සියල්ලෙහි සුලමුල 43: රෝදය නිපදවන්න ඔය හැටි කල් ගතවුණේ ඇයි?

Posted by

ප්‍රකට  විද්‍යාඥ ස්ටීවන් හෝකින්ග් ලියූ කරුණු සාර සංග්‍රහයක් කොට  2016 දී පළ කළ  ‘සියල්ලෙහි ම(පාහේ) සම්භවය’ (The Origin of (Almost) Every Thing) නමැති අළුත් ම කෘතිය ඇසුරෙන් ලිපි මාලවක්  තතු මේ වසරේ සිට ගෙන එනු ලැබේ.  සියලු දේවලම සූල මුල, වගතුග දැනගැනීමේ කුතුහලයක්, නොතිත් ආශාවක් අප සැම තුළ සහජයෙන්ම ඇත. බොහෝ විට එය සංසිඳවීමී හැකියාව ඇත්තේ විද්‍යාවටය. විටක අප මවිතයට පත් කරමින්, විටක ප්‍රමෝදයට පත්කරමින් විද්‍යාව ඒ කාර්යය ඉටු කරණුයේ සැමවිටම  ඥානයේ ආනන්දය වඩවමිනි. සෑම සෙනසුරාදාවකම (සහ ඉරිදාවකම) නොවරදවා කියවන්න — විද්‍යා සාර සංග්‍රහය ‘සියල්ලෙහි සුලමුල’.

රෝදය නිපදවන්න ඔය හැටි කල් ගතවුණේ ඇයි?

අවුරැදු 5500කට ඉස්සර උරුක්(URUK) නගරයේ දර්ශනයක් හිතට නගාගන්න උත්සාහ කරන්න: කොයිතරම් මනස්කාන්ත දර්ශනයක් ද? මේ සුමේරියානු පුරවරය ලෝකයේ පැවතුණු දැවැන්තම, ඒ වගේම ධනවත්ම මානව ජනාවාස අතරින් එකක්. එය කැපීපෙණෙන ආකාරයට නාගරිකයි. දස දහස් ගණන් පුරවැසියන්, යෝධ ගොඩනැගිලි, නගර ප්‍රාකාර, මහා සල්පිල්, යාබද ජනාකීර්ණ ප්‍රදේශ වල පිහිටීම,  මේ පුරවරයේ කැපී පෙනෙන නාගරික ලක්ෂණ අතරින් කිහිපයක්.

අදාළ රූපය

අපි මේ සියල්ල දැනගත්තේ නගරයේ නටබුන් හැදෑරීමෙන්. නමුත් නූතන නගරයක වැදගත්ම අංගයක් ඒ අතර නොතිබීමත් කැපී පෙනෙනවා: ඒ තමයි රෝදය.

භාණ්ඩ සහ මිනිස්සුන්ව ප්‍රවාහනය කරන කාර්,බස්, ලොරි, බයිසිකල්, ත්‍රී රෝද රථ නොමැති දැනට ක්‍රියාකාරී නූතන නගරයක් ගැන නම් හිතින් මවාගන්නවත් අමාරුයි. එහෙම නමුත් උරුක් ජනපදය නම් රෝද මත යැපුණු  ජනපදයක් බවට ලකුණු පෙනෙන්නට නැහැ. රෝද තිබුණු බවට ඉදිරිපත් කළ හැකි එකම එක සාක්ෂිය නිශ්චිතව දින වකවාණු නිගමනය නොකළ මැටි පුවරු කිහිපයක කොටා ඇති, යාන්තමින් රෝද හතරේ ගැලකට සමානකම් පෙන්වන අපැහැදිලි රූප කිහිපයක් පමණයි. නමුත් හිමයානවලට සමාන රූප දැක්වෙන රූපාක්ෂර බහුලව දක්නට ලැබීම, බිම දිගේ ඇදගෙන යාමට සැකසුණු (හිමයානවලට සමාන) රථ වාහන උරුක් නගරයේ ප්‍රචලිතව තිබුණු බවට ප්‍රබල සාක්ෂියක්.

Uruk's early depictions of wheeled vehicles සඳහා පින්තුර ප්‍රතිඵල

Clay tablet  unearthed at the site of ancient city of Uruk 

සුමේරියාව තුළ රෝද ඉතා දුර්ලභ වුණා නම්  හෝ කිසිසේත්ම දක්නට නොලැබුණා නම් හෝ  එයත් මොළය අවුල් කරන කාරණාවක් වන්නට තිබුණා. මොකද රෝදය නිපදවීමට මග පෙන්වූ තාක්ෂණය ඉතාම සරලයි, නිශ්පාදන ක්‍රියාවලියත් ඉතාම පහසුයි,  නව නිපැයුමක් හැටියට රෝදය බෙහෙවින්ම ඵලදායකයි, (තවත්) නව නිපැයුම් රැසකට යොදාගන්නත් පුළුවන්. සකපෝරුව ඒ යුගය වන විටත් පැරණි තාක්ෂණික මෙවලමක් වී හමාරයි. නගරයේ විදි සතුන් විසින් ඇදගෙන යනු ලබන රෝද රහිත කරත්ත(හිමයානා) ධාවනය කිරීමට යෝග්‍ය ආකාරයට සමතල, සුමට විදිහට සකාසා තිබුණු නිසා රෝද සහිත කරත්ත ධාවනයටත් ඒවා ඉතා  කදිමවන්න තිබුණා.  ගැල් ඇදීම සඳහා කොටළුවන්, ගවයන් සහ අනෙකුත් බර අදින සතුන් ඒ වන විට හීලෑ කර තිබුණු නිසා ඔවුන් පහසුවෙන් යොදාගන්න හැකියාව පැවතුණා. ඒ මදිවාට, දියුණු වානිජ සම්බන්ධතා වලින් සැදුම්ලත් ජාලයන් ප්‍රදේශය පුරා ගොඩනැගෙමින් තිබුණා. ලෝහ කර්මාන්තයත් එවකට ප්‍රචලිත වෙමින් පැවතුණා. ඉතින්, කොටින්ම කියනවා නම් ඒ ගල් යුගය නම් නොවෙයි ඕන්!

