සුනඛයන්ගේ වයස මිනිස් අපගේ වයසින් මනින්නේ කොහොමද?
ඔබගේ නිවසේ සුරතලයට ඇති කරන බල්ලෙක් ඉන්නවා යයි හිතමු. පැටියා කාලේ ගෙනා ඒ හුරතලාට දැන් වයස අවුරුදු 14 1/2 ක් වෙනවා. මහළුයි. මේ සතා මිනිහෙක්ව හිටියා නම් දැන් ඔහු ගත කරන්නේ ජීවිතයේ මොන සැතපුම් කනුවද? අප හුඟ දෙනෙකුගේ හිතට නැගෙන ප්‍රශ්නයක්. ව්‍යාජ මිම්මක් බවට දැන් කාලයක් තිස්සේ ඔප්පුවී ඇති, එහෙත් තවමත් ජනප්‍රිය අදහසක් අනුව නම් බල්ලෙකු ගෙවන එක් වසරක් මිනිස් අපගේ වයසින් අවුරුදු හතක්. ඒ කියන්නේ එක් වසරක බලු පැටියෙක් වසර හතක කොලු පැටියෙකුගේ වයසයි. ඒ විදිහට ගණන් බැලුවහම ඔබේ හුරතලා දැන් වසර 100 ඉක්මවු මහල්ලෙක්. ඒත් මෙය නිවැරදි ගණන් බැලීමක් ද? පර්යේෂකයන් නම් කියන්නේ සුනඛ වයස මනුෂ්‍ය වයසට පෙරළන්න ඔවුන් සතුව දැන් නව සූත්‍රයක් තියෙන බවයි. ඔව්, සැබෑ විද්‍යාත්මක කාරණා පදනම් කර ගත් මිනුම් සූත්‍රයක්.
මේ නව ‘සූත්‍රය’ පදනම් වෙලා තියෙන්නේ වයස් ගතවීමේ පර්යේෂණ තුළ ස්ථාපිත සාපේක්ෂව නව සංකල්පයක් මතයි: එනම්, ජීවිත කාලයක් තුළ පුද්ගලයෙකුගේ DNA වල ඇතිවෙන එවැනි එක් විකරණයක්(වෙනස්වීමක්) මගින් — සුවිශේශි DNA අනුක්‍රමණයන්ට මීතයිල් ඛාණ්ඩ එකතු කිරිම මගින් — මනුෂ්‍යයන්ගේ ජීවවිද්‍යාත්මක වයස බලා ගත හැකි බවයි. මෙයින්(විකරණයන්ගෙන්) අදහස් කෙරෙන්නේ ජීවිතය ගෙවීයත්ම, ලෙඩ රෝග, අයෝග්‍ය ජීවන රටාව, සහ ජාන විද්‍යාත්මක බලපෑම් මනුෂ්‍ය ශරීරයට ඇතිකරන ආපදාවන්ය. මෙහි ප්‍රථිඵලයක් හැටියට සමහර පර්යේෂක කණ්ඩායම් පුද්ගලයෙකුගේ DNA මෙතිල්කරණ තත්ත්වය වයස පිළිබඳ තක්සේරුවකට — හෝ ආයු අපේක්ෂාව පිළිබඳ පුරෝකතනයකට පවා — හරවා තිබෙනවා.
වයස ගතවෙද්දී අනෙකුත් සත්ව විශේෂ ද DNA මෙතිල්කරණයට පාත්‍ර වෙනවා. නිදසුනක් දක්වතොත් මීයන්, චිම්පන්සින්, වෘකයන්, සහ සුනඛයන් යන මේ සියල්ලන් සතුව අපිජනක(epigenetic) ඝටිකා තිබෙන බවක් පෙනී යනවා. (අපිජනක = ජානවල හැසිරීම තනිකරම ජානයන්ගේ DNA අනුක්‍රමණය මතම රඳා නොවතී. එය අපිජනක සාධක මගින් ද බලපෑමට ලක්වේ. ඒවායේ වෙනස්කම් ලෙඩරෝග සම්බන්ධයෙන් ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරයි —සංස්කාරක).
මෙම ඝටිකා හෙවත් ඔරලෝසු මිනිස් අපිජනක ඝටිකාවලින් වෙනස් වන්නේ කෙසේ දැයි සොයා බැලීම පිණිස සැන්දියාගෝ හී කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ ප්‍රවේණි විද්‍යාඥ ට්‍රේ අයිඩකර් සිය සගයන් සමග එකතුව සුනඛයන් සම්බන්ධයෙන් මේ පර්යේෂණ ඇරඹුවා. මිනිසගේ හිතවත්ම මිතුරා(බල්ලා) සහ මිනිසා වෙන්වූයේ ක්ෂීරපායි පරිණාමයේ මුල් කාලයක දී වුවත් ඔවුන්ද එකම පරිසරයක වසන නිසාවෙන් සහ බොහෝ දෙනෙකුට මිනිසුන්ට සමාන සෞඛ්‍ය සත්කාර හා රෝහල් ප්‍රතිකාර ලබන හෙයින් ද සන්සංදනය සඳහා සුනඛයන් හොඳ කණ්ඩායක්මක් ලෙස සැලකුණා.
