මිනිස් ප්‍රජනනය
අපි මේ ලෝකෙට ආවේ කොහොමද? මිනිස්සු භාෂාවක් කතා කරන්න පටන් ගත්ත කාලේ ඉඳලාම මේ ප්‍රශ්නේ අහනවා ඇති. විශේෂයෙන්ම ළමයි. (වැඩිහිටියන් සමහරකට වගේම) ඒ අයට මේක කොහොමහරි දැන කියා ගතයුතු ප්‍රශ්නයක්. ඒ නිසාම සමහර දරුවෝ වැඩිහිටියන් ගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒත්, හරියාකාර උත්තරයක් තබා කිසිම උත්තරයක් ලැබෙන්නේ නැති තරම්. අපි මේ උත්සාහ කරන්නේ අපේ පූර්ව ගැටවර රසිකයන් වෙනුවෙන් මේ ගැන විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරන්න යි. මොකද, එක එක වල්පල් වගේ නෙවෙයි හරිදේ දැනගැනීම ජීවිත කාලයටම වැදගත් වෙනවා නේ. ඉතින් මේ ලිපි පෙළ නොවරදවා කියවමු, සෑම සඳුදාවකම.
මිනිස් ප්‍රජනනය : සංසේචනය
මිනිස් ප්‍රජනන ක්‍රියාවලියෙහි මූලාරම්භය, පුරුෂ අවයවය හෙවත් ශිෂ්නය, ස්ත්‍රී අවයවය හෙවත් යෝනිය තුළට ඇතුලු කිරීමෙන් පසුව පුරුෂ ශුක්‍රාණු සෛල ස්ත්‍රී යෝනි මාර්ගයේදී මුදාහැරීමෙන් බව පසුගිය ලිපියේ සඳහන් වුණා ඔබට මතක ඇත. එසේ මුදා හැරෙන ශුක්‍රාණු සෛලවලට මොකද වෙන්නෙ? අද එතැන් සිට කතා කරමු.
මෙම සෛල ගැබ් ගෙල (හෙවත් ගර්භාෂ ශ්‍රීවය) හරහා ස්ත්‍රී යෝනියේ මුදුන වෙත ගමන් කරමින් ගර්භාෂය වෙත ඇතුළු වෙයි. (අප සාමාන්‍ය ව්‍යවහාරයේ ‘දරුබොක්ක‘ ලෙස දක්වන්නේ ගර්භාෂයටය.) එහෙත් එසේ ඇතුළු වන ශුක්‍රාණු සෛල එහි (ගර්භාෂයෙහි) නතරවන්නේ නැත. ඒවා උඩ අතට යමින් පැලෝපීය නාල වෙත සිය ගමන දිගටම කරගෙන යයි. මේ වන විට ඩිම්බයක් මුදාහැර තිබුණොත් නම් පැලෝපිය නාලයේ දී ශුක්‍රාණු සෛලයක් මුන ගැසීමට හොඳ ඉඩක් ඇත. මේ හමුව විස්මය ජනක පිළිබඳ කතාවක මූලාරම්භය වෙන්න පුළුවනි.
ආර්තව චක්‍රය(ඔසප් චක්‍රය) කියන්නේ මොකක් ද?
ඔසප්වීම ( මාස් ශුද්ධිය, පීරියඩ් වෙනවා ආදී ලෙසත් කටවහරේ දැක්වෙනවා) ආර්තව චක්‍රයේ කොටසක්. ස්ත්‍රියක් ගර්භණී බාවයට මාස්පතා සූදානම් කරන්නේ මේ ආර්තව චක්‍රයයි. සෑම දින 20 සිට 40 අතර කාලය තුළ ස්ත්‍රියකගේ හෝමෝන, ඇගේ ඩිම්බකෝෂයෙන් මේරූ ඩිම්බයක් හෙවත් මේරූ ජන්මානු සෛලයක් මුදා හැරීමට සලස්වනවා. මේ ඩිම්බය තමයි පුරුෂ ශුක්‍රාණුවක් මුන ගසීමේ අටියෙන් පැලෝපියන් නාල දිගේ ගමන් කරන්නේ. කෝෂයේ නොමේරූ ඩිම්බයක් මේරිම හෙවත් පරිණත බාවයට පත් වීමේ චක්‍රය තමයි ආර්තව චක්‍රය(ඔසප් චක්‍රය) ලෙස හඳුන්වනු ලබන්නේ. එක් මාස්ශුද්ධියක ප්‍රථම දිනයේ සිට අනෙක් මාස්ශුද්ධියේ ප්‍රථම දිනය ගණන් බැලීමන් තමයි ඔසප් චක්‍රය හැදෙන්නේ.
