ළමා ලිංගික අපයෝජනය: ළමා ලිංගික අපචාරයට හේතු

Posted by

මුළු ලොව පුරා සෑම ගැහැණු ළමයි දහ දෙනකුගෙන් දෙදෙනෙක්ද, සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට භාජනය වී ඇත. මෙම සංඛ්‍යාලේඛන සමස්ත ලෝකය වෙනුවෙන් නිසා ඒ ඒ රටවල මෙම තත්ත්වය සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත් ලංකාවේ ළමුන්ද ලිංගිකව අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන වලින් දැක්වෙන්නේ ඇත්තටම ලිංගික අපයෝජනය පිළිබඳව වාර්තාවන අවස්ථාවන් පමණි. ලැජ්ජාව, බිය, සමාජ ආකල්ප, නොදැනුවත්කම ආදී විවිධ හේතූන් නිසා බොහෝමයක් අවස්ථා වාර්තා නොවීම මගහැරී යනවා විය හැකියි. එහෙයින් මේ ගැන සැලකීමේදි ප්‍රශ්නයේ මහත්තාව(magnitude) ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. අදින් ඇරඹෙන මේ ලිපි පෙළ මඟින් අප උත්සාහ කරන්නේ මෙම උවදුරට ලක්විය හැකි (හෝ ලක්වූ) කොටස් වෙත සෘජුවමත් එමෙන්ම දෙමාපිය වැඩිහිටි ආදී අනෙකුත් කොට්ඨාශත් ආමන්ත්‍රණය කිරීමටයි.

 

ළමා ලිංගික අපචාරයට හේතු

අනෙකුත් සමාජයීය ප්‍රශ්න බොහොමයක් මෙන්ම ළමා ලිංගික අපචාර පිළිබඳ ප්‍රශ්නයද යහපත් අතට හැරෙන බවක් නොපෙනේ. මෙයට හේතුව වන්නේ ඒවා සිදුවීමට බලපාන හේතු තරමක් සංකීර්ණ වීමයි. මෙන්ම ඒවා සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ද එතරම් පහසු කාර්යයක් නොවීමයි.

ළමා ලිංගික අපචාරය යනු පහසුවෙන් එළියට නො එන, බොහෝ රහස්‍ය අපරාධයකි. මන්ද ඒවා බොහෝවිට අපරාධකරු මෙන්ම වින්දිතයන්ද රහසක් ලෙස වසන් කර තබා ගන්නට දැඩි සේ උත්සාහ ගන්නා හෙයිනි. ළමා අපචාරයට ලක් වූවෙකු නිර්භයව (ලැජ්ජාව නිසා සඟවාගෙන නොසිට) තමාට සිදුවූ හදිය හෙළිදරව් කිරීමට ඉදිරිපත් නොවුවහොත් මුළු ජීවිත කාලය පුරාවට එය රහසක්ව පවතිනු ඇත. අපචාරයට ලක්වන ළමයි බොහෝ විට ඒ ගැන කිසිවකුට හෝ පැවසීමට බියක් දක්වති. ළමා අපචාර සිද්ධි බොහොමයක්ම වාර්තා වන්නේ ම නැත.

ළමා අපචාරයන්  සිදු කරන්නන්(අපරාධකරුවන්) සහ ඒවාට ගොදුරු වන්නන් (වින්දිතයන්) සම්බන්ධ ගති ලක්ෂණ කිහිපයක් අපි සොයා බලමු. 

අපරාධකරුවන්

Related image

ළමා අපචාරයන්  සිදු කරන්නන් බොහොමයක්ම ළමුන්ගේ විශ්වාසය දිනූ , ළමුන් විශ්වාසය තබා සිටින්නන්ය. ළමා අපචාර සිද්ධි අතුරින් සියයට 90ක දීම තමා අපචාරයට ලක් කළ අය වින්දිතයන්  දන්නා කියන, හඳුනන අයය. ඒ වගේම විශ්වාසය තබා සිටින්නන්ය.  පර්යේෂණ පෙන්නුම් කරන ආකාරයට ළමා අපචාර අපරාධ කරුවන් සමහරක් තමුන්ම ද  ළමා වියේදී අපචාරයට ලක් වූවන්ය. ළමාවියේ දී අපචාරයන්ට ලක්වීම කෙනෙකු ළමා අපචාර අපරාධ කරුවෙකු බවට පත් කිරීමට ඇති අවධානම වැඩි කරන්නක් වුවද ළමා අපචාරයන්ට ගොදුරු වූ බහුතර වින්දිතයෝ කිසිවිටෙකත්, කිසිවෙකුත් අපචාරයට ලක් කරන්නේ නැතුව සිය ජීවිතය ගත කරති. (Stop It Now! වෙබ් අඩවියේ ළමා ලිංගික අපචාර ගැන මනා විස්තර අඩංගු වේ. අදාළ පිටුවට මෙතනින් පිවිසෙන්න.)

ළමුන් ලිංගිකව අපචාරයට ලක් කරන්නෝ කවරහු ද?

ළමුන් ලිංගිකව අපචාරයට ලක් කරන්නන්, අප දන්නා අඳුනන පුද්ගලයන් විය හැකියි, අප සෙනහසින් සලකන, ගරු කරන අය වෙන්න පුළුවනි.    ළමුන් ලිංගිකව අපචාරයට ලක්කරන්නේ අප රූපවාහිනියේ දකින මාදිලියේ ක්‍රීඩා පිටි අද්දර ගැවසෙන නන්නාඳුන ආගන්තුකයන් හෝ ළමුන් පැහර ගොහින් අපයෝජනයට ලක් කර මරාදමන ‘ගෝනිබිල්ලන්’  වැනි අය නම් අපට ඔවුන් හඳුනාගන්න අපහසුවෙන්නේ නැහැ.

