ළමා ලිංගික අපයෝජනය: ළමා ලිංගික අපචාරය මගහරවා ගැනීම

Posted by

මුළු ලොව පුරා සෑම ගැහැණු ළමයි දහ දෙනකුගෙන් දෙදෙනෙක්ද, සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට භාජනය වී ඇත. මෙම සංඛ්‍යාලේඛන සමස්ත ලෝකය වෙනුවෙන් නිසා ඒ ඒ රටවල මෙම තත්ත්වය සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත් ලංකාවේ ළමුන්ද ලිංගිකව අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන වලින් දැක්වෙන්නේ ඇත්තටම ලිංගික අපයෝජනය පිළිබඳව වාර්තාවන අවස්ථාවන් පමණි. ලැජ්ජාව, බිය, සමාජ ආකල්ප, නොදැනුවත්කම ආදී විවිධ හේතූන් නිසා බොහෝමයක් අවස්ථා වාර්තා නොවීම මගහැරී යනවා විය හැකියි. එහෙයින් මේ ගැන සැලකීමේදි ප්‍රශ්නයේ මහත්තාව(magnitude) ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. අදින් ඇරඹෙන මේ ලිපි පෙළ මඟින් අප උත්සාහ කරන්නේ මෙම උවදුරට ලක්විය හැකි (හෝ ලක්වූ) කොටස් වෙත සෘජුවමත් එමෙන්ම දෙමාපිය වැඩිහිටි ආදී අනෙකුත් කොට්ඨාශත් ආමන්ත්‍රණය කිරීමටයි.

අදාළ රූපය

 

ළමා ලිංගික අපචාරය මගහරවා ගැනීම: ළමුන්ට කළ හැකි දේ

ලෙඩ රෝග, කරදර හිරිහැර ආදී වෙනත් බොහෝ දේ දී මෙන්ම ළමා ලිංගික අපචාරය ගත්ත ද  වැදගත් ආප්තෝක්තියක් වන්නේ වළක්වා ගැනීම පිළියමට වඩා හොඳය යන්නයි. අප සාකච්ඡා කරන්නේ ළමා අපචාරය ගැන නිසා අපචාර වළක්වා ගනු වස් ළමයින් හැටියට කළ හැක්කේ කුමක්ද, එවැනි යමක් ඇතොත් ඒ අල්ප වශයෙනි යනුවෙන් කෙනෙකුට සිතිය හැකිය. එහි යම් සත්‍යයක් නැතුවාම නොවේ. එහෙත් අපචාර වළක්වා ගැනීම  එයට ගොදුරුවීමට ඉඩ ඇති අයට පමණක් පවරා නිහඬව නොසිට ඒ සඳහා ඔවුන්ගේ ද සක්‍රීය දායකත්වය වැදගත් වන  බව වටහාගැනීම් ප්‍රයෝජනවත්ය. ලිංගික හෝ වෙනත් ආකාරයක ළමා අපචාර වළක්වා ගැනීම ඇත්ත වශයෙන්ම සාමුහික සහයෝගිතා ක්‍රියාවලියකි. එහිදී ළමුන්ටත් වැඩිහිටියන්ටත් ඉටුකළ හැකි කාර්යභාරයක් හඳුනා ගැනීම වැදගත්ය. ළමුන් සහ තරුණ  ළමුන්ගේ පාර්ශ්වයෙන් ගත් කල ප්‍රථමයෙන්ම කළ යුත්තේ ළමා ලිංගික අපචාරය මෙන්ම ළමා අයිතිවාසිකම් ගැන අවබෝධයක් ලබා ගැනිමය.

අදාළ රූපය

මේ ලිපි පෙළෙහි මීට කලින් පළවූ ලිපි මගින් අප උත්සාහ කළේ එවැනි අවබෝධයක් සැපයීමයි. ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් ඇතැම් සමාජ කොට්ඨාශ අතර ආකල්පමය ගැටලු තිබෙන බව ඇත්තකි. එහෙත් ළමයෙකු වශයෙන් ඔබේ ආරක්ෂාව මෙන්ම අයිතිවාසිකම් රැක ගැනීම සඳහා එවැනි අවබෝධයක් ලබා ගැනීමට මෙම කාරණාව බාධාවක් කර ගත යුතු නැත. ලිංගික අපචාරයක් යනු කුමක්ද? ඒවා සිදුකිරීමට ඉඩ ඇති අය කවුද හා ඔවුන් හඳුනා ගන්නේ කෙසේද? එවන් අපරාධකරුවන්ගේ ක්‍රමවේද හා චර්යා මොනවාද? යනාදී වශයෙන් මෙම වැදගත් කාරණාව ගැන අවබෝධයෙන් සන්නද්ධවීම අපචාර වළක්වා ගැනීමේ මුල්ම පියවරයි. මෙම ලිපි පෙළ හෝ එවැනි මූලයකින් ඔබ යම් අවබෝධයකට එළඹ ඇත්නම් මෙන්න අපේ සුබපැතුම්! ඔබ මුල් පියවර තබා අවසන්ය. ඊළඟට කළ යුතු දේ දැන් සාකාච්ඡා කරමු.

