ළමා ලිංගික අපයෝජනය: ලිංගික අපචාරයට ළමුන් හසුකර ගැනීම(Grooming)

Posted by

මුළු ලොව පුරා සෑම ගැහැණු ළමයි දහ දෙනකුගෙන් දෙදෙනෙක්ද, සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට භාජනය වී ඇත. මෙම සංඛ්‍යාලේඛන සමස්ත ලෝකය වෙනුවෙන් නිසා ඒ ඒ රටවල මෙම තත්ත්වය සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත් ලංකාවේ ළමුන්ද ලිංගිකව අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන වලින් දැක්වෙන්නේ ඇත්තටම ලිංගික අපයෝජනය පිළිබඳව වාර්තාවන අවස්ථාවන් පමණි. ලැජ්ජාව, බිය, සමාජ ආකල්ප, නොදැනුවත්කම ආදී විවිධ හේතූන් නිසා බොහෝමයක් අවස්ථා වාර්තා නොවීම මගහැරී යනවා විය හැකියි. එහෙයින් මේ ගැන සැලකීමේදි ප්‍රශ්නයේ මහත්තාව(magnitude) ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. අදින් ඇරඹෙන මේ ලිපි පෙළ මඟින් අප උත්සාහ කරන්නේ මෙම උවදුරට ලක්විය හැකි (හෝ ලක්වූ) කොටස් වෙත සෘජුවමත් එමෙන්ම දෙමාපිය වැඩිහිටි ආදී අනෙකුත් කොට්ඨාශත් ආමන්ත්‍රණය කිරීමටයි.

 

ලිංගික අපචාරයට ළමුන් හසුකර ගැනීම(Grooming)

මෙයින් අදහස් කෙරෙන්නේ, යම් කාලයක් ගත වීමෙන් පසුව ලිංගිකව අපචාරයට යොමු කරවා ගැනීමේ අරමුණින් (තරුණ වැඩිහිටියන් ඇතුළුව) ළමුන් සමග මිත්‍ර සමඳතා ඇති කර ගැනීමයි. ලංකාවට අදාළව මෙම ප්‍රශ්නයෙහි උග්‍රතාව ගැන හරිහැටි කියාපාන සංඛ්‍යා ලේඛන සොයා ගැනීම අසීරු වුණත්,  ඇතැම් රටවල තරමටම උග්‍ර නැතැයි කෙනෙකුට අනුමාන කළ හැකි වුණත්, මේ රටෙහි ද ළමුන් මෙවැනි හසුකර ගැනීම් සඳහා ඇති ඉඩ කඩ හෙවත් විභවය සුළු නැත.(මෙහි සඳහන් ඇතැම් කරුණු  අන්තර් ජාලය ඔස්සේ ‘හසුකරගැනීමට’ ද අදාල විය හකිය)

අපචාරයට හසුකර ගැනීමේ ක්‍රියාදමය

සාමාන්‍යයන් මෙම ක්‍රියාදාමය සඳහා සති 3 ක සිට මාස 8ක් පමණ දක්වා කාලයක් වැය වෙන බව හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් අපරාධකරුගේ(offender) අභිප්‍රාය කුමක් ද යන්න සහ එමෙන්ම ළමයාගේ ප්‍රතිචාර මත මෙම කාලසීමාව රඳා පවතී. මින් අදහස් කෙරෙන්නේ ඇතැම් ළමුන් හසුකර ගැනීම ඉක්මනින් සිදුවන අතර තවත් විටෙක තරමක කලක් ගත විය හැකි බවයි. අන්තර්ජාලය ඔස්සේ මෙය සිදුවනවිට ඇතැම් විට දරුවා හසුකර ගැනීමට  තැත් කරන තැනැත්තා වෙනත් රටක අයෙකු විය හැකියි. රටින් පිට නිසා තමනට කායික හානියක් නොවෙතැයි විශ්වාසයෙන් ළමයින් මාර්ගගතව(online) එවැන්නන් හා ඇසුරු පවත්වාගෙන යා හැකිය. එහෙත්, එවැනි අය ජාලගතව එක්කෝ දරුවා සබඳතා පවත්වන තම රටේ වෙනත් ළමයෙකු හසුකර ගැනීමට හෝ පිටරට සිටින මෙවන් ක්‍රියාවන්ට ඇබ්බැහිව සිටින්නන්ට දරුවා හසුකර දීමටද ක්‍රියා කළ හැකිය. එහෙයින් අන්තර්ජාල සම්බන්ධවලදී රටින් බැහැරව සිටීම ආරක්ෂාව සහතික කරන්නක් ලෙස සැලකිය නොහේ. ඇරත් අරමුණු අනුව, ළමයා කායික වශයෙන් කෙසේ වෙතත් වෙනත් ආකාරයේ ලිංගික අපචාරයන්ට යොදා ගැනීමේ අවදානම බෙහෙවින් පවතී. මේ ආකාරයේ එක් වරදකරුවෙකුට, (හසුකර ගැනීමේ  ක්‍රියාවලියේ විවිධ මට්ටම්වල පසුවන)  200කට වැඩි ළමුන් පිරිසක් සමග එකවර සබඳතා පවත්වාගෙන යා හැකිය.

