සැමට විදු නැන නුවණ – Science Literacy for All

තද නායකයෙකු පිළිබඳ මිථ්‍යාව

තද නැතිනම් බලගතු නායකයෙකු මෙන්ම බලගතු සහ ස්ථාවර ආණ්ඩුවක් පිළිබඳ අදහස බොහෝ සමාජවල ඇතැම්  කොට්ඨාශ අතරේ මුල් බැස ගත්තක් බව කියන්න පුළුවනි.  විශේෂයෙන්ම මැතිවරණයක් අභිමුඛව මේ අදහස ප්‍රබලව සංසරණය වෙමින් කරළියට එයි.  ‘තද’ නායකයෙකු යන්නෙන් තේරුම් ගන්නේ ශක්තිමත් නායකයෙකු නම් බැලූ බැල්මට ඒ ගැන විවාදාත්මක තත්ත්වයක් නැත. ‘අපට අවශ්‍ය දුර්වල නායකයෙකුය’ යි තර්ක කරන්නෝ කවරහු ද? එසේ වුව ද තද  නායකයෙකුයනුවෙන් සලකනු ලබන්නේ ‘අතිබලැති‘ නායකයෙකු නම් එය විවාදසම්පන්නය.  අප තද හෙවත් ශක්තිමත් නායකයෙකු ලෙස කල්පනාකරන  අය ඔහුගේ හෝ ඇයගේ බලය උපරිමයට ගන්නට  තැත් කරන්නෙකු නම් එමෙන්ම ප්‍රධාන තීරණ වැඩි කොටස තනිව ගන්නනෙකු නම් ඔහු හෝ ඇය කාර්යක්ෂම, සඵල නායකත්වයට බොහෝ ඈතින් සිටින අයෙකු බව පැහැදිලිය.  ඒ ඇයි දැයි  යන්න අප කලින් පළකළ, අද නැවත  පළ කරන පෝස්ටුව කියවා බැලීමෙන් දැන ගත හැකිවෙනු ඇති.

 

තද නායකයෙකු පිළිබඳ මිථ්‍යාව

තද පාලකයෙකුගේ අවශ්‍යතාව පිළිබඳ සිතුවිල්ල මහජනයා අතර පැළපදියම් කිරීම සම්බන්ධයෙන් කිසියම් දුරකට ජනමාධ්‍ය ද වග කිව යුතුය. රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් තිරයෙන් පසුපස  සිදුවන දේශපාලනය ජනමාධ්‍යයෙන් නිසි ලෙස අනාවරණය නොවේ. ඒ අනුව රාජ්‍ය නායක සෙවණැල්ලේ සිට කරුණු කටයුතු මෙහෙයවන කාර්ය සූර මිනිසුන් ප්‍රවෘත්ති මාධ්‍යවල සම්මුඛ සාකච්ඡාවලට හසු වන්නේ නැත.  ඒ වෙනුවට අපට අසන්නට කියවන්නට ලැබෙන්නේ බලය යනු තදබල පුද්ගලයෙකු විසින් හෙබවිය යුත්තකි යන දුර්මතය අප අතර පතුරවන අර නායකයා හෝ මේ නායිකාව හෝ කියු හෝ කළ හෝ දෑ පිළිබඳ පම්පෝරි පමණි. ඕනෑම ආකාරයක පාලකයන් ගැන අතිශයෝක්තියෙන්  ප්‍රශස්ති ගැයූ අය මෙ කල මෙන් ම රජ කාලයේ ද  සිටියහ.

තද පාලකයෙකු පිළිබඳව අප අතර පවතින ජනප්‍රිය දේශපාලන මතය බොහෝ විට ගොඩනැගෙන්නේ දේශපාලකයන් රැස්වීම්වල පවත්වන කතා, මාධ්‍ය වාර්තා  සහ නොයෙකුත් ප්‍රචාරක ප්‍රයෝග මගින්  ඇති කරන  බලපෑමට අනුවයි. කිසියම් සාමූහික  නායකත්වයකට සහයෝගය දැක්වීමට සමාජයක් වශයෙන් අප එතරම් උනන්දු නොවන නමුත්  සුවිශේෂී වර්ගයක නායකයෙක් ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් බොහෝ විට කැමතියි.

