සතුන්ට අපට වගේ කතා කරන්න බැරි ඇයි?

Posted by

ලොව කොතැනක සිටියත් ප්‍රශ්න ඇසීම ළමයින්ගේ ස්වභාවයයි; සිරිතයි. මේ ලෝකයට අළුතෙන් ජනිතවන දරුවා තමන් අවට සිදුවන දෑ ගැන සිටින්නේ විමසිල්ලෙන්, කුතුහලයෙන්. මව තමන්ට බොන්න දෙන කිරි දකින දරුවා, ඒවා සුදු පාට මන් දැයි විමසිලිමත් වෙනවා.  නිවසින් එළියට බැහැලා අහස දෙස බලද්දී අහස නිල් පාටට පෙනෙන්නේ ඇයි? සමනළයෝ මලින්මලට පියාඹන්නේ මොකෝ? ළමයාගේ ප්‍රශ්න ඇසීමේ මෙම ස්වභාවික ක්‍රියාවලිය බොහෝ විට පන්තිකාමරය තුල දී මොට වෙන බව නූතන අධ්‍යාපනඥයන්ගේ මතයකි.(තතු මේ ගැන සහ අධ්‍යාපනයට අදාල වෙනත් කාරණා සම්බන්ධව ලිපිමාලාවක් සඳුදා දිනවල ගෙන එනවා. කියවන්න). ළමාවියේ අපගේ සිතට ආ ප්‍රශ්න අපි වයසින් වැඩුණු පසුව නොඇසුවත් ඒවාට ලැබෙන පිළිතුරු දැන ගැනීමේ ආශාව අප බොහෝ දෙනාට අදටත් ඉතිරව තිබෙනවා.

එත් ඉතින් කවුද ඕවාට උත්තර බඳින්නේ? ප්‍රාථමික පාසල් මට්ටමේ ළමුන් අසන සැබෑ ප්‍රශ්නවලට, අදාළ ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිළිතුරු සපයන කදිම ග්‍රන්ථයකි BIG QUESTIONS from Little People . . . and Simple Answers from GREAT MINDS.  එය ඇසුරෙන් සකසණු ලබන,  සෑම බදාදාවකම තතු  ගෙන එන මේ විශේෂාංගය ප්‍රශ්න අසන පොඩිහිටියන්ට මෙන්ම පොඩිකාලේ එවන් ප්‍රශ්න අහන්න බැරිවෙච්ච වැඩිහිටියන්ටත් එක්කයි.

 

සතුන්ට අපට වගේ කතා කරන්න බැරි ඇයි?

WHY CAN’T ANIMALS TALK LIKE US?

පිළිතුරු සපයනු ලබන්නේ Noam Chomsky විසිනි

ලබන මාසයේ 7දාට වයස අවුරුදු 91 සපිරෙන ලොව ප්‍රකට ඇමරිකානු වාග් විද්‍යා න්‍යායචාර්යයෙකු වන Noam Chomsky (සම්පූර්ණ නාමය Avram Noam Chomsky) 1950 ගණන්වල ඉඳලාම ඉදිරිපත් කළ අදහස් සහ කෘති මගින් සමස්ත වාග් විද්‍යා ක්ෂේත්‍රයම විප්ලවීය වෙනසකට භාජනය කළේ භාෂාව යනු මානවයන්ටම සුවිශේෂී, ජීව විද්‍යාත්මකව පාදක වූ සංජානන හැකියාවක් ලෙස සලකමිනුයි.  ඇතැම් අවස්ථාවල “නූතන වාග් විද්‍යාවේ පියා” ලෙස ද හැඳින්වෙන චොම්ස්කි, වාග් විද්‍යාව සහ ඊට අදාල ක්ෂේත්‍ර වෙනුවෙන් සැපයූ දායකත්වය, පසුව ‘සංජානන විප්ලවය’ යනුවෙන් ප්‍රකට වූ ප්‍රවණතාව ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට උපකාරී වුණා.