හසුකර ගැනීමේ විවිධ අවධි

දරුවා (ගොදුර) ඉලක්ක කරගැනීම

වරදකරුවන් නිරතුරුව සොයමින් සිටින්නේ ගොදුරු බවට පත් කර ගැනීමේ විභවයක් සහිත ළමුන්ය. මෙවැනි ළමුන් බොහෝ විට පවුල් අර්බුද පවතින (දෙමාපියන් අතර හෝ වෙනත් ඥාතීන් අතර) එමෙන්ම දුප්පත්, යම් අග හිඟකමින් හෝ අඩුපාඩුවලින් පෙළෙන පවුල් අතරින් සොයා ගැනීම පහසුය. බොහෝවිට ආත්ම විශ්වාසය හීන, හිත් කළකිරීමට පත්, ආදරය සෙනෙහස අහිමි ආදී වශයෙන් භෞතික හෝ මානසික අවශ්‍යතාවලින් පෙළෙන ළමුන්ද විය හැකිය. ළමයෙකු සමග කතා බහ කිරීමෙන් දැකීමෙන් හෝ සමාජ මාධ්‍යවල ළමයා පළකරන අදහස්වලින් ‘ගොදුරු’ හඳුනාගැනීමට වරදකරන අය සමත් වෙති.

ළමයාගේ විශ්වාසය දිනා ගැනීම

අපරාධකරුවන් ළමයාගේ අවශ්‍යතා සූක්ෂමව සලකා බලමින් බොහෝ විට (දරුවාගේ සහ/හෝ ඇතම්විට පවුලේ) ප්‍රශ්නවලට පිළියම් සැපයීමට ඉදිරිපත් වෙති. ඔවුන් ළමයාට යහපත් උපදෙස් දීමට ඉදිරිපත්වනවා විය හැකිය. එමෙන්ම ළමයා ගැන සැබැවින්ම උනන්දුවක් දක්වන බව පෙන්වනවා විය හැකිය. කෙසේ හෝ තමන් කෙරෙහි දරුවාගේ විශ්වාසය ගොඩ නගා ගැනීමට ඔවුහු ක්‍රියා කරති. (ගොදුරු කරගන්නා) ළමයාගේ අවශ්‍යතා සපුරාලීම ඔවුන්ගේ මූලික පියවරයි. ලිංගික අපචාරයන්ට පෙළඹෙන අය ළමයාට කරුණාව දයාව, ආදරය සත්කාරය සැලකිල්ල මෙන්ම මුදල් ඇදුම් පැළදුම් හා වෙනත් තෑගි බෝග පිරිනමයි. තමන් දරුවා ගැන ඇත්තෙන්ම වෙහෙසෙන අයෙකු බව ක්‍රමයෙන් ළමයාට සහ බොහෝ විට දරුවාගේ මාපිය භාරකරුවන්ට ඒත්තු ගන්වන අන්දමට මෙය ඉටු කිරීමට එම පුද්ගලයෝ සමත් වෙති. දරුවාගේ දෘෂ්ටිකෝණයෙන් සළකන විට එම තැනැත්තා,  තම ලෝකයේ වැදගත් තැනක් හිමි කර ගන්නා තැනැත්තෙක් හෝ තැනැත්තියක ලෙස දරුවාට හැඟී යයි.

