සියල්ලෙහි සුලමුල 36: අපි ලිවීම ඇරඹුවේ කවදාද? II කොටස

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

 

අපි ලිවීම ඇරඹුවේ කවදාද? II කොටස

ගුහා චිත්‍රවලට අමතරව හමුවුණු චිත්‍රලේඛනමය සටහන්වල ඉතිහාසය  මහා සංස්කෘතික ප්‍රබෝදයක් ඇතිවුණු නියෝලිතික යුගය හෙවත් නව ශිලා යුගය දක්වා දිවෙනවා.චීනයේ ජියෑහු සොහොන් බිමෙන්  කැස්බෑ කටුවක තිබී හමුවුණු අවුරුදු 8500ක් තරම් ඉපැරණි  සංකේත 16ක් මීට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. වින්චා අක්ෂරමාලාව(අග්නිදිග යුරෝපයේ සංකේත දුසිම් ගණනක් කොටා තිබුණු පුරාවස්තු සිය ගණනක්) ඊට තවත් උදාහරණයක්. මේ සටහන් දෙකම ලේඛනවලට සමාන වුණත් තවමත් ඒවා සම්පූර්ණයෙන් පරිවර්තනය කර නැති නිසා කාටවත් හරිහැටි අදහසක්  කියන්න අමාරුයි.

කථන භාෂාවක් හෙබි සම්පූර්න සංකීර්ණතාවයෙන්  සටහන් කරන්න සමත් සැබෑ ලේඛන කලාවක්  මුල්ම වරට බිහිවුණේ අවුරුදු 5,300කට ඉස්සර, සුමේරියානු නගරවලින්. මැටි පුවරුවල මොට්ට පන් දණ්ඩකින් කීලාකාර අක්ෂර ලිවීම ආරම්භ වුණේ ශ්‍රමිකයන්ට බෙදන බියර් සලාකය වගේ වැදගත් කරුණු ලේඛනගත කරන ගිනුම් ක්‍රමයක් හැටියටයි. දිනෙන් දින සංකීර්ණ වන සමාජයකට මෙය අත්‍යවශ්‍ය සොයාගැනීමක් වුණා. මේ ක්‍රමවේදය චිත්‍රලේඛන භාවිතයෙන් ආරම්භ වෙලා (අපි කියමුකෝ බියර් සංකේතවත් කරන්න බුජමක් යොදාගන්නවා කියලා) අවුරුදු 4,600ක් විතර පෙර කාලයක් වෙද්දී  ඒ සංකේත අක්ෂර  දක්වා විකාශය වුණා. ඒ නිසා  එම අක්ෂර භාෂාව ලියා තැබීමට යොදාගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් ඔවුන්ගේ භාෂාවේ ඊතලය හඳුන්වන පදය ti. ඉතින් ජීවිතය හඳුන්වන til කියන පදය ලියද්දී ti අක්ෂරය නියොජනය කරන්න ඊතලය දැක්වෙන චිත්‍රාක්ෂරය යොදාගන්නවා. මේ ආකාරයේ අකුරු හඳුන්වන්නේ ‘අක්ෂර සමූහය(syllabary) ලෙසිනුයි.  අදටත් ජපන් භාෂාව වගේ සමහර නූතන භාෂා ලියන්නේ මෙහෙමයි.

Vai  syllabary

තාමත් මතකයි හෝඩිපොතේ පාඩම්

තවත් ලේඛන ක්‍රම දෙකක් සමකාලීනව බිහිවුණා: ඒ ඊජිප්තු හයිරෝරේඛණ(hieroglyphs) සහ ඉන්දියාවේ හා පාකිස්ථානයේ වශයෙන් වර්තමානයේ හඳුන්වනු ලබන භූමි භගයේ භාවිත වූ ඉන්දු නිම්න අක්ෂර ක්‍රමයයි. හයිරෝරේඛණ  වැඩිකොටම සංකේතස්වරූපීයි (logographic).

ඒ කියන්නේ එක ස්වරූපයකින්  සම්පූර්ණ වචනයක් සංකේතවත් වීමයි. එසේ වුණත් ඒවායේ, ඒ ඒ ස්වර(ශබ්ද) නිරූපණය සඳහා සංකේත  යොදාගන්නා හෝඩියක මුල් ම අංග ගැබ්වුණා.