දේශපාලන නායකයෙකු අයත් වන දේශපාලන පක්ෂයට වඩා දේශපාලන නායකයා අතිශයින් බලසම්පන්න කෙනෙකු වශයෙන් ජන මාධ්‍යය විසින් හුවා දක්වනු ලබයි. මේ හේතුව නිසා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක අභ්‍යන්තර කටයුතු සිදු විය යුත්තේ කෙසේ ද  යන්න වෙනුවට පක්ෂය මුදුනේ සිටින නායකයාගේ බල මහිමය දෙස  නිරන්තර මහජන අවධානය යොමු වෙයි..

අනෙක් අතට නායකයා ද තමන්ට නැති බල පරාක්‍රමයක් ගැන විශ්වාසය තබයි. ඒ හේතුව නිසාම මහජනතාව ඉදිරියේ නායකයා බලසම්පන්න අයකු ලෙස පෙනෙන්නට පටන් ගනී.  උදාහරණයක් වශයෙන් තමන් නායකත්වය දුන් දේශපාලන පක්ෂයේ ජයග්‍රහණයක් ලෙස හුවා දක්වනවා වෙනුවට බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂය දිනූ මැතිවරණ තුනම ජයග්‍රහණය කළේ තමන් විසින් ම බව ‍බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ඔහුගේ ස්වයං චරිතාපදානයේ පළ කළේය. තමන් ගැන ම  ටෝනි බ්ලෙයාර් තබා තිබූ ආත්ම විශ්වාසය කොතෙක් දැ’යි කිව හොත් අසාර්ථක වන තෙක් ම බොහෝ අය ඔහු අනාගතවක්තෘවරයෙක් ලෙස සැලකීය.

රටක සුභසිද්ධිය රඳා පවතින්නේ නායකයකුගේ ශක්තිය සහ දැඩි බව මතය යන වැරදි කල්පනාව පොදු මහජනතාවද අතර මුල් බැස ගත්තකි .  විශේෂයෙන්ම මැතිවරණ සමයේ දී දේශපාලනය සම්බන්ධයෙන් මේ අදහස ජනතාව තුළ පැළපදියම් වන ලෙස දේශපාලනඥයෝ ද හැසිරෙති. සිය ප්‍රතිවාදියා අවඥාවට ලක් කිරීමට “ශක්තිමතාට එරෙහිව දුර්වලයා” යන යෙදුම භාවිතා කිරීමට දේශපාලනඥයෝ සාමාන්‍යයෙන් පුරුදුව සිටිති.  ඒ අනුව ඡන්ද දායකයෝ ද දේශපාලනය දෙස බලන්නේ  ප්‍රබලයා ජය ගනී යන අදහස මත කෙරෙන ක්‍රීඩාවක් ලෙස ය.

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ නායකයා ලෙස වරක් එඩ් මිලිබෑන්ඩ් නම් කළ විට ටෝරි පක්ෂයේ නායක ඩේවිඩ් කැමරුන් මිලිබෑන්ඩ් දුර්වලයකු ලෙස හංවඩු ගැසීමට උත්සාහ කළේය. එහෙත් ප්‍රතිපත්තිමය කරුණක් මත ටෝරි පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු පක්ෂ නායකයාගේ අභිමතයට පටහැණිව කටයුතු කළ විට කැමරුන් විසින් තමන්ට එල්ල කළ චෝදනාව පෙරළා ඔහු වෙත එල්ල කළ මිලිබැන්ඩ් තම  පක්ෂය පාලනය කර ගත නොහැකිය දුර්වලයෙකු ලෙස කැමරූන් හැඳීන්වීය..

තමන් විශ්වාස කරන දේ  වෙනුවෙන් නොබියව පෙනී සිටීමට නොහැකි  පුද්ගලයකුට හොඳ දේශපාලනඥයෙකු වීම අපහසු බව සැබවකි.  එහෙත් ඵලදායක නායකයකු යනු ​ශක්තිය හෝ දැඩිබව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. ඇත්ත වශයෙන්ම ​අවශ්‍ය අවස්ථාවල දී පසුබැසීමට සහ ඒ මගින් අනතුරු වළක්වා ගැනීමට නුවණැති හොඳ නායකයෙකුට හැකි විය යුතුය. ඇත්ත වශයෙන් ම නායකත්වය යනු බලය පිළිබඳ ප්‍රශ්නයක් වශයෙන් වැරදි අන්දමින් කල්පනා කිරීම ඒකාධිපතිත්වයක් කරා මහජනතාව යොමු කිරීමට හේතුවන කරුණකි.

