ආගන්තුක බොරිසොව් ධුමකේතුවත් අපේ ධුමකේතු වගේමයි?

Posted by

ආගන්තුක අන්තස්තාරීය ධුමකේතුවත් අපේ ධුමකේතු වගේමයි?

වෙනත් සෞර ග්‍රහ මණ්ඩලයකින් පැමිණෙන අභ්‍යාවකාශ වස්තුවක් පිළිබඳ කටකතා පැතිර යන්නට පටන් ගත්තේ පසුගිය සැප්තැම්බරයේ මුල සිටයි. අන්තස්තාරීය හෙවත් වෙනත් තාරකා මණ්ඩලයකින් (සෞර ග්‍රහ මණ්ඩලයකින්) මෙතෙක් පැමිණ දෙවැනි ආගන්තුක වස්තුව ලෙස එම අභ්‍යාවකාශ වස්තුවේ තරාතිරම දැන් සනාථ වී හමාරයි. එය ඇත්තටම ධුම කේතුවක්. අන්තස්තාරීය ධුම කේතුවක් අපේ සෞර ග්‍රහමණ්ඩලයේ චාරිකාවකට එන ප්‍රථම අවස්ථාව මෙයයි. මීට පෙර මෙහි පැමිණි අන්තස්තාරිය වස්තුව ග්‍රහකයක්(පහත විස්තරය බලන්න).

මෙම සංයුක්ත අනුරූපයෙන් දක්වත්තේ බොරිසොව් අපේ සෞරග්‍රහ මණ්ඩලය වෙත ඇදී එන ආකාරයයි.

නිලවශයෙන් 2I/බොරිසොව් (2I/Borisov) යනුවෙන් නම් කර ඇති මෙම වස්තුව මුලින්ම දැක තිබෙන්නේ ක්‍රිමියාවේ  තාරකා විද්‍යාඥයෙකු වන ගෙනඩි බොරිසොව්ය. ඔහු විසින්ම තනාගනු ලැබූ 0.65 මීටර ටෙලස්කෝපයක ආධාරයෙනුයි ඔහු මේ සොයා ගැනීම සිදු කර ඇත්තේ.  මේ වස්තුවේ පරාචක්‍රය(trajectory) අනුව එය වෙනත් සෞර ග්‍රහ මණ්ඩලයකින් පැමිණි එකක්ද යන්න ගැන මුලදී යම් සැකයක් තිබුණි. වෙනත් තාරකා මණ්ඩලයකින් පැමිණි මුල් ආකාශ වස්තුව තමයි 2017 දී සොයාගනු ලැබූ ‘අවුමුවාමුවා'(Oumuamua) ග්‍රහකය.

අදාළ රූපය

‘අවුමුවාමුවා'(Oumuamua) ග්‍රහකය

“අවුමුවාමුවා ග්‍රහකයේ  තරම් මේ නව වස්තුව(කේන්ද්‍ර කරගෙන කක්ෂගත වස්තුවේ ගුරුත්වාකර්ෂණයෙන් මිදීමට තරම වේගයකින් යුතු) බහුවලයික පාරාචක්‍රයක් (hyperbolic trajectory) ප්‍රදර්ශනය කරේ නැහැ. ඒ නිසා සැකයක් මතුවුණා” යයි මැනෝවා හී,  හවායි විශ්වවිද්යාලයේ රොබට් වෙරික් කියා සිටී.  පිටත සෞර මණ්ඩලයකින් පැමිණි ප්‍රථම ආගන්තුක වස්තුව වන  අවුමුවාමුවා  සොයා ගැනු ලැබුවේ ඔහු විසිනි. සෞර ග්‍රහ මණ්ඩල ගතිකයන් ගැන ක්‍රියා කරන නාසා කන්ඩායමේ ගණනය කිරීම් අනුව බොරිසොව් ධුමකේතුව අපගේ  සෞර ග්‍රහ මණ්ඩලයෙන් බාහිරව පැමිණි එකක් බව දැන් සනාථ කර ඇත.

ලබන මස, එනම් දෙසැම්බර් 7 දා බොරියොව් අපට ආසන්නම ලක්ෂ්‍යක ස්ථානගත වෙයි. එම ආසන්නම තැන සූර්යයා සහ පෘථිවිය අතර ඇති දුර මෙන් දෙගුණයකි. අන්තස්තාරිය වස්තුව  හොඳින් නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථා සඳහා තාරකා විද්යාඥයෝ ලහිලහියේ  සූදානම් වෙමින් සිටිති. අවුමුවාමුවා මෙන් නොව බොරිසොව් ධුමකේතුව සොයා ගනු ලැබුවේ සෞර ග්‍රහ මණ්ඩලයෙන් බැහැරව යද්දී නොව එය වෙත ළඟා වෙද්දීය. මේ නිසා එය අධ්‍යයනය කිරීමට විද්යාඥයන්ට වැඩිපුර කාලයක් — බාගවිට වසරක් පමණ කාලයක් — හිමිවේ.

