ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
ආදීරසායනය(රසවිද්‍යාව), විද්‍යාවක් බවට හැරුණේ කවදාද?
සිද්ධ වුණු දේ ඒ විදිහට සිද්ධවීම ගැන නම් චීස් නිශ්පාදකයන් කොහෙත්ම සතුටු නොවෙන්න ඇති. ඒ වුණාට, ලෝකවාසීන් නම් අදටත් ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මොකක්ද ඔය සිද්ධවුණා කියන්නේ?
ඒ 1869 පෙබරවාරි 17වෙනි දා. රුසියානු රසායන විද්‍යාඥ දිමිත්‍රි මෙන්ඩලීෆ් ශාන්ත පීටර්ස්බර්ග් නුවර චීස් කම්හලක උපදේශන රාජකාරියකට සහභාගී වෙන්න නියමිතවයි හිටියේ. ඒත් ඔහු අන්තිම මොහොතේ ඒ කාර්යය මුලුමනින්ම අවලංගු කරලා ගෙදර නැවතිලා මුලු දවසම ගතකළේ නොනවත්වා කඩදාසිවල කුරුටුගාමිනුයි. හවස් වෙනකොට යුගයේ වඩාතම සාර්ථකම විද්‍යාත්මක සිද්ධාන්තයක් ගැන දළ අදහසක් ඔහුට පහළවෙලා තිබුණා: ඒ තමයි සියලුම මූලද්‍රව්‍ය අඩංගු ආවර්තිතා වගුව(the periodic table of the elements).
විවිධ ද්‍රව්‍යවලට බලපාන වෙනස්වීම් හඳුනාගන්නත්, පාලනය කරන්නත් සියවස් ගණනක් තිස්සේ දරපු උත්සාහයේ කූටප්‍රාප්තියක් හැටියට මෙන්ඩලීෆ්ගේ නව සොයාගැනීම හඳුන්වන්න පුළුවන්. ඉටිපන්දමක් දැල්වෙනකොට මොකද වෙන්නේ? ලුණු කැට ස්වල්පයක් වතුරට එකතු කරලා හැඳිගෑවාම දියවෙන්නේ ඇයි? ඊයම් රත්තරන්වලට හරවන්න පුළුවන්ද? දැන් නම් මේ ප්‍රශ්න අදාල වෙන්නේ සාමාන්‍යෙයන් නීරස, එතරම් ප්‍රභාවක් නැති විෂයක් හැටියට සැලකෙන රසායන විද්‍යාවට බව අපි දන්නවා. නමුත් ඒ විෂයේ ඉතිහාසය නම් කොහෙත්ම නීරස නැහැ.
රසායන විදයාවේ මුල්පියවර තැබීමෙ දී පුරෝගාමී වුණේ පුරාණ ග්‍රීසියේ දාර්ශනිකයන්. ඇරිස්ටෝටල්ගේ මතයට අනුව හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ පස, ගින්දර, වාතය සහ ජලය කියන මූලධාතු හතරේ සංකලනයෙන්. ද්‍රව්‍ය විවිධාකාර ලක්ෂණ පෙන්වන්නේ ඒ ද්‍රව්‍යවල විවිධ ධාතු අඩංගු වෙන අනුපාතය මතයි. උදාහරණයක් කිව්වොත් ලෝහයක් කියන්නේ පසේ සහ ජලයේ සම්මිශ්‍රණයක්. එහෙම නමුත් ලෝහයක් රත් කරනකොට පාංශු ධාතුවෙන් කොටසක් ගින්දරට හැරෙනවා.
ලෝහ සහ වර්ණක
ඇරිස්ටෝටල්ගේ මරණය සිදුවුණේ ක්‍රි.පූ 322දී, ඒ කියන්නේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා ඊජිප්තුව අත්පත් කරගෙන ඇලෙක්සැන්ඩ්‍රියාව කියලා අලුත් අගනුවරක් පිහිටවලා දශකයක් ගෙවුණාට පස්සේ. අත්කම් ශිල්පීන් ඇරිස්ටෝටල්ගේ සංකල්පය ඔස්සේ ඉදිරියට යමින් ලෝහ කර්මාන්තය සහ සායම් නිශ්පාදනයේ යම් යම් අත්හදා බැලීම් වෙත යොමු වුණා. ඔවුන් ඒ ශිල්පය හඳුන්වන්න යොදාගත්තෙ “පූට්ටු කිරීම” කියන අර්ථය දෙන කයිමෙයියා (khymeia) කියන පදය. පසුකාලීනව ඒ සම්ප්‍රදාය ඔවුන්ගෙන් ඉස්ලාමීය විද්‍යාර්ථීන්ට උරුම වුණා.. ඔවුන් එය හැඳින්වුවේ අල් කිමියා (al-khimya) නමින්. ඔවුන් වෙතින් ඒ දැනුම මධ්‍යකාලීන යුරෝපීයයන් වෙත ළඟා වුණා. යුරෝපීය ඉන්ද්‍රජාලිකයන් එය ගූඪවාදය සමග මුසුකරලා ඇල්කෙමි (alchemy – ආදීරසායනය හෙවත් රසවිද්‍යාව) හෝ හුදෙක් කෛමී නමින් හඳුන්වන්න ගත්තා.
