සියල්ලෙහි සුලමුල 39: වෙලාව ගැන ඇහැගහගෙන ඉන්න අපිව හුරු කළේ කවුද?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

වෙලාව ගැන ඇහැගහගෙන ඉන්න අපිව හුරු කළේ කවුද?

ඔරලෝසුවේ තත්පර කටුව දිහා බැලුවොත් අරුම පුදුම දෙයක් දකින්න පුළුවන්.  සමහර වෙලාවට ඉස්සරහට යනවා වෙනුවට මොහොතකට එකතැන නැවතිලා … ආයෙමත් ‘ටික් ටොක්’ කිය කියා ඉදිරියට ඇදෙනවා වගේ පෙනේවි.  ‍”කාලය එක තැන හිටීමේ ”  මෙම මායාව අපේ දෘෂ්ටි පද්ධතියේ සැකැස්ම නිසා සිදුවන දෙයක්: ඔබ වේගයෙන් ඇස් චලනය කළොත් එය තාවකාලිකව අක්‍රිය වෙලා, මග හැරුණේ   යයි  ඔබේ මොළය  අනුමාන කළ දෙය ඌණපූරණය කර  සකස් කරනවා.  කෙසේවෙතත්,  කාලය මැනීම  ආශ්‍රිතව අපි මුහුණ දෙන ගැටලුවල ස්වභාවය එයින් මනාව සංක්ෂේප කර දක්වනවා.

හොඳටෝම හොඳ කාලයක දී වුණත් , කාලය කියන්නේ මායාකාරී සංසිද්ධියක්. කාලය සමහර වෙලාවට ඉගිලී යනවා, තවත් සමහර වෙලාවට ගාට ගාටයනවා, නැතිනම් එක තැන නවතිනවා වගේ දැනෙනවා. අපිට කාලය හැ‍‍‍‍‍ඟෙන්නේ අපි “දැන් ” කියලා කියන අතීතයේ ඉඳන් අනාගය දක්වා විහිදෙන අරුම පුදුම වාහක පටියක් වගේ. ඒත් එහෙම දෙයක් ඇත්තටම තියනවාද කියන සැකයත් අපට විටින් විට මතු වෙනවා: කාලය කියන්නේ, අවකාශය සහ බර වගේම විශ්වයේ තවත් මූලික ලක්ෂණයක් ද, එහෙමත් නැත්නම් අපේ මනසේ ගොඩනැගුණු මායාවක් හෝ මුළාවක්ද?

ලිස්සලා යන්න කාලය කොහොම කොහොම හරි උත්සාහ කළත්එය අල්ලාගන්න අපි දරන උත්සහයත් නැවතිලා නැහැ. කිසිම දෙයක් අත් නොහැරීම මිනිස් ගතිය නිසා, කාලය විධිමත්ව මනින ක්‍රම සොයාගන්න අපි සමත් වුණා.

ආදියේ සිටි අපේ මුතුන්මිත්තන්ටන්ට “දැන්” කියන අත්දැකීමත්, දවස්, ඍතු සහ අවුරුදු යනුවෙන්  ඇති, පුරෝ කථනය කළ හැකි චක්‍රයත් නොදැනුණා වෙන්න බැහැ. නමුත් ප්‍රාග් අයිතිහාසික යුගයේ දීර්ඝ වකවානුවක් ගෙවෙන තුරු මිනිස්සු උදේ-හවස, වගේම චන්ද්‍ර කලාවන්  වගේ ස්වාභාවික මිනුම් ඒකකවලින් සෑහීමකට පත්වුණා. ස්ටෝන්හෙන්ජ් (Stonehenge — එංගලන්තයේ විල්ට්සයර් ප්‍රදේශයේ පිහිටි ප්‍රාග් ඓතිහාසික ස්මාරකයක්) වගේ  ස්මාරක ඍතුවල පැමිණීම ගැන අනාවැකි කියන යම් ආකාරයක් දින දර්ශන බවට අනුමාන කිරීමට පුළුවන් වුණත් අපිට ඒ ගැන ඊට (අනුමාන ඉදිරිපත් කරනවාට)   වඩා වැඩි දෙයක් කරන්න අමාරුයි.

