මිනිස් ප්‍රජනනය
අපි මේ ලෝකෙට ආවේ කොහොමද? මිනිස්සු භාෂාවක් කතා කරන්න පටන් ගත්ත කාලේ ඉඳලාම මේ ප්‍රශ්නේ අහනවා ඇති. විශේෂයෙන්ම ළමයි. (වැඩිහිටියන් සමහරකට වගේම) ඒ අයට මේක කොහොමහරි දැන කියා ගතයුතු ප්‍රශ්නයක්. ඒ නිසාම සමහර දරුවෝ වැඩිහිටියන් ගෙන් ඔය ප්‍රශ්නෙ අහනවා. ඒත්, හරියාකාර උත්තරයක් තබා කිසිම උත්තරයක් ලැබෙන්නේ නැති තරම්. අපි මේ උත්සාහ කරන්නේ අපේ පූර්ව ගැටවර රසිකයන් වෙනුවෙන් මේ ගැන විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් කරන්න යි. මොකද, එක එක වල්පල් වගේ නෙවෙයි හරිදේ දැනගැනීම ජීවිත කාලයටම වැදගත් වෙනවා නේ. ඉතින් මේ ලිපි පෙළ නොවරදවා කියවමු, සෑම සඳුදාවකම.
කලල වර්ධනය සහ දරු උපත
සංසේචනයෙන් (ගැබ් ගැන්වීමෙන්) සති අටක් ගතවූ පසු කලලය (embryo) භ්‍රෑණයෙක් බවට පත්වෙයි. භ්‍රෑණයා(foetus) වර්ධනය වෙද්දී, ආරක්ෂාව, ඔක්සිජන් සහ පෝෂක පතා විශ්වාසය තබන්නේ නතහොත් රඳා පවතින්නේ එහි මව මතය. ගර්භාෂය (uterus) ඇතුලත, කලලාවාරය(Amnion) යනුවෙන් බෑගයක් ඇත. කලලාවාරය ඇතුළත ඇති කලලාවාරික (amniotic) තරලයෙන් වටවී භ්‍රෑණයා වැඩෙයි. භ්‍රෑණයා, ගර්භාශයේ බිත්ති වලට සම්බන්ධව ඇති හෙයින් එලෙස සම්බන්ධ හෙවත් ස්පර්ශක ස්ථාන වල ඇති විශේෂ සෛල කලල බන්ධනය(placenta) බවට පත්වෙයි. භ්‍රෑණයා ඈඳා ගැනීම පිණිස කලල බන්ධනයේ සිට පෙකෙණිවැලක් (umbilical cord) වැඩෙයි.
සතියෙන් සතිය භ්‍රෑණයා වර්ධනය වෙද්දී කශේරුව(spine), හෘදය, මොළය, පෙනහලු හා ප්‍රජනක අවයව වැනි අවයව, නියම හැඩය ගැනීමට පටන් ගනී. මෙහි පහත චිත්‍රයෙන් දක්වා ඇත්තේ භ්‍රෑණයා වැඩෙමින් පසුකරගෙන යන විශ්මයජනක චාරිකාවේ නිරූපණයකියකි.
මෙලෙස භ්‍රෑණයා බිළිඳෙකු දක්වා ක්‍රමයෙන් වර්ධනය වෙද්දී ගැබ තුළ මවගේ උදරය ක්‍රමයෙන් නෙරා එනු දැකගත හැකි වේ. එහෙත් කුස තුළ ඉන්න දරුවා ගැහැනු ළමයකු ද පිරිමි ළමයකු ද යන්න කිව හැකිද? (මේ පිළිබඳ නොයෙක් මත සමාජයේ, විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් අතර සංසරණය වේ. උදරයේ ප්‍රමාණය, ගැබිණියගේ පෙනුම යනාදිය ඇසුරු කරගෙන තමයි, මේ කතා ගොඩනැගිලා තියෙන්නේ. සිදුවිය හැක්කේ දෙකින් එකක් නිසා දරුවන් ලැබීමට පෙර කරන මෙම ප්‍රකාශ (කාසියක් උඩ දැමීමේදී මෙන්), නිවැරදි වෙන්න සමාන අවස්ථාවක් තිබුනට ඒවායේ විද්‍යාත්මක පදනමක් පැහැදිලි කිරීමට එවන් පුරෝකතන ඉදිරිපත් කරන අය අපොහොසත් වෙති. – සකසු) දරුවා ගැහැනු ළමයකු ද පිරිමි ළමයකු ද යන්න තීරණය වන්නේ සංසේචනය අවස්ථාවේදීය.
