ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි ශුන්‍යය හඳුනාගත්තේ කෙලෙසද? II කොටස
පිහිටුම් හෙවත් ස්ථානීය සංඛ්‍යා පද්ධතියක් ගැන බැබිලෝනියානුවන් වගේම මායාවරුන් ද ගත්තු උත්සාහයන් ගැන අපි ඊයේ ලිපියෙන් සකච්ඡා කරා. අද එතැන් සිට…
ශුන්‍යය මගහැරීම
මේ සංකල්පය නැවතත් පරීක්ෂණයට ලක් කෙරෙන්නේ සම්භාව්‍ය ග්‍රීක ශිෂ්ටාචාරයෙදි. ඔවුන් ඒ සංකල්පය ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නැහැ. ‘සංඛ්‍යා වනාහී ජ්‍යාමිතික හැඩතල නිරූපණය කරන්නේය’ යන මතයත් සමග තදින්ම බැඳී තිබුණා; ඉතින් නැති දෙයක්(ඒ කියන්නේ ශුන්‍යය) පෙන්වන්න හැඩයක් යොදාගන්න පුළුවන්යැ? ඔවුන්ගේ ලෝකාන්වේෂණය දැක්වූයේ තාරකා සහ ග්‍රහලෝක සියල්ලම පෘථිවිය කේන්ද්‍ර කරගෙන. වුණු, සමකේන්ද්‍රික ඛගෝලිය වෘත්තාකාර අක්ෂවල පිහිටා තිබෙන අතර, “අචල චාලකයෙක්”( ‘unmoved mover’ = තමන් සෙලවෙන්නේ නැතිව අනුන් සොලවන්නකු පිළිබඳව ඇරිස්ටෝටල් වර්ධනය කළ අදහසකින් පැන නැගුනකි) ඒවා ගමන් කරවනවා කියලයි. ඔවුන් ප්‍රගුණ කළ අජටාකාශ විද්‍යාවේ දී ශුන්‍යත්වයට පිළිගැනීමක් නොතිබුණු නිසා බින්දුව සැලකුණේ අදේවවාදී සංකල්පයක් හැටියටයි. පසුකාලීනව බිහිවුණු ක්‍රිස්තියානි දර්ශනයත් මේ මතය ඉස්මුදුනින්ම වැළඳගත්තා.
Aristotle’s unmoved mover
නොකඩවා සිදුවන ‘මැවීම් සහ වැනසීම්’ චක්‍රයක් ගැන සංකල්පය මුල් බැසගත් පෙරදිග දර්ශනයෙන් නම් එවැනි බාධා එල්ල වුණේ නැහැ. බින්දුවේ චාරිකාවේ ඊළඟ නැවතුම්පොළ හමුවන්නේ ක්‍රි.ව 628දී ගණිතය හා භෞතික ලෝකය අතර සබඳතාව විග්‍රහ කරමින් තාරකා විද්‍යාඥ බ්‍රහ්මගුප්ත ලියපු බ්‍රහ්මස්පුථසිද්ධාන්ථ කියන ග්‍රන්ථයෙන්.
බ්‍රහ්මගුප්ත තමයි සංඛ්‍යා, ජ්‍යාමිතික හෝ භෞතික යථාර්ථයෙන් නිදහස් වියුක්ත අගයන් හැටියට මුල්ම වරට සැලකුවේ. මේ නිසා සංඛ්‍යාවකින් ඊට වඩා විශාල සංඛ්‍යාවක් අඩු කළොත් මොකක් වෙයිද කියන ගැටළුව වගේ අළුත්ම, වෙනස් මාදිලියේ ගැටළු සලකා බලන්න ඔහුට අවස්ථාව ලැබුණා. ජ්‍යාමිතික අර්ථයෙන් නම් එය මුලුමනින්ම විකාරයක්- වර්ගඵලයකින් ඊට වැඩි වර්ගඵලයක් අඩු කළොත් මොනවා වෙයිද? නමුත් සංඛ්‍යා, වියුක්ත අගයන් හැටියට සැලකීමෙන් අලුත්ම සංකල්පයක් බිහිවෙන්න මග පෑදුවා- ඒ තමයි ඍණ සංඛ්‍යා.
