ළමා ලිංගික අපයෝජනය: ළමුන් ලිංගික අපචාරයෙන් වැළැක්වීමේදී වැඩිහිටි වගකීම

Posted by

මුළු ලොව පුරා සෑම ගැහැණු ළමයි දහ දෙනකුගෙන් දෙදෙනෙක්ද, සෑම පිරිමි ළමයි දහදෙනෙකුගෙන් එක් කෙනෙක්ද ළමා වියේදීම ලිංගික වශයෙන් අපයෝජනයට භාජනය වී ඇත. මෙම සංඛ්‍යාලේඛන සමස්ත ලෝකය වෙනුවෙන් නිසා ඒ ඒ රටවල මෙම තත්ත්වය සුළු වශයෙන් අඩු වැඩි විය හැකි වුවත් ලංකාවේ ළමුන්ද ලිංගිකව අපයෝජනයට ලක් වන බව සැඟවිය යුතු රහසක් නොවේ. කෙසේ වෙතත්, මෙම සංඛ්‍යාලේඛන වලින් දැක්වෙන්නේ ඇත්තටම ලිංගික අපයෝජනය පිළිබඳව වාර්තාවන අවස්ථාවන් පමණි. ලැජ්ජාව, බිය, සමාජ ආකල්ප, නොදැනුවත්කම ආදී විවිධ හේතූන් නිසා බොහෝමයක් අවස්ථා වාර්තා නොවීම මගහැරී යනවා විය හැකියි. එහෙයින් මේ ගැන සැලකීමේදි ප්‍රශ්නයේ මහත්තාව(magnitude) ගැන නිවැරදි අවබෝධයක් තිබිය යුතුය. අදින් ඇරඹෙන මේ ලිපි පෙළ මඟින් අප උත්සාහ කරන්නේ මෙම උවදුරට ලක්විය හැකි (හෝ ලක්වූ) කොටස් වෙත සෘජුවමත් එමෙන්ම දෙමාපිය වැඩිහිටි ආදී අනෙකුත් කොට්ඨාශත් ආමන්ත්‍රණය කිරීමටයි.

 

ළමුන් ලිංගික අපචාරයෙන් වැළැක්වීමේදී වැඩිහිටි වගකීම

ළමුන් අපචාරයට යොමුවීමෙන් වැළැක්වීමේදී ළමුන් වශයෙන් ගත හැකි පියවර ගැන අප ගිය සතියේ සාකච්ඡා කළා. අද අපේ අවධානය යොමු වන්නේ මේ ගැන දෙමාපිය, ගුරුවරු වෙනත් වැඩිහිටියන්, ඥාතීන්ට පැවරෙන වගකීම සහ ගත හැකි පියවර ගැනයි.

අප මෙතෙක් මේ යටතේ සාකච්ඡා කළ කරුණු කාරණා සළකන විට පැහැදිලි වන දෙයක් තමයි ළමා ලිංගික අපචාර යනු පහසුවෙන් වළක්වාගත හැකි අපරාධයක් නොවන බව.  ඊට ප්‍රධාන හේතුවක් තමයි අපචාරයක් සිදු කරනු ලබන්නේ සාමාන්‍යයෙන් ළමයාට ඉතා සමීප අයවලුන් විසින් වීමයි.(2019 ඔක්තෝබර් 21දා තතු ලිපිය බලන්න). තවත් ප්‍රධාන කාරණාවක් හැටියට, සංස්කෘතිය, සම්ප්‍රදාය සහ වෙනත් හේතු මත (වයසට ඔබින)ලිංගික දැනුම  සහ හෝ සිදුවිය හැකි අතවර ගැන වැටහීමක් බොහෝ ළමුන්ට නොමැති කම දැක්විය හැකියි. ඒ කාරණා සහ වෙනත් හේතු පදනම් කරගනිමින් අප මෙහි ඉදිරිපත් කරන්නේ ගුරු දෙගුරුන් ඇතුළු වැඩිහිටියන්ට සැලකිල්ල යොමු කළ හැකි අදහස් කිහිපයකි.