ඔබ ලබාගෙන ඇති දැනුම උපයෝගී කරගෙන ඔබට විශ්වාසය තැබිය හැකි වැඩිහිටියෙකු හෝ වැඩිහිටියන් තෝරා ගැනීමට ඔබට අපහසුවක් තිබිය යුතු නොවේ. (ජීවත්ව සිටී නම් හෝ වෙන්ව ජීවත් නොවන්නේ නම්) දෙමාපියන් ඇතුළු පවුලේ අය ඔබගේ ප්‍රථම තේරීම වනු ඇත. මෙයට අමතරව සමීප නෑයන් ගුවරුවරු ආගමික පූජ්‍ය පක්ෂය ද වෙනත් තැන්පත් වැඩිහිටියන් ද ඔබේ සහයයට සිටින බව මතකගේ රඳවා ගන්න.(මොවුන් අතරේ අපරාධකරුවන් ඒ කියන්නේ ඔබ අපචාරයට යොදා ගැනීමට මාන බලන්නන් සිටිය හැකි බව සැබවි. එහෙත් සියලු දෙනාම එකම කුලකයක ලා  සැලකීමත් ප්‍රඥාගෝචර නොවේ). එසේ හඳුනාගත් අය සමග ඔබේ කටයුතු ගැන නොවලහා කතා බහ කරන්න. ඔවුන් ගැන විශ්වාසය තබා ක්‍රියා කිරීම, සියල්ලන්ම සැක කිරීමට පටන්ගෙන අන්දමන්ද වීමට වඩා යහපත් වනු ඇත. මෙවැනි කතා බහ හෝ සාකච්ඡා යම් අයෙකු හෝ යම් අය ගැන රහසේ කෙරෙන කතා බහක් නොව බෙහෙවින් විවෘත අවංක  සාකච්ඡා විය යුතුය. ඔබට අදාලව කෙරෙනා මේ විවාත සංවාදය අතරට ඔබට මුනගැහෙන, ඔබ ඇසුරු කරනා අයගේ කටයුතු ගැන ද — විශේෂයෙන්ම ඔවුන්ගේ යම් සැකසහිත ප්‍රකාශයක්, කියමනක්,  ක්‍රියාවක්, හැසිරීමක් ඇතොත් ඒ ගැන ද  කියන්න. ඔබට වෙනත් අයගෙන් ලැබෙන තෑගි බෝග හෝ වෙනත් ප්‍රතිලාභ ගැනත් විශ්වාසය තැබීමට  ඔබ තෝරා ගත් අයවළුන්ට පවසන්න. එවැනි ක්‍රියාවක් පිටුපස යම් සැඟැවුණු අරමුණක් වේ නම් එය හඳුනා ගැනීමට ඔබට සහාය වීමට ඔවුනට හැකි වනු ඇත.  ඇතැම් විට හිස පිරිමැදීම, කරට අත දැමීම, පිටට තට්ටු කිරීම වැනි අහිංසක චර්යාවන් වුවත් අනිසි බවක් ඔබට දැනේ නම් ඔවුනට ඒ බවත් දන්වන්න.

තනිපංගලමේ වෙනත් අය නොමැති විටක තවත් කෙනෙකු සමග ගත කරන විට සුපරීක්ෂාකාරීවන්න. හැකි නම් එවැනි අවස්ථා අඩු කරගැනීමට උත්සාහ කරන්න. පිටත ගමන් බිමන් යාමේදී තනිව නොඉඳ තවත් හිතවතුන් සමග ගත කිරිම ද ආරක්ෂාවට රුකුල් දෙන චර්යාවකි. ඔබේ මුතුරු මිතුරියන් සමග ඒ සඳහා ජාලගතව ක්‍රියා කිරීමට ඔබට උත්සාහ කළ හැකිය. එය, ඔබගේ මෙන්ම ඔබගේ මිතුරු මිතුරියන්ගේ ආරක්ෂාවට ද දායක වනු ඇත.