චොම්ස්කි බාගදා ලොව පුරා වඩාත් ප්‍රසිද්ධියට පත්වන්නේ  එක්සත් ජනපද අභ්‍යන්තර දේශපාලනය, විදේශ පිළිවෙත සහ බුද්ධිමය සංස්කෘතිය කෙරෙහි  ආර්ථික ප්‍රභූන්ගේ විනාශකාරී බලපෑම ගැන විවේචනාත්මක  විශ්ලේෂණ ඉදිරිපත්කරන  දේශපාලන විමතධාරියෙකු හැටියටයි. මිනිසුන්ගේ අදහස් හා සිතුවිලි  ‘හැසිරවීමට’ ගන්නා විවිධ උපක්‍රම ගැන ඔහු ලියා පළ කළ ග්‍රන්ථ, අද අදාළ ක්ෂේත්‍රවල අත්පොත් බවට පත්වෙලා. Current issues in Linguistic Theory, Reflections on Language, Manufacturing Consent, Deterring Democracy හා The Prosperous Few and the Restless Many ඉන් කිහිපයක්. වාග් විද්‍යාඥයෙක් හැටියට පමණක් නොව දාර්ශනිකයෙක්, සංජානන විද්‍යාඥයෙක්, ඉතිහාසඥයෙක්, සමාජ විචාරකයෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් ලෙස ද නෝම් චොම්ස්කි ප්‍රසිද්ධයි.

සතුන්ට අපට වගේ කතා කරන්න බැරි ඇයි?

සෑම සතෙකුටම එකිනෙකා සමඟ කතා කළ හැකි එක් එක් ක්‍රම තිබෙනවා. වඳුරන්ට වඳුරන් සමගත්, මී මැස්සන්ට මී මැස්සන් සමගත් ආදී වශයෙන් සතුන්ට එකිනෙකා සමඟ කතා කළ හැකි විවිධ ක්‍රම තිබෙනවා. එය ඉතින්  කතා කිරීමක්ම නෙමෙයි. එය ඇමතීමක්, පියාපත් සැලීමක් හෝ සතුන්ට කළ හැකි ඒ ආකාරයේ වෙනත් බොහෝ දේ විය හැකිය. අප එකිනෙකා හා කතා කරන ආකාරයට අනික් සතුන්ට සන්නිවේදනයේ යෙදෙන්නට  නොහැකි අතර, සමාන්‍යයෙන් අපටත් අනික් සතුන් සන්නිවේදනය කරන ආකාරයටම සන්නිවේදනය කිරීමට නොහැකිය. එසේ නමුත්, නිදසුනක් ලෙස ඇතැම් මිනිසුන්ට කුරුල්ලන්ගේ ශබ්ද ඉතා හොඳින් අනුකරණය කළ හැකියි. එසේ අනුකරණය කරන විට කුරුල්ලන් ඒ තවත් කුරුල්ලෙක් යයි සිතා රැවටෙන අවස්ථාද නැතුවා නොවෙයි.

මී මැස්සන්ට අනික් මී මැස්සන්ට කුමන වර්ගයේ මලක්, කොතරම් දුරකින්, කොයිබ  තිබේදැයි කිව හැකියි. ඔවුන් එය සිදු කරන්නේ අපට අනුකරණය කිරීමට නොහැකි ඉතාම සංකිර්ණ නැටුමක් මගිනි. ඒ වගේම මී මැස්සන්ට මෙන් ඒ ආකාරයෙන් යම් තොරතුරක් ලබා දීම මිනිසුන් වන අපිට අමාරු කරුණකි. වඳුරන් සතුව විශේෂ විලාප හඬ පවතිනවා. ඔවුන් ඉදිරියෙන් සිටින්නේ අනතුරුදායක සතෙක් යයි ඔවුන් අනුමාන කළොත්  හෝ ඔවුන්ට කුසගින්නක් දැනෙන විට හෝ වෙනත් යමක් පැවැසීමට අවශ්‍ය වූ විට ඔවුන් මේ විලාප හඬවල්  යොදා ගන්නවා. අනෙක් සතුන්ට ද මේ හා සමාන සංනිවේදන ක්‍රම පවතිනවා.

