ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
අපි කිරලා මැනලා වැඩ කරගන්න ගත්තේ කවදා ඉඳලාද?
ඔබට ඒක මනින්න බැරි නම් ඔබට ඒක පාලනය කරගන්න බැහැ කියන මතය සුපිරි වෙළඳ සැලේ ඉඳන් විද්‍යාව දක්වාම අපේ සමාජයේ හැමතැනකම් ඔඩු දුවලා. කවදටත් ඒක ඒහෙමම තමයි: හැම පැරණි ශිෂ්ටාරයකම දුර, ස්කන්ධය, පරිමාව, වර්ගඵලය සහ කාලය මනින්න යොදාගත් මිනුම් ඒකක තිබුණා. බුසල්, රියන්, දම්වැල්, රූඩ්(අක්කර කාල),හොණ්ඩර වගේ යල් පැන ගිය මිනුම් දඬු ඉතිහාසයේ කැලි කසල අතර ගොඩගැහිලා.
මැනීම නියත විද්‍යාවක් වීම පුදුමයක් නෙවෙයි. මිනුම් ශාස්ත්‍රයේදී හැම දෙනාටම පහසුවෙන් අවබෝධ කරගන්නත් පිළිගන්නත් පුළුවන් සම්මත මිනුම් ඒකක පැවතීම වැදගත්. බොහෝ අවස්ථාවල එම ඒකක මිනිස් සිරුර මත පදනම් වෙලා තියෙන්නේ ඒ නිසයි: උදාහරණයක් කියනවා නම් රියනක් කියන්නේ වැලමිටේ ඉඳලා මැද ඇඟිල්ලේ කෙළවර දක්වා දුර. මේ විදියට විකාශය වුණු අඩිය, වියත වගේ ඒකක තවමත් භාවිතයේ තියනවා.
ප්‍රමාණය සාපේක්ෂ ආකාරයෙන් නිශ්චිතව ඇති ස්වාභාවික වස්තූන් යොදාගැනීමත් තවත් ක්‍රමවේදයක්. මැණික් වල බර කිරුවේ කැරොබ් (කොකෝවා වලට සමාන දකුණු යුරෝපීය ශාකයක්) ඇට යොදාගෙනයි. පසුකාලීනව කැරට් ඒකකය බිහිවුණේ ඒ ආශ්‍රයෙන්.
Acropolis in Athens
මේ ඒකක මුලදී ප්‍රයෝජනවත් වුණත් කල් ගත වෙද්දී ඒවායේ වෙනස්වනසුලු බව ගැටලුවක් වුණා. ඉතින් සම්මත ඒකක ශෛලමය හෝ ලෝහ පුවරුවල කොටලා ඇක්‍රපොලිස් (Acropolis) යනුවෙන් දැක්වූ අග්‍රපුරයෙහි (පුරාණ ග්‍රීසියේ උස කන්දක පිහිටි ප්‍රාසාද සහිත සංකීර්ණය) වැනි රජයේ ආයතන වල තැන්පත් කළා. ඒ පුවරු වලින් ඩැක්ටිල් (ඇඟිල්ලක දිග), කොක්ලියාරියන් (හැන්දක පරිමාව) වගේ මිනුම්වල නිවැරදි අගය දැනගන්න පුළුවන්.
විප්ලවීය මිනුම්දඬු
මිනුම් පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය හෙවත් මිනුම්වේදයෙහි(metrology) වත්මන් යුගය බිහිවුණේ ප්‍රංශ විප්ලවයේ ප්‍රතිපලයක් හැටියටයි. ජාතියේ ප්‍රතිරූපය අලුතින්ම ගොඩනගන්න උත්සුක වුණු විප්ලවයේ නායකයන්ට, පැරණි සම්ප්‍රදායේ නටඹුන් වුණු අක්‍රමවත් මිනුම් ඒකක සියල්ල බැහැර කරන්න ඕනෑවුණා. එහි අවසන් ප්‍රතිඵලය හැටියට වඩාත් විධිමත් මීටර් ක්‍රමය බිහිවුණා.
