බුද්ධිය: බුද්ධිය කියන්නේ හරියටම කුමක්ද?

Posted by

බුද්ධිය කියන්නේ හරියටම කුමක්ද?

බුද්ධිය, අසභ්‍යතාවයට  මදක්  සමානය. අසභ්‍යතාව වගෙම බුද්ධිය යන දෙකම හරියටම මොකද්ද කියල  විග්‍රහ කරන්න අමාරුයි. නමුත් දැක්කහම කියන්න පුළුවනි. බුද්ධිමත් පුද්ගලයන් මොළය ඇති අය(මොළකාරයෝ) හැටියටයි සලකන්නේ.  මානසික හෙවත් චෛතසික පරිශ්‍රමයක් දැරිය යුතු ගණිතය, වාචික තර්කනය ආදී  දේවල් ඕනෑම එකකට වගේ එවැනි මොළකාරයන්  දක්ෂය. ඔව්හු වඩාත් පහසුවෙන් ඉගෙන ගනිති. වඩාත් ඉක්මණින් සංකල්ප ග්‍රහණය කර ගනිති. එමෙන්ම ගැටළු විසඳීමේ දී වඩාත් දක්ෂකම් දක්වති. තවද ඔවුන්ගේ ලොකු මොළ ඔවුනට ජීවිතය ජයගන්නට මගපාදන බවක්  දිස්වෙයි. සාමාන්‍යයෙන් ගතහොත් බුද්ධිමත් පුද්ගලයො වැඩිකල් ජීවත් වෙති; සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරති; එමෙන්ම වැඩියෙන් මුදල් උපයති. ඉතින් අප බුද්ධිය ඉහළින් ඇගයීමට ලක් කිරීම අරුමයක් නොවන්නේය.

එය එසේ වී නමුත් හෝ සමහරවිට  එහි ප්‍රතිඵලයක් හැටියට, බුද්ධිය පිළිබඳ අධ්‍යයනය විද්‍යාවේ වඩාත්ම මතභේදාත්මක අංශ අතරට වැටේ. බුද්ධිය හැදෑරීමේ ඉතිහාසය, කපාල ලක්ෂණ විද්‍යාව(phrenology = කපාලය හෙවත් හිස් කබලේ හැඩයෙන් විවිධ හකියාවන්ගේ ශක්තිය හඳුනා ගැනීමේ ශාස්ත්‍රය) හා වාර්ගික ධූරාවලීන් වැනි ගර්හිත එමෙන්ම ව්‍යාජ විද්‍යාත්මක (pseudoscientific) අදහස් වලින් පිරි ඉතිරි ගොසින්ය.  බුද්ධිය යන්න අද බෙහෙවින් විවාදශීලි තත්ත්වයට පත්ව ඇත. එසේ වී ඇත්තේ බුද්ධිය යන වචනයෙහි තේරුම පිළිබඳව හෝ එය මිනිය හැක්කේ  කෙළෙසද යන්න පිළිබඳව තවමත් විද්‍යාත්මක එකඟතාවක් නොමැති කම ම නිසා නොවේ.   ඒවා එසේ වුවත්, බුද්ධිය කියන්නේ කුමක් ද ආන්න ඒක සමහර අයට, අනෙක් අයට වඩා වැඩියෙන් ඇති බව පැහැදිලිය.

බුද්ධි ආවලිය

බුද්ධිය පිළිබඳ නූතන විද්‍යාත්මක අධ්‍යයනය ආරම්භ වූයේ දහනව වැනි සියවසේ අග හරියේ දී ය. ඒ චාල්ස් ඩාවින්ගේ ඥාති සොහොයුරු ෆ්‍රැන්සිස් ගැල්ටන්ගේ ක්‍රියාකාරකම්  සමගය. මනුෂ්‍යයන්ගේ චෛතසික හැකියාවන් චාල්ස් ඩාවින්ගේ ජෛවවිද්‍යාත්මක විචල්‍යයන් සමගින්  වෙනස් වන්නේය යන නිරීක්ෂණය හා ඒකාබද්ධ කරමින් ඔහු කියා සිටියේ බුද්ධිය බෙදී ගොස් ඇත්තේ තරමක් දුරට උස බෙදී ගොස් ඇති ආකාරයට මෙන් යනුවෙනි. වෙනත් වචනවලින් කියතොත්, බුද්ධිය ආවලියක් නම් එහි මැද ලක්ෂ්‍ය හරියෙහි බොහෝදෙනා පොකුරු ගැසී ඇති අතර ආවලියේ දෙකොනට වැටෙන්නේ ඉතා සුළු පිරිසක් යන්නය. බුද්ධිය යන්න මිනිය හැකි යැයිද ඔහු තර්ක කළේය. ඉන් නොනැවතී ප්‍රතිචාර කාල යොදාගනිමින් කාලය මැනීමට (තරමක අසාර්ථක) උත්සාහයක් ද දැරීය.