ඔබේ පෙනුම, ඔබේ සිරුර ගැන, සිරුරේ කොටස් ගැන යම් යම් දේ කීමට වැඩිහිටියෙකු උත්සාහ දරන්නේ නම් එය අධෛර්යමත් වන අන්දමට ඔබ ක්‍රියා කළ යුතුය. එවැනි කතාවලින් ඔබ යම් සතුටක්, තෘප්තියක් ලබන බවක් ප්‍රදර්ශනය වීම  ගොදුරු අල්ලා ගැනීමට කුරුමාණම් අල්ලන එවැනි අපරාධකරුවන්ට ආශීර්වාදයක් විය හැකිය. එහෙයින්, එවැනි කතාවන්ට  ඔබ අකමැති බව සැරපරුෂ විදිහට නොවුනත් සෘජුවම  ප්‍රකාශ කර සිටිය යුතු ය.  එවැනි උපවදන් ගැන දෙමාපිය ආදී විශ්වාස වන්ත අයට දැන ගැනීමට සැලැස්වීම ප්‍රයෝජනවත්ය. “ෂා හරි ලස්සන ඇදුමක් නේ ඇදලා ඉන්නේ දැන් ඔයා තවත් හැඩයි”, “ඔයා හරි ස්මාට් නේ” යනාදී වශයෙන් අහිංසක කියමන් සේ පෙනෙන ප්‍රකාශවල සිට “ඔයා හරි සෙක්සි”,  ඔයාගේ ඇස් දෙක හෝ ,,,, දැක්කහම මට පිස්සු හැදෙනවා” හෝ ශාරිරාංග ගැන වෙනත් කියමන් වශයෙන් ඍජු ගෘංගාරාත්මක නැතිනම් ලෛයිංගික ප්‍රකාශ කිසිවකු කරන්නේ නම්, ඒ පැහැදිලි ලිංගික අරමුනක් ඇතිව විය හැකියි. පරිස්සම් වීමට වගබලා ගන්න.

ප්‍රීති සාද, මිතුරු හවුල්, ආදිය ළමයකුගේ හෝ තරුණ වියේ ළමයෙකු ලිංගික අපචාරයට යොදා ගැනීමට මග පාදන ස්ථානයක් විය හැකි යයි ඔබ සමහර විට නොසිතන්නට පුලුවන. මුලින්ම කිව යුත්තේ ඒවාට තනිව සහභාගිවීමෙන් වැලකිය යුතු බවයි. යන යන තැන ආරක්ෂාවට කෙනෙකු කැටුව යා යුතු යයි මින් අදහස් නොකෙරේ. සෙනග ගැවසෙන තැනක් වුවද ඔබව තනිකර ගැනීමට කිසිවෙකු මාන බලයි නම් ඒ යහපත් අරමුණකින් විය නොහැකියි. එහෙයින් සැමවිටම සෙනග අතරම සිටිම නුවණට හුරුය. ඔබ පැණිබීමක් බොන්නේ නම් බඳුන ගැන ඇස ගසාගෙන ඉන්න. යම් මත්ද්‍රව්‍යයක් ඊට එකතු කිරීමේ අනතුරක් තිබිය හැකිය. තමුන් ගැන හොඳින් දන්නා අයවළුන් හැර ප්‍රිය සම්භාෂණවලදී හෝ වෙනත් එවැනි අවස්ථාවල මුණ ගැසෙන අලුත් යහළු යෙහෙළියන් ගැන හෝ වෙනත් ආගන්තුකයන් ගැන සෝදිසියෙන් සිටීම ප්‍රයෝජනවත්ය.

අදාළ රූපය

දෙමාපියන්, සහෝදර සහෝදරියන් සහ ඥාති මිත්‍රාදීන් ඔබව ළමා අපචාරයෙන් ආරක්ෂා කිරීමට උපකාරී වන බව නොරහසකි. එහෙත් ලිංගික අපචාරයන්ට ගොදුරු වන ළමුන් (මෙන්ම වැඩිහියන්ද) අපරාධ කරන්නාට බියෙන් ක්‍රියා කරනවා පමණක් නොව අකමැත්තෙන් වුවද (සමහර විට කැමැත්තෙන්ද) වෙනත් අය විශේෂයෙන් ළමුන් එම අපරාධකාරුවන්ට අල්ලා දීමට සහාය වෙති. මෙය තමන්ට ඉතා සමිප පාර්ශ්වයකින් සිදුවන්නක් හෙයින් වළක්වා ගැනීම බොහෝ විට අසීරු විය හැකිය. එහෙයින් මේ ගැන දැනුවත් වී ක්‍රියා කිරීම ඔබ එවැන්නෙකුගේ ගොදුරක් බවට පත්කර ගැනීම වළක්වා ගැනීමට උපකාරී වේ.

අදාළ රූපය

මේ හැර, ඒ ඒ සමාජයන්ට නැතිනම් සංස්කෘතීන්ට අනුව ළමයින් වශයෙන් ලිංගික අපචාරයෙන් ගැලවී සිටීමට යොදාගන්නා තවත් ක්‍රමවේද තිබිය හැකිය. ඒවා ගැන විශ්වාසවන්ත වැඩිහිටියන් සහ මිතුරු මිතුරියන්,  සමපදස්ථයන්(peers) සමග කතා බහ කර දැනුවත්වීම අවදානමක සේයාවක් ඇතත්, නැතත් සැමට ප්‍රයෝජනවත්ය.

ලබන සතියේ ලිපියෙන් ලිංගික අපචාර වළක්වා ගැනීමට වැඩිහිටියනට කළ හැකි දේ ගැන කතා කරමු.

 

eschooltoday හි පළවන Your basic guide to sexual child abuse ලිපියෙහි Prevention tips for childabuse
 කොටස ඇසුරෙනි. 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.