කුමණ වර්ගයකට අයත් ද යන්න නොසලකා සියළුම සුනඛයන්, මාස 10 දී පමණ වැඩිවියට පත්ව අවුරුදු 20ට ප්‍රථම මරණයට පත්වෙමින් එකම වර්ධනීය මාවතක් අනුගමනය කරනවා. එහෙත් වයස් ගතවීමට අදාල ජානමය සාධක හඳුනා ගැනීමේ හැකියාව වැඩි කරගනු වස් අයිඩකර් සහ පිරිස එකම සුනඛ වර්ගයක්, එනම් ලැබ්‍රඩෝර් වර්ගය තෝරා ගත්තා.
පර්යේෂකයන් විසින් , වයස සති 4 සිට අවුරුදු 16 දක්වා පරාසයක සුනඛයන් 104 දෙනෙකුගේ ජෙනෝමවල මෙතිල්කරණ රටා ස්කෑන් කරනු ලැබුවා. ඒවායේ විශ්ලේෂණයකයින් හෙළිවූයේ, ඉහළ විකෘති අනුපාතයන් සහිත ඇතැම් ජෙනෝමීය කලාපවල එක හා සමාන, වයස-හා-සම්බන්ධ මෙතිල්කරණයක් මිනිසුන්ටත්, සුනඛයන්ටත් ඇති බවයි. විශේෂ දෙකේම සාමජිකයන් වයසට යද්දී, වැඩීමට අදාල ඇතැම් ජාන කණ්ඩායම් එකම ආකාරයකට මෙතිල්කරණය වන බව ඔවුන් සොයා ගත් වඩාත් වැදගත් කාරණාවකි. එයින් හැඟවෙන්නේ වයස් ගතවීමේ ඇතැම් අංග, වර්ධනයේම අඛණ්ඩ දිගුවක් මිස කැපීපෙනෙන වෙනත් ක්‍රියාදාමයක් නොවන බවත් එමෙන්ම අඩුම තරමින් මෙකී වෙනස්කම් ක්ෂීරපායින් තුළ පරිණාමීය වශයෙන් සංරක්ෂණය වී ඇති බවත්ය.
මානව අපිජනක ඝටිකාව සමග සංසන්දනය සඳහා පර්යේෂකයන් විසින් සුනඛයන් තුළ මෙතිල්කරණ අනුපාතය ද භාවිත කරනු ලැබුවා. එහිදී පෙණී ගියේ මිනිස්-සුනඛ වයස් පරිවර්තනය හුදෙක් ‘හතෙන් වැඩිකිරීම’ට වඩා තරමක් සංකීර්ණ බවයි. වයස අවුරුදු එකකට වඩා වැඩි බල්ලන්ට අදාලවන නව සූත්‍රය අනුව සුනඛයෙකුගේ මිනිස් වයස දළ වශයෙන් සමානවන්නේ සුනඛයෙකුගේ සැබෑ වයසෙහි ස්වභාවික ලඝු ගණනය 16න් වැඩි කර ඊට 31 එකතු කළ ප්‍රමාණයටය.
මෙතිලකරන දත්ත මත පදනම්ව මිනිසුන්ගේ සහ බල්ලන්ගේ ජීවන අවධි ද ගැලපෙන බව පෙනේ. නිදසුනකට සති හතක බලු පැටියෙකු ද මාස නවයක මිනිස් බිළිඳෙකු ද යන දෙදෙනාම පසුවන්නේ දත් එන එක සමාන වයසකය. නව සූත්‍රයට අනුව ගණන් බලීමෙ දී විශේෂ දෙකෙහිම ආයු අපෙක්ෂවන් ද ගැලපෙන බව පෙනේ. සමස්තයක් වශයෙන් ගත්කල සුනඛ අපිජනක ඔරලෝසුව, ආරම්හක වයස් වලදී වේගයෙන් ගමන් කර පසුව මන්දගාමීවේ.
“වයසත් සමග විශේෂ දෙකෙහිම DNA මෙතිලකරණය ක්‍රමාණුකූලව වර්ධනය වන බව මෙම පර්යේෂකයන් විසින් පෙන්වා දෙනු ලැබ තියෙනවා” යයි අලබාමා විශ්ව විද්යාලයේ පරිණාමීය ජීවවිද්‍යාඥයෙකු වන ස්ටීව් ඖස්ටාඩ් පවසනවා.
ඉතින් දන් ඔබට ඔබේ සුරතලාගේ මිනිස් වයස ගැන යම් අදහසක් තියනවානේ? ඕනෑ නම් මුල් ලිපියට පිවිස එහි ඇති කැල්කියුලේටරය යොදාගන්නත් පුළුවන්