ප්‍රකට විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට 2016 දී පළ කළ ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක් තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ. සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.
යථාර්ථය මේ තරම් ගුප්ත බව අපට තේරුම්ගියේ කොහොමද?
ඇල්බට් අයින්ස්ටයින් පෙන්වා දුන් අන්දමට, ආලෝකය අභ්‍යාවකාශය හරහා ගමන් කරන ධාරාවක් බවට එවකට පැවතුණු සාම්ප්‍රදායික මතය බැහැර කර, ඒ වෙනුවට ආලෝකය එක පදාර්ථයක කොන්ටම් එකක ශක්ති ප්‍රමාණයක් අඩංගු “කොන්ටම් පදාර්ථවලින්” සමන්විත ධාරාවක් බව පිළිගන්න සිදුවෙනවා යයි ඊයේ ලිපියේ අග සඳහන් වුණා. අද එතැන් සිට…
එහාටත් නැහැ මෙහාටත් නැහැ
ආලෝකය තරංගයක් බව පිළිගන්න අනන්තවත් සාක්ෂි තියෙද්දී, මේ අදහස නම් භෞතික විද්‍යාඥයන්ට දිරවාගන්න පහසු වුණේ නැහැ. සිහින් හිඩැස් දෙකක් අතරින් ආලෝක ධාරාවක් යැව්වාම ඇතිවෙන රටාව පොකුණක ඇතිවෙන දිය රැළිවලට සමාන වීමම ආලෝකය තරංගයක් බව පෙන්වන්න ප්‍රබලම සාක්ෂියක්. මේ පටලැවිල්ල ලිහාගන්න නම් තිබුණේ එකම එක විසඳුමයි: ඒ සාමාන්‍ය බුද්ධිය කියන දේ ඉවත දමලා ආලෝකය එකවරම පදාර්ථයක් හා තරංගයක් හැටියට ක්‍රියාකරන බව පිළිගැනීමයි.
එක්දහස් නවසිය විසි ගණන් වෙද්දී මේ තරංග අංශු ද්විත්වතාව (wave–particle duality) තහවුරු කරන සාක්ෂි හැම අතින්ම ගලා ආවා. පැරණි පරපුරේ භෞතික විද්‍යාඥයන්ට කරබාගෙන ඉන්න සිද්ධ වුණා. ඒත් දිරවාගන්න අපහසුම ආරංචිය දැනගන්න ලැබුණේ ඊටත් පස්සේ.
තරංග අංශු ද්විත්වතාව නිසා ලෝකය ගැන අපට රැස් කළ හැකි තොරතුරුවලට මූලික සීමාවක් පැනවෙන බව 1927 වසරේදී ජර්මානු න්‍යායාචාර්ය වර්නර් හයිසන්බර්ග්ට (Werner Heisenberg) අවබෝධ වුණා. උදාහරණයක් දක්වනවා නම් අපි අංශුවක පිහිටීම වඩාත් නිවැරදිව මනින තරමට එහි ගම්‍යතාව (momentum) ගණනය කිරීම දුෂ්කර වෙනවා. මොකද කොන්ටම් ලෝකයේ පදාර්ථ ක්‍රියාකරන්නේ ස්නූකර් (බිලියඩ් ක්‍රීඩාවක්) ක්‍රීඩාකරන්න යොදාගන්න බෝල වගේ නෙවෙයි; මේ පදාර්ථ පිහිටීම සහ ගම්‍යතාව කියන්නේ වෙනස් ලක්ෂණ දෙකක් නොවෙයි, එකිනෙකට බැඳුණු ගුණාංග දෙකක්.
හයිසන්බර්ග්ගේ අවිනිශ්චිතතා මූලධර්මය කොන්ටම් සිද්ධාන්ථයේ විවාදාපන්න අනාවැකි අතරින් එකක්. ඔහුගේ මතවාද වැඩිදියුණු වෙද්දී එදිනෙදා යථාර්ථයෙන් තවතවත් දුරස් වුණා.
විකාරරූපී රඟහලක්
හයිසන්බර්ග්ගේ ඔස්ට්‍රියානු ජාතික ප්‍රතිවාදියා වූ අර්වින් ශ්‍රෝදින්ගර්ගේ (Erwin Schrödinger) මතය වැඩි පිරිසක් අතර ජනප්‍රිය වුණා. අංශුවක් අවකාශයේ ස්ථිර ලක්ෂ්‍යක් මත පිහිටන්නේ නැති බව ඔහු පිළිගත්තා. ඒ වෙනුවට තිබෙන හොඳම විකල්පය. ඒ අංශුව පිහිටිය හැකි ලක්ෂ්‍යයන් සියල්ල සලකා බලා ඒ ඒ ස්ථානවල අංශුව පිහිටිය හැකි සම්භාවිතාව ගණනය කිරීමයි. ඒ තර්කයට අනුව අංශුවක් එක ලක්ෂ්‍යක පිහිටන්නේ කවුරුන් හෝ ඒ ලක්ෂ්‍ය සෙවීමට වෙහෙසනවා නම් පමණයි.