මේවා, ශිෂ්ටාචාර බිහිවීම හා බිඳවැටීමට සමාන්තරව ඇතිවී නැතිවී ගිය ලේඛන ශෛලීන් සිය ගණනක් අතරින් ඉතිරි වුණු අතලොස්සක් විතරයි. ඒවායේ විවිධත්වය සිත් සසල කරවන සුළුයි.  අක්ෂර සමූහයන්, සංකේතස්වරූපයන්, සහ හෝඩි හැරුණු කොට අරාබි භාෂාවේ වගේ ප්‍රාණාක්ෂර රහිත අබ්ජාඩ්(abjads) ලේඛන පවා භාවිතයේ පවතිනවා.

සමහර භාෂාවලින් ලියවුණු ලියවිලි වමේ සිට දකුණටත්, තවත් සමහර ඒවා දකුණේ සිට වමටත්, සමහර භාෂා දිශා දෙකටමත් කියවනවා: එක දිශාවකට කියවාගෙන යාමෙන් පසුව අනිත් දිශාවට කියවිය යුතු ලේඛන ශෛලීන් කිහිපයක් තිබෙනවා. මේවා හඳුන්වන්නේ “ගවයෙකු ආපසු හැරෙන්නා සේ ” කියන අරුත දෙන boustrophedon කියන පදයෙන්.

 

 

අවුරුදු 4000කට ඉස්සර ලතින් හෝඩිය බිහිවුණේ ඊජිප්තුවේ යම් භාෂාවක් ලේඛනගත කරන්න යොදාගත්තු අක්ෂරවලින්. එයත් බිහිවුණේ චිත්‍ර ලේඛන පද්ධතියකින්; උදාහරණයක් කිව්වොත් A අකුර විකාශය වුණේ උඩු යටිකුරු කළ ගවයෙකුගේ හිසක් දැක්වෙන ඇල්ෆ් නම් සිත්තමකින්.

මධ්‍යදරණී මුහුදු තෙරේ පුර රාජ්‍යය මේ අක්ෂර ක්‍රමයට හුරුවීමත්, පරිහරණය කිරීමත් සිද්ධවුණා. මේ ශෛලිය අවට ප්‍රදේශවල ප්‍රචලිත වුණේ යුදෙව් අරාබි ආදි සැමිටික් වර්ගයට අයත් ෆීනීසියානු වෙළෙන්දන් හරහා. අකුරු 22කින් සමන්විත ෆීනීසියානු හෝඩිය, මුල්ම ශුද්ධ හෝඩි පද්ධතිය හැටියට සලකන්න පුළුවන්.

අවුරුදු 3000කට ඉස්සර ග්‍රීක ජාතිකයන් මේ හෝඩිය ණයට ගෙන අනුවර්තනය කර භාවිතයට ගත්තා. පස්සේ රෝම ජාතිකයන් ග්‍රීක හෝඩිය ආපසු ණයට අරගෙන සමහර අක්ෂර ඉවත් කරලා අලුත් අක්ෂර හඳුන්වාදුන්නා.  වර්තමානයේදී රෝම හෝඩිය භාවිතා කරන පිරිස බිලියන පහකට ආසන්නයි. ලෝකයේ දැනට පවතින 35කට ආසන්න ලේඛන ශෛලීන් අතරින් වඩාත්ම ජනප්‍රිය රෝම හෝඩියයි. මීට සියවස් ගණනකට ඉස්සර ඉපදී මිය පරලොව ගිය අයගේ අත්දැකීම් හා සිතිවිලි කියවා දැනගන්න මේ ලේඛන ක්‍රමවල පිහිටෙන් අපට අවස්ථාව හිමිවී තිබෙනවා.