දැන් ඔන්න ඔබත් දන්නවා ඇති ඩිම්බනීහරණය (OVULATION) නම් ක්‍රියාවලියේදී ඩිම්බ කෝෂය එකම එක ඩිම්බයක් (OVUM OR EGG CELL) පැලෝපියන් නාලයකට මුදාහැරෙන බව. මේ ඩිම්බය, ඔන්න පැලෝපියයන් නාලය දිගේ පහළට ගර්භාෂය වෙත ගමන් ආරම්භ කරනවා. ඔය අතරතුර පුරුෂ ශිෂ්නය මගින් , ස්ත්‍රී යෝනියේ දී මුදා හරින ලැබූ ශුක්‍රාණු සෛල (ඔබ දන්නාවා ඇති වරකට ශුක්‍රාණු සෛල මිලියන ගණනක් නිකුත් කෙරෙන බව) ගැබ්ගෙල හරහා ගර්භාෂයට ඇතුළු වී එහි නතර නොවී දිගටම ඉහළටම ගමන් කරමින් පැලෝපිය නාලයේ යනවා. දැන් ඔන්න ඩිම්බ හා ශුක්‍රාණු සෛල පැලෝපියන් නාලයේදී මුන ගැනෙනවා. පොඩ්ඩක් ඉවසාගෙන ඉන්නකෝ, මේ සිදුවුණේ සංසේචනය නොවෙයි. සංසේචනය තවම සිද්ධවෙලා නැහැ.
ආයෙත් අපි අර පැලෝපියන් නාලයේදී සිදුවුනු හමුව වෙත හැරුණොත්, ඉස්ගෙඩියෝ වගේ ඇදී එන මිලියන ගණන් ශුක්‍රාණු සෛල අතුරෙන් පැලෝපියන් නාලයට ඇතුල් වූ ඒවා දැන් උත්සාහ කරන්නේ එහි දී මුන ගැසෙන (ශුක්‍රාණු සෛලයට වඩා විශාල) ඩිම්බය වෙත ඇතුළුවීමටයි. එසේ ඇතුළු වීමේදී දැඩි තරගයක් තිබුණත් එකම එක ජයග්‍රහයෙකුට පමණයි ඩිම්බ පටලය බිඳ ගෙන ඩිම්බයට ඇතුලු විය හැක්කේ.
ඔන්න දැන් එලෙස ඇතුල් වූ ජයග්‍රහකයාගේ (ශුක්‍රාණු සෛලයෙහි) න්‍යෂ්ටිය, ඩිම්බයේ න්‍යෂ්ටිය මුණ ගැසීමෙන් සංසේචනය සිදුවෙනවා. මේක මහා ආශ්චර්යාත්මක සිද්ධියක්. මොකද සමහර අවස්ථාවල පැලෝපියන් නාල කරා ළඟා වූ ශුක්‍රාණු සෛල විශාල සංඛ්‍යාවෙන් එකකටවත් ඩිම්බ පටලය බිඳගෙන ඇතුළුවෙන්නට සමත් නොවන්න පුළුවන්. එහෙම වුණොත් සිද්ධ වෙන්නේ ස්ත්‍රී සෛල මෙන්ම පුරුෂ සෛලද දියවී ඉවතට ගසාගෙන යාමයි. එහෙම නැතිව ජයග්‍රහණක ශුක්‍රාණු සෛලය මගින් ඩිම්බය සංසේචනය කරනු ලැබුවොත් නම් ඊට පසුව වෙනත් ශුක්‍රාණු එකකටවත් ඩිම්බයට ඇතුළුවීමට අවස්ථාව ඇත්තේම නැහැ. ඉතින් සංසේචන ක්‍රියාවලිය ආශ්චර්ය ජනක සිද්ධියක් බවට පත්වන්නේ එය මෙලොවට තවත් මනුෂ්‍ය ප්‍රාණයක් බිහිවීමේ මූලාරම්භය වන හෙයිනි.
