සැමට විදු නැන නුවණ – Science Literacy for All

කාබනික ගොවිතැනට සීමා වීමෙන් හරිතාගාර වායු නිකුත් වීම ඉහළ යාමේ අවධානමක්

කාබනික ගොවිතැනට සීමා වීමෙන් හරිතාගාර වායු නිකුත් වීම ඉහළ යාමේ අවධානමක්

රසායන පොහොර සහ කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ඇත්තේ නිමා නොවන අන්දමේ විවාදයක්. භාවිත කළ යුත්තේ කුමණ පොහොර ද?’ යනුවෙන් පොදු ප්‍රශ්නයක් ලෙස විමසුවොත් කාබනික පොහොර යයි තතු දත් උදවිය බොහො දෙනා නිසැකවම ඵිළිතුරු දෙන්න ඉඩ තියෙනවා. මේ ගැන ආයෙ අහන්න දෙයක් තියනවා යැ?’ යනුවෙන් පෙරළ ප්‍රශ්න කරාවි යයි ද බලාපොරොත්තු විය හැකියි. ඇත්තටම, කාබනික ගොවිතැනෙන් අත්වන පාරිසරික, සෞඛ්‍යය සහ සමාජ-ආර්ථික ප්‍රතිලාභ ගැන විවාදයක් නැතැයි කියන්න පුළුවන්. ඒත්, පටහැනි මත දරන අය කියා සිටින්නේ කාබනික ගොවිතන අකාර්යක්ෂමයි, වැඩිවන ලෝක ජනගහනයට සරිලන ප්‍රමානයෙන් ආහාර නිපදවීඉමට අසමත් සහ වැඩි භූමි ප්‍රමාණයක් වගාවට යෙදවිය යුතුයි යනුවෙනි.

මේ විවාදයට මැදිහත් වන්නට තතු හි අපි අදහස් නොකරමු. එහෙත් වෙනත් කාරණාවලදී මෙන්ම මෙහිදී ද විවේචන, විරුද්ධ මත අප්‍රබුද්ධ යයි එකහෙලා ඉවත නොදමා සාක්ෂි සහිතව, තර්කානුකූලව ඉදිරිපත් කරණ සෙසු අදහස් ද සැලකිල්ලට ගැනිම ප්‍රඥාගෝචරය. ආදානය නුසුදුසුවනවා පමණක් නොව යමක් පිළිබඳ ඇතැම් තොරතුරු, විස්තර වසන් කිරිමක් ද ඉන් සිදුවිය හැකියි. එහෙයින්, කීර්තිමත් සඟරාවක් වන New Scientist(22nd October, 2019) හි පළවූ  Going fully organic would raise greenhouse gas emissions  නම් ලිපිය ඇසුරෙන් සැකසූ මේ ලිපිය අප පල කරන්නේ, කරුණු කාරණා තෝරා බේරා ගැනීමිට මග පාදන අයුරින්  පාඨකයා දැනුමෙන් සන්නද්ධ කිරිමටය.

එංගලන්තය සහ වේල්සය මුලුමනින්ම කාබනික ගොවිතැනට මාරු වුණොත් සමස්ත හරිතාගාර වායු විමෝචනය ඉහළ යාමේ අවධානමක් පවතිනවා. කාබනික ගොවිතැනේදී එක් එක් ගොවිබිම්වලින් විමෝචනය වන වායු ප්‍රමාණය පහළ ගියත්, කාබනික ගොවිතැනට මාරු වීමේ අතුරුඵලයක් ලෙස ආහාර නිශ්පාදනය අඩු වීම නිසා වෙනත් ප්‍රදේශවලින් ආහාර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් පැනනගිනවා.

සමස්ත එංගලන්තය හා වේල්සය කාබනික ගොවිතැනට යොමු වුණොත්, ඒ සමස්ත භුමි ප්‍රමාණයේ ඵලදාව වත්මන් ඵලදාවෙන් අඩක් දක්වා අඩු විය හැකියි. මේ හිඟයට මුහුණදීමට නම් ලෝකයේ තවත් ප්‍රදේශවලින් වැඩිපුර වගාබිම්  අවශ්‍ය වෙනවා. එහි ප්‍රතිඵලයක් හැටියට නිකුත් විය හැකි හරිතාගාර වායු ප්‍රමාණය දෙරටේම දැනට පවතින හරිතාගාර වායු විමෝචනයට සාපේක්ෂව දෙගුණයක්.