ඔරලෝසුවේ උපත

අවුරුදු 4,000කට ඉස්සර  පුරාණ ඊජිප්තුවාසීන් දවස කුඩා ඒකක වලට බෙදීම, අපි දන්නා තරමින් කාලය විධිමත්ව මනින්න දරපු මුල්ම උත්සහය හැටියට හඳුන්වන්න පුළුවන්. ඉර පායා ඇති කාලසීමාව සමාන කොටස් දොළහකට බෙදා තිබුණු බව රජවරුන්ගේ මිටියාවතින්(Valley of the Kings) හමුවුණු හිරු තැටිවලින් දැක්වෙනවා. රජවරුන්ගේ සොහොන් කොත් සාදන කම්කරුවන් වැඩ කරන පැය ගණන ලකුණු කරගන්න මේවා යොදාගන්න ඇති කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ අනුමානය නිවැරදි නම් මධ්‍යගිම්හානය වෙනකොට හෙවත්  ගිම්හානය මැදදී කාලය ගාටන බව ඔවුන්ටත් තදින්ම දැනෙන්න ඇති. පැයේ ඒකකය(මූල පැය) ඉර එළිය වැටෙන කාලසීමාව මත තීන්දු වුණු නිසා මධ්‍යගිම්හානයේ පැයක් මධ්‍ය සිසිරයේ පැයකට වඩා වර්තමානයේ අප භාවිත කරන විනාඩිවලින්  දහසයක්වත්  දික් වෙන්නට ඇති. ඊජිප්තුවාසීන් ඉර එළිය නොසලකා දවස කොටස් විසි හතරකට බෙදන ජල පෑ තැටියක් හැදුවේ මේ ගැටලුව විසඳන්න වෙන්න ඇති.

ඊළඟ පියවර වුණේ කාලය වඩා සියුම් පුංචි ඒකකවලට බෙදන එක. ක්‍රි.පූ 300දී විතර ඒ කාර්යයට මුලපිරුවේ බැබිලෝනියානුවන්. ඔවුන් මිනිත්තු විසි හතරට, තත්පර විසි හතරට සහ තත්පරයෙන් 0.4ට  වශයෙන් අනුරූප  ඒකක නිර්මාණය කරමින්  දවස හැටෙන් බෙදෙන ප්‍රධාන ඒකක තුනකට බෙදලා දැම්මා.

තත්පරයෙන් තත්පරය

අපි දැනට භාවිතා කරන ක්‍රමය බිහිවුණේ ක්‍රි.පූ පළමුවන සහස්‍රයේදී පර්සියානු ගණිතඥ අල් බෘනි ඊජිප්තු වාසීන්ගේ පැය විසි හතරක දවසේ සංකල්පය භාවිතා කරලා පැයක් දෙවතාවක් හැටෙන් බෙදලා මිනිත්තු සහ තත්පර හඳුන්වාදීම සමගයි. (ඉංග්‍රීසි භාෂාවෙන් තත්පර “seconds” කියලා හඳුන්වන්නේ පැයක් දෙවැනි වරටත් හැටෙන් බෙදන නිසයි).

තත්පරය අදටත් කාලය මනින මූලික ඒකකය හැටියට සැලකෙනවා. තත්පරය යනු දවසකින් 1/86,400ක් හැටියට පිළිගැනුණු නිසා සූරිය චක්‍රය සමග සියවස් ගණනක් ගෙවෙනතුරු බැඳී පැවතුණා. නමුත් මේ අර්ථ දැක්වීම නිසාවෙන් පුරාණ ඊජිප්තු වැසියන් මුහුණ දීපු ගැටලුව ආපහු මතු වෙන බව විද්‍යාඥයන්ට ටිකෙන් ටික අවබෝධ වුණා. දවසක දිග වෙනස් වෙන්න පුළුවන්. සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ ගුරුත්වාකරෂණ බලපෑම නිසා සියවසකට කලින් දවසක් අදට වඩා තරමක් කෙටියි.  තවත් සියවසක් ගෙවුණාම දවස මීට වඩා යාන්තම් දිග වේවි. වායුගෝලය සහ පෘථිවියේ කැකෑරෙන හරය හේතුවෙන් ඇතිවන අස්ථායීතා නිසාත් පුරෝකථනය කල නොහැකි ආකාරවලින් පෘථිවියේ භ්‍රමණ වේගය හීනවන්නට හෝ වේගවත්  වෙන්නත් හෝ පුළුවන්.

අපේ දෛනික වැඩ කටයුතුවලදී මේ ගැටලුව බලපෑවේ නැති වුණත් තත්පරය මත පදනම් වෙන මිනුම් ඒකක ගැන සැලකුවාම නම් අස්ථිර තත්පරයක් නම් භාවිතයට සුදුසු නැහැ. විද්‍යඥයන් ඊජිප්තු ජාතිකයන් වගේම අවසානයේදී ගැටලුවට විසඳුමක් සොයා ගත්තා. හැබැයි ඒ සිදුරකින් වතුර වෑස්සෙන උපකරණයකට (ඉහත සඳහන් ජල පෑ තැටියට) වඩා බොහොම සංකීර්ණ විසඳුමක්. ඒ විසදුම වගේම  සහ තවත් කරුණු කාරණා ගැන  අපි හෙට (20 වෙනිදා) තවදුරටත්  කතා කරමු.

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHO STARTED KEEPING AN EYE ON THE TIME? පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.