මනුෂ්‍යයන් වන අප සතු  භාෂාව ඉතාම වෙනස්. එවන් භාෂාවක් සත්ව ලෝකය තුළ නම් දකින්න බැහැ. වෙනත් සතුන්ට පැවසීම සඳහා අනෙක් සතුන්ට නම් ඇත්තේ යම් යම් කරුණු කීපයක් පිළිබඳ කිසියම් ආකාරයක ලැයිස්තුවක් පමණ්යි. ඉන් පිට, ඔවුන්ට අලුතෙන් යමක් සිතා සන්නිවේදනය කළ නොහැකියි. නමුත් මිනිසුන්ට අලුත් අලුත් දේ පැවැසිය හැකියි. මීට පෙර අසා නැති හෝ මීට පෙර කිසිදු මිනිසෙක් කියා නැති දෙයක් පැවැසිය හැකියි. ඒ පිළිබඳ සිතන්නේ නැතිව වුවත් ඔබත් සැම විටම එවන් අලුත් දේ පවසන බව ඔබ දන්නවාද?

මිනිසුන්ට අනෙක් සතුන් හා සුළු වශයෙන් සන්නිවේදනය කළ හැකියි. ඔබට බල්ලෙක් සිටිනවා නම්  “ඉඳගන්න” යයි ඔබ කියන විට ඉඳගන්න පුරුදු කල හැකියි. ඒ වගේම ඔබ උත්සාහ කළොත් තවත් දේ පුහුණු කළ හැකියි. ඒ වගේම පූසෙක්ට යමක් අවශ්‍ය වූ විට “ඤාව්” කියා අමතන්න උගන්වන්න පුළුවනි. නමුත් ඔවුන්ට අපි කියන දේ නිසැකවම තේරෙන්නේ නෑ, ඒ වගේම ළමයින්ට වගේ අලුත් යමක් තේරුම් ගන්නත් බෑ.

ඇතැම් කුරුලු වර්ග වලට පුළුවන් වෙනත් කුරුල්ලන්ගේ හඬවල් ඉතා හොඳින් අනුකරණය කරන්න. ඒ විතරක් නෙමෙයි මිනිසුන්ගේ වචන පවා අනුකරණය කල හැකියි. ගිරවුන් ඒ සඳහා ඉතා හොඳින් පුහුණු කිරීමට පුළුවන්. එය භාෂාවක් මෙන් ඇසුනත්, ඔවුන් මිනිසුන් යොදා ගන්නා ආකාරයට භාෂාව යොදා ගන්නේ නැහැ. අනෙක් සතුන්ට වගේම ඔවුන්ටද අලුත් යමක් ගැන සිතිය නොහැකියි.

වානරයන් සමග වැඩ කල සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා වානරයන්ට මනුෂ්‍යයන්ගේ භාෂාව ඉගැන්විය හැකියි කියලා. නමුත් මා ඇතුළු අනෙක් අය සිතන්නේ එම විද්‍යාඥයන් තමන්වම රවටා ගන්නා බවයි, ඇත්තටම  වානරයන් සිදු කරන්නේ වෙනස්ම දෙයක් . එය උනන්දුව දනවන් සුලු ප්‍රශ්නයක් වන අතර ඔබට ඒ පිළිබඳව තවත් කියවන්නට හා ඉගෙන ගන්නට අවශ්‍ය වනු ඇත. ඔබ තවත් ලොකු වන විට ඔබට ඒ පිළිබඳ අලුත් යමක් සොයා ගැනීමට වුවත් හැකි වේවි. මනුෂ්‍ය භාෂාව හා සතුන් පිළිබඳව අපට නොතේරෙන බොහෝ තැන් තවමත් පවතිනවා නෙ.

 

පරිවර්තනය කොට සකස් කළේ: දිල්රු කාවින්ද්‍යා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.