හොඳ නායකයෙකු වීමට තද පෞරුෂයක් තිබීමට වඩා විනීත කම සහ ඇහුම්කන් දීමේ හැකියාව තිබීම වැදගත් ය.  සාර්ථක නායකයකු වීමට නම් පුළුල් පරාසයක හැකියාවන් තිබිය යුතුය.  ඉන් එකක් වන්නේ විනීත කමයි. ප‍්‍රයෝජනවත් විවේචන සැලකිල්ලට ගැනීම මෙන්ම අනෙකුත් දේශපාලකයන් සමග සාර්ථකව ගනුදෙනු කිරීමේ දී විනීතකම වැදගත් හේතුවක් වෙයි. ඒ හැරෙන විට නායකයෙකුට තිබිය යුතු අනෙකුත් ගතිගුණ මොනවාද?

විශේෂඥභාවය නායකත්වයේ දී වැදගත් විය හැකි නම් කිසිදු නායකයකුට සියල්ල පිළිබඳව විශේෂඥයෙකු විය නොහැකිය. ඒ  නිසා හොඳ නායකයෝ තමන්ට එතරම් අවබෝධයක් නොමැති ක්ෂේත්‍රවලදී විෂය විශේෂඥයින්ට කන් දීමට වග බලා ගනිති.  නායකයකුගේ උපදේශක මණ්ඩලය ජන ජීවිතයට බලපාන විවිධ විෂයයන් පිළිබඳව විශේෂඥතාව ඇති පුද්ගලයන්ගෙන් සමන්විත විය යුතුය.  උදාහරණයක් වශයෙන් විෂය භාර අමාත්‍යවරයාට වඩා විශේෂඥතාවයක් නායකයා ට එම විෂය සම්බන්ධයෙන් තිබිය යුතුයැ’යි බලාපොරොත්තු නොවිය යුතුය.  තම කාර්ය සම්බන්ධයෙන්  නියම විශේෂඥයන්ට කන් දීමට අකමැති නායකයන් අතින් සිදුවිය හැකි වරද නම් අවම අවබෝධයකින් තීරණ ගැනීමයි. එවැනි අනවබෝධිත තීරණ පුළුල් සමාජයට අහිතකර විය හැකියි.

පාලකයෙකු ලෙස බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර් සාර්ථක වීමට මූලික වශයෙන් හේතු වුණේ නියම විශේෂඥයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට ඇය දැක්වූ උනන්දුවයි.  ශක්තිමත් යයි හඳුන්වන වර්ගයේ නායිකාවක් වුවත් කිසියම් තීරණයක් ගැනීමට පෙර ඒ පිළිබඳ කරුණු කාරණා එක් කොට හොඳින් සමීක්ෂා කර බැලීමට ඇය හපනෙක් වූවාය.  සිය බලය සපුරා යොදා ගැනීමට නොපසුබට වුවත් ඇය එසේ කලේ දැනුමැති විශේෂඥයින්ගෙන් නිසි උපදෙස් ලබා ගැනීමෙන් පසුවයි. විශේෂඥ උපදෙස් නො තකා හැරීම නිසා අසාර්ථක වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය.  එමෙන්ම විශේෂඥයෝ දැනුමැති අය වීම පමණක් නොව මහජන මතය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති අය වීම ද අත්‍යවශ්‍ය ය.

ශක්තිමත් යැයි කියා ගන්නා නායකයෝ ද බොහෝ විට  තම මතය ප්‍රශ්න විරහිතව අනුදක්නා ප්‍රශස්ති කාරක හෙංචයියන්ගෙන් සමන්විත කුඩා කණ්ඩායමක ග්‍රහණයට අසු විය හැකිය.  මෙවැනි තත්ත්වයක් ඇති වූ විට නායකයෙක් තමන්ට වඩාත් ශක්තිමත් නායකයෙකු විසින් පෙරළා දැමීමේ අනතුරට ලක් විය හැකි ය. ‍බ්‍රිතාන්‍යයේ ටෝනි බ්ලෙයාර් අගමැතිට සිදු වූයේ එයයි.