කොහොම නමුත් සමහර පැරණි අක්ෂර පදධති කියවන්න අපි තවමත් අසමත් නිසා පැරණි ලේඛන බහුතරයක අන්තර්ගතය අදටත් අභිරහසක්. ඉන්දු නිම්න අක්ෂර, ඉරාණයේ භාවිතා වුණු “ප්‍රෝටො ඉලමයිට්”(protoElamite) නම් අක්ෂර පද්ධතිය, ක්‍රීට් ප්‍රදේශයේ මිනෝවන් ශිෂ්ටාචාරය පැවති යුගයේදී භාවිතා වුණු “රේඛීය A ” (Linear A) අක්ෂර පද්ධතිය, ඊස්ටර්  දූපත්වල භාවිතා වුණු රොන්ගොරොන්ගො(Rongorongo) අක්ෂර පද්ධතිය ඒ අතරින් කිහිපයක්. ඊටත් අමතරව, කිසිමදාක නොලියවුණු භාෂා, කතා බහ සඳහා යොදා ගැනෙනවා. වර්තමානයේදී භාවිතයේ පවතින 7,000කට ආසන්න භාෂා අතරින් ලේඛන ක්‍රමයකට උරුම කම් කියන්නේ සුළුතරයක් විතරයි.

අලුත උපන් භාෂා

ඒ හිඩැස් පුරවන්න හිතාමතාම අක්ෂර නිර්මාණය කෙරුණා. කොරියාවේ භාවිතා වන හන්ගුල් අක්ෂර බිහිවන්නේ 1440ද ගනන්වල, චෙරොකී(Cherokee) අක්ෂර බිහිවුණේ 1820දී. ඒ අතරින් වඩාත්ම මෑතකාලීනව බිහිවුණේ ඉන්දියාවේ 200,000කට ආසන්න පිරිසක් කතාකරන (දැන් දැන් ලිවීම සඳහාත් සැලකිය යුතු පිරිසක් යොදාගන්නා) කොදවා(Kodava) භාෂාව. ඒ අක්ෂර කුමය බිහිවුණේ 2005දි.

Related image

ලේඛන ක්‍රමයක් පවත්වාගෙන යන එක දුෂ්කර කර්තව්‍යයක්.  භාවිතයෙන් ගිලිහුණු භාෂා ලයිස්තුවත් හුඟක් දිගයි. නමුත් සමස්තයක් වශයෙන් ගත්තොත් මිනිස්සු සන්නිවේදනයට ජංගම දුරකථන සහ පරිගණක වැඩි වැඩියෙන් භාවිතා කරන නිසා අක්ෂර භාවිතයෙහි හදිසි ඉහළ යාමක් නිරීක්ෂණය කරන්න පුළුවන්.

අනාගතයේ බිහිවන  ඉතිහාසඥයන්ට නම් පහසුවෙන්ම වර්තමානයේ අපේ සිතිවිලි වටහාගන්න පුළුවන් වේවි. ඒවා අවබෝධ කරගන්න තරම් වැදගත්ද නැද්ද කියා සිතා බලන එක වෙනමම සලකා බැලිය යුතු කරුණක්. OMG! RBTL (අනේ අම්මපා! පේළි අතර කියවා බලනු! වර්තමාන ‘චැට්’ භාෂාවෙන් එහෙම ලියැවිලා තියෙන්න පුළුවන්)

කියැවීම සඳහා  මොළය හුරුකිරීම

කියවීමේ හැකියාව අරුම පුදුම දෙයක්. කථන හැකියාව අත්පත් කරගන්න මිනිස් මොළය උචිත විදියට හැඩ ගැසී තිබුණත්,  කියවීම ඉගෙනගැනීමට නම්  විශාල වෙහෙසක් දරන්න සිද්ධ වෙනවා. වෙනත් කරුණු සඳහා — නිදසුනකට රටා හඳුනාගැනීමේ හැකියාව සඳහා — පරිණාමය වුණු ඥානන පද්ධති, අමූර්ත සංකේත පෙළක් භාෂාව හැටියට පෙරළාගැනීම  පිණිස නම් මොළය පුහුණු කරගන්න අපට සිද්ධ වෙනවා. ලිවීමත් ඒ තරම්ම සංකීර්ණ, සහජයෙන් උරුම නොවන ක්‍රියාවලියක්. ඒ සඳහා කාලය හා ශ්‍රමය වැය කරමින් මහත් වෙහෙසක් දැරිය යුතු නිසා තමයි  සංහතික(ජන) සාක්ෂරතාවය ඉතා මෑතක සංසිද්ධියක් වෙන්නේ.

 

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE START WRITING? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.