බුද්ධිය: ඉහළ බුද්ධි ඵලයම කෙනෙකු ධීමතෙකු කිරීමට ප්‍රමාණවත් නොවේ

Posted by

ඉහළ බුද්ධි ඵලයම කෙනෙකු ධීමතෙකු කිරීමට ප්‍රමාණවත් නොවේ

ඔබට ඉහල බුද්ධි ඵලයක්(high IQ) ඇත්ද? එසේනම් මෙන්න සුභ පැතුම්! ඔබ දිගු කාලයක් ජීවත් වන්නටත්, ශාස්ත්‍රීය කටයුතුවල දී වඩාත් සාර්ථකත්වයක් අත්පත් කරගන්නටත් එය ඔබට මග පාදා ඇතුවාක් මෙන්ම අඩු IQ  අගයක් සහිත පුද්ගලයන්ට වඩා හොඳ වැටුපක් ලබනවා ද විය හැකියි. ඒත් ඉතින් ඕක ඕනෑවට වඩා කරට ගන්න එපා. ඉහළ බුද්ධි ඵලය ප්‍රයෝජනවත් මෙවලමක් තමයි. ඒත් ඉතිං එය සාර්ථකත්වයට මග පාදතියි සහතික කර කියන්න බෑ. ඔබ මෝඩ ආකාරයට හැසිරීමෙන් වළක්වාගන්න ඊට නොහැකියි. ඉහල බුද්ධි ඵලය, චිත්තවේගී යහපැවැත්මට හෝ සන්තුෂ්ටියට ඇත්තේ මද සම්බන්ධයකි. ඒත් ඉතින් ඔබේ බුද්ධිඵලය අහස උසට තිබුණත් ධීමතකු(genius) නැතිනම් උත්කෘෂ්ට බුද්ධිමතෙකු වෙන්නට නම් වෙනත් කුසලතා ගණනාවක්ම අවශ්‍ය වෙනවා.

තර්ක ශාස්ත්‍රය, වියුක්ත තර්කනය සහ ඔබගේ මනසේ තබා ගත හැක්කේ කොපමණ තොරතුරු ප්‍රමානයක් ද යන්න වැනි ඇතැම් චිත්ත ප්‍රභවයන්  මැනීමේදී IQ පරීක්ෂණ බොහෝ ප්‍රයෝජනවත් විය හැකියි.  කෙසේ වෙතත් සැබෑ ජීවිතයේ දී යහපත් තීරණ ගැනීමේදී වැදගත් වන හැකියාවන් මැනීමේදී එම පරීක්ෂණ අසාර්ථක වන බව පැහැදිලිය. ඊට හේතුව තමයි, තොරතුරු කිරා මැන බැලීමට කෙනෙකුට ඇති හැකියාව හෝ බුද්ධිමත් තීරණ ගැනීමේදී අප වල්මත් කිරීමට මගපාදන ප්‍රතිභාන ප්‍රජානන අගතීන් වැනිදේ තක්සේරු කිරීමට ඒවාට නොහැකිවීමයි.