අප මුලින්ම කුඩාම ළමුන් ගැන අවධානය යොමු කළොත්, ඔබ ළමයා බලාකියා ගන්නා අය කෙරෙහි සැලකිලිමත් විය යුතු බව ප්‍රථමයෙන්ම දක්වන්න පුළුවනි. සාමාන්‍යයෙන් මේ වගකීම මව පියා සහ ප්‍රමුඛ පවුලේ අය වෙත පැවරුනත් විවිධ හේතූන් නිසා ප්‍රායෝගිකව පිටස්තරයන්ද ද මේ කාර්යයට දායක වේ. ළඟම ඥාතීන්(බොහෝවිට මොවුන් මව පියා, සහොදර සහොදරියන්, සියා ආච්චී ආදීන්ය) දිවා කාලයේ දරුවා රැකබලා ගත්තත් පෙර පාසලේ ගුරුවරුන් ද මේ අතර වෙනවා. මොවුන් සියල්ලන්ම පාහේ ඇත්තටම දරුවාට ආදරය කරන, යහපත් උදවියයි. එහෙත් ඒ අතරතුර දරුවට වින කරන නපුරන් ද සිටිය හැක. එහෙත් මොවුන් එකවරම, ‘නරක අය’ නැතිනම් කාමාතුරයන් බව පෙනී යන්නට හෝ සැක කිරීමට හේතු සාධක ඔබට හමු නොවන්නේ ඔවුන් ගැන ඔබට කිසි සැකයක් නොමැති නිසාය. එහෙයින් ළමුන් සමග නිරන්තරයෙන් කටයුතු කරන අය ගැන ඉතා විමසිලිමත් වන්න.

ළමුන්ට විශ්වාසය තැබිය හැකි පුද්ගලයන්ගේ ජාලයක් ගොඩනඟා ගැනීමට ළමුන්ට උගන්වන්න. එසේ කිරීම තනිකරම ළමයින්ගේම වගකීමක් පමණක් නොකර  ඔබත් ඊට සක්‍රීයව සම්බන්ධ වන්න. එවිට මේ ජාලයෙන් පිටස්තර අයකු පමණක් නොව එම විශ්වාසවන්තයන්ගේ ජාලයේම සාමාජිකයින්ගෙන් අතවරයක් වේ නම් ඉන් ළමයා ගලවාගැනීමේ වැඩි හැකියාවක් ජාලයට  ලැබේ.

ළමයාට සැරවැර කරන,  හැමදේකටම පාහේ දරුවාට බැනවදින අයෙක් වනවාට වඩා දරුවා සමග විශ්වාසය ගොඩනගා ගැනීමට හැකි සෑම උත්සාහයක්ම ගන්න. දරුවා බියක් සැකයක් නොමැතිව ඕනෑම දෙයක් ඔබ සමග පවසන විශ්වාසවන්තයෙකු බවට පත් වන්න.  කිසිවිටෙකත්, කිසිදෙයක් රහසේ තබා ගත යුතු නැති බවත්, ඕනෑම දෙයක් නොවලහා කීමෙන් දරුවාටම දඬුවමක් ලැබීමට හෝ වරද පැටවීමක් කිසිසේත්ම සිදු  නොවන බවත්  ළමයාට ඒත්තු ගන්වන්න. විශ්වාසය මත පදනම් වූ මෙවැනි සබඳතාවක් කුඩා කලම පටන් ගෙන දිගටම පවත්වාගෙන යාමෙන් වයසින් වැඩෙද්දී පවා දරුවා ලිංගික අපචාරයන් ගෙන් බේරාගැනීමටත්, ඊට ලක්වීමෙන් වළක්වා ගැනීමටත් මඟ පාදා ගත හැකි ය.