බුද්ධිය මැනීමේ අභියෝගය පිළිගනිමින් 1900 මුල් කාලයේදී මනෝ විද්‍යාඥ චාල්ස් ස්පියර්මෑන් නව වෑයමක් ඇරඹිය. ඔහුගේ නිරීක්ෂණය වූයේ එක් විෂයයකින් දක්ෂතා දක්වන පාසල්  සිසුන් එම විෂයට සම්බන්ධයක් නැතැයි පෙනී යන වෙනත් විෂයක දී ද හොඳින් දක්ෂතා දක්වන බවයි. ඉතින් නිදසුනක් දක්වතොත් ගණිත පරීක්ෂාවකදී ඉහළ ලකුණු ලබා ගන්නා අයකු භාෂාව විෂයෙහි ද ඉහළ ලකුණු ලබා ගන්නේ යයි පුරෝකතනය කළ හැකි අතර, අනෙක් අතට භාෂාවට වැඩි ලකුණු ගන්නා අය ගණිතයට ද දක්ෂතා දැක්වීමට පුළුවන්. ස්පියර්මෑන් යෝජනා කළේ මෙයින් යම් ගැඹුරු, පොදු හැකියාවක් පිළිබිඹු කරන බවයි. ඒ  පොදු හැකියාව හැඳින්වූයේ බුද්ධියේ පොදු සාධකය හෙවත් g (g = general intelligence; ) ලෙසිනි.

Related image

සංජානන සංකීර්ණතාව (Cognitive complexity)

g සම්බන්ධ වඩාත් මෑතක සිදු කරන ලද ක්‍රියාකාරකවලදී  පෙන්නුම් කර ඇත්තේ,  පිරි සැකසුම් වේගය (processing speed) සහ සාපේක්ෂ තරම (ප්‍රමාණය) ඇතුළුව මොළයෙහි විවිධ ගති ලක්ෂණ සමඟ  g සහසම්බන්ධතාවක් දක්වන බවයි. එහෙත්  g  හෙවත් සාමන්‍ය බුද්ධියෙහි පැවැත්ම දැන් පොදුවේ පිළිගනු ලබන නමුත් එය තවමත් ජෛවවිද්‍යාත්මකව ඉලක්කගත කර ගැනීම දුෂ්කරය. ඉහළ බුද්ධි ඵලයක් (IQ) මොළ ස්කෑන් කිරීමක් මගින් හඳුනා ගත හැක්කක් නොවේ. g වල වෙනස්කම් බාගදා මොළයෙහි තොරතුරු පිරිසැකසුම් කාර්යක්ෂමතාවයෙහි වෙනස්කම් පිළිබිඹු කරනවා විය හැකියි. චර්යාත්මක මට්ටමේ දී,  g යනු මානසික තොරතුරු මෙහෙයවීමෙහි ලා දක්වන කාර්යක්ෂමතාවයි. මෙය ඉගෙනුම, තර්කනය සහ ගැටළු හඳුනා ගැනීම් හා විසඳීම බලගන්වයි. සාරය වශයෙන් ගතහොත්  g සමානකර දැක්විය හැක්කේ සංජානන සංකීර්ණතාව සම්බන්ධයෙන් ක්‍රියා කිරීම පිණිස කෙනෙකු තුළ ඇති හැකියාවට ය.

 

කෙසේ වෙතත්, භාවිතාකරන්නෙකුගේ ඇසින් බලන විට  g එතරම් ප්‍රයෝජනවත් වන්නක් නොවේ. එය කෙනෙකුගේ බුද්ධිය ප්‍රමාණයකරණය කරනු ලබන පුද්ගලගත ‘ලකුණු ප්‍රමාණයක්'(score) නොව බොහෝ දෙනකුගේ ක්‍රියාකාරීත්වයෙහි(කාර්ය සාධනයෙහි)  සමාහාරය තුළින් උපදවා ගනු  ලැබූ සංඛ්‍යාලේඛනමය ගොඩනැඟීමකි. කෙනෙකුට තමන්ගේ පොදු බුද්ධිය ප්‍රමාණ කර දැක්වීමට අවශ්‍ය නම් කළ යුත්තේ තවත් මතභේදාත්මක මිනුමක් එනම් බුද්ධි ඵලය IQ දෙසට නැඹුරු වීමයි.

