ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
වෙලාව ගැන ඇහැගහගෙන ඉන්න අපිව හුරු කළේ කවුද?
මිනුම් ඒකක ගැන සැලකුවාම නම් අස්ථිර තත්පරය භාවිතයට සුදුසු නැති නිසා විද්‍යඥයන් අවසානයේදී විසඳුමක් සොයා ගත්ත බව අපි ඊයේ ලිපියේ අවසානයෙහි සඳන් කළා. අද එතැන් සිට…
දීර්ඝ කාලයක් තිස්සේ, කාටත් හොර වගේ රහසේ වාදවිවාද කරලා, කිරුම් මිනුම් පිළිබඳ ජාත්යන්තර කාර්යංශය තත්පරය අලුතෙන් නිර්වචනය කරන්න 1967දී එකඟ වුණා. එදා පටන් තත්පරය හැඳින්වෙන්නේ සීසියම් (caesium – සීසියම් නම් මූලද්‍රව්‍යය) පරමාණුවක් නිශ්චිත වාර ගණනක් කම්පනය වීමට ගතවන කාලය මතයි. මේ තීරණය කාලයත්, තාරකා විද්‍යාවත් අතර තිබුණු ඓතිහාසික බැඳීම බිඳවැටීමට බලපෑවා.
නමුත් තාරකා විද්‍යාව තවමත් වරින් වර නොසිතූ විදියේ ගැටලු ඇති කරනවා. අපි පරමාණුක ඔරලෝසු යොදාගෙන කාලය ගණනය කළත් අපට අවබෝධ කරගන්න බැරි විදියට දවස් දීර්ඝ වීම නිසා පරමාණුක කාලයත් පෘථිවියේ කාලයත් අතර ඇති පරතරය නොනවත්වාම වැඩි වෙනවා.
නොදන්නා අනන්තය කරා පැන්න පිම්ම
මිනිස් හිතට නම් සියවසකට මිනිත්තු දෙක තුනක් වෙනස්වීම නොසැලකිය යුත්තක් වුණත් විද්‍යාවට අනුව නම් ඒ බරපතල වැරැද්දක්. 1972දී අධික තත්පරය බිහි වෙන්නේ ඒ නිසයි. තාරකා විද්‍යාඥයන් ඔවුන් සොයාගත් ස්ථාවරම ලක්ෂ්‍ය (ආලෝක වර්ෂ බිලියන ගණනක් දුරින් පිහිටි කුවොසාර්(ව්‍යාජ තාරීය වස්තු යන තේරුම ඇති Quasistellar යන්න කෙටි කර ගැනිමෙන් Quasar යන්න තනාගෙන ඇත) ආශ්‍රයෙන් පෘථිවියේ භ්‍රමණ වේගය ගණනය කරනවා. පෘථිවිය භ්‍රමණය වෙන වේගය වෙනස්වීම නිසා තත්පර 0.9කට වැඩියෙන් කාලයේ වෙනසක් ඇති වෙනවා නම් ඔවුන් අධික තත්පරයක් අඩු හෝ වැඩි කළ යුතු බව දැනුම්දෙනවා. දැනට නම් හැමවිටම සිද්ධ වුණේ තත්පරයක් එකතු කරන්නයි. මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් හැටියට සමායෝජිත විශ්ව වේලාව (Universal Time Coordinated – UTC) බිහිවුණා.
මේ අතරතුර කාලය වඩාත් කුඩා ඒකකවලට බෙදන්න දියත් කළ මෙහෙයුමත් තවම ක්‍රියාත්මකයි. පරමාණුක ඔරලෝසුවල නිරවද්‍යතාවය බොහොම ඉහළයි. 1955දී නිපදවූ මුල්ම සාර්ථක පරමාණුක ඔරලෝසුවේ නිරවද්‍යතාවය අවුරුදු 300ට තත්පරයයි.
අලුත් නිශ්පාදන ඒ ඔරලොසුව අභිභවලා හුඟක් දුර ඇවිල්ලා. අවුරුදු මිලියන 542කට ඉස්සර කේම්බ්‍රීය පිපිරීම(Cambrian Explosion) සිද්ධ වුණු කාලයේ ඉඳලා ක්‍රියාත්මක වුණු තත්පර භාගයකට වඩා කාලය අඩු වැඩි නොවන පරමාණුක ඔරලෝසුවක් හදන්න 2013දී ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සමත් වුණා. අපට නවීන තාක්ෂණයෙන් ඊට වැඩි දේවල් පවා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔරලොසු පරපුරේ අලුත්ම සාමාජිකයන් වන ප්‍රකාශ(optical) ඔරලෝසුවල නිරවද්‍යතාවය මොනතරම්ද කියනවා නම් අවුරුදු බිලියන 13.8කට ඉස්සර මහා පිපිරුම(Big Bang) සිද්ධවෙච්ච අවධියේ ඉඳන් ක්‍රියාත්මක වුණ සෑම තත්පරයක්ම තිතටම කියන්න ඒ ඔරලෝසුවලට පුළුවන්.
optical clocks
කාලය පතුළේ කිමිදෙමින්…
කාලය මැනීමේදී අප මුහුණ දෙන ප්‍රධානම සංකල්පීය දුෂ්කරතාවය තමයි කාලයේ පරිමාව(කාලය කොපමණ නම් තිබේ ද) අවබෝධ කරගන්න අසීරු වීමයි. ජීවිත කාලයක දිග එක්ක සංසන්දනය කළොත් සහස්‍රයක් යන්න නම් යාන්තමින් හිතින් මවාගන්න පුළුවන්. ඒත් අවුරුදු බිලියන 13.8ක් කියන්නේ හිතින්වත් මවාගන්න බැරි අගයක්. ‘කාලයේ ගැඹුර’ මොන තරම් සංකීර්ණ සංකල්පයක්ද කියනවා නම් ඒ සංකල්පය ඇති වුණෙත් කාලය මැනීම ආරම්භ වෙලා අවුරුදු 4000ක්ම ගතවුණාට පස්සේ.
දහඅටවන සියවසේ මැදක් වෙනතුරුම අනුමාන කළේ විශ්වය සහස්‍ර ගණනක් පරණයි කියලයි. භූ විද්‍යාඥයන්ට විශ්වය ඊට වඩා කිහිප ගුණයක්ම පැරණි බව ටිකෙන් ටික අවබෝධ වුණා. ඔවුන් අධ්‍යයනය කරපු පාෂාණ සදාකල් නොවෙනස්ව තියනවා වගේ හැඟුනත් එය හුදු මුලාවක් පමණයි. එහෙම දැනෙන්නේ පෘථිවි ස්තර, පොසිල සහ විභේද රේඛා හිතින් මවාගන්නත් බැරි කාලයක් තිස්සේ වෙනස් වීම් වලට ලක් වන්නේ හිතන්නවත් බැරි තරම් හෙමින් නිසයි.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHO STARTED KEEPING AN EYE ON THE TIME? පරිච්ඡේදය ආශ්‍රයෙනි.