මෙය හඳුන්වනු ලබන්නේ ස්ත්‍රී පුරුෂ භාවය යනුවෙනි(Gender). ස්ත්‍රී පුරුෂ භාවයට පාදක වන සංකේතය ක්‍රෝමසෝම (chromosome) යනුවෙන් දැක්වේ. සෑම ඩිම්බයකටම මෙන්ම සෑම ශුක්‍රාණුවකට ම ක්‍රෝමසෝම එක බැගින් ඇත. ක්‍රෝමසෝමයක් එක්කෝ X හෝ Y විය හැක. ඩිම්බ සෛලවල ඇත්තේ X ක්‍රෝමසෝම පමණක්මය. අනෙක් අතට ශුක්‍රාණු සෛල එක්කෝ X හෝ නැතිනම් Y විය හැකියි. ක්‍රෝමසෝම එකතු වීමෙන් අනාගත දරුවාගේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය වේ. මෙයින් හැඟී යන්නේ දරුවාගේ ස්ත්‍රී පුරුෂභාවය තීරණය කරනු ලබන්නේ පුරුෂයා විසින් බවකි. එසේ වුව ද, මුද හරිනු ලබන ශුක්‍රාණුව කුමන වර්ගයක ද, නැතහොත් එකතු වන්නේ කුමන ක්‍රෝමසෝමයන් ද යන්න තීරණය කිරීමේ හැකියාවක් පුරුෂයකු සතුව නැත.
ස්වභාවිකව මාණවකයකු මෙලොවට බිහිවන්නේ එක්කෝ පිරිමි ළමයෙකු හෝ නැතිනම් ගැහැණු ළමයෙකු හෝ වශයෙනි.
X ක්‍රෝමසෝමයක් තවත් X ක්‍රෝමසෝමයක් සමග එක් වුවහොත්( X+X), සෛලය ගැහැණු දරුවෙකු ලෙස වර්ධනය වනු ඇත.
X ක්‍රෝමසෝමයක්, Y ක්‍රෝමසෝමයක් හා එක් වුවහොත්(X+Y) සෛලය පිරිමි දරුවෙකු ලෙස වර්ධනය වනු ඇත.
ඉතින් සංසේචනයේදී ස්ත්‍රී හෝ පුරුෂ වශයෙන් ඕනෑම ලිංගිකත්වයක් නිගමනය වුවත් කුස තුළ මෝරා වැඩී මෙලොවට බිහි වන්නේ, අප සැම ලෙසම මානවයන් හැටියට කළ හැකි පුදුම දේ කිරීමේ කුසලතාව, හැකියාව හිමි, සුවිශේෂී විස්මයජනක බිළිදෙකු හෝ බිළිදියකය. එවන් බිළිදෙකු හෝ බිළිදියකය මෙලොවට බිහි කිරීමෙන් සංසේචනයෙන් ආරම්භ වූ ක්‍රියාදාමය නිමා වනු ඇත.
උත්පත්තිය (මවගේ කුසේ සිට දරුවා මෙලොවට බිහිවීම)
මාස නවයක් ගියතැන බබා සම්පූර්ණයෙන් වර්ධනය වී මේ මහා ලෝකයට බිහි වෙන්නට දැන් ඔන්න සියල්ල සූදානම්. ඔය කියන අවස්ථාවේ බබාගේ බර රාත්තල් හයක් අටක් පමණ වේ. කොහොම වෙතත් සමහර බිළිඳුන් වඩාත් කුඩා විය හැකියි(රාත්තල් හතර පහ); නැතහොත් වඩා විශාලය(රාත්තල් 9කට වැඩි) විය හැකියි.
වර්තමානයේ වෛද්‍ය සත්කාර සේවාවන්ගේ සහ වෛද්‍ය විද්‍යාවේ ඇතිවී තිබෙන වර්ධනය හේතුවෙන් අවශ්‍ය නම් ගර්භනී මාතාවකට ගර්භණී තත්ත්වය පිළිබඳ යම් අපහසුතාවකට පත් වුවහොත් සති විසි අටකින් වූවද දරුවා මෙලොවට බිහි කිරීමටත් එම දරුවා සුරැකිව රැකබලා ගැනීමටත් හැකියාව ලැබී තිබේ.
දරුවා ඉපදීම පිණිස කාලය පැමිණි විට ගැබ්ගෙල හෙවත් ග්‍රීවය ඉහිල් වන අතර ගර්භාශයේ බිත්තිවල පේෂි හැකිලෙයි. මෙම සංකෝචනය හෙවත් හැකිලීම, දරුවා ගැබ් ගෙල හරහා ස්ත්‍රී යෝනිය ඔස්සේ තල්ලූවී මවගේ සිරුරෙන් එළියට ඒමට සලස්වයි. දරුවා මෙලොවට බිහි වූ වහාම දරුවා සහ මව එක්කර තිබූ පෙකෙණිවැල කැපීම වෛද්‍ය වෘත්තිකයකු විසින් සිදු කරනු ලැබේ. දැන් සියල්ල සම්පූර්ණයි. දරුවා මෙලොව එළිය දුටුවේ එලෙසයි.
eschooltoday හි පළවන Development stages of the foetus in the uterus සහ Birth — The end of the reproduction process කොටස් ඇසුරෙනි.