රසවිද්‍යාඥයන්ගේ (අල්චෙමිස්ට්ස්) ප්‍රධානම ඉලක්කය ‘පාරස මණිය’ හෙවත් ‘දාර්ශනිකයාගේ ගල'(the philosopher’s stone) කියන කල්පිත ලෝහය නිශ්පාදනය කිරීමයි. ඕනෑම ලෝහයක් රන් රිදීවලට හරවන්න, ලෙඩරෝග සුවපත් කරවන්න, සදා අමරණීය වෙන්න අවස්ථාව උදාකරවන්න ඊට හැකියාව ඇතැයි විශ්වාස කෙරුණා. මේ ශිල්පීන් ද්‍රව්‍ය හැසිරවීමට දැක්වූ ශිල්පීය හැකියාව බෙහෙත්, වීදුරු, වෙඩිබෙහෙත් වගේ අලුත් දේවල් නිර්මාණය කරන්න යොදාගත්තා.
The philosopher’s stone
එසේනමුත් රසවිද්‍යාව නියම විද්‍යාවක් නෙවෙයි. 1661දී රොබට් බොයිල් පල කළ The Sceptical Chymis (රසවිද්‍යාවේ විචිකිච්ඡාව) කියන කෘතිය එවකට පැවති මතවාද අභියෝගයට ලක් කළා. මේ කෘතියෙන් රසවිද්‍යාව ඒ යුගයේ බිහිවුණු විද්‍යාත්මක ක්‍රමවේදයන් ඔස්සේ විශ්ලේෂණයට ලක් කළා. ද්‍රව්‍ය ධාතු හතරකින් නිර්මාණයවී ඇති බව අනුමාන කිරීම ප්‍රමාණවත් නැති බවටත්, එය විද්‍යාත්මකව ඔප්පු කළයුතු බවටත් බොයිල් තර්ක කළා.
මූලද්‍රව්‍ය දමනය කළ හැටි
බොයිල්ගේ තර්කයට පිළිතුරු ඉදිරිපත් කළේ ඇන්තනී ලැවොයිෂියර් කියන ප්‍රංශ ජාතික වංශාධිපතියා. ඔහු බොයිල්ගේ අභියෝගය බාරගෙන මූලද්‍රව්‍ය සොයා යන්න පටන්ගත්තා. ඔහු මූලද්‍රව්‍ය යන්න නිර්වචනය කළේ තවදුරටත් බෙදා වෙන්කරන්න බැරි වස්තූන් හැටියටයි. 1789දී ඔහු , ‘මූලද්‍රව්‍ය’ 33ක් සහිත ලයිස්තුවක් ප්‍රකාශයට පත් කළා. ඒවා අතරින් බහුතරයක්ම අපි වර්තමානයේදීත් ඇත්තටම මූලද්‍රව්‍ය හැටියට පිළිගන්නවා. වැඩි කලක් ගෙවෙන්නට මත්තෙන් තවත් අලුත් මූලද්‍රව්‍ය සොයාගැනුණා. හැම මූලද්‍රව්‍යකටම අනන්‍ය වූ පරමාණු ඇති බවටත්, මූලද්‍රව්‍ය එකිනෙක සමග සම්බන්ධ වීමෙන් රසායනික සංයෝග හටගන්නා බවටත් ඉදිරිපත් වුණු මත ද ජනප්‍රිය වුණා.
ආවර්තිතා වගුව තවම නිම වුණේ නැහනේ? අපි හෙටත්(3 වැනි ඉරිදා) මුණ ගැහිලා ආවර්තිතා වගුව වර්තමානයේ දැක්වෙන අන්දමට ආ හැටි ගැන කියන රසවත් කතාව කියවමු.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHEN DID ALCHEMY BECOME SCIENCE? පරිච්ඡේදය ආශ්‍රයෙනි.