ස්පියර්මෑන්ගේ අදහස් අභියෝගයට ලක් නොවූවා නොවේ. සමහර විවේචකයන් කියා සිටියේ විභාගවලදී සාමාන්‍යයෙන් පරීක්ෂාවට ලක් නොවන සංජානන හැකියාවන් හසුකරගැනීමට g අපොහොසත් වී ඇති බවයි. උදාහරණයක් ලෙස නීතිඥයෙකුගේ වාචික දක්ෂතාව හෝ ඉංජිනේරුවෙකු සතු අවකාශය පිළිබඳ කුසලතා දැක්විය හැකිය. (ස්පියර්මෑන්ගේ අදහස් පිළිබඳ) වඩාත්ම දැඩි විවේචකයෙකු වූයේ මනෝ විද්‍යාඥ ලුවිස් තර්ස්ටෝන්ය. තර්ස්ටෝන් පෙණී සිටියේ ‘මූලික හකියාවන්’ හත වෙනුවෙනි. කෙසේවෙතත්, දෙදෙනා අනතුරුව එකඟතාවයකට පත් වූහ. මූලික හැකියාවන්  බොහෝ සේ රඳා පවතින්නේ g මත බව තර්ස්ටෝන් පිළිගත්තේය. අනෙක් අතට g වලට අමතරව තවත් බහුවිධ අතිරේක හැකියාවන් තිබෙන බවට ස්පියර්මෑන් එකඟ විය. ත්‍රෛ-ස්තර සිද්ධාන්තය(‘three stratum theory’) වැඩිදියුණු කෙරුනේ මෙම එකඟතාවයෙන්  ඔබ්බට යාමෙනි. මුදුනේ වූයේ තනි, විශ්ව හැකියාව වන g ය. පුළුල් අඩවි අටකින් එකක කාර්ය සාධනය වර්ධනය කරන,  එකිනෙකට වෙනස් ආකලනය බැගින් අඩංගු, එහෙත් සියල්ල  g හා සම්බන්ධ අඩු මට්ටමක හැකියා ඊට පහතින් විය. මීටත් වඩා පටු හැකියාවකින් 64කින් තුන්වෙනි ස්ථරය සමන්විත විය.

හැකියාවන් පිළිබඳ මෙම සැකසුම සංකීර්ණය. එහෙත් g හි ප්‍රමුඛත්වය බුද්ධි ඵල පරීක්ෂණ මගින් පිළිගැනු ලැබේ. සාමාන්‍ය බුද්ධිය පිළිබඳ පහසුවෙන් අවබෝධ කරගත හැකි මිනුමක් ඉන්  ඉදිරිපත් කෙරේ. IQ පරීක්ෂණ සලසුම් කර ඇත්තේ  IQ ලකුණු සාමාන්‍ය සියයක් වන ලෙසනි. පුද්ගලයෝ 75 සිට 125 දක්වා අතර ලකුණු ලබා ගනිති. 130ට හෝ ඊට වැඩියෙන් ගන්නා  අය අතිශය බුද්ධිමත් යයි  සැලකේ.

IQ පරීක්ෂණ පිළිබඳ විවාදාත්මක තත්ත්වය තවදුරටත් පවතී. ඒවා මගින් අර්ථවත් යමක් පරීක්ෂාවට ලක් නොකරන්නේය හෝ සංස්කෘතික වශයෙන් අගතිගාමීය යනුවෙන් ඇතැම් විද්‍යාඥයෝ තර්ක කරති. එහෙත් සියලුම මනෝ විද්‍යාත්මක පරීක්ෂණ අතුරෙන් අතිශය ඉස්තරම් වන්නේ තාක්ෂණික වශයෙන් විදග්ධ ඒවා වන අතට ඒවා බෙහෙවින්ම පුළුල් තත්ත්ව පරීක්ෂණාවන්ට ලක්වේ.  බුද්ධිය යනු කුමක් වුවත් ඔබට ඔබේ බුද්ධිය මැන ගැනීමට අවශ්‍ය නම් ඊට ඉතාම හොඳ විකල්පය  IQ පරීක්ෂණයි.

අප බුද්ධිමත් ඇයි?

Related image

බුද්ධිය පරිණාමය වූයේ කෙසේදැයි පැහැදිලිකිරීම පිණිස අපි දිගින් දිගටම වෙහෙසක් ගන්නෙමු. එක් සිද්ධාන්තයකින් කියැවුණේ සමාජ කණ්ඩායම්, වඩත් බුද්ධිමත් සතුන් වෙනුවෙන් වරණය ලබාදුන් බවයි. නිදසුනක් ලෙස, වඩාත් විශලා කණ්ඩායමක ජීවත් වන සතුන්ගේ මොළ වඩාත් විශාල වීමේ හැකියාවක් ඇත. මීටත් අමතරව, ආහාර හිඟ අවස්ථාවලදී, බුද්ධිමත් බව වඩාත් ප්‍රයෝජනය වන්නට ඇත: වඩාත් අවධානග්‍රාහී පරිසරයන් හි ජීවත්වන පක්ෂී වර්ගයක්, අසල්වැසි වඩාත් සුවපහසු පරිසරයක ඉන්නා පක්ෂීන්ට වඩා ගැටළු විසඳීමේ දී දස්කම් දක්වනවා විය හකියි. ඔවුන් විසින් වැඩියෙන් නව මොළ සෛල නිපදවනු ලබන අතර ඔවුන් වඩාත් යහපත් ස්මරණයකින් යුක්තය.  එහෙත් ගැටළුව වන්නේ, බුද්ධිමත් සතුන් වඩා වැඩි කාලයක් ජීවත්වන්නේ ද හෝ  ජනිතයන් වැඩියෙන් බිහිකරන්නේ ද යන්න අප නොදැනිමයි.

 

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   INTELLIGENCE නම් වන තුන්වැනි පරිච්ඡේදයෙහි  What exactly is intelligence? යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.