අදාළ රූපය

තට්ටු කිරීම්, ස්පර්ශ කිරීම් හෝ අතපත ගෑම් ගැන පැහැදිලි එමෙන්ම ප්‍රායෝගික සහ යථාර්ථවාදී අයුරින් දරුවාට කරුණු වටහා දෙන්න. කරුණු දුරදිග යාමට පෙර ‘උපන් ගෙයිදීම’  අපචාරාත්මක හැසිරීම හඳුනා ගැනීමට මෙය උපකාරී වේ.  පාසල්වියේ සිටින දරුවන්ට හා ගැටවර වියේ දරුවන්ට ලිංගික අපචාරය සහ එහි භයානක පැත්ත ගැන වයසට අනුකූලව කරුණු වටහා දෙන්න. බොහෝවිට දරුවා කාමුකයන්ගේ උපක්‍රම වලට හසුවන්නේ මෙවැනි අවබෝධයක්, වැටහීමක් නොමැති කම හේතුවෙනි.

වයසින් වැඩි අයට නිසි ගෞරවය දැක්විය යුතු වුවත් නුවමනා ආකාරයට කිසිවෙකුටත් බිය යුතු නැති බව දරුවාට තේරුම් කර දීම වැදගත්ය. ඉහත අප දක්වා ඇති ආකාරයට දරුවා දැනුමෙන් සන්නද්ධ කර ඇත්නම් මෙය වඩාත් පහසු වෙනවා ඇත.

ළමා අපචාර අපරාධකරුවන් සෑම විටම වාගේ විවිධාකාරයෙන් ළමයා බියගන්වා අපරාධය හෝ අපරාධ උත්සාහයන්  වසන් කිරීමට උත්සාහ දරනවා. එහෙයින් අපරාධයට යොමු කරන්නන්ට තැත් කරන්නා කවුද යන්න නොතකා සිදුවූයේ කුමක්ද යන්න නොවළහ වාර්තා කිරීමට හැකිවන අයුරින් නිර්භයව වීමට, එඩිතරවීමට ළමයාට උගන්වන්න.

තවද විශේෂයෙන්ම දූෂණයට(rape) ලක්වීම (සහ ළමයා කැමැති කරවා ගෙන ලිංගික ක්‍රියාවන්ට යොදා ගැනීම) වලක්වා ගැනීම ගැන ගැටවර වියේ දරුවාට අවබෝධයක් ලබා දිය යුතුය. ඇඳුම් පැළඳුම්, ඇවතුම් පැවතුම්, ගමන්බිමන්, ඇසුරු කරන්නන් ගැන වැඩිහිටියන් සැලකිලිමත් විය යුතුය. ගැටවර වියේ දරුවට අවවාද තරවටු කිරීම දේශනා පැවැත්වීම වෙනුවට අනතුර ගැන කරුණු වටහා දී එම ගැටවර වියේ දරුවාට අවශ්‍ය සහාය සැපයීම වැඩිහිටියාගේ වගකීමයි.

ඔබේ දරුවා කන් නෑසීම, ඇස් නොපෙනීම, කතාකිරීමට නොහැකිවීම හෝ වෙනත් යම් කායික දුබල තාවයකින් හෝ මානසික අසීරුතාවයකින් පෙළෙන්නේ නම් විශේෂයෙන්ම සැලකිලිමත් වීම වැදගත්ය. විශේෂයෙන්ම බුද්ධි ආබාධිත ළමුන්ට තමන් පිළිබඳ නිවැරැදි තීරණයක් ගැනීමේ හැකියාව නොමැති හෙයින් ඉතා වැඩි අවධානයක් යොමු කිරීමට සැලකිලිමත් විය යුතුය. කිසිවිටෙකත් ඔවුන් නිවසේ හෝ සෙනඟ නොගැවසෙන හෝ සෙනඟ අඩු  තැන්වල වෙනත් අයෙකු සමග තනිව සිටීමට ඉඩ සැලසෙන අවස්ථා අවම කර ගන්න ක්‍රියා කළ යුතුවේ.

 

eschooltoday හි පළවන Your basic guide to sexual child abuse ලිපියෙහි Prevention tips for childabuse
 කොටස ඇසුරෙනි. 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.