ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා. නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.
එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS. එය ඇසුරෙන් සකසණු ලබන, සෑම බදාදාවකම තතු ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.
පිටසක්වල ජීවීන් සිටිනවාද? DO ALIENS EXIST?
පිළිතුරු සපයනු ලබන්නේ ආචාර්ය Seth shostak විසිනි
ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥයෙකු වන 76 හැවිරිදි ආචාර්ය Shostak පාර භෞමික් ජීවීන් සෙවීමේ ආයතනයේ (Search for Extra-Terrestrial Intelligence – SETI) ජේෂ්‍යට තාරකා විද්‍යාඥයායි. SETI ආයතනය කියන්නේ විශ්වය තුළ ජීවයේ සම්භවය සහ ස්වභාවය පිළිබඳව ගවේෂණය, අවබෝධය සහ පැහැදිලිකිරීම පිණිස කපවූ එමෙන්ම එමගින් ලබාගත් දැනුම වර්තමාන සහ අනාගත පරපුරවල් අනුප්‍රාණය කිරීම පිණිස සහ ඔවුනට මග පෙන්වීම් පිණිස ඇප කැපවී සිටින ලාභ නොපතන පර්යේෂණ ආයතනයක්.
විද්‍යුත් මාධ්‍ය සංනිවේදකයෙකු වන ඔහු ග්‍රන්ථ කතුවරයෙකු ද වන අතර විශේෂයෙන්ම තරුණ පරපුර අතර තාරකා විද්‍යාව ජනප්‍රිය කිරීමට වෙහෙසෙන්නෙකි.
පිටසක්වල ජීවීන් සිටිනවාද?
මම පුංචි ළමයෙක් කාලයේ,(වෙනත් පුංචි ළමයි බොහොමයක් වගේම) තරු දහස් ගණනක් පිරුණු රෑ අහස දිහා බලාගෙන කල්පනා කර කර ඉන්නකොට මෙන්න මෙහෙම හිතෙනවා: “එහෙ කවුරු හරි ඉන්නවා ඇතිද?”
පිටසක්වල ජීවින්, ඒ කියන්නේ අපි ජීවිතේට අහලා නැති ග්‍රහලෝක වලින් පැමිණෙන ඉතාමත් බුද්ධිමත් ජීවීන් පිරිසක් විදිහට අද වෙනකොට බොහෝ චිත්‍රපටවල සහ නාට්‍ය වල දැකගන්න පුලුවන්. ඒවාට අනුව නම් අපට හිතෙන්නේ පිටසක්වල ජීවීන් සැම තැනකම ජීවත් වෙනවා කියලයි. ඒත් ඉතින් අපි චිත්‍රපට සහ නාට්‍ය වල දකින හැමදෙයක්ම ඇත්ත නෙමෙයිනේ, නේද? එතකොට ඉතින් විද්‍යාඥයන් මේ පිටසක්වල ජීවීන් ගැන මොකක්ද කියන්නෙ? ඇත්තටම පිටසක්වළ ජීවීන් කියලා කොටසක් ඉන්නවද?
ඔවුන්ගේ(විද්‍යාඥයන්ගේ) පිළිතුර තමයි “අපි තවම දන්නේ නෑ” යන්න. බොහෝ විද්‍යාඥයන් හිතන්නේ පිටසක්වල ජීවීන් ඉන්න පුළුවන් කියලා තමයි. මොකද, විශ්වය කියන්නේ හිතා ගන්නවත් බැරි තරමට ඉතාමත් විශාල තැනක්. අපි ජීවත් වෙන පෘථිවිය කියන ග්‍රහයා ද ඇතුළත් සෞර ග්‍රහ මණ්ඩලය පිහිටා තිබෙන්නේ ක්ෂීර පථය(Milky Way) කියන ගැලැක්සිය හෙවත් මන්දාකිණිය තුළයි. මේ මන්දාකිණිය වුණත්, ග්‍රහ ලෝක පිරිවරාගත් තරු(අපේ ග්‍රහ මණ්ඩලයේ තාරකාවට අපි කියන්නේ සූර්යයා කියලායි) මණ්ඩල විශාල සංඛ්‍යාවක් පිරිච්ච තැනක්. ඒ හන්දා අපි විශ්වාස කරනවා අපේ මණ්දාකිණිය තුළ ග්‍රහ ලෝක බිලියන දහස් ගණනක් තියෙනව කියල. එයට අතිරේකව, අපිට දුරේක්ෂ භාවිතා කරලා දැකගන්න පුලුවන් මන්දාකිණි අඩුම වශයෙන් බිලියන සිය ගනනක් විතර පවතිනවා. එබැවින් දෘශ්‍යමාන විශ්වයේ ඇති ග්‍රහ ලෝක ගණන, අප අතර ඇති ජනප්‍රිය කතාවල සඳහන් වෙනවා වාගේ, පෘථිවියේ සියලුම වෙරළ තීරවල ඇති වැලි කැට සංඛ්‍යාවට සමාන වෙනවා.