ශුක්‍රාණු සෛලයක් ඩිම්බයක් සංසේචනය කිරීමෙන් අනතුරුව එය යුක්තාණුවක්(zygote) නැතිනම් සංයුක්ත ජන්මානු සෛලයක් බවට පත් වෙනවා.. එසේ සංසේචිත වූ ඩිම්බය මේ අවස්තාවේ දෙමාපිය දෙදෙනාගේ DNA වලින් අඩකින් සමන්විත වේ. මින් අනතුරුව, යුක්තාණුව බෙදී ඉතා කුඩා බෝලයක ස්වරූපයකට පෙරළෙයි. එය හඳුන්වනු ලබන්නේ කලලය (embryo) යනුවෙනි. කලලය පහළට ඇදෙමින් ගර්භාෂය තුළ සුව පහසුව ලැගුම් ගනී. කලලය ගර්භාෂ ආස්තරයට (lining) හෙවත් බිත්තිවලට ඈඳී එහිදී වර්ධනය වන්නට පටන් ගනී. දැන් එතකොට යම් කෙනෙකු ප්‍රශ්න කරන්න පුළුවන් සංසේචනය වෙන්නේ එකම එක ඩිම්බයක් (ශුක්‍රාණු සෛල අතරෙන්) එකම එක ශුක්‍රාණු සෛලයක් සමග නම් නිවුන් දරුවන් මවකට උපදින්නේ කෙලෙසද කියා.
නිවුන්නු
මුලින්ම අපි නිවුන්න ගැන වචනයක් කතා කරමු. නිවුන්නු, ආනන්‍ය නිවුන්නු(identical twins) සහ අනන්‍ය නොවන නිවුන්නු(non-identical twins) වශයෙන් වර්ග දෙකකි.
අනන්‍ය නොවන නිවුන්නු ගැන කතා කරනවා නම් මවක් ඇතැම් විට ඒ ඒ පැලෝපියන් නාලයට එක බැගින් පැලෝපියන් නාල දෙකට ඩිම්බ දෙකක් වෙන වෙනම මුදා හරිනවා. මෙහිදී ශුක්‍රාණු සෛල දෙකක් මගින් එම ඩිම්බ දෙක සංසේචනය කරනු ලබන අතර යුක්තාණු දෙකක් නිපදවනු ලබනවා. ඒවා ඩිම්බ දෙකකින් බිහිවන නිසා වර්ධනය වී බිළිඳුන් ලෙස උපදන විට ඔවුන් අතරේ පැහැදිලි වෙනස්කම් දක්නට ලැබේ. මේ ආකාර නිවුන්නු සඳහා වන විද්‍යාත්මක නාමය ද්විඅණ්ඩර(dizygotic) යන්නයි. ඔවුන් සහෝදර නිවුන්නු(fraternal twins) ලෙස ද හඳුන්වනු ලබනවා.
දැන් අපි අනන්‍ය නිවුන්න දරුවන් බිහිවීම ගැන කතා කරන්නේ නම් එහිදී මවගේ එක් ඩිම්බ සෛලයක්, පියාගේ එක් ශුක්‍රාණු සෛලයක් හා එක්වෙයි. සංසේචනය සිදුවී පැය ගණනකට පසු යුක්තාණුව, අලුත් යුක්තාණු දෙකක් ලෙස දෙකට බෙදෙයි. මින් තේරුම් යන්නේ ඔවුන් බෙහෙවින් සමාන භ්‍රෑණයන් දෙදෙනෙකු සහ අනන්‍ය බිළිදුන් ලෙස වර්ධනය වන බවයි. මේ අන්දමේ නිවුන්නන් සඳහා යෙදෙන විද්‍යාත්මක නාමය ඒක අණ්ඩජ (monozygotic) යන්නයි. මෙය නිතර සිදුවන්නක් නොවේ. ඇත්තවශයෙන්ම, සියලු නිවුන්නන්ගෙන් අනන්‍ය නිවුන්නු ඇත්තේ තුනෙන් එකක් පමණකි.
භ්‍රෑණයෙහි වර්ධන අවස්ථා ගැන ඊළඟට කතා කරමු.
eschooltoday හි පළවන What is Fertilizationයන කොටස ඇසුරෙනි.
ගොඩක් වැදගත් ලිපියක්