ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි ශුන්‍යය හඳුනාගත්තේ කෙලෙසද?
ඔන්න එකමත් එක කාලෙක මනුස්සයෙකුට හිටියා එළුවො හත් දෙනෙක්. උන් අතරින් තුන් දෙනෙක්ව බඩ ඉරිඟුවලට හුවමාරු කරගත්තා. දූවරු තුන්දෙනාටත් දෑවැද්දට එක එළුවා බැගින් දුන්නා. එක එළුවෙක් කොහෙදි හරි මගඇරුණා. දැන් එයා ළඟ එළුවො කී දෙනෙක් ඉතුරුද?
What exactly is ‘nothing’?
අපේ මාතෘකාවෙන් අසා ඇත්තේ මොළය වෙහෙසවන්න ඕනකරන විදියෙ ගැටළුවක් නම් නෙවෙයි. ඒත් ඉතිහාසයේ දීර්ඝ වකවානුවක් ගෙවෙන තුරු ඒ ප්‍රශ්නයට උත්තර දෙන්න අවශ්‍ය උපක්‍රමය(ගණිතමය සංකේතය) මිනිස්සු සොයාගෙන තිබුණෙ නැහැ. ගිණීමේ හෙවත් ගණන් කිරීමේ ඉතිහාසය අවුරුදු පන්දහසක් තරම් පැරණියි. ඒ වුණාට ඉතාමත් පුළුල් අර්ථයකින් ගත්තේ වි නමුත්, ශුන්‍යත්වය පිළිබඳ ගණිතමය සංකල්පයක් — බින්දුව — බිහිවීමෙන් පසුව ගෙවී ඇත්තේ එයින් බාගයකටත් (වසර 2500කටත්) අඩු කාලයක්.
බින්දුවේ කතන්දරය කියන්නේ ගිණීම සහ ගණිතය ගැන කියවෙන කතාවයි. ඒත් මේ කතාවට බින්දු දෙකක්ම එකිනෙකට පැටලිලා සම්බන්ධවෙලා තියෙනවා: බින්දුව, ශුන්‍යත්වය නියෝජන කරන සංකේතය හැටියට, සහ ගණිත ගැටළුවලදී සුවිශේෂ ගණිතමය ලක්ෂණවලට උරුමකම් කියන ඉලක්කමක් හැටියටයි. ඒ දෙකම එකයි නේද කියලා හිතෙන එක ස්වාභාවිකයි. ඒත් ඒවා එකිනෙකට වෙනස්.
ඒ අතරින් මුලින්ම බිහිවුණේ ශුන්‍යත්වය නිරූපණය කරන බින්දුව. 2019 වගේ සංඛ්‍යාවල ඔබ මේ බින්දුව දැකලා ඇති.
2019 මොකක්ද කියලා තේරුම්ගන්න නම් ‘පිහිටුම් හෙවත් ස්ථානීය සංඛ්‍යා පද්ධතිය'(‘positional number system’) පිළිබඳ සංකල්පය ග්‍රහණය කරගන්න අවශ්‍යයි. වාසනාවට වගේ ඒක ඒ හැටි සංකීර්ණ දෙයක් නෙවෙයි. සියයේ ස්ථානය, දහයේ ස්ථානය, එකස්ථානය අවබෝධ කරගත්තු, ප්‍රාථමික පාසලක සිසුවෙකකු වුණත් ඒ සංකල්පය අවබෝධ කරගෙන හමාරයි. 2019 සංඛ්‍යාවේ 9 ඉලක්කමෙන් නවයත්, 1න් 10ත්, සහ 2න් දෙදහසත් නියෝජනය වෙනවා. බින්දුවේ භූමිකාව ප්‍රධාන, වැදගත් එකක්: එයින් පෙන්වන්නේ මේ සංඛාවේ “සියයේ ඒවා” නැති බව. එය එහි නොතිබෙන්නට අපි 2019 පහසුවෙන්ම 219 හෝ 2190 සමග පටලවාගන්න ඉඩ තිබුණා.