“මගේ හැඟීම නම් මෙයින් කියවෙන ප්‍රධාන පණිවුඩය වෙන්නෙ අපිට රැවුලත් කැඳත් දෙකම රැකගන්න බැරි බවයි,” එසේ පැවසුවේ දැනට එක්සත් ජනපදයේ රාජකීය කෘෂිකර්ම විද්‍යායතනයේ (Royal Agricultural University)  සේවය කරන,  පර්යේෂණ කණ්ඩායමක  සාමාජිකයකු වුණු ලෝරන්ස් ස්මිත් ය. ස්මිත් කාබනික ගොවිතැනට සහය දක්වන්නෙක්. ඔහුගේ මතයට අනුව “කාබනික ගොවිතැනට යොමු වීමෙන් අත්වන වාසි රැසක් තියනවා”. නමුත් කාබනික ගොවිතැනට යොමුවීමේ අවාසිත් තිබෙන බව ඔහුගේ අධ්‍යයනයෙන් හෙළිවෙනවා.

organic food is better? සඳහා පින්තුර ප්‍රතිඵල

කාබනික ආහාර ඔබට හිතකරද? ඇත්ත දැනගමු!

සමස්ත හරිතාගාර වායු විමෝචනයෙන් තුනෙන් එකකට හේතුවන්නේ ගොවි තැන සහ වනාන්තර එළිපෙහෙළි කිරීම වැනි භූමි පරිභෝජනයේ වෙනස්කම්. ඒ නිසා ගොලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමේදී වගාබිම්වලින් නිකුත්වන විමෝචන අවම කරගැනීමත්, කෘෂිකර්මාන්තය සඳහා යොදාගන්නා භූමි ප්‍රමාණය අවම කරගැනීමත් ඉතා වැදගත්.

ස්මිත් ඇතුළු පිරිස සිදුකළ අධ්‍යයනයට අනුව කාබනික වගාවේදී ආහාර ඒකකයකින් විමෝචනය වන හරිතාගාර වායු ප්‍රමාණයේ සියයට විස්සක පහළ යාමක් දැකිය හැකි අතර කාබනික සත්ව ආහාර නිශ්පාදනයේදීත් හරිතාගාර වායු විමෝචනය වන ප්‍රමාණයත් සාපේක්ෂව සියයට හතරකින් පහළ බසිනවා.

නමුත් ගැටලුව ඇතිවන්නේ කාබනික ගොවිතැනේදී හෙක්ටයාරයක  ඵලදා සාමාණ්යයත් අවම වීම නිසයි.  උදාහරණයක් දක්වනවා නම් තිරිඟු සහ බාර්ලි කාබනිකව වගා කිරීමේදී ලැබෙන ඵලදාව සාමාන්‍ය රසායනික ගොවිබිම්වලින් ලැබෙන ඵලදාවෙන් අඩක් පමණයි. එම නිසා එම ආහාර ප්‍රමාණයම නිශ්පාදනය කරන්න අවශ්‍ය වන අමතර භූමි ප්‍රමාණය දැනට වගා කර ඇති භූමි ප්‍රමාණය මෙන් 1.5ක්.

විමෝචනයේ අපේක්ෂිත ඉහළ යාම අමතර භූමි ප්‍රමාණය ගැන ගොඩනගන විවිධාකාර උපකල්පන මත පදනම් වෙන නිසා නිශ්චිත අගයක් දැක්වීම අසීරුයි. අමතර භූමි ප්‍රමාණය සපයාගන්නේ තණබිම් ගොවිබිම්වලට පෙරලීමෙන් නම් විමෝචනයේ ඉහළ යාම සියයට 20ක පමණ සුළු අගයක්. ස්වාභාවිකව නැවත වන වගාව සඳහා ඉඩ තිබුණු තණ බිම්,  වගා බිම් හැටියට යොදාගත්තොත් ඒ වැඩිවීම මුල් අගය මෙන් දෙගුණයකට ආසන්නයි.

“හරිතාගාර වායු ගැටලුව කාබනික ගොවිතැනට අදාලයි,” පර්යේෂණ කණ්ඩායමේ තවත් සාමාජිකයකු වූ, එක්සත් ජනපදයේ ක්‍රේන්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ සේවය කරන ගයි කර්ක් පවසනවා, “අපිට එය නොතකා හරින්න බැහැ.”

ජනතාව කාබනික ආහාර භාවිතයෙන් ඉවත් විය යුතු බවක් මෙයින් අදහස්වෙන්නේ නැහැ. පුද්ගලයන්ට පළිබෝධනාශකවලට නිරාවරණය වීම අවම කරගැනීම (ජනප්‍රිය මතය කුමක් වුණත් කාබනික ගොවිතැනේ යෙදෙන අයත් පළිබෝධනාශක භාවිතා කරනවා) හෝ වනජීවීන් ආරක්ෂා කිරීම වැනි වෙනත් අරමුණු මත පුද්ගලයන් කාබනික ආහාර තෝරාගන්නවා වෙන්න පුළුවන්.