ඉතින් ඔය කියන අන්දමට, ජීවීන් සිටිය හැකි, නැතිනම් ජීවීන්ට පැවතිය හැකි ස්ථාන බොහොමයක් පිටසක්වල ඇති බැවින්, ඔවුන් සැබවින්ම සිටින බව විශ්වාස කිරීමට අපට සාධාරණ හේතු පවතිනවා.
දැන් ඔන්න ඊළඟට මතුවෙන ප්‍රශ්නය තමයි, පිටසක්වල ජීවීන් හිටියාට අපි ඔවුන්ව සොයා ගන්නේ කොහොමද? කියන එක. අප අතර ඉන්න සමහර අය හිතාගෙන ඉන්නේ, වෙනත් ග්‍රහ ලෝකවල සිට අභ්‍යවකාශය හරහා මෙහාට කඩා වැදුණු විශාල ඇස් සහිත ජීවීන්, පියාඹන පීරිසි මත නැගී අපේ අහසේ පියාසර කරමින් ඉන්නවා කියාලයි(මේ වත් අර මුලින් කීව නාට්‍ය, චිත්‍රපට නැරඹීමේ ප්‍රතිඵල වෙන්න පුළුවන්). මේ වගේ විස්තර කතා ඉතාමත් රසවත් තමයි. එහෙම වුණත් බොහෝ විද්‍යාඥයන් නම් හිතන්නේ නැහැ ඒවා ඇත්ත කියලා. ඇයි? මොකද පියාඹන පීරිසි පිලිබද වාර්තා කිසිවක් ඔප්පු වෙලා නැහැ. ඔබ අහසේ යම් එළියක් දැක්කොත් ඒක පියාඹන පීරිසියක එළියක්ම වෙන්න ඕන නැහැනේ? ඒවා විවිධ දේවල් වෙන්න පුලුවන්. උදාහරණයක් ලෙස ඔබ දකින්නේ ගුවන් යානාවක්, (අහසට යැවූ කාලගුණ පරීක්ෂක බැලුන් වගේ) බැලුමක් හෝ කක්ෂගත කළ චන්ද්රිකාවක් විය හැකියි. මේ අද්භූත එළි වෙනත් ග්‍රහලෝක වලින් පැමිණි අභ්‍යාවකාශ යානා කියා විශ්වාස කිරීමට නම් (වෙනත් කාරණා වලදී වගේම) විද්යාඥයන්ට මේ පිළිබඳව වඩා හොඳ සාක්ෂි අවශ්‍ය වෙනවා.
පිටසක්වල ජීවීන් සොයා ගැනීමට යොදා ගත හැකි තවත් ක්‍රමයක් වන්නේ විශාල ඇන්ටෙනා යොදාගනිමින් ඈත ලෝකයක සිට පැමිණෙන ගුවන් විදුලි තරංග හසු කරගැනීමට උත්සහ කිරීම. අපට වෙනත් ග්‍රහලෝකය සිට යම් විකාශනයකට සවන් දිය හැකි නම්, එහි තේරුම කවුරුන් හෝ පිටස්තර ලෝකයේ සිටිනවා යන්නයි. එවන් සංඥා සෙවීම තමයි මගෙ රැකියාව. හැබැයි ඉතින්, මේ වන තෙක් මට පිටසක්වල ජීවීන් පිළිබඳ එවන් කිසිම සංඥාවක් ලැබිලා නැහැ.
ඒ වුනත් අපි මේ සොයන්නට පටන් ගත්තා විතරයි නේ?. මම හිතනවා 2050 පමණ වන විට අපිට යම් සංඥාවක් සොයා ගන්න පුළුවන් වෙයි කියලා. එවිට අපිට “පිටසක්වල ජීවීන් සිටීද?” යන ප්‍රශ්නයට පැහැදිලිවම උත්තරයක් හොයා ගන්න පුළුවන් වේවි. ඉතින් ඒ උත්තරය ‘ඔව්’ යන්න වේවි.