අදාළ රූපය

මොනවද අද කන්නේ, මුදල් ආයෝජනය කරන්නේ කොයිබද, හෝ සේවයේ යෙදී සිටින විට පැමිණි අමාරුකාර සේවා ග්‍රහයකු සම්බන්ධයෙන් කෙසේ ක්‍රියා කළ යුතුද යනාදී වශයෙන් තර්කාන්විත සිතා බැලීම් අප එදිනෙදා ජීවිතයේ දී සිදුකරනු ලබන  ආකාරයේ ඒවාය. IQ පරීක්ෂණ ජනතාවගේ ප්‍රජානන හැකියාවන් මැන බලන ප්‍රමුඛ මිනුමක් ලෙස තවමත් සැලකුනත් එම පරීක්ෂණ මේවා  ඵලදායි ලෙස සැලකිල්ලට නොගනී.  ‘යහ චින්තනය'(good thinking) යන මාතෘකා පාඨය යටතට ගැනෙන කුසලතා සමූහයට වඩා අඩු ප්‍රමාණයකට පමණකි ඒවායින් සැලකිල්ල යොමු වන්නේ. මේ ආදී හේතු නිසාවෙන් ඔබ ඉතාමත් ඉහළ බුද්ධියකින් හෙබි වූයේ නමුත් ඉතාමත් මෝඩ ගතියෙන් යුක්ත වීමට ද සැබැවින්ම හැකියාව ඇත. (දේශගුණ විපර්යාසයන් යනු මුළාවක් ලෙස හඳුන්වනු ලබන අතිදක්ෂ භෞතික විද්‍යාඥයන් ගැන හිතා බලන්න) ඇත්ත වශයෙන්ම කැනඩාවේ මෙන්සා ආයතනයේ (ඉහළ බුද්ධි ඵලයක් ඇත්තන්ගේ අන්තර්ජාතික සංවිධානයෙහි) සාමාජිකයන් අළලා 1980 ගණන් වල මැද සිදුකෙරෙන සමීක්ෂණයකින් අනාවරණය වුයේ ඔවුන්ගෙන් සියයට හතලිස් හතරක්(44ක්) ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ගැනද සියයට පනස් හයක්(56ක්) පිටසක්වලින් එන ආගන්තුක ජීවීන් ගැනද විශ්වාස කරන බවයි.

අදාළ රූපය

බුද්ධි ඵල මිනුම් වලට වඩා වැඩි මානයන් බොහොමයක් මිනිස් චින්තනයට තිබෙනවා පමණක් නොව වචන අන්ධතාව(dyslexia = කියැවීමට උගෙනීමට නොහැකියාව), අධ්‍යාපනය සහ සංස්කෘතිය වැනි සාධක මගින් බුද්ධිඵල මිනුම් පහසුවෙන්ම විකෘති කළ හැකිය. 18 වැනි සියවසේ ඇමරිකානු ස්වදේශිකයෙකු විසින් සැලසුම් කරන ලද බුද්ධි පරීක්ෂණයකින් අප සියලු දෙනාම ඇතැම් විට අසමත් විය හැකිය. එපමණක්ද නොව කිසිවකු, සිය ස්වභාවික විභවය(සහජයෙන් පුද්ගලයාට ලැබෙන හකියාව) සපුරා ගැනීමේදී වැදගත් සාධක වන  පුද්ගලයන්ගේ විඥානය සහ උද්‍යෝගය ගැන කිසිවක් පුද්ගලයෙකුගේ බුද්ධිඵල ලකුණු පරීක්ෂණවලින් කියැවෙන්නේ නැත. සාදෘශ්‍යයක් දක්වන්නේ නම්, ඉහළ බුද්ධි ඵලය යනු හරියට පැසිපන්දු  ක්‍රීඩකයෙකුගේ උස මෙනි. පැසිපන්දු ක්‍රීඩාවට් උස ඉතාමත් වැදගත් බව ඇත්තකි. එහෙත්, හොඳ පැසි පන්දු ක්‍රීඩකයෙකුවීමට නම්  උසින් යුතු  කෙනෙකුවීමට වඩා තව බොහෝ දේ අවශ්‍යය. එමෙන්ම හොඳ චින්තකයකු නැතිනම් විශිෂ්ට බුද්ධිමතකු වීමට ඉහළ බුද්ධි ඵලයක් තිබීමට වඩා තව බොහෝ දේ අවශ්‍යය.