ජෛවවිවිධත්වයට ඇතිවන බලපෑම්

කෙසේවෙතත්, සියයට සියයක්ම කාබනික ගොවිතැනට යොමුවීම ගෝලීය ජෛව විවිධත්වයට හානිකර විය හැකියි. මෙයත් කෘෂිකර්මාන්තයට අවශ්‍ය භූමි ප්‍රමාණය වැඩි වීමට සම්බන්ධයි. මෙයින් සිදුවන්නේ වන ජීවීන්ට පමනක් සීමාවූ වාස භූමි කැබලි වී ප්‍රමාණයෙන් තව තවත් කුඩා වීමයි.

එක්සත් රාජධානියේ කාබනික ගොවිපොළවල්වල ප්‍රමිතිය සහතික කරන සංවිධානයක් වන පාංශු සංගමයේ (Soil Association) සාමාජිකයකු වන රොබ් පර්සිවාල්ගේ මතය වන්නේ මේ විශ්ලේෂණයට පදනම් වූ උපකල්පන “මූලික දෝෂවලින් යුක්ත” බවයි.

“මේ පර්යේෂණය උපකල්පනය කරන්නේ කන කැම බීම රටාව නොවෙනස්ව පවතින බව වුණත් එය කොහෙත්ම පිළිගත හැකි සංකල්පයක් නොවෙයි,” පර්සිවාල් කියා සිටියා. කෑම් බීම රටාව වෙනස්කරගැනීම මගින් ජනතාවගේ සෞඛ්‍යටත් හිතකර බලපෑමක් ඇතිකරන අතරම වගා බිම් ප්‍රමාණය අඩු කරගනිමින් කාබනික ගොවිතැනේ යෙදෙන්න හැකියාව පවතිනවා.”

අදාළ රූපය

තෙවන විකල්පය

“මස් සහ කිරි ආහාර භාවිතය පාලනය කිරීම මගින් හරිතාගාර වායු භාවිතය අවම කළ හැකි බවට කිසිදු සැකයක් නැහැ. සත්ව ආහාර කිලෝ ග්‍රෑම් එකකින් නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය ශාකමය ආහාර කිලෝග්‍රෑමයකින් විමෝචනය වන වායු ප්‍රමාණය මෙන් පනස් ගුණයක් දක්වා ඉහළ අගයක් ගන්නට පුළුවන්. ඉතින් අපේ ආහාර කාබනිකද, දේශීය වශයෙන් නිශ්පාදන කළාද කියන කරුණුවලට වඩා වැදගත් වන්නේ ඒවායේ සංයුතියයි,” ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  සේවය කරන හැනා රිචී පවසනවා.

ස්මිත්ගේ ස්ථාවරය වන්නේ මේ ගැටලුවට තුන්වන විකල්පයක් තිබිය හැකි බවයි “අපි කාබනික සහ රසායනික වගා ක්‍රම අතරින් සාර්ථකම උපක්‍රම අනුගමනය කළොත් කාර්යක්ෂමභාවය ඉහළ මට්ටමකට ගෙනෙන්න පුළුවන්.” කාබනික ගොවිතැනේ යෙදෙන්නන්ට කාබනික ගොවිතැනට අදාල ඇතැම් මූලධර්ම රැකගන්නා අතරම විශාල අස්වැන්නක් ලබාදෙන රසායනික පොහොර වර්ග කිහිපයක් භාවිතා කරන්න පුළුවන්. ඔහුගේ මතය වන්නේ ජාන තාක්ෂණය යොදාගනිමින් වැඩි දියුණු කළ බෝග භාවිතයට අවස්ථාව ලැබෙන ලෙස කාබනික ගොවිතැන පිළිබඳ සම්මතයන් වෙනස් විය යුතු බවයි.

විමෝචනය සැලකීමේදී සියලු කෘෂි නිශ්පාදන සමාන නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.  කාබනික පොහොර භාවිතයෙන් ඵලදරන තිරිඟු අස්වැන්න ඉතා අල්ප නිසා කාබනික ධාන්‍යවලින් නිපදවන පාන් වර්ග පරිසරයට අහිතකර වුණත්, කාබනිකව එළවළු වගා කිරීමේදී විමෝචනයේ ඇති වන්නේ සාපේක්ෂ වශයෙන් සුළු පරිමාන වෙනසක් බව ඔහු පෙන්වා දෙනවා.

පරිවර්තනය කර සකස් කළේ අරුන්දි ජයසේකර

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: