශ්නේ මගහරින්න නෙවෙයි එහෙම කිව්වේ. නිකං විහිළුවට පහේ මිසක්) ඇත්ත, සංගීතය කියන්නේ නැතුවම බැරි දෙයක් නෙවෙයි කියලා හිතෙන්නෙ පුළුවන්. සංගීතය මේ ලෝකෙන් හිටි අඩියේ අතුරුදන් වුණොත්, ඔන්න දැන් සංගිතය නැහ කියලා කවුරුවත්ම මැරෙන්නේ නැතිවෙන්න පුළුවන්. මොකද, සංගීතය කියන්නේ වාතය හෝ වතුර වගේ අපේ ජීවිත පවත්වාගෙන යන්න නැතුවම බැරි බැරී දේවල් නෙමෙයි නේ – සංගීතය නැතත් අපිට ජීවත් වෙන්න නම් පුළුවන්. නමුත් හිතන්න සංගීතය ලෝකෙන් අතුරුදන් වුණොත් ජීවිතය කියන්නේ මොන තරම් කම්මැලි දෙයක් වෙයිද? ඩිස්කෝ නැටුම් කියලා දෙයක් නැති වෙයි; සංගීත ප්‍රසංග කියන්නේ ඉතා විශාල සෙනගක් එකිනෙකා දිහා බලන් ඉද්දි, ඊට වඩා ඉතා කුඩා පිරිසක් වේදිකාවක් උඩටවෙලා බුම්මාගෙන බලා ඉන්න කාරණාවක් වේවි; කුඩා ළමුන් උපන් දින සාද වලදී ක්‍රිඩා කරන “සංගීතමය පිළිම”( Musical Statues
= මේක ටිකක් අපට හුරු සංගීත පුටු තරඟයක් වගෙයි — පරිවර්තක) ක්‍රීඩාව නැත්තටම නැතිවෙලා යාවි…අනේ ඉතින් එහෙම දේවල් කවදාවත් වෙන එකක් නෑ නේද?
“Musical Statues”
අපි ටිකක් ගැඹුරින් හිතලා බලනවා නම් ඇත්තෙන්ම ලෝකයේ සෑම සමාජයකම සංගීතය පවතිනවා. එයට යම් හේතුවක් තිබිය යුතුයි නේ? ඇතැම් විද්‍යාඥයන් හිතන විදිහට මිනිසුන් ගායනා කරන්න හා සංගීතය නිර්මාණය කරන්න ආරම්භ කරන්න ඇත්තේ ඔවුන් භාශාවක් කතා කරන්න ඉගෙන ගන්නත් කලින්. ඇතැම් විට එය අපි අපි සන්නිවේදනයේ යෙදුණු මුල් ආකාරය නැතිනම් ස්වරූපය වෙන්න ඇති. ඒ වගේම තවමත් වචන භාවිතා නොකර සංගීතය මගින් සන්නිවේදනය කරන්න පුළුවන්.
දුක හිතෙන සිංදු සහ සතුට ගෙනෙන සිංදු ගැන හිතලා බලන්න. ඒ දෙකටම භාවිතා වෙන්නේ එකම සංගීත ස්වර වුණාට(සප්ත ස්වර කීවාට බටහිර සංගීතයේ ස්වර 12ක් ගැන කතාවෙනවා නේ) මනෝභාවයන්(සිතේ ස්වභාවයන්) එකිනෙකට බොහෝ වෙනස්. ඔබ සමහර විට කියන්න පුළුවන් “ආ.. ඒ ගී පද මාලාව නිසා නේ” කියලා. නමුත් එහෙම නෑ. ඔබේ රටේ කතා නොකරන භාෂාවක් භාවිත කරන රටක සින්දුවක් ගුවන් විදුලියෙන් අහගෙන ඉඳලා බලන්න. ඔබට ඒ භාෂාව නොතේරුණාට, ඔබට පුළුවන් වෙයි ඒක දුක හිතෙන හෝ සතුටු හිතෙන සින්දුවක් ශ කියලා තේරුම් ගන්න. එය ඔබට පවසන්නේ භාෂාවක ශබ්දය නොවෙයි සංගීතයේ ශබ්දයයි.
එය ක්‍රියාත්මක වෙන්නේ, එහෙම නැතිනම් ඒක එහෙම වෙන්නේ කොහොමද? ඒක නම් ඉතින් මම දන්නේ නෑ – නමුත් ඒක එහෙම සිද්ධ වෙනවා. එය එක්තරා ආකාරයක මායාවක්, ඉන්ද්‍රජාලයක්. මම හිතනවා ඒ නිසාමයි සංගීතය අපි අතර තියෙන්නෙත්.
එය මායාවක් වගේම අපිට අවශ්‍ය ඕනැම වෙලාවක අපිට එය ලබා ගන්න පුළුවන්. ඔබ ඔබේ කැමතිම සිංදුව අහන විට අපට වචනයෙන් විස්තර කරන්න අමාරු, සිරුරට දැනෙන හැඟීම් සමුදායකින් අප වෙලා ගන්නවා. (ඇතැම් වෙලාවට සිරුරේ රෝම කූප පවා කෙලින් වෙනවා) එය ලෝකයේ ඇති හොඳම හැගිම් වලින් එකක්.
මම චිත්‍රපට, පොත්, නාට්‍ය සහ චිත්‍ර වලටත් කැමති වුණත් ඒවායින් මට ඒ මායාකාරී හැගීම දැනෙන්නේ නෑ. සංගීතයට පමනයි එය කරන්න පුළුවන්. ඒ නිසාමයි අපිට සංගීතය අවශ්‍ය වන්නේ සහ සංගීතය අපි අතර නොනැසී පවතින්නේ.