සමහරවිට උරුක්වල ගැල් සහ කරත්තවල සුන්බුන් අපි තවමත් සොයා නොගත්තා වෙන්නත් පුළුවන්. පැරණි රථ වාහන බොහෝවිට දැව සහ කඹ යොදාගෙන සැකසුණු නිසා පුරා වස්තු හැටියට දිගු කාලයක් නොපවතින්න ඇති. කෙසේ නමුත් සුමේරියාවෙන් රෝදය ගැන පැහැදිලි සාක්ෂියක් හමු වන්නේ ඊට වසර දහසකට පමණ පසුව එළඹුණු යුගයකට අයත් වන ලී පෙට්ටියක සිතුවම් කර ඇති, කොටළුවන් විසින් අදිනු ලබන රෝද හතරේ කරත්ත පෙළක් දැක්වෙන රූපයකින්. උරුක් ශිෂ්ටාචාරය ඉහළට ආවේ වෙන මොන මොනවයින් හරි වෙන්න පුළුවන් වුණත්, රෝදයක් කැරකිලා  නොවන බව නම් හොඳටෝම පැහැදිලියි.

Reconstructed Funnel Beaker House, Archeon 2008Funnel Beaker Culture: First Farmers of Scandinavia

ඒ වගේම,  බෙහෙවින්ම දියුණු ශිෂ්ටාචාරයකට උරුමකම් කී සුමේරියානුවන් මෙතරම් සරල නිපැයුමක් නිර්මාණය කරන්න අසමත් වෙද්දී සාපේක්ෂව පසුගාමීයයි  සැලකෙන ශිෂ්ටාචාරවල ජනතාව ගමනාගමනය සඳහා රෝදය යොදාගැනීම ඊටත් වඩා පුදුමසහගතයි. ජර්මනියේ ෆ්ලින්ට්බෙක් (Flintbek) ප්‍රදේශයේ අවුරුදු 5500ක් පැරණි සොහොන්බිමකින් සමාන්තරව දිවයන, තරමක් රැළි වැටුණු රිය සලකුණු දෙකක් සොයාගන්න පුරාවිද්‍යඥයන් සමත් වුණා. ඒවා බුරුල් වූ රෝද සහිත කරත්තයකින් ඇති වූ බව විශ්වාස කෙරෙනවා. “පුනීල බීකර වැසියන්” (funnel beaker people) නමින් හැඳින්වෙන මේ ශිෂ්ටාචාරයේ වැසියන් විසින්, රෝද හතරේ කරත්තවලට සමානකම් කියන සංකේත ඔවුන් තැනූ මැටි බඳුන් සැරසීමට යොදා ගනු ලැබුවා.

Ljubljana Marshes wheel

සැබෑම රෝදයක පැරණිම නටබුන් මුල් වරට හමු වන්නේත් යුරෝපයෙන්. 2002 වසරේදී වත්මන් ස්ලෝවේනියාවේ වගුරුබිමකින් හමුවුණු ලුබිලියානා වගුරු රෝදය (Ljubljana Marshes wheel) දැවමය රෝද/ඇක්සල යුගලය වසර 5150ක් පමණ පැරණි යයි දින නියම කර තිබෙනවා. එය සවි කර තිබුණේ  කුමන උපකරණයකටද කියන කරුණ තවමත් අනාවරණය වී නැහැ: බාගදා අත් කරත්තයකට වෙන්න පුළුවන්. තවදුරටත් නැගෙනහිර දිශාවට යද්දී ස්ටෙප්ස් තණබිමේ, වත්මන් යුක්‍රේනයට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති වසර 5,000ක් පමණ පැරණි සොහොන් බිම් වලින් රෝද සහ අංගසම්පූර්ණ කරත්ත පවා හමුවී තිබෙනවා.

 

රෝදයේ කතාවේ ඉතිරි කොටස හෙට(24 ඉරිදා) කියවන්න

 

පරිවර්තනය කොට සකස් කළේ: අරුන්දි ජයසේකර

විද්‍යා ලෝකයේ කීර්ති නාමයක් දිනා සිටින New Scientist ප්‍රකාශනයක් ලෙස 2016 වර්ෂයේ පළ කළ ‘The origin of (Almost) Everything’ ග්‍රන්ථයේ WHY DID IT TAKE SO LONG TO INVENT THE WHEEL?  පරිච්ඡේදය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.