අගමැතිවරයා වශයෙන් කටයුතු කරන අතර ටෝනි බ්ලෙයාර් සිය මුදල් ඇමති වූ ගෝර්ඩන් බ්‍රවුන් සමග මතභේදයක් ඇති කර ගත්තේ ය. ඊට හේතු වූයේ අගමැතිවරයාගේ හැම තීරණයක් ම අනුමත කිරීමට ගෝර්ඩන් බ්‍රවුන් දැක්වූ අකමැත්තයි.  ඔවුන් දෙදෙනා අතර පැවති මත භේදය කොතරම් උග්‍ර වූ ද යත් තම ආර්ථික ප්‍රතිපත්තිය ගෝර්ඩන් බ්‍රවුන් ලවා අනුගමනය කර ගැනීමට බ්ලෙයාර් අසමත් විය. මේ මතභේදය නිසා නිවර පක්ෂයේ නායකත්වයට ගෝර්ඩන් බ්‍රවුන්  පත්කර ගැනීමට පක්ෂ සහයෝගය වැඩි වූ අතර ටෝනි බ්ලෙයාර්ට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

සාර්ථක නායකයෝ සාමූහික සහ සහචර ආකල්පයකින්  යුක්ත ව මග පෙන්වන්නෝ ය.

වෙනසක් කරන ආණ්ඩුවලට පොදු වූ එක් ලක්ෂණයක් පවතී. එය බොහෝ විට ජනමාධ්‍යයට පවා මඟ හැරෙන්න. වෙනසක් ඇති කරන ආණ්ඩුවක් යනු සාමූහික ආකල්පය පෙරටු කරගත් ආණ්ඩුවකි.

සාමූහික ආකල්පයකින් යුත් නායකත්වයක් යනු වගකීම බෙදාහදාගන්නා නායකත්වයකි. එය ඇතිවිය හැක්කේ නායකයන් තම සගයන්ගේ අවංක සහයෝගය ලබා ගැනීමට සමත් වන්නේ නම් සහ තමා යටතේ සේවයේ නියුතු අය ඵලදායි ලෙස මෙහෙය වීමට හැකි වන්නේ නම් පමණි.

1945 සහ 1951 දක්වා කාලය තුළ ‍බ්‍රිතාන්‍යයේ පැවති ක්ලෙමන්ට් ඇට්ලිගේ ආණ්ඩුව බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය ස්ථාපිත කිරීමේ වගකීම දැරිය. ඒ සඳහා ඇට්ලි පළපුරුදු ඇමතිවරුන් කණ්ඩායමක් පිහිටුවා එකිනෙකා අතර තිබූ විරසක පසෙක දා එකමුතුව කටයුතු කිරීමට ඔවුන් මෙහෙය වීය.   තමන්ට හැකි තරම් ඉහළ මට්ටමින් සිය සගයන්ගේ දායකත්වය ලබා ගැනීමට ඇට්ලි අගමැතිවරයා කටයුතු කළේ ය. තමන් යටතේ සේවයේ නියුතු අයගෙන් ඵලදායී දායකත්වයක් ලබා ගැනීමට හැකි වන්නේ ඔවුන්ගේ ගෞරවය නායකයා ට දිනා ගත හැකි නම් පමණි.  ඊනියා “ශක්තිමත්’ නායකයින්ට එවැනි ගෞරවයක් දිනා ගැනීම අපහසුය.