 

 

ධීමතා කලින්ම හදුනා ගැනීම

ඉතිං ධීමතෙකු වෙන්න මොනවාද අවශ්‍ය? පෙනීගොස්ඇති අන්දමට IQ හෝ වෙනත් මිනුම් ක්‍රම වලින් වශයෙන් කොයි ක්‍රමයකින් බුද්ධිය මැන්නත් පුද්ගලයෙකු,  අතිවිශේෂ වූ හැකියාවන් වර්ධනය කර ගනීවි දැයි විශ්වාසවන්තව පුරෝකතනය කළ නොහැකිය. වෙනත් විදිහකට දක්වන්නේනම් ශ්‍රෙෂ්ඨයන්ගේ බුද්ධි ඵලය මගින් ඔවුන්ගේ කාර්ය සාධන මට්ටම පුරෝකතනය කළ නොහැකි වන්නා සේම ඔවුන්ගේ කාර්ය සාධනය මගින් ඔවුන්ගේම IQ මට්ටම පුරෝකථනය කළ නොහැකිය. චෙස් සූරයන්, එමෙන්ම අතිශය සාර්ථක කලාකරුවන්, චිත්‍ර ශිල්පීන්, විද්‍යාඥයන්, සංගීතඥයන් ගැන සිදු කෙරෙන අධ්‍යයනවලින් සාමාන්‍යයෙන් පෙනීගොස් ඇත්තේ ඔවුන්ගේ IQ සාමාන්‍ය වඩා ඉහළ බවයි. ඒ කියන්නේ, පොදු ජනගහනයෙන් 14% ක් අතරේ දැකිය හැකිවන  115 සිට 130 පරාසයක පවතින බවයි —  චමත්තකාරජනක තමයි,  ඒත් ඉතින් ඔවුන්ගේ කාර්ය සාධනයන් සහ හැකියාවන් විරල වන තරමට එම බුද්ධි මට්ටම විරල නම් නැහැ.

මෙහි විලෝමය නැතිනම් ප්‍රතිපක්ෂය — ඉහළ IQ තිබුණ පමණින් ම ශ්‍රේෂ්ඨත්වයට පත්වීම සහතික නොවේ ජීවීන් යන්න ඇත්තකි. නිව්යෝක් නුවර හන්ටර් කොලිජියේ මූලික පාසලෙහි(New York City’s Hunter College Elementary School) වැඩිහිටි උපාධිලාභීන් පිළිබඳව සිදුකෙරුණු අධ්‍යයනයක දී ද මේ බව පෙන්නුම් කෙරිණ. එම කොලීජියට ඇතුළත් වීමේ නිර්ණායකය වන්නේ අඩුම තරමින් 130ක  බුද්ධි ඵලයක් තිබීම(පොදු මහජනතාව අතුරෙන් මේ මට්ටමට පැමිණෙන්නේ 1% වඩා මදක් වැඩි පිරිසකි) සහ 157 ක   මධ්‍යන්‍ය IQක තිබීමයි. මේවා ඕනෑම IQ පරිමාණයකින් බැලුවත් ධීමතුන්ට පමණක් ළඟාවියහැකි මට්ටමකි. බාගදා මේ මට්ටමට පිවිසිය හැක්කේ ජනතාව අතුරෙන් 5,000ට එක් අයෙකි. හන්ටර් උපාධිලාභීන් සාර්ථකත්වයක් අත්පත් කර ගෙන ඇතත්,  සිය ජීවිත ගැන සෑහීමකට පත්ව සිටියත් ඔවුන් තනි තනිව හෝ කණ්ඩායමක් ලෙස හෝ ඔවුන්ගේ IQ මගින් පෙන්නුම් කිරීමට ඉඩ ඇති මට්ටමක කාර්ය සාධන මට්ටමකට  පිවිසීමට නොහැකිව ඇත.. ඔවුන් අතරේ සුපිරි තරු, පුලිට්සර්, නොබෙල් ත්‍යාගලාභීන් නොමැත. ඇත්තවශයෙන්ම  වඩාත්ම නිපුණ වැඩිහිටියන් බොහොමයක්,  කුඩා අවධියේදී කුසලතාපූර්ණ ළමුන් ලෙස හඳුනාගනු ලැබ නැත.

සහජයෙන් ද? වෑයමින් ද?