අදාළ රූපය

හුදකලා කිරීම

අපරාධකරු මෙම අවස්ථාව වන විට දරුවාගේ (සහ බොහෝ විට දෙමාපිය, භාරකාර ආදීන් ගේ) විශ්වාසය දිනාගෙන ඇති අතර දරුවාගේ භෞතික මානසික අවශ්‍යතා ඉටුකිරීම නිසා වරදකරුවා වෙත ළමයා නතුවී හමාරය. මෙම අවධියේ සිදුකෙරෙන්නේ, අපරාධකරු එම විශ්වාසය හා හොඳ හිත මත පදනම්ව දරුවා තනිපංගලමේ හමුවීම නැතිනම් දරුවා හුදකලා කිරිම සඳහා මාන බලමින් ඊට උපක්‍රම යෙදීමයි.  මෙම හමුවීම නිවසෙහි, කාර්යාලයක, හෝටලයක, උද්‍යානයක, හෝ වෙනත් නිස්කලංක තැනක් විය හැකිය. මේ හුදකලා කිරීමේ අවධියේ වැඩි යමක් සිද්ධ නොවන්නට පුළුවන. වරදකරුවාගේ අරමුණ වන්නේ තනි පංගලමේ එකට සිටීම දරුවාට හුරුපුරුදු දෙයක් බවට පත් කිරීම, වරදක් යයි නොසිතන දෙයක් බවට පත්කිරීම සහ සැම විටම දරුවා ගැන දැඩි සැලකිල්ලකින් සිටින  බව පෙන්වීමයි. බොහෝ විට මේ අවධියේ දී දෙමාපිය සහ/හෝ වෙනත් වැඩිහිටියෝ ද මේ චර්යාවෙහි වරදක් නොදකිති.

 

අපචාරයට ලක්කිරීම

මේ වනවිට වරදකරු දරුවාගේ ඕනෑ එපාකම්, දරුවාගේ දුර්වලකම්, දරුවා කැමති දේ ආදී වශයෙන් දරුවා ගැන මනා වැටහීමකින් යුක්තය. එහෙයින් එතරම් බලකිරීමක් නොමැතිව වාගේ දරුවා සමග ලිංගිකව  සම්බන්ධවීමට වරදකරු සමත්වෙයි. ඇතැම් විට මෙම අවධිය උදාවන තුරු නොඉඳ ඉහළ දැක් වූ දරුවාගේ විශ්වාසය දිනා ගැනීමේ අවධියේ සිටි ඕනෑම අවස්ථාවක දරුවා ලිංගිකව අපචාරයේ යෙදවීම සිදු විය හැකි නමුත් බොහෝ විට ඉවසිල්ලෙන් ක්‍රියාකිරීමට වැරදිකරුවෝ වගබලා ගනිති. විශේෂයෙන්ම කාලයක් තිස්සේ ලිංගික ඇසුර පවත්වා ගෙන යාමට අදහස කරන අපරාධකරුවා එසේ ඉවසිල්ලෙන් ක්‍රියා කරයි.  දැන් දරුවා කැමැත්තෙන්ම හෝ යම් විරෝධතාවක් සහිතව හෝ අපරාධකරුගේ ග්‍රහණයට හසු වී හමාරය.

අදාළ රූපය

පාලනයට නතුකර ගැනීම

දරුවා මුහුණපාන අසීරුම අවධිය මෙයයි. මේ වන විට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන් අපචාරයකට ලක් වූ බව ළමයා දනියි. අපරාධකරුට දැන් අවශ්‍ය, දරුවා නිහඬ කිරීමයි. ඒ සඳහා ඒ අය යොදගන්නා උපක්‍රම අතර තර්ජනය හෝ බිය ගැන්වීම, අපචාරය ළමයාගේ කැමැත්තෙන් සිදු වූ බව බොහෝ අයට දන්වන බව කීම, (දරුවාගේ) තව තවත් ඕනෑ එපාකම් පිරිමැසීම, දරුවාට බිය වීමට හෝ කරදරයක පැටලීමට හේතු නැති බව එත්තු ගැන්වීම දැක්විය හැකිය. ඇතැම් විට අගහිඟකම් නිසා මෙවැනි තත්ත්වයක් නොදුටුවා සේ සිටීමට ඇතැම් වැඩිහිටියන් පෙළඹීමට පුළුවන. කෙසේ වෙතත් බුද්ධිමත් තීරණයක් ගැනීමට නොහැකි තරමට දරුවා බියපත්ව, ව්‍යාකූල බවට සහ පීඩාවට පත්ව සිටියි. විමසිල්ලෙන් හා තීක්ෂණ බුද්ධියෙන් ක්‍රියා කරන්නේ නම් දරුවා සමග සිටින වෙනත් අයට යම් යම් ලක්ෂණ හඳුනා ගත හකිය(මේ ලිපි පෙලේ  පසුගිය සතියේ ලිපිය බලන්න). මේ අවධිය වන විට බොහෝ වින්දිතයන්,  අපරාධකරුවාට මුළුමනින්ම නතු වී හමාරය. ළමයා නැවත නැවත අපචාරයට යෙදවීමට ද එය රුකලකි.

 

eschooltoday හි පළවන Your basic guide to sexual child abuse ලිපියෙහි Grooming  කොටස ඇසුරෙනි. 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.