නොයෙකුත් සමාජීය හැල හැප්පීම් මැද ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් පනත සම්මත කරගැනීමට සමත් වූ ලින්ඩන් ජොන්සන් ජනාධිපතිවරයා සහචර සහයෝගය දිනා ගත් නායකයෙකුට දිය හැකි හොඳ උදාහරණයකි.  ඔහු සෙනෙට් සභාවේ සහ නියෝජිත මන්ත්‍රණ සභාවේ සාමාජිකයන් සිවිල් අයිතිවාසිකම් වලට සහයෝගය දැක්වීමට නම්මවා ගැනීමට සැලකිය යුතු කාලයක් කැප කළේය.  ජොන්සන්ගේ සහයෝගිතා නායකත්ව ශෛලිය වැඩිහිටියන්ට සහ දුප්පතුන්ට සෞඛ්‍ය සේවය සැපයූ මෙඩිකෙයා සහ මෙඩිකේඩ් යන වැඩසටහන් දෙක දියත් කිරීමට හේතු වුණේ ය.  ඔහුගේ කාලයේ වියට්නාම් යුද්ධය පැවතුණ ද එක්සත් ජනපදයේ සිටි විශිෂ්ටතම ජනාධිපතිවරයෙකු වශයෙන් ජොන්සන් හැඳින්වෙන්නේ මේ සහයෝගිතා නායකත්ව ශෛලිය නිසා ඔහුට දිනා ගත හැකි වූ සමාජ ප්‍රතිසංස්කරණ හේතු කොට ගෙන ය. ප්‍රජාතන්ත්‍රවාදයට පාදක වන මූලික සංකල්පය වන්නේ මහජනතාව තම අදහස් එකිනෙකා සමග හුවමාරු කර ගනිමින් පොදු යහපත සඳහා එකට එක්වී වැඩ කරනු ඇත යන්නයි.  ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට වඩා සුදුසු වන්නේ සහයෝගිතාව පදනම් කරගත් නායකත්ව ශෛලියයි.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක නායකයා සතු බලතල නීති සහ රෙගුලාසි මගින් සීමා කර තිබේ.

තනි නායකයකුට අනෙකුත් දේශපාලන පක්ෂවල අභිමත නො සලකා කටයුතු කිරීම වැළැක්වීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මගින් යම් යම් සීමා පනවා තිබේ.  ඊට හේතුව එකී දේශපාලන පක්ෂ ද සමාජයේ සැලකිය යුතු කොටසක් නියෝජනය කරන බැවිනි.  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක නායකයෙකුට තම හිතුමතයට නීති පැනවිය නොහැක. අනෙකුත් පාර්ශවවල අදහස් උදහස් සලකා බැලීමේ විධික්‍රමයක් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම වල අන්තර්ගත වේ.  බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ ඇමරිකානු කොංග්‍රස් සභාව කරන්නේ ඒ කටයුත්තක්.

ඒ අනුව වඩාත් සාර්ථක නායකයන් වන්නේ අනෙකුත් දේශපාලන චරිත හා සහයෝගයෙන් කටයුතු කරමින් ඔවුන් තමන්ගේ මතයට එකඟ කරගැනීමට හැකිය හැකි අයයි.  අනෙක් අයගේ සහයෝගයෙන් තොරව නියම නායකයෙකුට වැදගත් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය නොහැකිය.

ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ බලය සංකීර්ණ හා විමධ්‍යගත පාලන තන්ත්‍රයක් මගින් නිරන්තර සෝදිසියකට ලක් වේ. ඇමරිකානු ජනාධිපතිවරයාට විශාල බලයක් ඇතැ’යි බැලූ බැල්මට පෙනුනත් ධවල මන්දිරයේ නිල කාර්ය මණ්ඩලය, අධිකරණය, අනෙකුත් රාජ්‍යායතන, යුක්තිය පසිඳලීමේ කාර්ය පටිපාටියට බලපෑම් කිරීම තහනම් කිරීමේ විධිවිධාන සහ ජනපද 50 ක විමධ්‍යගත ආණ්ඩු මගින් ජනාධිපතිවරයා සතු බලය පමණ ඉක්මවා භාවිතා කිරීම වැළැක්වීමට කටයුතු යෙදේ.

ලෝකයේ අනෙකුත් ප්‍රධාන පෙළේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම හා සසඳන විට කොංග්‍රස් මණ්ඩලයේ සම්මත කළ අණ පනත් නිෂේධ කිරීමේ බලය ඇමරිකානු ජනාධිපතිවරයාට තිබෙන බව සැබවි. ඒ අනුව ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධව යම් බලපෑමක් කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයාට හැකිය.

කෙසේ වෙතත්  සමස්තයක් වශයෙන් ගත් කල දේශීය ප්‍රතිපත්ති තීරණය කිරීමේ ලා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක නායකයාට මහජනතාව හිතන තරම් තනි බලයක් නො ලැබේ.  එහෙත් විදේශීය ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී මේ තත්ත්වය මුළුමනින් ම වෙනස් විය හැකිය.