ශුන්‍යත්වයෙන් වීරත්වයට
මේ සංකල්පය බිහිවීමේ ප්‍රතිඵලයක් හැටියට දෙකොනින්ම අනන්තය දක්වා විහිදෙන, ධන හා ඍණ සංඛ්‍යා පිහිටි අංක රේඛාවක් (number line) ගොඩනැගුණා. මේ රේඛාවේ මැදින්, ධන හා ඍණ අගයන්වල සීමාව ලකුණු කරමින් ශුන්‍යය පිහිටා තිබෙනවා. කෙටි කාලයකින් මේ අලුත් සංඛ්‍යාව 0 සංකේතය සමග ඒකාබද්ධ කෙරුණා. මෙයින් දැනට වර්තමානයේදී ලෝකය පුරා භාවිතා වෙන මුලුමනින්ම ස්වාධීන සංඛ්‍යා පද්ධතියේ උප්පත්තියටත්, ගණිත ගැටළු විසඳීමේ වෙනස්ම ක්‍රමයක් වන වීජ ගණිතය බිහිවීමටත් මග පෑදුවා.
මේ ප්‍රවෘත්තිය යුරෝපයට ළඟා වෙන්න දීර්ඝ කාලයක් ගත වුණා. ඉතාලි ජාතික ගණිතඥයෙක් වුණු ෆිබෝනච්චි මේ නව ගණිත ක්‍රමය ගැනත්, සංකීර්ණ ගණිත ගැටළු විසඳීමේදී එය ගණක යන්ත්‍ර භාවිතයට වඩා හැම අතින්ම වාසිදායක බවටත් තොරතුරු ඉදිරිපත් කලේ ඇත්තටම 1202 තමයි. ව්‍යාපාරිකයන් සහ බැංකුකරුවන්ට එයින් අත්වන වාසිය ඒත්තු ගියත් බලධාරීන් දැරුවේ වෙනස්ම ආකල්පයක්. 1299දී ෆ්ලොරන්ස් නගරය තුළ බින්දුවේ ඉලක්කම භාවිතය තහනම් කෙරුණා. ඔවුන් සැලකිල්ලට ගත්තේ සංඛ්‍යාවක අගට බින්දුවක් එකතු කිරීමෙන් එහි අගය දස ගුණයකින් වැඩි කර දක්වන්න පුළුවන් වීම වංචාවට අනුබලදීමක් බවයි.
දාසයවන සියවසේ සිට යුරෝපීය ගණිතඥයන් සෙමින් සෙමින්, ඇර්ස්ටෝටල්ගේ අජටාකාශ විද්‍යාවේ යදම් බිඳගෙන නව මාවතකට පිවිසුණේ පෘථිවිය සූර්යයා වටේ භ්‍රමණය වන බවට විප්ලවීය මතයක් (කොපර්නිකස් විප්ලවය)ඉදිරිපත් වීමෙන් පසුවයි.
බින්දුව හරිහැටි අවබෝධ කරගැනීම, පසුකලෙක ඇතිවූ විද්‍යා විප්ලවයට මග පෑදු ජ්වලකය බවට පත්වුණා. පසුකාලීන සිද්වීම් සැලකිල්ලට ගත්තොත් ගණිතයටත්,ගණිතය මත පදනම් වෙන සියලු දේටත් බින්දුව නැතිවම බැරි බව පෙනී යනවා. සංඛ්‍යා අතරට වී පාඩුවේ ඉන්න බින්දුව අද දකිනකොට එය මේ තරම් කලබගෑනිවලට මුල්වුණා කියලා අදහන්නත් අමාරුයි. නැති දෙයක් ගැන ඇති තරම් නටපු නැටිල්ල නම් හරි පුදුමයි.
ශුන්‍යත්වයේ විශේෂත්වය
ශුන්‍යත්වය පිළිබඳ සංකල්පය බිහිවුණේ මීට සියවස් 14කට ඉස්සර ඉන්දියාවේදී, නමුත් ඒ කාල වකවානුවේ ජීවත් වුණු ගණිතඥයන් 0 සංකේතය යොදාගන්නේ නැතුව සිය කටයුතු කරගෙන යාමට කොහොමහරි වග බලාගත්තා. ක්‍රි.පූ. 662 දී සර්වේරස් සෙබොක්ත් කියන සිරියානු දාර්ශනිකයා ලියූ ලියවිල්ලකට අනුව ඉන්දියාවේ විසූ මහා ගණිතඥයන් ගණිත කර්ම සඳහා (1සිට 9දක්වා ඉලක්කම් විය හැකි) සංකේත නවයක් යොදාගෙන තියනවා. බින්දුවේ ඉලක්කම (වර්තමානයේදී භාවිතා වන සංකේතයට සමාන බිත්තරයක හැඩයේ සංකේතයක්) මුල්ම වරට වාර්ථා වෙන්නේ ඊට වසර 214 කට පසුවයි. ඒ, උතුරු ඉන්දියාවේ ග්වෝලියෝ ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථානයකින් හමුවුණු සෙල් ලිපියකින්.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE DISCOVER NOTHING? පරිච්ඡේදය ආශ්‍රයෙනි.