 ඒත් සැබෑ ලෝකයේ ප්‍රායෝගිකව ගතහොත් ළමුන් ලිංගිකව අතවරයන්ට පත්කරන්නන් ඇත්තටම ඒ ආකාරයේම අයවළුන් නොවේ. ළමුන් ලිංගිකව අපචාරයට  ලක් කරන්නන් — ඒ කියන්නේ එලෙස කරතැයි වාර්තා වෙන අය මෙන්ම වාර්තා නොවෙන අය යන දෙකොට්ඨාශයේම අපචාරයට ලක් කරන්නන් — ගතහොත්  ඒ අතරේ  තාත්තලාය, අම්මලාය,  දෙවැනි විවාහයේ දෙමාපියන්ය(සුළු පියා/සුළු මව), ආතලා ආත්තම්මලාය, එහෙමත් නැතිනම් (මාමලා, නැන්දලා, ඥාති සොයුරු සොයුරියන් ඇතුළු) පවුලේ ඥාතින්ය. ඒ කිව් පිරිසත් නොවේ නම් ඔවුන් අසල්වැසියන්ය, දරුවන් බලාගන්නන්ය, පූජක පක්ෂයය, ගුරුවරුන් හෝ පුහුණු කරන්නන්ය නැතහොත්  අපේ දරුවන් හා නිතර සමීප ඇසුරක් ඇති එබන්දන්ය.  

                                                                    — Who sexually abuses children?

                                                                                     (STOP IT NOW)

සමහරක් ළමා අපචාරකරුවන් මානසික ආබාධ හෝ ප්‍රශ්න වලින් පෙළෙන්නන් වන අතර ඔවුන් තමන්ව  ළමුන් ලෙසම දැකීමට පෙළඹෙති. ළමුන් සමග ලිංගිකව යම් යම් දේවල් කිරීමට ඔවුහු දැඩි ආශාවක් දක්වති. මේ මානසික තත්ත්වය හඳුන්වනු ලබන්නේ කෞමාර කාමය (pedophilia) යනුවෙනි. මෙම තත්ත්වයෙන් පෙළෙන අය කෞමාර කාමුකයන් (pedophiles) ලෙස දැක්වේ.

ළමා අපචාරය අපරාධකරුවන් සාමාන්‍යයෙන්  තමන් හඳුනන කියන පිරිමි අයයි. මෙය තවත් කනගාටුදායක තත්ත්වයක්  වන්නේ ළමුන් බොහෝ විට එවැනි අයට ගරු කරන  හෙයිනි; එවැනි අය විශ්වාස කරන හෙයිනි.

 

වින්දිතයන්

Related image

ළමා අපචාරයට ලක්වන බොහෝ ළමයින් බොහෝ විට විහිංසය්‍ය (vulnerable) හෙවත් අවදානමට ලක් විය හැකි අයයි. (නිදසුනක්: ඉගෙනීමේ අපහසුතා වලින් පෙලෙන ළමයි, හුදෙකලා වූ ළමයි ආදී) අපචාරයට ලක්වන බොහෝ ළමයි මතු දැක්වෙන හේතු නිසාවෙන් ඒ ගැන කිසිවෙකුටත් නො පවසති.

  • එය වෙනත් අයට අදාල කාරණාවක් ලෙස ළමයා කල්පනා කිරීම.
  • එය දරුණු හෝ වැරදි ක්‍රියාවක් යැයි සිතීම.
  • අපරාධකරුවා ගැන දැනගත්තොත් (විශේෂයෙන්ම අපරාධකරු   පවුලේ අයෙකුම හෝ පවුලේ අය දන්නා කෙනෙක් නම්) එය දෙමව්පියන්ට දැඩිව බලපෑ හැකිය යයි සිතීම.
  • තමන්ගේ මිතුරු කැළ කෙසේවත් කාරණාව දැන නොගත යුතුය සිතීම.
  • අපචාරයට ලක් වෙද්දී තර්ජනයන්ට භාජනයවූ විට විශේෂයෙන්ම ද, එසේ නැතුව වුව ද අපරාධකරු තමා මරා දමති හෝ හානි පමුණුවති යයි සිතීම.
  • තවත් ප්‍රබල හේතුවක් වන්නේ තමා කියන කතාව (සිදු වූ දෙය) කිසිවෙකුත් විශ්වාස නොකරතීයයිි සිතීම(විශේෂයෙන් අපරාධකරු ළඟම ඥාතියෙකු වූ විට)

දිළිඳු මෙන්ම අගහිඟකම්වලින් පෙළෙන ළමුන් ද  අපරාධකරුවන්ගේ පහසු ගොදුරුය. ඔවුනට උපකාර කිරීමේ මුවාවෙන් ඉදිරිපත්වන,  එය වාසියට හරවාගෙන  ඔවුහු  ළමුන් අපචාරයට ලක් කරති. ඔවුන්ගේ දුක්ඛිත තත්වයෙන් අයුතු ප්‍රයෝජන ගනිති.

 

eschooltoday හි පළවන Your basic guide to sexual child abuse ලිපියෙහි What causes child abuse?  කොටස ඇසුරෙනි.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.