ඉතින් ඉහළ බුද්ධිය, ධීමතුන් බිහි කරන්නේ නැතිනම් ඔවුන් බිහි කෙරෙන්නේ කුමකින්ද? අප විසින් ඉතා ආශාවෙන් ප්‍රතිභාව යනුවෙන් හඳුන්වනු ලබන හැකියාව සහජයෙන් පිහිටීම නිසාම ඇති වන්නක් නොව, (අවශ්‍යයෙන්ම සුවිශේෂී විය යුතු නැති) සාධාරණ  මට්ටමක ස්වභාවික හැකියාව,  ගුණාත්මක උපදේශනය සහ ඇතිපදම් වැඩ කිරීම යන අංගවල අන්තර්ක්‍රියාවෙන් ඇතිවන්නකි. ආන්තික නිදසුනක් ලෙස දැක්විය හැකි ‍මොසාට්, නිව්ටන් අයින්ස්ටයින් ස්ට්‍රැවින්ස්කි වැන්නවුන් ගැන ගැඹුරින් අධ්‍යයනය කරද්දී ඔබට පෙනී යනු ඇත්තේ ඔවුන්ගේ විශාරදත්වය පහසුවෙන් අත්පත් කරගත්තක් නොවන බවයි.

මුදුනටම පිවිසීමේදී කොපමණ වෙර වීර්යක් නම් අවශ්‍යද  යන්න විවාදයට තුඩු දෙන කාරණයකි. 1990 ගණන් වල සංගීතඥයන් සම්බන්ධයෙන්  සිදුකළ පර්යේෂණවලදී හෙළි වූයේ ඉහළ පෙළේ සංගීතඥයන් සහ එවන් විශේෂත්වයක් නොමැති ඔවුන්ගේ සාමානයන්(peers) අතර වෙනස ප්‍රතිභාව පිළිබඳ සහජ වෙනසක් නොව  කාර්ය සාධනය ඉහළ නංවා ගැනීම පිණිස ඔවුන් දරන වෙර වීරිය නිසා  ඇතිවන්නක් බවයි.  නිදසුනකට වයස අවුරුදු 20 වන විට ඉහළ පෙළේ වයලීන වාදකයකු පැය 10,000කට වඩා පුරුදු පුහුණුවීම් සිදු කර තිබුණි. එම ප්‍රමාණයක පුහුණුවීම්  ඔවුන්ගෙ  සාමන්‍ය පෙළේ සමානයන් සිදු කරන්නේ නැත.

කෙසේ වෙතත් මෑතක සිදු කෙරුණු පර්යේෂණ මගින් මේ මතය ගැන ප්‍රශ්න කෙරේ. ඒවායින් කියැවුණේ ක්‍රීඩාව සහ සංගීත යන අංශවල ඉහළ කාර්ය සාධනය සඳහා පුහුණුවීම් දායකවූයේ  සියයට විස්සක් පමණ  සහ අධ්‍යාපනික ජයග්‍රහණ සඳහා සියයට හතරක් පමණක් බවයි. ඉතිරිය පැහැදිලි කරන්නේ කෙසේද? පර්යේෂකයන් කියා සිටින්නේ සහජ කුසලතාව, සාමාන්‍යය බුද්ධිය, පුද්ගලයා එම කාර්යයට බරපතළ ලෙස සම්බන්ධ වන්නාවූ වයස සහ ඔවුන්ගේ ක්‍රියාකාරී මතකය මීට දායක වන බවයි. විවාදය අහවර නොවූවද පණිවිඩය පැහැදිලිය. ඔබේ බුද්ධිමය බල මහිමය පමණක්ම ඔබව හිනිපෙත්ත කරා ගෙන යාමට ප්‍රමාණවත් නොවේ.

 

THE BRAIN – A User’s Guide (New Scientist Publication 2018)නම් ග්‍රන්ථයේ   INTELLIGENCE නම් වන තුන්වැනි පරිච්ඡේදයෙහි  Why your high IQ doesn’t make you a genius යන කොටස  ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.