විවිධ සොදිසි ක්‍රම මගින් බලතල සීමා වන ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුට විදේශීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වඩා වැඩි බලයක් හිමිවිය හැකිය.

විදේශීය ප්‍රතිපත්ති තීරණය කිරීමේ දී විශේෂයෙන්ම යුද්ධ ප්‍රකාශ කිරීමේ දී ආණ්ඩුවකට ඇත්තේ අඩු ‍ව්‍යුහමය සීමාවන් ය. යුද්ධයක් යනු ඇතැම් විට කල් තියා පුරෝකථනය කළ හැක්කක් නොවේ.  යුද්ධ උපාය සහ උපක්‍රම නිරන්තරයෙන් පරිණාමය වන සුළුය.  එනිසා තීන්දු තීරණ ගැනීම කඩිනමින් කළ ‍යුතු අවස්ථා ඇතිවිය හැකිය. දේශීය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමන්ට අවශ්‍ය තරම් බලපෑම් කිරීමට අපහසු වීම නිසා අසහනයට පත් වන ඇතැම් නායකයෝ එය පිරිමසා ගැනීමට විදේශීය ප්‍රතිපත්තිය මෙහෙය වීමට වැඩි බරක් යොදති.

අහිතකර විදේශීය ප්‍රතිපත්ති හඳුන්වා දීමෙන් සැලකිය යුතු හානියක් කිරීමට ඇතැම් නායකයින්ට හැකිය.  උදාහරණයක් වශයෙන් 2003 දී ඉරාක යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ මැදිහත් වීම මුළුමනින් ම පාහේ අගමැති ටෝනි බ්ලෙයාර් ගේ ක්‍රියාවකි. ඒ මගින් සිදුවූ අනවශ්‍ය ජීවිත විනාශයට ඒ තීරණය වගකිව යුතුය. ඉරාක යුද්ධයට මැදිහත් වීම තමාගේ තීරණයක් බවත් අගමැතිවරයා වශයෙන් එසේ තීරණය කිරීමේ අයිතිය තමන්ට තිබෙන බවත් ටෝනි බ්ලෙයාර් සිය චරිතාපදානයේ ලියා තිබේ.  ශක්තිමත් යැයි කියන නායකයින් අතින් බොහෝ විට නරක විදේශ ප්‍රතිපත්ති බිහි වන්නේ  විෂය විශේෂඥයින්ගේ උපදෙස් ගැනීමකින් තොරව තීරණ ගැනීමට ඔවුන් වඩාත් පෙලඹෙන සුලු බැවිනි.   විශාල ජන සමූහයන්ට බලපාන ගැටලු සම්බන්ධයෙන් කඩිනම් තීරණ ගැනීමේ පීඩනයට රාජ්‍ය නායකයෝ හා දේශපාලනඥයෝ නිරන්තරයෙන් ලක් වෙති. ලෝක නායකයන්ට ද එකිනෙකා සමග ඍජු ලෙස සම්බන්ධකම් ඇති කර ගැනීමට හැකි නිසා අදාළ ක්ෂේත්‍රය පිළිබඳ විශේෂඥයන් විමසා තීරණ ගනු වෙනුවට තනි තීරණ ගැනීමේ අවදානමට ගොදුරු වීමට සිදුවේ.

ජනප්‍රියවාදී නායකයින්ට පවා බලය ග්‍රහණය කරගත හැක්කේ නියම සමාජ තත්ත්වයන් උද්ගත ව තිබුනොත් පමණි.