ඉතිහාසයේ මුල්ම වතාවට ස්ථානීය සංඛ්‍යා පද්ධතියක් යොදාගැනුණේ ක්‍රි.පූ. 1800දී පමණ කාලයේ සිට බැබිලෝනියාවේදී. ඒ ඍතු සහ අවුරුදු වශයෙන් කාලය ගෙවීයාම ගණනය කිරීම සඳහායි. අපිට හුරුපුරුදු දහයේ පාදය වෙනුවට ඒ පද්ධතියේදී භාවිතා වුණේ 60 පාදයක්. ඉතින් කල්පිත බැබිලොනියානු ප්‍රාථමික පාසලක ශිෂ්‍යයෙකුට එක ස්ථානය සමග හැටේ ස්ථානය, තුන්දහස්හයසීය ස්ථානය ඉගෙනගන්නට සිද්ධ වෙන්න ඇති. එක විශාල අඩුපාඩුවක් නොතිබුණා නම් මේ ක්‍රමය අතිශයින්ම සාර්ථකයි: ස්ථානයකට නියමිත ඉලක්කමක් නැති නම් බැබිලෝනියානුවන් එතන හිඩැසක් ඉතිරි කළා. ඒ ක්‍රියාව මගපෑදුවේ සංඛ්‍යාත්මක සංකුලතවකටයි.
ක්‍රි.පූ 300දී විතර ඒ වගේ අඩුපාඩු මගහරවාගන්නා අදහසින් වෙන්නති, බැබිලෝනියානුවන්, හිස් ස්ථානයක් දක්වන්න අලුත් සංකේතයක් හඳුන්වාදුන්නා. ලෝකයේ මුල්ම බින්දුව තමයි ඒ. සියවස් හතකට පස්සේ ලෝකයේ අනෙක් කෙලවරින් බින්දුව දෙවනි වරටත් සොයාගැනුණා. ඒ සොයාගැනීම කළේ තාරකා විද්‍යාඥයන් ලෙස කටයුතු කළ මායා ශිෂ්ටාචාරයේ න පූජකවරු.
ගණන් කිරීමේ පද්ධතියක දී බින්දුව පැහැදිලිවම පෙනී යන පරිදි ප්‍රයෝජනවත් සංකල්පයක්. නමුත් තනි සංඛ්‍යාවක් හැටියට බින්දුවේ ඇති වටිනාකම ගැන නම් බැබිලෝනියානුවන් සහ මායාවරුන් කියන දෙපිරිසටම අවබෝධ වුණේ නැහැ.
ඉලක්කම් හෙවත් සංඛ්‍යා කියන ‘සර්ව දේවාලයට’ බින්දුව වැද්දගනීම කැමැත්තෙන්ම සිදු කළ එකක් නම් නොවෙයි. සංඛ්‍යා පද්ධතියම බිඳ වට්ටන්න තරම් ප්‍රබල, සංකීර්ණ සංකල්ප ගණනාවක් බින්දුව සමග බද්ධ වෙලා තිබෙනවා. සංඛ්‍යාකවට බින්දුව එකතු කිරීමෙන් (එහෙමත් නැතිනම් අඩු කිරීමෙන්) ඒ සංඛ්‍යාවේ අගය වෙනස් නොවන නිසා බින්දුව අනිත් සංඛ්‍යාවලට වඩා වෙනස්. නමුත් සංඛ්‍යාවක් බින්දුවෙන් වැඩි කළොත් ඒ සංඛ්‍යාවේ අගය බින්දුවටම බහිනවා. සංඛ්‍යාවක් බින්දුවෙන් බෙදුවොත් මොකද වෙන්නේ කියලා අපි නොහිතාම ඉන්න එක තමයි හොඳ!
අපි තාමත් ඉන්නේ බින්දුවේ. ඒත් වැඩේ බින්දුවට බැහලා නැහැ. ඒ හන්දා හෙටත්(6 වනි ඉරිදා) තව මේ ගැන කතාකරමු.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE DISCOVER NOTHING? පරිච්ඡේදය ආශ්‍රයෙනි.