මෙම ධුමකේතුවෙහි තවත් විශේෂත්වයක් වනුයේ ඉන් අභ්‍යවකාශයට ධුවිලි සහ වායු පිට කරන බවක් පෙනී යාමයි. එක්සත් රාජධානියේ බෙල්ෆාස්ට් විශ්වවිද්යාලයේ ඇලන් ෆිට්ස් සිමන් ප්‍රමුඛ තාරකා විද්යාඥයෝ  ලා පැල්මා දූපතේ පිහිටි විලියම් හර්ෂල් දුරේක්ෂය යොදා ගනිමින් ධුමකේතුවේ වායු ඇදී යන මග ගැන සොයා බැලුහ. එහිදී පෙනී ගියේ ඉන් පිටවන වායු අතරේ සයනයිඩ් වායුව අඩංගු බවයි.  අපට මෙය අපේ සෞර ග්රහ මණ්ඩල ධූමකේතුවල ද දැක ගත හැකියි. ඉන් හැඟවෙන්නේ ඒවා සෑදුනු ආකාරයටම බොරියොව් ධුමකේතුව ද සෑදෙන්නට ඇති බවයි. මේ කාරණාව වැදගත්ය. මන්ද අපේ සෞර ග්‍රහ මණ්ඩලය සෙසු තාරකා මණ්ඩල මෙන් සාමාන්‍ය (ඒකකෘතික) එකක් ද නැතිනම් සුවිශේෂි එකක් ද යන වග ගැන තාරකා විද්‍යාඥයන් වැඩිදුරටත් කරුණු සොයමින් සිටින නිසාවෙනි.

ඉදිරි සති කිහිපය තුළ දී ධූමකේතුව සූර්යයා වෙත ළංවත්ම දියවී යාම පටන් ගන්නේ අපගේ නිරීක්ෂණ පහසු කරමින් (ධූමකේතුවේ) අභ්‍යන්තර ද්‍රව්‍යයන් වඩ වඩාත් මුදාහරිමිනි. අපට වැදගත්වන තවත් ප්‍රශ්නයකට එමගින් පිළිතුරක් ලබා ගැනීමට හැකිවේ. එනම්,  ධුම කේතුවෙහි, ජල සහ කාබන් මොනොක්සයිඩ් තුලනයයි. “සාමාන්‍යෙයෙන් අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඒකාකෘති ධූමකේතුවල සියයට 75ක් ජලය සහ  සියයට 20කට ආසන්න ප්‍රමාණයක් කාබන් මොනොක්සයිඩ් සහ සෙස්ස වැඩිපුරම කාබන් ඩයොක්සයිඩ්ය” යි බෙල්ජියමේ විශ්වවිද්‍යාලයේ එමෑනුවෙල්  ජෙහින් කියයි. බොරියොව් ධූමකේතුවේ සංයුතිය ද එබන්දක් දැයි සොයා බැලීම පිණිස ඔහු චිලියේ සහ මොරොක්කෝවේ ඇති TRAPPIST දුරෙක්ෂ යොදා ගැනීමට අදස් කරයි.

අදාළ රූපය

TRAnsiting Planets and PlanetesImals Small Telescope

බොරිසොව්හි හැඩය ගැන අදහසක් ද අපට ඉක්මනින් ලබාගත හැකිවනු ඇත. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය ඇතුළු දුරේක්ෂ ගණනාවක්ම ඉදිරි සති කිහිපය තුළ බොරිසොව් වෙත එල්ල වී තිබෙනු ඇත. ඒ අනුව අපට එහි ප්‍රමාණය මෙන්ම සූර්යාලෝකය පරාවර්තනය වන අන්දමට අනුව එහි හැඩටයද නිර්ණය කර ගත හැකි වනු ඇත.  දැනට තිබෙන හොඳම තක්සේරුව අනුව මෙම ධුමකේතුව මීටර් 700 සිට කිලෝමීටර් 3ක් අතර ප්‍රමාණයක පළලින් යුක්තය.

මේ ධුමකේතුව කොයිබ සිට මෙහි පැමිණියේ දැයි නිශ්චිතව කීමට නොහැකි වනු ඇතැයි විද්‍යාඥයන් සලකන අතර එහි කාබන්වල සමස්ථානික මැන බැලීමෙන් (isotopes of carbon) මන්දාකිණියේ කොයි කොටසින් එය මෙහි ආවේද යන්න කිවහැකි බව ඇතැමුන්ගේ අදහසයි. එක්සත් රාජධානියේ පිහිටි අන්තස්තාරීය අධ්‍යයනය සඳහා වූ මුල පිරීම ආයතනයේ(Initiative for Interstellar Studies) ඇන්ඩ්‍රියාස් හෙයින් සහ සගයෝ බොරිසොව් වෙත අභ්‍යාවකාශ යානයක් යවන ආකාරය ගැන සොයා බලමින්  සිටිති. අප මෙයට කලින් ද  ධූම කේතු වෙත යානා යවා ඇති නිසා එය එතරම් ආශ්චර්යයක් නොවේ. කැටපෝලයක මෙන් සූර්යයාත් ඇතැම් විට බ්‍රහස්පතිත් පාදක කරගෙන යානාවක් විදීමයි මින් අදහස් කෙරෙන්නේ. මෙය සිදු කළ හැක්කේ ග්‍රහලෝක එක්තරා අන්දමකට පිහිටන විටක පමණි. නාසා දැනට තනමින් සිටින අභ්‍යවකාශ දියත් කිරීමේ වැඩ සටහනහි විශාල රොකට්ටුවක් යොදා ගෙන 2030 දී යානය යැව්වොත් 2045 වන විට බොරිසොව් වෙත ළඟා වීමට හැකිවනු ඇත. බොරිසොව් ධූම කේතුව අපේ මානයෙන් නික්ම යාමට පෙර හැකිතාක් තොරතුරු ලබා ගැනීමට විද්‍යාඥයෝ උත්සුක වෙති. ඒ අනුව කිව හැක්කේ වෙන කවරදාකටවත් නොමැති අයුරින් ආගන්තුක සෞර ග්‍රහ මණ්ඩලයකට වඩාත් හොඳින්  එබී බලන්නට බොරිවොව් නිසා අපට අවස්ථාව ලැබී ඇති බවයි.

New Scientist International (12th October, 2019) සඟරාවේ පළවූ We can cisit comet from alien star යන ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.