මීටර් ක්‍රමය මුල් අවදියේදී කිලෝග්‍රෑමය සහ මීටරය කියන ඒකක දෙකට සීමා වුණා. කිලෝ ග්‍රෑම් ඒකකයේ නිර්වචනය ලෙස “අයිස් ද්‍රවීකරණයට ලක්වන උෂ්ණත්වයේදී වතුර ලීටරයක බර ” සැලකුණු නිසා කිලෝ ග්‍රෑමයත් නිතැතින්ම මීටරයට සම්බන්ධයි.(ලීටරයක් යනු සෙ.මි.10ක පැති සහිත ඝනකයකි)
මීටරය මුලින්ම නිර්වචනය වුණේ උත්තර ධ්‍රැවයේ සිට සමකය දක්වා ඇති දුරෙන් කෝටියෙන් එක් පංගුවක් ලෙසටයි. ඒ මුලු දුර ගණනය කිරීම නම් කොහෙත්ම ලේසි පහසු කාරණයක් වුණේ නැති බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඩන්කර්ක් සිට බාර්සිලෝනා දක්වා ප්‍රදේශවල පිහිටි පල්ලිවල කුලුණු මත නැගලා ඒවා අතර දුර ත්‍රිකෝණකරණය කරමින් සහ ධ්‍රැවයේ සිට සමකය දක්වා දුර ධ්‍රැව තාරකාවේ පිහිටීම අනුව නිරීක්ෂණය කරමින් මනින්නම අවුරුදු හතක් ගතවුණා. පසුකාලීනව මේ ඒකක දෙකම ලෝහ වලින් නිර්මාණය කර හරියටම කිලෝ ග්‍රෑම් එකක් බරැති ප්ලැටිනම් සිලින්ඩරයකුත්, හරියටම මීටරයක් දිග ප්ලැටිනම් දණ්ඩකුත් වශයෙන් තැන්පත් කර තැබුණා.
මේ ක්‍රමය එතෙක් බිහිවුණු වඩාත්ම නිවැරදි සහ වඩාත්ම විද්‍යානුකුල ක්‍රමය වුණත් ඒ ක්‍රමය පදනම් වුණේ වෙනස්වනසුලු ප්‍රමාණ මතයි. 1875දී ජාත්‍යන්තර සම්මත මිණුම් ඒකකයක් හැටියට යොදාගන්නත් කලින් ඉඳලාම මේ ඒකකයේ අවිශද ස්වභාවය ගැන මැසිවිලි කියවුණා. එක් උදාහරණයක් දක්වන්නේ නම් භෞතික විද්‍යාඥ ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් තර්ක කළේ පෘථිවියේ මතුපිට නිරන්තරයෙන් වෙනස්කම්වලට භාජනය වෙන නිසා පෘථිවියේ මාන මත මිනුම් ඒකක හැඳින්වීම නුසුදුසු බවටයි.
Triadic model of Semiosis of Charles Sanders Peirce
1870 දී ඇමරිකානු ගණිතඥ චාල්ස් සැන්ඩර්ස් පියර්ස් මීටරය ආලෝකයේ තරංග ආයාමය ආශ්‍රයෙන් හඳුන්වන්න පුළුවන් බවට අලුත් අදහසක් ඉදිරිපත් කළා. ස්වභාවධර්මයේ නියත අගයන් මත පදනම්ව මිණුම් ඒකක නිර්මාණය කිරීමේ ප්‍රවනතාව මුල්බැස ගත්තේ ඒහෙමයි. වර්තමානයේ සම්මත විද්‍යාත්මක මිනුම් ක්‍රමය වන SI ලෙස පොදුවේ හඳුන්වනු ලබන ‘Système International d’Unités’ හටගත්තේ ඒ පුංචි බීජයෙන්.
හැබයි ඒ බීජය දලු ලා වැඩෙන්න කලක් ගතවුණා. ඒ කතාවෙන් හෙට(13 ඉරිද) ලිපියේ ඉතිරි කොටස පටන් ගමු.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID WE GET THE MEASURE OF THINGS? පරිච්ඡේදය ආශ්‍රයෙනි.