නිරීක්ෂණය කරද්දී බිඳ වැටෙනතුරු අංශුවක ස්වරූප කිහිපයක් අධිස්ථාපනය (superposition) වීම පිළිබඳ සංකල්පය හයිසන්බර්ග් සහ නීල්ස් බෝර් හඳුන්වාදුන් “කොන්ටම් යාන්ත්‍රවිද්‍යාව පිළිබඳ කෝපන්හේගන් විවරණයයට” (Copenhagen Interpretation of quantum mechanics) දායක වුණු මූලික සංකල්ප අතරින් එකක්. මේ මතවාදය තවත් වැදගත්, නමුත් මුලුමනින්ම විකාරරූපී සංකල්පයකට මග පෑදුවා. ඒ පටලැවීම පිළිබඳ සංකල්පයෙන් එකිනෙකට විශාල දුරකින් පිහිටන අංශු දෙකක අධිස්ථාපනය වීමක් ගැන කියවෙනවා.
මේ පරස්පර ස්වභාවය කොන්ටම් සංකල්පය බිහිකළ පුරෝගාමීන්ට ඇති කළ බලපෑම බරපතලයි. බෝර්ගේම වචනවලින් කියනවා නම් “කොන්ටම් න්‍යාය මුල්වරට හදාරද්දී අන්දමන්ද නොවුණු අය එය නිසි ආකාරයෙන් අවබෝධ කරගත්තා වෙන්න බැහැ.”
කෙසේවෙතත්, ඒ අවිනිශ්චිතතා, ගරු ගාම්භීර අන්දමට සනාථ කරන්න විද්‍යාඥයන් සමත් වුණා. නවීන පර්යේෂණ මගින් සිත කැලඹූ අනාවැකි රැසක් තහවුරු වුණා. නමුත්, විෂය ගැන අවබෝධය මහා පරිමාණයෙන් වැඩි දියුණු වුණත්, අපට දැනෙන පටලැවිලි සහගත බව නම් අදටත් වෙනස් වෙලා නැහැ. තවත් වලවල් නැතිනම් හිඩැස් ඉතිරි වී තිබුණත් ඒවා ගොඩකරන්න නම් අප සදහටම වුණත් අසමත් වෙන්නත් පුළුවන්.
පෙට්ටගමට ලූ බළලා
කොන්ටම් විද්‍යාවේ විකාරරූපී ස්වභාවය සාර්ථකව පැහැදිලි කිරීම නිසා කොන්ටම් යාන්ත්‍රවිද්‍යාව පිළිබඳ කොප්හේගන් විවරණය 1920 දශකයේදී අතිශයින් ජනප්‍රිය වුණත් ඔවුන්ගේ පැහැදිලි කිරීම් ගැන හැමදෙනාම සතුටට පත් වුණේ නැහැ. අර්වින් ශ්‍රෝදින්ගර් මෙහි අවිනිශ්චිතතාව ගැන අවධානය යොමු කරන්න යෝජනා කළේ ප්‍රකට, නමුත් වැරදි වැටහීමක් ඇති කළ හැකි කාල්පනික පර්යේෂණයක්.
පුපුරා යාමට සියයට පනහක සම්භාවිතාවක් ඇති, විෂක් අඩංගු වයලයක්(කුප්පියක්) සමග බළලෙක්ව පෙට්ටගමකට දාලා පියන වැහුවා කියලා හිතමු. කොන්ටම් යාන්ත්‍ර විද්‍යාවට අනුව පෙට්ටිය අරින මොහොත දක්වා ප්‍රතිඵල දෙකම ඇතිවෙන්නට තිබෙන සම්භාවිතාවය සමානයි. කවුරු හරි ඇතුළට එබෙන මොහොත දක්වාම එක විටදී බළලා පණ ඇති සතෙක් හැටියටත් මළ සතෙක් හැටියටත් පිළිගන්න පුළුවන්.
පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර
විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ HOW DID WE DISCOVER THAT REALITY IS SO STRANGE? පරිච්ඡේදය ආශ්‍රයෙනි.