නායකයෙකුගේ දේශපාලන සාර්ථකත්වය ඔහුගේ පෞද්ගලික ස්වභාවය මත රඳා පවතින බව බොහෝ අය විශ්වාස කරති.  එහෙත් එය මුළුමනින් ම සත්‍යයක් නොවේ.  යුද්ධ, ආර්ථික අර්බුද, සහ දේශපාලන ප්‍රවණතා වල කැපී පෙනෙන වෙනස්කම් ආදී සියල්ල ජනප්‍රියවාදී තදබල නායකයකුගේ ආගමනයට හේතු විය හැකිය. ජනතාවගේ බලාපොරොත්තු සුන් වන ප්‍රමාණයට අනුපාතික ව සංකීර්ණ ප්‍රශ්න වලට ක්ෂණික සහ සරල විසඳුම් ඉදිරිපත් කරන ජනප්‍රියවාදී නායකයෙකු පසුපස වැටෙන ජනතාව වැඩි වෙයි. උදාහරණයක් වශයෙන් ජනප්‍රියවාදී ඇඩොල්ෆ් හිට්ලර් ගේ දේශපාලන සාර්ථකත්වයට හේතු වුනේ පළමුවැනි ලෝක මහා යුද්ධයෙන් පරාජය නිසා ආර්ථික වශයෙන් ජර්මනිය පත්වී තිබූ අසරණභාවයයි.

කලක් සෝවියට් වර්ගයේ ආණ්ඩු පැවති රටවල  2007දී  කරන ලද සමීක්ෂණයක දී ‍ ප්‍රජාතන්ත්‍රවාදය යටපත් වූව ද නැතහොත් මුළුමනින් ම ප්‍රතික්ෂේප කර දැමීමට සිදු වුව ද බරපතළ ආර්ථික හා දේශපාලන අර්බුද විසඳීම සඳහා ශක්තිමත් නායකයකු සිටිය යුතුයැ’යි  අදහන්නේ ද? යන ප්‍රශ්නය විමසුමකට ලක් විය. සමීක්ෂණයට ලක් වුණේ දහතුනෙන් රටවල් අටක තුනෙන් එකකට ආසන්න ජනතාවක් එසේ අදහන බව පළ කරමින් අවුල් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා “ශක්තිමත්” නායකයෙකු සිටීම හොඳ යැයි පැවසීය.

ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සෘණ ආකල්පයක් ඇති රටවල ජනතාව ශක්තිමත් නායකයෙකුට වඩා කැමැත්තක් දක්වති උදාහරණයක් වශයෙන් පීඩාකාරී ආණ්ඩුවක් ‍ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව කටයුතු කරන බව බොරුවට පවසන විට තව ප්‍රශ්න වලට විසඳුම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මගින් ලැබේ යැයි පොදු ජනතාව විශ්වාස නො කරති.

කාලයක් තිස්සේ පැවති නායකත්වයක් යල්පැන ගිය විටද නායකත්වයේ වෙනසක් ඇති කළ යුතු යන අදහසට ජන සමාජයේ වැදගත් තැනක් ලැබේ.  බැරක් ඔබාමා, ජෝන් කෙනඩි, ටෝනි බ්ලෙයාර් වැනි නායකයින් බලයට පත්වීමට හේතුවක් වුණේ ඔවුන්ට පෙර සිටි පාලකයන් මහජනතාවට එපා වන තරමට පිළුණු වී සිටි නිසයි.  ඒ කෙසේ වුණත් සැලකිය යුතු අර්බුද වලට මුහුණ දෙන රටවල් හොඳට හෝ නරකට හෝ බොහෝ විට ජනප්‍රියවාදී නායකයා තෝරා ගැනීමට පෙලඹේ.

කෙසේ වෙතත් හොඳ නායකයෙක් යනු තද හෝ ශක්තිමත් පාලකයෙක් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක වඩා ඵලදායී නායකයන් වන්නේ විනීත ගති පැවතුම් ඇති,  විශේෂඥයින්ට කන්දෙන,  ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් සමග එකට වැඩ කළ හැකි අයයි. එහෙත් අසහනකාරී සමාජයක් තදබල නායකයෙක් තෝරා ගැනීමට තිබෙන ඉඩ කඩ වැඩි නිසා එහි ප්‍රතිඵලයක් ලෙස  ආභ්‍යන්තරික හා බාහිර වශයෙන් ඇතිවිය හැකි හානිය අති විශාල විය හැකිය.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ආචිබොල්ඩ් බ්‍රවුන් විසින් 2015 දී ලියා පළ කළ ‘තද නායකයෙකු පිළිබඳ මිථ්‍යාව’ (Myth of a Strong Leader) නමැති පොත මෙසේ සම්පිණ්ඩනය කොට සකසන ලද්දේ  විජයානන්ද ජයවීර වීසින්.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: